රනිල්ම ඉල්ලන කොළ පාට සමාජයේ කැලඹිල්ල! | සිළුමිණ

රනිල්ම ඉල්ලන කොළ පාට සමාජයේ කැලඹිල්ල!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ගත් අභියෝගාත්මක දේශපාලන තීන්දුව අනුමත කිරීමට පාර්ලිමේන්තු වටරවුම අසලට පසුගිය 5 වැනිදා ඇදී ආ ජන ගඟ නිසැකයෙන්ම එජාපය ප්‍රමුඛ මෛත්‍රී විරෝධීන් දුර්මුඛ කරවන්නකි. ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කළ පරිදිම එය කිසිසේත් අගමැති පුටුවේ සිටි රනිල් වෙනුවට මහින්ද එම පුටුවේ තැබීමක් ලෙස ලඝු කරගත යුතු නැත. එසේම එය ක්ෂණිකව සිදු වූ අස්වාභාවික ක්‍රියාවක් හෝ දුෂ්ට අකෘතඥ ප්‍රතිචාරයක් හෝ නොවේ. එජාපයේ කොළ පාට කන්නාඩියෙන් බලන්නකුට එම ක්‍රියාදාමයේ සමාජීය හා බුද්ධිමය වටිනාකම පසක් නොවීම පුදුමයක් නොවේ. රාජපක්ෂ පාලන යුගය පිළිබඳ වූ විවේචන හා පෞද්ගලික වේදනා කුමක් වුවත් එමගින් අභිනව දේශපාලන හා ආර්ථික බලගැන්වීමක් පිළිබඳ අලුත් අපේක්ෂාවන් දල්වා තිබෙන බව පැහැදිලිව පෙනේ.

ජනපති හිසට අත සේදූ අගමැතිවරයෙක්

රනිල්ට අගමැති ධුරය අහිමිවීම හා මහින්ද එම ධුරයේ පිහිටුවීම ඉහත සඳහන් කළ පරිදිම ජාතික සංස්කෘතික උරුමයන් සුරැකීමේ හා දේශීයත්වය මත පදනම් වූ දේශපාලන ක්‍රියාවලියේ ප්‍රථම පියවර ලෙස සඳහන් කළ යුතුමය. යහපාලන ආණ්ඩුව විසින් බෙලහීන කරන ලද විධායක ජනාධිපතිවරයාගේ හිසට අත සේදීම විනෝදාංශයක් කරගත් අගමැතිවරයකු සමග යා හැකි දේශපාලන ගමන කුමක්ද?

මෛත්‍රී ජනපති තමා සතු ව්‍යවස්ථානුකූල බලතල ප්‍රකාරව එළඹෙන නිගමන දේශපාලන අර්බුදයක් ලෙස හුවා දක්වන පිරිස් අතරට කථානායකවරයාද එක්ව සිටියි. කථානායක ධුරයට හිමි ස්වාධීනත්වය වෙනුවට එමගින් තමා අයත් දේශපාලන කණ්ඩායමට සහයෝගය පළ කරන බවට නැ‍ඟෙන චෝදනාව බරපතළය.

අගමැති රනිල්ගේ අභිමතය වූයේ 19 වැනි ව්‍යවස්ථාව තමාට ආවරණයක් ලෙස භාවිත කරමින් විධායක ජනාධිපතිවරයා උපකරණයක් ලෙස යොදාගැනීමය. කෙසේ හෝ යහපාලන ආණ්ඩුවේ සකලවිධ ක්‍රියාකාරකම් රටේ ආර්ථික හා සංස්කෘතික පරාභවයකට තුඩු දුන් අතර, අගමැති රනිල් ඒ කිසිවකට සංවේදි වූයේ නැත. රනිල් වට කරගත් කුඩා කණ්ඩායමේ කීපදෙනක් සහ ඔවුන්ට සමීප වූ රාජ්‍ය නොවන සංවිධානවල සූක්ෂ්ම මෙහෙයුම්ද, ඔවුන්ගේ න්‍යාය පත්‍රද පරාජය කිරීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තර අරගලයක නිරතව සිටියේය. රනිල් අගමැතිවරයා ලෙස ආර්ථිකය මෙහෙයවූ ආකාරය ආණ්ඩුවේ පමණක් නොව සමස්ත රටේම බරපතළ කඩාවැටීමකට හේතු වූවකි.

