අමරණීය අමරදේව නොව පැරැණිය වන රමණිය | සිළුමිණ

අමරණීය අමරදේව නොව පැරැණිය වන රමණිය

ඉන්ද්‍රචාපගේ දින පොතෙහි සමීපරූපයක් පෙනේ. නොවැම්බර් 3 වැනි දා. 2016 නොවැමබරය 1956 නොවැම්බරය. මේ නොවැම්බර 3 දෙදිනම ඉන්ද්‍රචාපගේ මෙන්ම අපේ රටේ සුවහසක් කලා රසික ජනතාවගේ ජීවිත හා සම්බන්ධයි. 2016 නොවැම්බර 3 දා සමග ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ ඇඳෙන්නේ හෙළයේ මහා ගාන්ධර්වයාගේ රුවයි. 2016 නොවැම්බර් 03 වැනි දා ජාතියම හඬවමින් ඔහුගේ අවසන් මියුරු ස්වරය නිහඬ වූ මොහොතයි ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරින් ඇසෙන්නේ. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරුණු නොවැම්බර් 3 වැනිදා ය ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ ඇඳුණු පළමු තුන්වැනි දාව. එතුමන් සිහි කරනු වස් පැවැත්වුණු උළෙල සඳහා ඉන්ද්‍රචාප අත පත් වූ ඇරැයුම් පත මෙලෙසය.

ජාතියේ මහා ගාන්ධර්ව කීර්තිශේෂභාවෝපගත ආචාර්ය පණ්ඩිත් අමරදේව දෙවර්ෂ පූර්ණ සංවත්සරය සලකුණු කරමින් අමරදේව කලා චර්යාව පෙර අපර දෙදිග සංගීත වේදීන්ගේ ඇසින් විමර්ශනය කෙරෙන අමරසර විනිස....  අමරසර විනිස ශෝභාවත් කරනු පිණිස සනිදර්ශන සංකථන සඳහා ඇරැයුම් ලැබ සිටි දේශක මඬුල්ලට ඇතුළත්ව සිටියෝ, මහාචාර්ය අජිත් අබේසේකර, මහාචාර්ය කෝලිතභානු දිසානායක, සංගීතවේදී හර්ෂ මාකලන්ද හා නදීක ගුරුගේ ආදීහුය. හර්ෂ මාකලන්ද සහභාගී නොවන බව කලින් දැන සිටි අතර සෙසු දේශකයන් තිදෙනාගේ දෙසුම් අතරින් ශ්‍රී ලංකා පදනමට රැස්ව සිටි අමරදේව නම් වූ මහා පුරුෂයාට පෙම් බැඳි රසික සමූහයාට අසන්නට ලැබුණේ කෝලිතභානු දිසානායක හා අජිත් අබේසේකර මහැදුරන්ගේ දෙසුම් පමණක් වීම රැස්ව සිටි සැමගේ දොම්නසට හේතු වූ බලාපොරොත්තු බිඳ වැටුණු මොහොතක් ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි සටහන්ව ඇත. අමරදේව වැනි මහා පුරුෂයකුගේ වියොව සිහිපත් කෙරෙන මොහොතක එවැන්නක් අත් විඳින්නට ලැබීම ඉන්ද්‍රචාප මතු නොව ප්‍රේක්ෂාගාරයම අත් විඳි අනපේක්ෂිත සිදුවීමක් වූ බව සටහන් කොට තැබිය යුතුය. මහාචාර්ය අජිත් අබේසේකර තම සනිදර්ශනාත්මක දෙසුම ඔස්සේ අමරදේවයන් පෙර දා ගැයූ වසන්තයේ මල් පොකුරු නෙළා ගීතයේ අලුත්ම රස විඳීමකට ප්‍රේක්ෂකාගාරය කැඳවා ගිය සෙයක් ඉන්ද්‍රචාපට දැනිණ. අප රටෙහි, ජාතියෙහි මහා ගාන්ධර්වයාණන් යනු අමරදේවයන්ම හැර අන් කවුරුන්දැයි අපට යළි යළිත් පසක් වූ අමරසර විනිසට ඇරැයුම් කළ අමරදේව පදනම හා රංජන අමරදේවගේ සමීපරූප ද නොවැම්බර 3 වැනි දා සැඳෑ භාගයේ දී ඉන්ද්‍රචාපට පෙනිණ.

2016 නොවැම්බර 3 දා මතකය සමග නොව පැරැණිය වන රමණිය මතකය සිහියට නැගුණු 1956 නොවැම්බර 3 වනදා සමීපරූපය ඉන්ද්‍රචාප දකී. එක් පසෙක ජාතියේ මහා පඬිරුවන කීර්තිශේෂභාවෝපගත මහැදුරු නාට්‍යපති එදිරිවීර සරච්චන්ද්‍ර ද, අනෙක් පසින් 1956 නොවැම්බර 3 වන දා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පළමු වරට රඟ දක්වමින් සිංහල නාට්‍ය වංශ කතාවේ මුදුන් මල් කඩ සේ සැලැකෙන මනමෙ නාටකයේ නිශ්චල ඡායාරූපයක් ද එකී සමීපරූප අතර ඉන්ද්‍රචාප දිටීය. සිංහල නාට්‍යයේ දේශීය ලකුණ සොයා ගිය දිගු ගමනක මහරු ඵලය සේ මහැදුරු සරච්චන්ද්‍ර විසින් සොයා ගන්නා ලද හැට දෙවසරක් පුරා අදත් රංගගත වන මනමෙ නාටකයේ මුල් රැඟුමට එක් වූ බෙන් සිරිමාන්න ( මනමෙ කුමරු ) ට්‍රෙලීෂියා ගුණවර්ධන ( මනමෙ කුමරිය ) එඩ්මන්ඩ් විජේසිංහ (වැදි රජු ) තිදෙනාගේ සමීපරූපයයි ඉන්ද්‍රචාපගේ 1956 නොවැම්බර 3 මතකය අලුත් කළේ. 1956 සිට 2018 දක්වා පුරා දෙසැට වසරක් රංග ගත වූ නාට්‍යයක් වේ නම් එය මනමේ ම හැර අන් කිසිදු නාට්‍යයක් නොවන්නේය.

නාටකීය අත්දැකීම මෙන්ම ජනරඟ මඬල පර්යේෂණ තුළින් මහැදුරු සරච්චන්ද්‍ර විසින් සොයා ගත් නාට්‍ය ශෛලිය ද ප්‍රෙක්ෂක හදවතට ළං වූ නිසාම නොවේ ද මනමෙ අඩ සිය වසක් ද ඉක්මවා අදත් රංගගත වන්නේ? මනමෙ නරඹා, 1956 නොවැම්බර් 6 වන දා ලංකාදීප පුවත් පතෙහි වග තුග තීරයට ලියමින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසින් මනමෙ නාටකය හඳුන්වා දී තිබුණේ ' අභිරංගනයක් ' ලෙසය. ඉන් නොනැවතුණු මානවසිංහයෝ මෙබඳු අනාවැකියක් ද පළ කළහ. Ò මනමෙ අභිරංගනය නැවත නැවතත් බැලීමට සිත් දෙන එකකි. ආචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් තවත් අභිරංගනයක් කල එළි දකීවා! අභිරංගනය ජාතියේ කවදත් පවත්වා ගෙන යා හැකි නාටක විශේෂයක් වනවා ඇත Ò සිංහබාහු නාටකයෙන් මානවසිංහයන් ගේ පළමු ප්‍රාර්ථනය ද, මනමෙ මගින් කවදත් පවත්වා ගෙන යා හැකි අභිරංගනයක් ද බිහිවීම යනු ඔහුගේ අනාවැකිය ද සපල වූ අවස්ථාවක් ලෙස ඉන්ද්‍රචාපට පෙනේ.

නොවැම්බර් 3 වැනිදා මතක සමග ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරින් හමු වූ මහා පුරුෂයෝ වනාහි ජාතියක පිනටම පහළ වන උත්තමයෝ වෙති. එවන් උතුමෝ දුලබයහ. අමරදේව, සරච්චන්ද්‍ර යනු ජාතියේ පිනට ම මෙ සිරිලක ජන්ම ලාභය ලද සදා නොමියෙන මහාර්ඝ කලාකරුවෝ වන්නාහුය. ඔවුන් විසින් ඉතිරි කොට ගොස් ඇති කලා සම්ප්‍රදානයන් ජාතියට ජීවය පිඹින , ජාතිය ජීවත් කරවන මහාර්ඝ නිර්මාණ වේ.

Comments