සද්දන්තයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින සිත්තරා පුන්සර උදාර | සිළුමිණ

සද්දන්තයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින සිත්තරා පුන්සර උදාර

මේ අපුර්ව සිතුවම් ශිල්පියා ගාල්ල දිස්ත්‍රිකයේ තෙල්ලඹුර ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූවෙකි. කුඩා කල පටන් ජන්මයෙන් උරුම වූ නිසග හැකියාව නිසාම සිතුවම්කරණයට යොමූ වූ හෙතෙම එය තවදුරටත් ඔප්නංවා ගැනීම පිණිස කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එකතුවන්නේ ය. දෘශ්‍ය කලා පීඨයෙන් චිත්‍ර කලාව පිළිබඳ විශේෂවේදී ප්‍රථම පන්ති ගෞරව සාමර්ථ්‍යයක් සහිතව උපාධිය සමත් වන හෙතෙම අනතුරුව සාමූහික ප්‍රදර්ශන 12කට පමණ නිර්මාණ දායකත්වය සපයා ඇත. නමින් පුන්සර උදාර නම් වන මේ අපූර්ව සිත්තරා ‘අලි මිනිස් ගැටුම’ කේන්ද්‍ර කරගනිමින් “සද්දන්ත” නමින් සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී. මේ ඒ පිළිබඳව අප කළ කතාබහකි.

යුරෝපිය කේන්ද්‍රීය ව සලකා බලද්දී ස්වභාවික කලාව කැමරා ඔබ්ස්කියුරාව සොයා ගැනීමත් එක්ක අභාවයට යනවා. ආත්ම ප්‍රකාශන ශක්තියෙන් ඌනයි කියල වර්තමාන සිත්තරු බොහෝදෙනෙක් ප්‍රතික්ෂේප කරමින් ඉන්න ස්වභාවවාදයට නැති නම් තාත්විකත්වය වෙත ඔබ නැඹුරුවීමේ අරමුණ කුමක්ද?

ස්වාභාවික ව වැඩෙමින් ආ චිත්‍ර කලාව කාර්මික විප්ලවය සමඟ ඇති වූ කැමරාව නිසා කිසියම් වෙනසකට ලක් වූ බව සත්‍යයක්. ඒත් එක්ක ම මේ නව අභියෝගය ජයගැනීම සඳහා බොහෝ සිතුවම් ශිල්පීන් උත්සාහ කළා.

එහි ප්‍රතිඵලයක් විදියට කැමරාවෙන් ග්‍රහණය කරගන්න දෘශ්‍ය සීමාවට එහා ගිය යමක් චිත්‍රය තුළට ගේන්න ඔවුන් සමත් වුණා. එහි මූලික අවස්ථාවන් උපස්ථිතිවාදී හා පශ්චාත් උපස්ථිතිවාදය ගුරුකොට ගනිමින් වර්ධනය වූ සිතුවම් ශිල්පීන් පරපුර අධ්‍යයනය කිරීමෙන් වටහා ගන්න පුළුවන්. ඔවුන් කළ නිර්මාණ පිරික්සීමේ දී එය හොඳින් ම අවබෝධ වෙනවා. ඩාවින්චි, රෆායල් වැනි මුල්කාලීන සිත්තරුන් පින්තාරු කිරීම සඳහා යොදා ගත්තේ සුමට මටසිළුටු මතුපිටක්. ඒ වෙනුවට පෝල් සෙසාන්, වින්සට් වැන්ගෝ වැනි සිතුවම් ශිල්පීන් රළු බුරුසු පහරවල් උපයෝගී කර ගනිමින් තම ප්‍රකාශනය කියාපාන්න ප්‍රයත්න කළා. මේ ආත්ම කථනය ටිකෙන් ටික වර්ධනය වෙමින් පැහැදිලිව හදුනාගත හැකි රූප බොඳවී ගොස් ආරූපික චිත්‍ර හෙවත් ඇබ්ස්ට්රෑක්ට් කලා සම්ප්‍රදාය බිහි වෙනවා.

ඝනිකවාදය, ඩඩාවාදය, පශ්චාත් නූතනවාදය දක්වා විවිධ ෂානර ඔස්සේ මේවා වර්ධනය වෙනවා.

මේ හැම ශානරයක ම දකින්න ලැබෙන්නේ සත්තාව පිළිබඳ ව සිය භාවයන් ආත්ම ප්‍රකාශනයක් ආශ්‍රයෙන් මුදාහැරීමයි. මම හිතන්නේ ස්වභාවවාදය තුළිනුත් මේ සත්තාව දෙස ගැඹුරින් බලන්න පුළුවන් කියලයි. මම මේකට නැඹුරු වෙන්නෙම ඒ අර්ථයෙන්.

ඔබේ මේ “සද්දන්ත” කියන ප්‍රකාශනය දිහා බලද්දි මේ ස්වභාවවාදය තුළින් සත්තාවට නැඹුරු වෙන්න ගත්ත උත්සාහය පැහැදිලියි. අපි ඒ එළඹුම ගැන පොඩ්ඩක් කතා කරමුද?

ශිල්පීය හැඳුනුමේදී මෙය ස්වභාවවාදයට අයත් ප්‍රකාශනයක් විදියට සැලකුණත්, මේ නිර්මාණ හුදෙක් ස්වාභාවිකත්වය එලෙසින්ම පිටපත් කිරීමක් ම කියල කියන්න බැහැ.

පවතින මුල් ස්වරූපය පැහැදිලිව පෙනෙන පරිදි ඉස්මතු කරමින් වර්ණ හා රේඛා ශිල්පක්‍රම මඟින් නව අර්ථකථනයක් ලබාදී තිබෙනවා. මේ සඳහා මම මූලික වශයෙන් රේඛාව තුළ තිබෙන භාවවාදී ගුණය විවිධ තානයන් ඔස්සේ රිද්මයානුකූල ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. මේ සඳහා තේමාව කර ගත්තේ වත්මනෙහි මටත් අපේ සමාජයටත් ප්‍රබල ව දැනෙන කරුණක්. ඒ තමයි අලි මිනිස් ගැටුම. මේ සද්දන්තයන්ට අපේ රටේ අතීතයේ සිට ම නොයෙක් විදියේ කෙණෙහිලිකම්වලට හා අසාධාරණයන්ට මුහුණ දෙන්න සිදු වූණා. නමුත් ඔවුන්ගේ හඬ කාටද ඇහෙන්නේ. කවුරුද අහන්නේ. කාලයක සිට තම නිජ බිමේ උරුමය පතා අරගලයක නිරතව සිටින මේ සද්දන්තයන් සම්බන්ධ ශෝකජනක සිදුවීම් ගණනාවක් මාධ්‍ය ඔස්සේ එක පිට එක අසන්නට දකින්නට ලැබුණා. අතීතයේ “අලින්ගේ දිවයින (Elephant Island)” නමින් අපේ රට හඳුන්වා දී තිබුණා. නමුත් වර්තමානයේ හැමතැනම ඇසෙන්නේ මේ හා සම්බන්ධ එවැනි සතුට දනවන පුවත් නෙමෙයි. ඉතා ශෝක ජනක ප්‍රවෘත්ති. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අලීන් මුහුණපා තිබෙන ඛේදවාචකයේ බරපතළකම අපිට පේනවා. මම බොහෝ දවස්වල මේ ගැන හිතමින් කම්පා වුණා.