ධර්මිෂ්ඨ හොර නඩයක්

රාජපක්ෂ යුගය රටට ශාපයක් හා පොදු ජාතික ධනය යටිමඩි ගසාගත් බවට නැඟුණු චෝදනාව දෙස ජනතාව බලා සිටියේ කලකිරීමට වඩා කේන්තියකිනි. ඒ සියලු ආවේග බින්දුවට ඇද වැටුණේ ආණ්ඩුවට එල්ල වූ මහබැංකු වංචා චෝදනාවත් සමඟය. ජනාධිපතිවරයා එජාපයේ බරපතළ අකැමැත්ත නොතකා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමෙන් අනාවරණය වූ තොරතුරුවලින් රටට පැහැදිලි වූයේ ගජමිතුරු ආර්ථික ගනුදෙනුවක දූෂිතම කථාවකි. ඒ සිද්ධියට චෝදනා ලැබ මේ වන විටත් රිමාන්ඩ් භාරයේ සිටින මහ බැංකු අධිපතිවරයාගේ බෑනණුවන්ගෙන් චෙක්පත් තිළිණ ලද එජාප මන්ත්‍රීවරුද වෙති. එහෙත් එජාප ආර්ථික ඔස්තාද්ලාට ඒවා සාමාන්‍ය දේවල් විය. රාජපක්ෂලාගේ ඩුබායි වත්කම් ගැන නිතර කී වාචාල ඇමතිවරයකු තර්ක කළේ මහ බැංකු හොරකමට වඩා මුදලක් ආණ්ඩුව රඳවාගෙන තිබෙන නිසා එය ප්‍රශ්නයක් නොවන බවකි! මොනතරම් ධර්මිෂ්ඨ හොර නඩයක්ද? ඇතැම් එජාප ඇමැතිවරුන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා ගැන වෙනම පොතක් ලිවිය යුතුය. ඉතිහාසයේ කිසිදිනක නොවූ පරිදි ඇමැති විෂයක්ෂේත්‍රය විද්‍යාත්මක ලෙස වර්ග කළ ආණ්ඩුව උසස් අධ්‍යාපනය සමග මහාමාර්ග මෙන්ම, විදේශ අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයද පවරා දී තිබිණ. මේවා බරපතළ සැකසංකාවලට තුඩුදුන් සිදුවීම්ය. ජනාධිපතිවරයාට මේ හැම දෙයක්ම ඉවසා සිටීමට අමතරව දැඩි දෝෂදර්ශනවලට ලක්වීමටද සිදු විය. අගමැතිවරයා යටතේ තිබුණු මහබැංකුවට මෛත්‍රී රටේ ජනාධිපතිවරයා ලෙස පය තැබීම පවා රනිල්ගේ නොසතුටට හේතු විය.

ශ්‍රීලනිප නිර්මාතෘ ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපය ආරම්භ කිරීමේදී කළ කථාවක සඳහන් වූයේ තම පක්ෂයේ එක් අරමුණක් වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ හවුල්කරුවන් වන දේශීය ධනපතියන්ට විරුද්ධ වීම හා මහජන සම්පත් සුරාකෑම වැළැක්වීම බවයි. එබඳු ජනතාවාදී පක්ෂයක භාරකාරත්වය දරමින්, එජාප හොරුන් සුරැකීමට ජනාධිපතිවරයාට හැකිද? බණ්ඩාරනායක මහතා එදා එජාපයෙන් ඉවත් වීමේදී කළ ප්‍රකාශයක් මෙසේය:

ජනපති අප්‍රසාදයට ලක් කරවූ සැටි

“එක්සත් ජාතික පක්ෂය සකස් කිරීමට අපේ සහයෝගය දුන්නෙමු. නායකත්වය ගැන මා කෑදරයයි දැක්වීමට නොයෙක් ප්‍රලාප කතා දැන් අතැමුන්ගෙන් පැවසෙතත් ඩීඇස් සේනානායක මහතා එජාප නායකත්වයට පත් වූයේද මවිසින් කරන ලද යෝජනාවෙනි. ... සවිබලැති ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කිරීම පමණක් නොව, ඒ ප්‍රගතිශීලි ප්‍රතිපත්ති කලාපය සතුටුදායක ලෙස ක්‍රියාත්මක කිරීමද අපේ බලාපොරොත්තුව වුණේය. එහෙත් අවාසනාවකට මෙන් සිදු වූයේ කුමක් ද? එක්සත් ජාතික පක්ෂය මෙන්ම ආණ්ඩුවද ප්‍රතිගාමි පුද්ගලයන්ගේ බලයට හසුවීම නිසා දැන් බහුලව පවත්නා මහජන අප්‍රසාදය පළ වන සේ ජනතාවගේ ඕනෑඑපාකම් මුළුමනින් නොසලකා හැරීමය.”

අද මෛත්‍රී ජනාධිපතිවරයාගේ හෘදයසාක්ෂියෙ නැ‍ඟෙන්නේද සිය පක්ෂයේ නිර්මාතෘවරයාගේම වචනවල දෝංකාරයක් නොවේද? අගමැතිවරයා ඉවත් කිරීම ප්‍රතිපත්තිමය කරුණු මත පදනම් වූවකි. එහෙත් ඒ සියල්ල නොතකා එජාපයේ පිරිස සත්‍යය මඟහැර, අපවාද අවලාද නඟමින් සිටිති. එජාප නායකත්වයට අවශ්‍ය පරිදි ජනාධිපතිධුරය සකසා ගැනීම රනිල් අගමැතිගේ මූලික අවශ්‍යතාව විය. ආණ්ඩුවේ හැම ක්‍රියාවකම නරක ප්‍රතිඵලය වූයේ මහජනයා අබියස මෛත්‍රී ජනාධිපතිවරයා අවමානයටත්, අපකීර්තියටත් පත් වීමය. රට ප්‍රපාතයට ඇද දමන ක්‍රියා නතර කරගැනීමට ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිවරයා ගෙනගිය සටන අපි දනිමු. කැබිනට් පත්‍රිකා කොපමණ සංඛ්‍යාවක් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූයේද යන්න දන්නේ දෙවියන් පමණි.

ඇත්ත වශයෙන්ම ජනතාව අපේක්ෂා කළ කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් ඉටු නොවීය. විදේශ ආයෝජන මත පදනම්ව දේශීය කෘෂි ආර්ථිකය අමතක කළ මේ ආණ්ඩුව ජන ජීවිතයට එක් කළ පීඩනය ඉතා දැඩි විය.

ව්‍යවස්ථා සංශෝධනය මගඩිය

අද මේ රට තිබෙන්නේ නරකම තැනකය. ජීවන වියදම ඉහළ යෑම නිසා මැද පන්තිය මෙන්ම නාගරික හා ග්‍රාමීය ජනතාවද අසීරුවට පත්ව සිටිති. බදු බරට කොඳු නැමී ගොසින්ය. අනාගතය වෙනුවෙන් දුක් මහන්සියෙන් ඉතිරි කරන මුදලින් පවා බදු අය කරගන්නා සිත්-පිත් නැති ආණ්ඩුවක් ලෙස මේ පාලනය හැඳින්වේ. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් හෑල්ලු කරමින් විධායක ක්‍රමය නිර්මාණය කළ එජාපය පසුව එයට සංශෝධන ඉදිරිපත් කළ බව සැබෑවක් වුවද එයින් සිදු වූ විකෘතිය බරපතළය. මේ ව්‍යවස්ථා සංශෝධනය මගඩියක් බව අද හෙළි වී තිබේ. ස්වාධීන කොමිෂන් ඇති කළ පමණින් නිදහස සම්පූර්ණ නොවේ. යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූ ව්‍යවස්ථාවක් වෙනුවට සියල්ල අනතුරට ලක් කළ ව්‍යවස්ථා සංශෝධනයක් රටට ලැබී ඇත. පෙරදිග සංස්කෘතියේ අගය නොදත්, බෞද්ධ සම්ප්‍රදාය නොඉවසූ ව්‍යවස්ථා සංශෝධකයන්ගේ අනාගමික සංකල්පය පරාජය වූයේද මෛත්‍රි ජනාධිපතිවරයා නිසාය. බටහිර ගැති චින්තනයට වන්දනා කරන පිරිස බුද්ධචීවරයට ගරු නොකිරීම විමතියට කරුණක් නොවේ. එහෙත් ආණ්ඩුවේ සමහරු මැල්කම් රංජිත් කාදිනල් තුමා වැනි විශිෂ්ට ආගමික නායකයන්ටද විවේචන එල්ල කිරීමට තරම් මුග්ධ එඩිතරයෝ වූහ. මානව හිමිකම් යනු බටහිර නිර්මාණයක් නොවේයැයි කීම මේ ඊනියා අනුකාරකයන් කුපිත කරවන්නක් විය.

චන්ද්‍රිකා පූර්වාදර්ශය

කලකට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය සමඟද ගැටුම් ඇති කරගත් එජාපයට අන්තිමේදී පරාජය බාරගැනීමට වූයේ ව්‍යවස්ථානුකූල බලය නිසාය. අද සිදුව තිබෙන්නේත් එයයි. ව්‍යවස්ථානුකූලව ක්‍රියා කළ ජනාධිපති මෛත්‍රී නොතකා තමා තවමත් අගමැති බව රනිල් කියන්නේ බටහිර මිතුරන් තමා ගලවාගැනීමට එතියි මුළාවෙනි.

ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම රනිල් වෙනුවට මහින්ද තෝරාගැනීම පුද්ගල ශරීර දෙකක් මාරු කිරීමක් නොවේ. මහින්දට කලින් ඒ මාරුව සඳහා මෛත්‍රීගේ විකල්පය වූයේ කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස බවද ප්‍රකාශ විය. රනිල් ඉදිරිපිට මේ දෙදෙනාටම කෙළින් හිටගැනීමට නොහැකි බව ඔවුන්ගේම වචනවලින් ප්‍රකාශ වී තිබේ නම් ඊළඟට ගත යුතු නිවැරදිම තීරණය මහින්දය. ප්‍රභාකරන් සමඟ හැප්පුණු මහින්දට බටහිර හුරතලකු වන රනිල් නිකං කොස් ඇටයක් වැන්න. අනෙක් අතට මහින්ද යනු මෛත්‍රීගේ සැම්පලයේම ගමේ මිනිහෙකි. ඔහු අයත් ගැමි සංස්කෘතික උරුමය හා මෛත්‍රීගේ පසුබිමද එක සමානය. දෙදෙනම පනස් හයේ දරුවෝය‍; බණ්ඩාරනායක මැතිනියගේ ආශීර්වාදයෙන් දේශපාලනයට අවතීර්ණ වූවෝය. ඒ දේශපාලන සංස්කෘතික බැඳීම හා ගැළපීම සම්, මස්, ලේ නහර, ඇට, ඇටමිදුලු විනිවිද නැගෙන බලවේගයක් වැන්න. හින්දු ප්‍රවාදවල එන ශාපයකින් මෙන් දෙදෙනා භේද වී සතුරු වී දෙපිලකට වී සිටියත්, ඒ ශාපය දුරුව ඔවුන්ට ළං වීමට කාලය විසින් හා යුගය විසින් අවකාශ සලසා දෙනු ලැබ තිබේ.

පරණ පුරුදු වු ලියම යහපත්

සිව්වසරක් වැනි කාලයක් පිළිමල්ව සිටි මේ දේශපාලන සුමිතුරන්ගේ එක්වීම මෙරටේ බහුජනතාවගේ මෙන්ම, බෞද්ධ මහ නායක හිමිවරුන්ගේද, වෙනත් ආගමික නායකයන්ගේද ප්‍රමෝදයට හේතු වූවකි. මෛත්‍රී - මහින්ද යුගයක් රටේ ආරක්ෂාවට, ජනතා යහපතට හේතු වන බව බහුතර ජනමතය බව නිසැකය. “රට රකින ජන මහිමය” එයට සාක්ෂිය. මේ ජාතික විනාශය වැළැක්විය හැක්කේ මෛත්‍රී - මහින්ද සුසංයෝගයෙන් බිහි වන පාලනයකට පමණි.

මෙහිදී අපට සිහිපත් වන්නේ අසමසම සිංහල කවියකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කරන ලද මිනිස් ස්වභාවය පිළිබඳ සුභාෂිතයකි.

දෙතිස් කුණු ඇති වත්

සත ගත ඇලුම් නොහරිත්

එබැවින් වරදැ’තත්

පරණ පුරුදු වු ලියම යහපත්

මහින්දගේ වැරදි - අඩුලුහුඬු තිබෙන බව සැබෑය. එහෙත් ඒ වැරදි නිවැරදි කරගෙන සහයෝගයෙන් යන ගමනකට වඩාත් සුදුසු සගයා මහින්දම පමණි. නොගැළපීම්, නොසැසඳීම්වලට වඩා ගැළපීම්, සැසඳීම්, එකඟවීම් වැඩිය. ඉංගිරිසිය හදබස කරගෙන එංගලන්තය ගෙදර ලෙසත්, ලංකාව එහි පිළිකන්න ලෙසත් සිතන නායකයන්ට වඩා මහින්දට මෛත්‍රීට එක් ගමනක් යා හැකි බව අපගේ වැටහීමය. මෛත්‍රීට හා මහින්දට එක්ව දෙමළ, මුස්ලිම් ජනතාවගේද අපේක්ෂා යථාර්ථයක් බවට පත් කළ හැකි බවද අපි කල්පනා කරමු.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණ සමාජය වැනි ආකර්ෂණීය වදන් භාවිත කරමින්, එයට පටහැණිව පරගැති, පරවාදි පැතුම් සමඟ රටත් ජනතාවත් ඔට්ටුවට තබමින් කරන ලද දේශපාලන සූදුව අවසන් කළ හැකි මාර්ගය මෛත්‍රී ජනාධිපතිවරයා තෝරාගෙන ඇත්තේ සිව් වසරක දුෂ්කර ක්‍රියාවලියකින් පසුවය. මහින්දගේ සම්ප්‍රාප්තිය සිංහල ජාතිවාදය හිස එසවීමක් ලෙස අර්ථ ගැන්වූ එජාපයට තිබෙන ජාතිවාදි චෝදනා පත්‍රයද අපි දනිමු. යාපනය පුස්තකාලය ගිනි තැබීම ඉන් කුප්‍රකට එක් චෝදනාවක් පමණි. මෛත්‍රීට ජාතිවාදි චෝදනා නැත.

සංස්කෘතික බැඳීම් හා ආගමික විශ්වාස ඉතා නිවැරදිව තෝරා-බේරාගෙන කළ යුතු දේශපාලනයක් අද රටට අවශ්‍යව තිබේ. බල දේශපාලනය සඳහා රහසේ හා එළිපිට ජාතිවාදය හා ආගම් වාදය අවි ලෙස යොදාගැනීමට කිසිසේත් ඉඩ නොතැබීමද මේ අලුත් සම්මුතියේ පුරෝගාමීන්ගේ වගකීමය. මෛත්‍රී - මහින්ද සුසංයෝගය පිළිබඳ නැ‍ඟෙන බොහෝ තර්ක ද්වේෂයේ හා වෛරයේ විස කැවුණු ප්‍රලාප බව පැහැදිලිව පෙනේ.

ජනාධිපතිවරයා නීත්‍යනුකූලව ක්‍රියා කර නැත්නම් ඒ සඳහා යා යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයාට තිබෙන බලයට අභියෝග කළ නොහැකි බව නීතිපතිවරයාද කියයි. කෙසේ හෝ දේශපාලන සාක්ෂරතාවෙන් දිළිඳු හා නිවැරදි අවබෝධයෙන් තොර රටක, සිදු වන අර්බුදයකදී එකම පිළිසරණ රටේ තිබෙන නීතිය අර්ථගන්වන ශ්‍රේෂ්ඨාධිකරණය පමණි. නීතිය වුවද සත්‍යයට වඩා තර්කය මත පදනම් වූවක් යැයි සිතන අයද සිටිති. එහෙත් අධිකරණය තීන්දු ගන්නේ දෙපාර්ශ්වයේ නීති තර්ක මෙන්ම රටේ ව්‍යවස්ථාවද අනුවය.

රනිල් වෙනුවෙන් නීතිය තෝරන ප්‍රජාතන්ත්‍රවාදීන්ට, කෝප් කමිටු වාර්තාව පිට වීමට පෙර හදිසියේ පාර්ලිමේන්තුව කල් දැමූ බව අමතකව තිබේ. එදා අගමැතිව සිටි රනිල්ද එයට විරුද්ධ වූයේ නැත. රනිල්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජය වූයේ මෛත්‍රී ජනාධිපතිවරයාගේද සහාය නිසාය. අද ජවිපෙට අවශ්‍යව ඇත්තේ කොළපාට ඇගේ නොගාගෙන රනිල් රැකගැනීම විය හැකිය. ඒ කුමක් වුවත් එය දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් වනු ඇත.

පිළිකෙව් නොකළ හැකි යථාර්ථය

එජාපය රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රනිල් වෙනුවෙන් නීතිය අර්ථකථනය කරන අයද තවම රැඳී සිටින්නේ 2015 ජනවාරි 08 වැනිදා ඡන්ද ප්‍රතිඵලය මතය. යහපාලන ආණ්ඩුව ජනතාවට එපා වූ බවට තිබෙන ප්‍රබල සාක්ෂිය පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයයි. එදා පොහොට්ටුව ජය ගත්තේ එජාපය මෙන්ම ශ්‍රීලනිප හා ජවිපෙද පල්ලම් බස්සවමිනි. එදා සිදු වූයේ මහින්දට යළි ජනප්‍රසාදය පළ වීමකි. මහින්ද පාලනයට එරෙහිව සාර්ථක විරෝධයක් ජනහද තුළට කාන්දු කිරීමට යහපාලනය අසමත් වූ බව ඒ ඡන්ද ප්‍රතිඵලය අපට පෙන්වා දී තිබේ. එපමණක් නොව, යහපාලනයට තිබෙන මැතිවරණ භීතියද සැඟවිය නොහැකිය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීහු මහජන මතය විමසීමට බිය නොවෙති. මහින්ද අගමැතිවරයා ලෙස රටට අද කියන්නේ කල් දැමූ මැතිවරණ ඉක්මනින්ම පවත්වන බවයි. එජාපයට තිබෙතැයි කියන ජනබලය පෙන්වීමටද එහිදී අවකාශ ලැබෙනු ඇත.

මේ අතර මෛත්‍රී ජනාධිපතිවරයාට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ 2015 ජනවාරි 08 වැනිදා මහින්ද දිනුවේ නම් තමන් අඩි හයක් පොළොව යට බව කී මෛත්‍රී අද ඔහුට එක්ව සිටින බවය. එහෙත් අද ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබෙන බවට චෝදනාවක්ද නැඟී තිබේ. දේශපාලන ඝාතන සිදු වූ රටක ඒවා නොවිය හැකි යැයි කීමට නොහැකිය. එහෙත් එබඳු බොහෝ කතා දේශපාලන විවේචන වේ. කලකට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක තම සැමියා ඝාතනය කළ බවට චෝදනා ලද ජවිපෙ සමග එක් වූ බවද අපට මතකය. මෛත්‍රී අද ආපසු මහින්දට අත දිගු කරන්නේ දේශපාලන බැඳීම මෙන්ම, එජාපයේ සිරකරුවකු බවට පත් වීමට තිබෙන අනතුරද වටහාගෙන බව අපගේ වැටහීමය. 2015 ජනවාරි 08 දා රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට බෙල්ල දුන් පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී 2018 ඔක්තෝබර් 26 දා තමා විසින් පස මිතුරකු ලෙස සලකන ලද මහින්ද කැඳවා වැලඳගත්තේ ඇයි යන්න දේශපාලනිකව විමර්ශනය කරන්නකුට එය නිවැරදි බව හැඟෙනු ඇත.

නීතියට කොළපාට තවරන අය මෙන්ම යහපාලන ආණ්ඩුවට රිංගාගත් ස්වදේශීය චින්තනයට හා සිංහල-බෞද්ධ උරුමයට පටහැණි ඇන්ජීඕකාරයෝද මෛත්‍රී ජනාධිපතිවරයා ද්‍රෝහියකු ලෙස දකිති. එහෙත් මේ තීන්දුවේ වගකීමෙන් රනිල් අගමැතිට නිදහස් විය හැකිද? මෛත්‍රී ජනාධිපතිවරයා මායිම් නොකළ හිතුවක්කාර වැඩ කළ රනිල්ගෙන් නිදහස් වීමටත්, ඔහුගේ ක්‍රියකාරකම් නිසා රටට සිදු විය හැකි අනතුරු වළක්වාලීමටත් මෛත්‍රී ජනාධිපතිවරයාට සිදුව තිබීම අප තේරුම් ගත යුතු යථාර්ථයයි. කුප්‍රකට සිංගප්පූරු ගිවිසුම හා ත්‍රස්ත විරෝධි පනතින් අපේක්ෂිත වෘත්තීය සමිති දඩයම රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදසුන් දෙකකක් පමණි. එසේම තවමත් රනිල් පාර්ශ්වය විසින් උඩ දමනු ලබන හැට දෙලක්ෂයේ ජනවරම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශූන්‍ය වී තිබෙන බවද කොළපාට සමාජයේ සියල්ලෝම තේරුම් ගත යුතු වෙති. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා කොළපාට දේශපාලන කුරුසියේ තබා ඇණ ගැසීමට යