සිංහලෙන් ව්‍යවස්ථාව කියවාගන්න බැරි අයටයි මේ ප්‍රශ්න | සිළුමිණ

සිංහලෙන් ව්‍යවස්ථාව කියවාගන්න බැරි අයටයි මේ ප්‍රශ්න

ජනාධිපතිතුමාගේ තීන්දුවෙන් පසු විදෙස් ජනමාධ්‍ය ඒ සම්බන්ධව නොයෙක් වාර්තා පළ කළා. ඒ වාර්තාකරණය ඔබ අර්ථ නිරූපණය කර ගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව බලයට ආ විගසම 2015 වසරේදී දැක ගන්නට පුළුවන් වුණා, පැවැති ආණ්ඩුවට එරෙහිව තිබූ ජාත්‍යන්තර මතය විශාල වශයෙන් වෙනස් වුණු අන්දම. කලාපීය වශයෙන් මෙන්ම යුරෝපය ඇතුළු සෙසු රටවල ලංකාව කෙරෙහි පැවති ආකල්පය වෙනස් වුණා. මේ වෙනස් වීමට හේතුව වුණේ ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පවලින් යුක්තව කටයුතු කිරීම. ඒ වගේම ජනාධිපතිතුමා නොබැඳි පිළිවෙත කරා ගමන් කිරීමත් එහිදී වැදගත් වුණා. මින් පෙර පැවති ආණ්ඩුවට තිබූ ප්‍රබල චෝදනාවක් වූයේ චීනයට වඩාත් ලැදි ප්‍රතිපත්තියක සිට කටයුතු කළ බවටයි.

මේ තත්ත්වය 2015 රජය බලයට පැමිණි විගසම එහෙම් පිටින් ම වෙනස් කිරීමට හැකියාව ලැබුණා. එහෙත් අද වෙලා තිබෙන්නේ අපේ රට චීනය පැත්තට ගිහිල්ලවාත්, ඉන්දියානු විරෝධී වෙලාවත්, බටහිර විරෝධී වෙලාවත් නෙමෙයි. කාගේවත් මානව හිමිකම් කැඩිලා නෑ. කිසිම විදිහකින් ජනවාර්ගිකත්වයට ආසාධාරණයක් වන ප්‍රතිපත්තිමය ක්‍රියාදාම ආණ්ඩුව අනුගමනය කරන්නේ නෑ.

හේතුව තමයි පැවති රනිල් වික්‍රමසිංහ රජය බටහිර හිතවාදී රජයක්. ඊට පෙර රජය චීන හිතවාදී කිව්වා වගේම මේ පැවැති රජය බටහිර හිතවාදී රජයක්. එ් නිසා එම රජය මේ විදිහට බලයෙන් පහවීම නිසා බටහිර යම් යම් දේශපාලන කේන්ද්‍රයන්ට හිත් රිදවීමක් ඇති වී තිබෙනවා.

හැබැයි බටහිර මතය මේ විදිහට පොලිෂ් කරන්නේ එහේ ඉන්න මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි. සමහරු මෙහේ සිට බටහිරට තොරතුරු ලබා දෙනවා. මම නම් වශයෙන් දන්නවා විවිධ මාධ්‍යවේදීන් අපේ තානාපති කාර්යාලවලට කතා කරනවා. ඔවුන් කියනවා ලංකාවේ මාධ්‍යවේදීන්ගේ නම්. එහෙම කියමින් ඔවුන් තානාපති කාර්ය­ාලවලින් විමසනවා. එ් අය තමයි අපට මූලික තොරතුරු ලබා දුන්නේ කියනවා. ඒ නිසා අපේ තානාපති කාර්යාලවලින් විමසනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මෙහෙන් තමයි බටහිරට තොරතුරු ලැබෙන්නේ. ඒ නිසා බටහිරට ඉස්සෙල්ලා, විදේශීය මාධ්‍ය අපේ රටට විරුද්ධව යමක් ලියනවා නම් ඊට පෙර ඒ වගකීම පැවරිය යුත්තේ ලංකාවේ සිට මේ ලියන සහ තොරතුරු සපයන අයටයි.

වගකීම් විරහිතව බොහෝ අවස්ථාවල මේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කරන බව පෙනෙනවා.

විදෙස් රටවල මීට පෙර මෙවැනි බල හුවමාරු සිදුවූ අවස්ථා බොහොමයක් තිබෙනවා නේද?

විදෙස් රටවල එවැනි බල හුවමාරු ඕනෑතරම් සිදු වී තිබෙනවා. බෙල්ජියමේ ආණ්ඩුවක් නැතිව අවුරුදු ගාණක් තිබ්බා. ජර්මනියේ ආණ්ඩුවක් නැතිව මාස පහක් තිබ්බා. උතුරු අයර්ලන්තයේ ආණ්ඩුවක් නැහැ. එවැනි තැන් ගැන කිසිම ප්‍රවෘත්තියක් පළ වන්නේ නැහැ. බටහිර සහ එක්සත් ජනපදය ඇතුළු සෙසු රටවල් මේ දිහා බලාගෙන ඉන්නේ ඉන්දියාව ආසන්නයේ අප පිහිටලා තිබෙන නිසා චීනයත් සමඟ අපි වැඩිපුර සම්බන්ධ වුණොත් කලාපීය වශයෙන් චීනය අපේ රට පාවිචිචි කරයි කියන අනියත බිය නිසයි. ඇත්තට ම එහෙම බිය වීමට අයිතියකුත් ඒ අයට තිබෙනවා. මම නැහැ කියනවා නෙමෙයි. එහෙත් යථාර්ථවාදීව එසේ විය නොහැකියි. හේතුව අමෙරිකාවත් චීනය සමඟ විශාල වශයෙන් ගනුදෙනු කරනවා. චීන මුදල් ට්‍රිලියන හයක් පමණ සංසරණය වන්නේ අමෙරිකාවේ. පසුගිය ආණ්ඩුව චීනය සමඟ වැඩි සම්බන්ධයක් තිබ්බේ නැහැ තමයි. ඒත් සම්බන්ධයක් නැහැ කිව්වට හම්බන්තොට වරාය චීනයට දුන්නා. ඒ බටහිරට පක්ෂපාත රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව. එතකොට පෝට්සිටි එකට විරුද්ධව කතා කරලා පසුව පෝට්සිටි එක චීනයට ම පවරා දුන්නා. හැබැයි ඒ පවරා දුන්නට ඔවුන්ගේ බටහිර හිතවාදී ආකල්පය නිසා ඔවුන් හිතනවා ඇති ඔහු බලයෙන් පහවී ගියාට පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා චීනය පැත්තට තල්ලු වේවි කියලා.

මේ බල පෙරළිය ගැන එන්ඩීටීවී නාළිකාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙනවා. එහිදී එහි නිවේදකයා බොහොම පැහැදිලිව අහනවා මේ බල පෙරළියට චීන රජයේ අත පෙවීමක් තිබෙනවාද කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙන උත්තරය තමයි ‘එහෙම චීන රාජ්‍යයේ අත පෙවීමක් මේකට තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ‘ කියලා. මම ස්තූතිවන්ත වෙනවා ඒ උත්තරයට. හැබැයි එතුමාගෙන් අහනවා ප්‍රශ්නයක් ජනාධිපතිතුමා කැබිනට්ටුවේදී ඉන්දියන් රෝ ඔත්තු සේවාව මේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධයි ද කියලා කිව්වද කියලා. ඒකට දෙන උත්තරය තමයි ‘එහෙම ඇඟවීමක් කළා‘ කියලා. දෙවෙනි වතාවටත් නිවේදකයා ඒ ප්‍රශ්නය ම අහනවා. එතනදී අඩියක් පස්සට තියලා කියනවා ‘ඒක ඒ උණුසුම් අවස්ථාවක කියවෙච්ච දෙයක්‘ කියලා ඒකේ සැර බාල කරනවා.

එතනදී රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේ තමන් ඝාතනය කරන්නට සැලසුම් කළ කුමන්ත්‍රණයට රෝ ඔත්තු සේවය සම්බන්ධ යැයි ජනාධිපතිතුමන් කිව්වා යැයි ඉන්දියාවට ඒත්තු ගන්වන්න. ඉන්පසු ඉන්දියාව හා ලංකාව අතර ගැටුමක් ඇති කරලා අපි තවදුරටත් චීනය පැත්තට තල්ලු කරන්න. ඒක ඉෂ්ට වුණේ නැහැ. ජනාධිපතිතුමා සහ ඉන්දීය අගමැතිතුමා අතර කෙරුණු දුරකථන සංවාදය නිසා. ඒ සම්බන්ධතාව ඒ අන්දමින්ම පවත්වා ගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා මේ අවස්ථාවේදී බොරදියේ මාළු බාන විශාල පිරිසක් ඉන්නවා. ඒක නිසා තමයි මේ ක්‍රියාත්මක වන දේ විදේශ මාධ්‍යවේදීන්ට මෙහි සිටින මාධ්‍යවේදීන් විසින් ලබා දෙන තොරතුරු හරහා බටහිර ජනමතය වෙනස් කරන්නට යම් ප්‍රවණතාවක් තියෙන්නේ.

