සිරුරෙන් ඉගිළෙන සිරුර | සිළුමිණ

සිරුරෙන් ඉගිළෙන සිරුර

සීයා මඟදි මියගිය බව කරත්තෙ දක්කගෙන ගිය බූරා දැනගෙන හිටියෙ නෑ. මොකද ඉස්සරහ තිරෙන් එබිල බූරා කරත්තෙ ඇතුළ බැලුවෙ නැති නිසයි. කරත්තෙ ඇතුළෙ අපේ ආච්චි හිටිය හින්දා බූරට එහෙම කරන්ඩ බැරුවයි හිටියෙ. ඉතින් අපි ටවුමෙ ඉස්පිරිතාලෙට ගිහින් සීයාගෙ මිනිය කරත්තෙන් බානකොටයි සීයා මැරිල කියල බූරා දැනගත්තෙ. සීයගෙ මිනිය දැක්ක හැටියෙ බූරා ඇස්දෙක පියා ගත්ත. ආයෙ ඇස් ඇරියෙ නං නෑ.

‘මට මගෙ හාම්පුතාගෙ මිනිය දිහෑ බලන්ඩ බෑ’ බූරා ඇස් වහගෙනම කිව්ව. ඒක ස්වාමි සේවක සම්බන්ධතාවක් උණාට දෙන්න අතරෙ තිබිල තියෙන්නෙ විස්තර කරන්ඩ බැරි එක්තරා සමීප සම්බන්ධතාවක්. මං කොච්චර කිව්වත් බූරා ඇස් ඇරියෙ නෑ. බූරා ජීවත් වෙලා හිටියෙ පැය කීපයයි.

මැරෙන්ඩ කලින් ඔහු හැගීම් දැනීම් නැතුව සිහියක් නැති තත්ත්වයකයි හිටියෙ. සීය මැරෙන්ඩ කලින් ආච්චිට කියල තිබුණ බූරා ගැන විශේෂ යමක්. ‘බූරා ගැන බලා ගන්ඩ. බූරා මට කිසිකෙනෙක් නොකරන ජාතියෙ උදව් කරපු කෙනෙක්’ සීයා එහෙම කියල තිබුණ.

දොස්තර මහත්තය මිනී දෙක පරීක්‍ෂා කෙරුවට පස්සෙ මම එයාගෙන් මෙහෙම ඇහුව. ‘ඔයා දන්නවද? මේ දෙන්න අතරෙ තිබිල තියෙන්නෙ මොන විදිහෙ සම්බන්ධයක් ද කියල. ඒක ඔයාට පේනවද?’

‘මෙයා යුරෝපීයෙක්ද?’ දොස්තර ඇහුව. එහෙම ඇහුවෙ බූර සුද්දෙක් වගේ නිසා.

‘පෙනුමෙන් නං ඒවගේ තමයි’ මං කිව්ව.

‘සූත්තරකාර උත්තර දෙන්ඩ එපා! තමා ළමයෙක්. ඒත් හරි කපටියි. මං ඔයාගෙන් අහපුහම සීයා මැරුණ නේද කියල ඔයා කිව්ව නෑ කියල. ඒක ඇත්ත නෙමේ’ දොස්තර කිව්ව.

‘නෑ. ඒක ඇත්ත. එයා මැරුණෙ නෑ. එච්චර ආදරණීය කෙනෙක් මැරෙන්නෙ නෑ. ආදරේ මැරිල ගියොත් ලෝකෙ බලාපොරොත්තු තියා ගන්ඩ බෑ. මට එච්චර ආදරේ කරපු එච්චර නිදහසක් දීපු කෙනෙක් හුස්ම ටික ගන්ඩ බැරිවෙච්ච තරමට මැරුණයි කියල මට විශ්වාස කරන්ඩ බෑ. හුස්ම නොගන්න එකයි මැරණ එකයි සමාන කරන්ඩ බෑ’ මං කිව්ව.

ඉස්පිරිතාලෙ තිබුණෙ අපේ තාත්තලගෙ ගමට කිට්ටු නගරෙ හින්ද ඒ අයත් ඇවිල්ලයි හිටියෙ. සුදු දොස්තර මා දිහෑ සැකෙන් වගේ බාලාගෙන ඉඳල අපේ බාප්පට මෙහෙම කිව්ව.

‘මේ ළමය එක්කො දර්ශනවාදියෙක් නැත්නම් මොළේ අමාරු කාරයෙක්’

ඔහු වැරදියි. එකක් නෙමේ ඒ දෙකම මට තියෙනව. එක්කො එහෙමයි නැත්තම් මෙහෙමයි කියල ප්‍රශ්න නෑ. මං සොරේන් කර්ක්ගාඩ් (ඩෙන්මාර්කයේ දර්ශනවාදියෙකි) කෙනෙක් නෙමේ.