ඔවුන් සමඟ තිබූ අපේ අනන්‍යතාවත් මේ නිසා හීන වී යන සංකල්පයක් බවට පත්වෙලා නේද කියලත් මට හිතුණා. මනුෂ්‍යයකු ලෙස මා ලද ඒ කම්පනය පසුව මගේ ශිල්පීයමය මැදිහත් වීමත් සමඟ වෙනස් ප්‍රතිඵලයක් බවට පත් වුණා. අපි ගත්තොත් ලෝකයේ අනෙකුත් රටවල විශේෂයෙන් යුරෝපයේ දියුණු රටවල වනජීවීන් සංරක්ෂණය හොඳින් සිදු වනවා. ඒ හා බැඳුණු සිතුවම් කලාවක් ද ඉතා දියුණු මට්ටමකට පෝෂණය වී තිබෙනවා. ඩේවිඩ් ෂෙපර්ඩ් (David Shepherd) කියන්නේ එකී අභාසයෙන් ලොව තුළ සිය අනන්‍යතාව සහතික කළ නිර්මාණ කරුවෙක්. නමුත් තාමත් අපි එතෙන්ට ඇවිත් නැහැ. මේ හේතුවත් මගේ වෑයමට එක් හේතුවක්. ඒ වගේම අපේ අනන්‍යතාව ලොවට හඬගා කියන්න මේ සද්දන්තයන් අනාගත සමාජට සුරක්ෂිතව උරුම කර දීම අපි සතු විශාල වගකීමක්. ඒ සඳහා සුළු පමණකින් හෝ දායක වෙන්න මම උත්සාහ දරා තිබෙනවා.

නමුත් මේ වන විට විවිධ මාධ්‍යයන් මඟින් අලි මිනිස් ගැටුම ගැන ඕනෑ තරම් කතා කරනවා. ඔබේ මැදිහත්වීම ඉන් වෙනස් වන්නේ කොහොමද?

මේ ගැටලුව විවිධ මාධ්‍යයන් ඔස්සේ නිතර කතාබහ කළාට එය සාමාන්‍යකරණය වීම පමණයි සිදු වී තිබෙන්නේ. එසේ නැතිව ජනතාවට දැනෙන ආකරයේ කම්පනයක් ඒ තුළින් සිදු වී නැහැ. මෙය එය එක් අතකින් අපේ සමාජයේ මානවීය ගුණයන් පිරිහී යෑම පිළිබඳ හොඳ නියැඳියක්. එනිසා මම උත්සාහ කරන්නේ ඔවුන් තුළ මෙන්න මේ කම්පනය ඇති කරන්න. අලි බැලිල්ලෙයි බලි බැලිල්ලෙයි කෙළවරක් නෑ කියල කියනවනෙ, ඒ නිසා මං උත්සාහ කළේ මේ කෙළවරක් නැති බැලිල්ල කැන්වසයට ගේන්නේ කොහොමද කියලා. ගොඩාක් වෙලාවට අලින්ව live sketch කරල අදින්න මම උත්සාහ කළේ ඒ නිසයි. මේ ඇදපු අලි ඔක්කොම කොහේ හරි නිශ්චිත ව ජීවත්ව ඉන්න අය. මේ එකකුට එකෙක්ගෙ හැඩයන් වෙනස්.

මම දුඹුරු පාට සායම් යොදාගෙන ඇඳපු සිතුවමේ ඉන්නෙ කලා වැව නීල කියන ඇතා. මේ සත්ත්ව රූප භාව රූපී ලෙස සිතුවම් පෙළක් මඟින් ඉදිරිපත් කිරීම තමයි මගේ වෑයම. මට අවැසි අභිප්‍රේරණය මූලික වශයෙන් සපයනුයේ සොබාදහමයි. සොබාදහමේ අපූර්ව නිමැවුමක් වන හස්තියාගේ විවිධ රූපකාය, හැඩය, රේඛාව මඟින් මායාවී තාත්ත්විකත්වයකට රැගෙන එමින් කිසියම් භාවමය හැඟීමක් ලබාදීමට මම වෑයම් කරනවා. ඔවුන්ගේ නොයෙක් ඉරියව්, ඉංගිත මා මේ සඳහා යොදා ගන්නවා. ඔවුන්ගේ කන්වලින් පවා ඔවුන්ගේ දිවියේ යම් යම් අවස්ථාවල දී ඔවුන් මුහුණ දී තිබෙන අත්දැකීම් ඉඟි කරනවා. මේ හරහා මම උත්සාහ කරන්නේ මේ සතුන් පිළිබඳ ආකල්පය වඩා සංවේදී තැනකට රැගෙන එන්නයි. ඒක එක ප්‍රවෘතියකින් වචනයකින් කරනවට වඩා බැරෑරුම් කටයුත්තක්.

වර්තමානයේ දෘශ්‍ය මාධ්‍ය කලාවක් ලෙස චිත්‍රකලාව හමුවේ තිබෙන අභියෝග මොනවද?

වර්තමානයේ ලාංකේය චිත්‍ර කලාව ගතහොත් ලෝකයේ සෙසු රටවලට විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවට සාපේක්ෂව වර්ධනීය වේගය හීන මට්ටමකයි තිබෙන්නේ. මෙය භාවිතයේ පවතින්නේ කොළඹ නගරය කේන්ද්‍රීය ව පමණයි. එහි කිසියම් වර්ධනීය ස්වරූපයක් මේ තුළ දකින්න පුළුවන්. සංගීතය, නර්තනය වැනි කලා මාධ්‍යය ඉදිරිපත් කිරීමට බොහෝ අවස්ථා නිර්මාණය වී තිබුණත්, දෘශ්‍ය කලාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නැහැ. එය රටක සංස්කෘතික වර්ධනයට හිතකාරී නැහැ. අගනගරයේ වගේම අනෙකුත් නගරවලත් කලාගාර ඉදිවෙන්න ඕන. ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕන. රටක් දියුණු වෙන්න නම් ඒ රටේ භෞතික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් දියුණු වෙන්න ඕන. අපට අද ඉන්න බොහෝ නිර්මාණකරුවන් කොළඹ කේන්ද්‍රීයව ජන්ම ලාභීන් නොවුණත්, ඔවුනුත් කේන්ද්‍රගත වන්නේ කොළඹ නගරයේමයි. ඒක වැරැද්දක් කියනව නෙමෙයි. නමුත් අඩුම තරමින් තමන් ඉපදුණු ග්‍රාමයට අයත් නගරය තුළ හෝ කලා සංස්කෘතික පසුබිමක් ගොඩනඟන්න ඔවුන්ටත් වගකීමක් තිබෙනවා. ඔවුන්ට ඒ ප්‍රදේශවල ජනතාවගේ අනුග්‍රහය ලබාගන්න පහසුයි. එමඟින් ඔවුන්ට පුළුවන් මේ රටේ ඇතැමුන් තුළ මුල් බැස පවතින පසුගාමී චින්තනය වෙනස් කරන්න. එය සිතුවම් ශිල්පියාට පමණක් නොවෙයි කලාකරුවන් හැමදෙනාට ම අභියෝගයක් ව පවතිනවා. මෑත කාලයේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍යය තුළ ද්‍රෘෂ්‍යකලා මාධ්‍ය හා සෙසු කලා මාධ්‍ය කෙරෙහි යම් සාධනීය කතිකාවක් සංවාදයක් ඇති කර තිබෙනවා. එය පැසසිය යුතු කාරණයක්. විද්‍යත් මාධ්‍ය තුළත් අනෙක් ප්‍රසංග කලාවන් වන සංගීතය, නර්තනයට, සිනමාවට, සාහිත්‍යට ලබාදෙන අනුග්‍රහය සිතුවම් කලාවටත් කිසියම් පමණකට හෝ ලබාදීමට උත්සාහ කළොත් ඒක සාධනීය පියවරක් වේවි. ඒවගේම සිතුවම් කලාව රසවිඳින්න කැමති හැමෝට ම එක දෙයක් මං කියන්න ඕන. සිතුවම් කලාව කෙනෙක්ට හරියටම රසවිඳින්න ඕන නම්, සීගිරි කලාගාරයට ගිහින් එය රසවිඳිනවා වගේ ඒවා පැවැත්වෙන ස්ථානයට පැමිණ නරඹන්න. නැතිව මුද්‍රිත හෝ වෙනත් කිසියම් මාධ්‍යක සිතුවම් දුටුව පමණින් එහි නියම රසය විඳින්න බැහැ. ඒක එතනට ගිහින් ම බලන්න ඕන. ඒක වෙනත් කිසිම මාධ්‍යයකින් ගන්න බැරි සජීව අත්දැකීමක්.

 

 

Comments