නව අග්‍රමාත්‍යවරයා පත් කිරීමෙන් පසුව ජාත්‍යන්තරය දක්වා ඇති ප්‍රතිචාර කෙබඳු ද?

පසුගිය දිනයක ඩේලිනිවුස් පුවත්පතේ සඳහන් වූවා ඉන්දියාවට සම්බන්ධ හෙළිදරව් නොකළ තොරතුරු සම්පාදන මාධ්‍යයක් ඔස්සේ ඉන්දියාව කිව්වයි කියලා ශ්‍රී ලංකාවේ ඕනෑම අගමැතිවරයෙක් සමඟ කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් කියලා.

මේ වෙලාවේ අපේ රටේ අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්වීම් ලැබ තියෙනවා. ඒත් මේ රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තවමත් ඔවුන් ආණ්ඩු පක්ෂය කියලා විශාල මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඔහු තවමත් අගමැති නිල නිවසේ සිටිමින් ලෝකයට හඬ නඟා කියනවා ඔහු තමයි අගමැති කියලා. ඇත්තටම චීන තානාපතිවරයා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සුබ පැතුවේ. ඒ චීන රජයේ නියෝජිතයා වශයෙන් වෙන්න ඇති. නමුත් ඔහු මේ රටේ සිටින තානාපති. ඒ වගේ ම ඔහු රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන්නත් ගියා. මාස එකහමාරකට පෙර ඉන්දීය රජයෙන් නව අග්‍රාමාත්‍යතුමාව නිල වශයෙන් පිළිගනු ලැබුවා. අග්‍රමාත්‍ය මෝදිගෙන් ඔහුට පෞද්ගලික හමුවීමක් පවා ලබා දුන්නා. ඔහුට විශාල පිළිගැනීමක් ඉන්දියාවේ තිබුණා. ඒ මොහොතේ කථානායක කරු ජයසූරිය මහතාත් පාර්ලිමේන්තු කණ්ඩායමකුත් නිල ආරාධනාවකින් ඉන්දියාවට ගොස් එකම කාලයේදී ඉන්දියාවේ සිටියා. ඊට වැඩිය පිළිගැනීමක් මහින්ද රාජපක්ෂ මහතාට පුවත්පත්වලිනුත්, නිල වශයෙනුත් ලැබුණු බව තමයි අපි වාර්තාවල දැක්කේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23: 1 වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා කිසියම් පදමාලා දෙකක් අතර යම් ව්‍යාකූලතාවක් ඇතිවුවහොත් එහිදී රාජ්‍ය භාෂාවට අනුකූල විය යුතු බව. පසුගිය දිනවල ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවල ගැටලු සහගත බවක් උද්ගත වූවා. මේ තත්ත්වය විදේශ රටවලට හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඇති වී තිබෙන දේශපාලන විපර්යාසය තේරුම් ගැනීමට දුෂ්කර වූවා විය නොහැකිද?

එම වගන්තියෙන් පැහැදිලිව ප්‍රකාශ වන්නේ රාජ්‍ය භාෂාවෙන් පවතින ව්‍යවස්ථාව පිළිගත යුතු බවයි. ඉංග්‍රීසි භාෂාව පරිවර්තනයක් පමණයි. මෙතන සිදුවෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යවස්ථාව කියවපු අයට වෙච්ච අකරතැබ්බක්. ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යවස්ථාවක් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ පරිවර්තනයක් පමණයි. පරිවර්තනයක් අල්ලගෙන තමයි මෙයාලා කෑ ගහන්න පටන් ගත්තේ ව්‍යවස්ථා විරෝධියි, ව්‍යවස්ථාව කඩකරලා තියෙනවා, ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා කියලා. නමුත් කනගාටුවට කාරණාව මේ අයට සිංහල හෝ දෙමළ ව්‍යවස්ථාව හරියට කියවා ගන්න බැරිවීම. දැන් මෙතන සිංහල හෝ දෙමළ ව්‍යවස්ථාවේ අනනුකූලතාවයකුත් නැහැ. දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ එකම දේ. මේ දෙකම කියවා ගන්න බැරි අයට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තමයි මේ අනනූකූලතාවක් ඇති වෙලා තියෙන්නේ. ඒකේ අනනුකූලතාව කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වගන්තිය වෙනස්. ඒක පරිවර්තනයක්. එහි නැති ‘ඉවත් කිරීමට හැක‘ යන වගන්තිය 23: 1යටතේ බොහොම පැහැදිලිව 19 වැනි ව්‍යවස්ථාවේ සිංහල පිටපතෙත්, දෙමළ පිටපතෙත් සඳහන් වෙනවා.

අපේ රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය නොයෙක් අන්දමේ වාර්තා මේ මොහොතේදී ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද?

මට පෙනෙන හැටියට මේ සියලු දෙනා පූර්ව නිගමනවලට බැස තිබෙන බවක් තමයි පෙනී යන්නේ. ජනාධිපතිතුමා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර තිබෙන බවට පූර්ව නිගමනවලට ඇවිත් නොයෙක් ප්‍රකාශ කරනවා. මේකට විපක්ෂව කතා කරන නායකයෝ එක්කෙනක්වත් ශ්‍රේෂඨාධිකරණයට ගිහින් මේ නියෝගය අභියෝගයකට ලක් කරන්න කටයුතු කරලා නැහැ. ඉතාම පැහැදිලිව එන්ඩීටීවී නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවේදී ‘මේ සම්බන්ධයෙන් ඔබ උසාවියට යන්න බලාපොරොත්තු වෙනවාද?‘ යන ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින් කියා සිටින්නේ පාර්ලිමේන්තුව තුළ ඡන්දයකින් මෙය විසඳා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි. එකම එක පුද්ගලයාටයි කොන්ද තිබ්බේ හරි හෝ වැරදි උසාවියට ගිහිල්ලා මේක චැලේන්ජ් කරන්න. ඒ නාගානන්ද කොඩිතුවක්කු. එය සාර්ථක හෝ අසාර්ථක වීම වෙනයි. මේ කෑ ගහන ජයම්පති වික්‍රමරත්නට හෝ අග්‍රාමාත්‍යතුමාගේ සියලු නිතීඥ කණ්ඩායම්වලට ජනාධිපතිතුමා පැහැදිලි අභියෝගයක් කළා ජන මහිමය රැලියේදී අධිකරණයට යන්න කියලා. ගිහින් මේ ගැටලු තියෙනවා නම් විසඳා ගන්න කියලා. ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකථනයක් දැක්විය හැක්කේ අධිකරණයට පමණයි. නවීන් දිසානායක මහත්මයා අපූරු ප්‍රකාශයක් කර තිබෙනවා පසුගිය දිනක. ඔහුත් නීතීඥයෙක් නේ. ඔහු කියනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් තැබීමට තියෙන බලතල අහෝසි කරන්න ඕනේ කියලා. නැත්නම් කථානායකගේ අනුදැනුම ඇතිව පාර්ලිමේන්තුව කල් තැබීමට සංශෝධන සකස් කරන්න ඕනේ කියලා. එතකොට එතුමා ව්‍යංගයෙන් පිළිගන්නවා පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීමට ජනාධිපතිවරයාට බලයක් තිබෙනවා කියලා. මීට කලින් හතළිස් ගණනකට වැඩි වාර සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව කල් තබලා තියෙනවා. ඒ අවස්ථාවල කවුරුවත් බලතල ගැන ප්‍රශ්න කරලා නැහැ. මීට වඩා වැඩි අවස්ථාවක් තමයි ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව දෝෂාභියෝගය ගෙනාපු අවස්ථාව. ඒ අවස්ථාවේදී ඉතාම නීති විරෝධී වැඩක් තමයි එවෙලාවේ හිටපු ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක මහත්වරුන් කෙරුවේ. අත්සන් නැතිව ගිහින් දෝෂාභියෝගයක් බාර දුන්නා. පස්සේ තමයි අත්සන් ගත්තේ. එදා හිටපු කථානායක හැසිරුණ ආකාරය ඉතාම නීති විරෝධී. මේ රටේ ඉතාමත්ම අමිහිරි විද­ිහට කථානායක චරිතය රඟපාපු පුද්ගලයා තමයි එම්. එච්. මොහොමඩ්. ඔහු මේ අත්සන් එකතු කිරීම සඳහා එක්තරා ගෙදරකට රැස් වෙලා ඔහු ඉදිරිපිට තමයි මේ අත්සන් එකතු කළේ. අන්න එහෙමයි මේ රටේ හිටපු කථානායක වරයෙක් හැසිරිලා තියෙන්නේ. අපි කියන්නේ මේ කථානායකවරයාට එහෙම වෙන්න එපා කියලයි.

ඔබ හිතන විදිහට නව රජයේ විදේශ ප්‍රතිපත්තිය කෙසේ වේවිද

නව රජයේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිවම නොබැඳි ප්‍රතිපත්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ හැම රටක් සමඟම මිත්‍රශීලීව ගනුදෙනු කරමින් මිත්‍රශීලීව කටයුතු කිරීමයි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

 

Comments