එච්චර සරල දෙයක් දොස්තරට නොතේරිච්ච එක පුදුමයක්. අපේ සීයා මරුණෙ නෑ කියන එක දොස්තර මහත්තයට තේරුම් ගන්ඩ බැරිවෙච්ච එක මට තේරුම් ගන්ඩ බැරි වුණා. ශරීරය ගැන කල්පනා කළොත් නං ඒක අවසානයි කියල කියන්ඩ පුළුවනි. දෙන්නම ඒක දන්නව. ඒ ගැන රණ්ඩුවක් නෑ. නමුත් ශරීරයට වඩා දෙයක් තියෙනවා. ඒක ශරීරයෙ තිබුණට ශරීරයෙ කොටසක් නෙමේ. ආදරය ඒක හෙළිදරව් කර ගන්නවා. නිදහස ඒකට ඈතට පියාඹන්ඩ අත්තටු දෙනවා.

අපේ සීයා ගෙදර දොරෙයි වතුපිටිවල තිබුණු ඒවගෙයි යතුරු බූරට දීල තිබුණෙ හරිම විශ්වාසෙකින්.

අවුරුදු බොහෝ ගණනකට පස්සෙ මං බොම්බායෙ ජීවත් වෙද්දි බූරගෙ පුතා මාව හොයාගෙන ඇවිත් ඒ යතුරු මට දීල මෙහෙම කිව්ව. ‘ඔයගොල්ලො එයි කියල අපි බලාන හිටිය. ඒත් කිසි කෙනෙක් ආවෙ නෑ. අපි වතුපිටියි, වගා කටයුතුයි බලා කියා ගත්තා; අස්වැන්න සල්ලි කරල තිබ්බා’

යතුරු ආපහු ඔහුටම දෙනගමන් මං මෙහෙම කිව්ව. ‘ඒ හැමදේම දැන් අයිති ඔයගොල්ලන්ට. ගේයි වගාවයි සල්ලියි ඔය ගොල්ලන්ටම අයිතියි. මේවා ගැන මං කලින් දැන ගෙන හිටියෙ නෑ; ඒ ගැන කනගාටුයි. ඒත් අපි කිසිකෙනකුට ආපහු එහෙ ගිහින් හිතෙන් විඳවන්ඩ ඕනැ කමක් නෑ’

මීට කලින් මං කියල ඇති මගෙ කේන්දරේ හදල දෙන්ඩ පොරොන්දු වෙච්ච ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා ගැන. ඒක කර දෙන්ඩ කලින් ඔහු මිය ගිය හින්ද වැඩේ පැවරුණේ පුතාටයි.

ඉතින් පුතත් ප්‍රහේලිකාවෙ පැටලුණා.‘ මේ ළමය වයස විසි එකේදි මැරෙන බව නියතයි. හැම අවුරුදු හතකට සැරයක් ම මෙයාට මරණෙට මුහුණ දෙන්ඩ සිද්ධවෙනවා’ ඔහු කිව්ව .

ඒ හින්ද මගෙ පවුලෙ උදවිය, මගෙ දෙමවුපියො හැම තිස්සෙම හිටියෙ බයෙන්. මං අවුරුදු හතේ චක්‍රයට ළං වේගන එනකොට ඔන්න කට්ටිය බයවෙන්ඩ පටන්ගන්නවා. ඔහු හරි. අවුරුදු හත පැනගෙන යනකොට මට මරණෙ පිළිබඳ ගැඹුරු අත්දැකීමක් ලැබුණ. මං සීයට කොච්චර ළංවෙලා හිටිය ද කිව්වොත් සීයගෙ මරණෙ මට දැනුණෙ මගෙ මරණෙ වාගෙ.

මං මගෙම ළමා විලාසෙකින් මරණයට ළං වුණා. මං දවස් තුනක් එක දිගට නොකා නොබී හිටියා.

කෑවොත් බීවොත් පාවාදීමක් වෙයි කියල මට දැනුනෙ. මට ජීවත් වෙන්ඩ ඕනැ උණේ නෑ. ඒක බොළඳයි. නමුත් ඒ ඔස්සෙ හරිම ගැඹුරු දෙයක් සිද්ධ වුණා. මං දවස් තුනක් ඇදෙන් බැස්සෙ නෑ.

මං මැරුණෙ නැතත් ඒ දවස් තුන මට මරණාසන්න අත්දැකීමක් ළං කළා.

ලබන සතියට

අදහස්