මගේ කිලුටු පොත් අතර සිටි නොකිලිටි ලේඛකයා යළි මුණගැස්වූ අබය මුද්‍රාව | සිළුමිණ

මගේ කිලුටු පොත් අතර සිටි නොකිලිටි ලේඛකයා යළි මුණගැස්වූ අබය මුද්‍රාව

මා සතුව පොත් දෙවර්ගක් ඇත.එක් වර්ගයක් නම්, දීප්තිමත් පොත් ය. අනෙක, කිලිටි පොත් ය. දීප්තිමත් පොත් නම්, පළමු පිටු කිහිපය හැරෙන විට සෙසු කිසිදු පිටුවක් දෑතේ ගැටී අපිරිසුදු නොවුණු, නැවුම් පුසුඹින් හා දීප්තියෙන් යුත්, එහෙත් කොළවල වටිනාකම හැරෙන විට වෙනත් කිසිදු වටිනා කමක් නැති පොත් ය. මේ සියල්ල මට ලැබී ඇත්තේ පරිත්‍යාග වශයෙනි. (පරිත්‍යාගශීලී මිතුරෝ මා කෙහෙහි කමත්වා)

මේ අතර, නො එක් වර මා සුරතේ ගැටීම නිසා දුර්වර්ණ වූ ද, තැන් තැන්වල ඉරි ඇඳීම නිසා අපිරිසුදු වූ ද, පිටු ඇති පොත් ගොන්නත් ද මා සතු ව ඇත. කිලිටි පොත් වශයෙන් යට දක්වන ලද්දේ මේවා ය. අපමණ රස අරුතින් හා නොකිලිටි දැක්මෙන් සමන්විත මා සතු මේ කිලිටි පොත් වැඩි හරියක හිමිකරුවා වනාහී, අප ජීවත් වන යුගයේ අප සමඟ ජීවත් වන මහා ලේඛකයකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ය.

පළමු වරට මා ආචාර්ය අබේසිංහයන් දුටුවේ ඔහුගේ වනපස මලක් වෙමි නම් වන ගීත සංග්‍රහයේ එන දීර්ඝ පෙරවදන තුළ ය. එ් පෙරවදන විසින් අපට මතක් කර දෙන්නේ, පොතක පිටු අකර සැඟවී ළබඳි මිනිසෙක් සිටින බව ය.

ඒ ලියැවිල්ල විසින් මා තුළ ජනිත කළ අපමණ වශීකෘත භාවය ඔස්සේ අබේසිංහ ලිවි සයුරේ බොහෝ දුර මම ඇවිද ගියෙමි. ඒ හැම තැනෙක දීම මම අමුතු මිනිසෙක් දුටුවෙමි. අපමණ සහෘදයභාවයෙන් හා අදීන චින්තනයෙන් යුත් නාම කායෙන් පමණක් මා දුටු, ඒ අභිමානවත් ලේඛකයා පසු කලෙක රූප කායෙන් හඳුනා ගැනීමට මට හැකි වූයේ, මා නිරත ව සිටි රූපවාහිනී සන්නිවේදන කලාව තුළ ය.

බොහෝ කලකට පසු ව, ඉකුත් සතියේ දිනෙක මට අහම්බෙන් මෙන් අබේසිංහයන් යළිත් මුණගැසිණි. ඒ චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා උදේනි සරත්චන්ද්‍ර දෙපළ විසින් සංස්කරණ කෙරුණු අබය මුද්‍රාවේ ය. එය නම් කොට තිබුණේ ‘ඩබ්ලිව් ඒ අබේසිංහගේ සමාජ සාහිත්‍ය මෙහෙවර‘ වශයෙනි.

අක්‍ෂර භාවිතයෙන් ලියූ පිටු 510ක් හා වර්ණ ඡායාරූප පිටු 40ක් පුරා සටහන් ව තිබූ අබය මුද්‍රාව තුළ මා දුටුවේ, ගැඹුරු නදියක පතුළ දක්වා විහිදුණු නිශ්ශබ්දතාවේ දෝංකාරයයි. අනන්ත රහසිගත රේඛා ඇති නොසෙල්වෙන තියුණු ජල තලාවක් පරිදි ම, තියුණු ලේඛකයකුගේ ජීවන නදිය ද විචිත්‍ර ය.

මට දැනෙන පරිදි මෙහි ඇත්තේ ඒ විචිත්‍ර මිනිසා පිළිබඳ ආස්වාදකර කතාව ය. ඒ කතා පුවත විමසා බැලීම කරුණු කිහිපයක් නිසා ඉතිහාසයට වැදගත් වෙතියි කල්පනා කරමි.

ඉන් පළමු වැන්න නම්, කුශාග්‍ර ලේඛකයකු බිහි වන සමාජ සාරභූමිය පිළිබඳ නිරවුල් චිත්‍රයක් අබය මුද්‍රාව පසුබිමේ ඇඳී තිබීම ය.

පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් ඇටියාවල ගමෙහි ඉපිද, සත් කෝරළයට ම අයත් මඩකුඹුරුමුල්ල නම් කුඩා ග්‍රාමවරයේ ˘ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ ළමා කාලය ගෙවිණ. ඔහු විසින් අවශෝෂණය කරන ලද්දේ පොත පතින් බැහැර ව හමා ගිය සොබා දහමේ ගුප්ත දැනුම ය. අබය මුද්‍රාවේ සම සංස්කාරක චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් අනු ඛණ්ඩ තුනක් යටතේ පෙළගස්වා ඇති ‘අබේසිංහ ලිවිසැරියේ මුල් පිය සටහන්‘ හිසින් එන ලිපිය වනාහී අබේසිංහයන්ගේ මතකාවර්ජන සායමින් ඇඳි 1940 - 50 දශකවලට අයත් සාතිශය සුන්දර ගමක් පිළිබඳ වන, අතීතකාමය අවුළුවන චිත්‍රයකි.

“මඩකුඹුරුමුල්ල ගමේ සිට වීරඹුව පාසල තෙක් දුර සැතපුම් එකහමාරකට වැඩි වුණත් අඩු නොවෙයි. ඒ මුළු දුර කුඩා අප පයින් ඇවිද ගෙන යා යුතු ව තිබුණි. ඒ ගමන නිම කිරීමට කුඹුරු යායක් පසුකර ඇලකින් ද එතෙර ව වී යා යුතු ව තිබුණි. ඇල තරණය කිරීමට ඒදණඩක් යොදා තිබුණි.“

කුඩා අබේසිංහයන් තුළ පැවති ජන්මාන්තරගත ප්‍රතිභාග්නිය ඒ සුළඟින් ඇවිළ යන සැටි මේ පොතේ පෙදින් පෙද දක්වා ඇත.

කාලයේ නාය යෑම් හමුවේ බිඳ වැටුණු ඒ ගමත් ගැමි ජීවිතයත් පිළිබඳ අපට වඩා ශෝකයක් ඇත්තේ එය අත්විඳි මිනිසකුට ය.

“අප කවුරුත් ආඩම්බරයෙන් කතා කරන සත්කෝරළයේ පුංචි ගමක ජීවත් වන මට, මගේ ළමා කාලය සොඳුරු සිහිනයක් සේ මතක සිත්තමෙහි ඇඳී යළි මැකී යයි.ඒ සිහිනය තුළ ගුලි වෙමින් මම සිත වංචා කරන්ට වෑයම් කරමි. එහෙත් මගේ දරුවන්ට අපේ ළමා වියෙහි වූ සුන්දරත්වය දායාද කරන්නට මා ඇතුළු බොහෝ දෙමාපියෝ මෙසමයෙහි අසමත් ව සිටිති. සැබවින් ම මගේ දරුවන් තිදෙනා හිඹුටු කැලයක්වත් දැක නැත. රැහැයි හඬ වුව ඔවුනට ඇසී ඇතැයි මම නොසිතමි.“

ආචාර්ය අබේසිංහයන්ගේ පරම්පරාවට විභාගවලින් කුරුවල් නො වූ අසිරිමත් ළමා කාලයක් විය. ජීවිතයේ සැඳෑ සමයේ මතක ඇස් වලින් දකින්න ඔවුනට ඇති ඒ සිහිනයවත් වර්තමාන දරුවකුට නැති බව ද ඒ සමඟ ම කිව යුතුය.

මේ කෘතියෙහි ඇති සමාජීය වටිනාකම නම් අපේ අධ්‍යාපනය තුළ විශිෂ්ට බුද්ධිමතුන් බිහිකරන උල්පත් වැසුණු තැන් සොයා ගැනීමට අපේ සමාජයට උදව් පදව් සපයා තිබීම ය.

බොහෝ පණ්ඩිතයන් හාස්‍යටත් ඔලොක්කුවටත් කියන අධ්‍යාපනයේ ගිරා සම්ප්‍රදාය හෙවත් කට පාඩම් අධ්‍යාපනය බිඳ වැටුණේ යම් තැනෙක ද අපගේ අධ්‍යාපනයේ කඩා වැටීම ආරම්භ වන්නේ ද එතැනිනි.(මහාචාර්යවරුන් ලබා දෙන සටහන් කටපාඩම් කිරීම මේ කාණ්ඩයෙහි ලා නොගැනේ) අබේසිංහ බීජය රෝපණය වන්නේ මෙරට විශිෂ්ට ප්‍රාවීණ පඬිවරුන්ට පසුබිම් වූ එකී සරු මහ පොළොව මත ය.

’‘ගුත්තිලයත් උමංදාවත් අපට ඉගෙන ගන්ට ලැබුණේ හය වැනි පන්තියේදීය. ඇටියාවල පිරිමි පාසලේදී හයේ පන්තියේ සිප් සතර ලැබූ අපට, සම්පූර්ණ උම්මග්ග ජාතකය, සම්පූර්ණ ගුත්තිල කාව්‍යයත් ඉගෙන ගන්න සිදු වූවා පමණක් නොව, පන්සිය එකොළහක් වූ ගුත්තිලයේ කවි සියල්ල ම සිංහබාහු මහත්තයට කටපාඩමින් පාඩම් දෙන්ට ද සිදු විය. එපරිදිම මුළු ලෝවැඩ සඟරාව ම වනපොත් කොට අප විසින් පාඩම් දෙන ලද්දේ පහේ පන්තියේ දී ය.

ආචාර්ය අබේසිංහ වනාහි, නොව පැරණිය වන රමණිය වර්ගයේ පැරණි බුද්ධිමතෙකි. එවන් මිනිසුන්ගේ ළමා කාලය තුළ දක්නට ලැබෙන සුවිශේෂය නම් අද මෙන් කඩිමුඩියේ ඉගෙන ගන්න, වෙනත් අයුරකින් විභාග දියේ පිනුම් ගහන්න හදිසියක් ඔවුන් කෙරෙහි නොවූ බවයි. එයට හේතුව නම් සැබෑ අධ්‍යාපනයේ දිග පළල තේරුම් ගත් ගුරුවරයෙක් එකල ගුරු ගෙදර ඔවුන් පසුබිමේ විරාජමාන වීමය. පසු කලෙක ඒ ගුරුවරයාත් ගුරු ගෙදර කැණි මඬලත් කඩා වැටිණ. එසේ නොවන්නට අබේසිංහ පරම්පරාව අවිච්ඡින්න වන්නට තිබිණි.

ගැඹුරු ලේඛකයකුගේ ජීවිතය පසුබිමේ තබා ගනිමින්, එහි එක් එක් පරිච්ඡේද ප්‍රබුද්ධ මිනිසුන් විසින් විමසා බැලෙන විසල් ග්‍රන්ථයක සාරාර්ථ මෙබඳු කුදු ලියැවිල්ලකට හසුකර ගත හැකි වෙතැයි මම නොසිතමි. එසේ වුව ද, සියලු ලේඛකයෝ “ඩබ් ඒ අබේසිංහ ගේ සමාජ සාහිත්‍ය මෙහෙවර” යන උදාරම් හැඳින්වීමට සාකල්‍යයෙන් ම උචිත වන පරිදිම, සියුම් විමසුම් නුවණින් තමන්ගේ ලිපි රචනා ඉදිරිපත් කර තිබේ. පත් පොත් සිය ගණනක් ලිපි ලේඛන දහස් ගණන් පුරා විසිරුණු අබේසිංහ චින්තනය කුළුගැන්වෙන පරිදි උචිත ම උපුටා ගැනීම් අබය මුද්‍රාවේ සංගෘහිත ව ඇති බව අබය මුද්‍රාවේ ලේඛක මණ්ඩලය කෙරෙහි වන ගෞරවයෙන් කිව යුතුය

ආචාර්ය අබේසිංහ සිතුවමේ අප පෙර දැක තිබූ තද පැහැයෙන් සටහන් ව ඇති සලකුණු දෙකක් අබය මුද්‍රාවේ දෙතැනක මුණගැසිණි.

ඔහු මත පළමු සලකුණ තබන්නේ උඩකැන්දවල සරණංකර හිමියන් ය.

‘මිනිහා නිකම් ම මිනිහෙක් නොවී සිය සහෝදර ජනතාවට හොඳ ජීවිතයක් ලබා දීමට වෙහෙසෙන මිනිහෙක් වීමයි අවශ්‍ය. ඔබ සතු ලේඛන කුසලතාව ජනතාව වෙනුවෙන් කැප කරන්න.

දුහුනන් හට දන් පැන් දී යන කෙටි යෙදුමෙන් දෙවැන්න පෙන්වා දෙන්නේ අපේ රඹුකක සිද්ධාර්ථ හිමියන් ය.

ඇතියාවල නමැති රමණීය උල්පතින් මතු ව, ඉංග්‍රීසි පුහුණු ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කොට, නිර්මාණ සාහිත්‍ය හා විචාර කලාව, පරිවර්තනය, පුවත්පත් කලාවේදය, නීතිය හා පරිපාලනය, දේශපාලනය වැනි අනේකප්‍රමාණ මං මාවත් මත පිය හසර තබා ආ ආචාර්ය අබේසිංහයන්ගේ සුන්දර වූත්, වෙහෙසකර වුත්, දිවි පවත අසිරිමත් අන්දරයකට ගොනුකර ඇති අබය මුද්‍රාව වූ කලී, ලේඛක ලේඛිකාවන් පනස් දෙනෙක් පමණ හවුල් කර ගනිමින් කළ ක්‍ෂුද්‍ර කාව්‍යයකැයි අන්තිම වශයෙන් මට සිතේ.

Comments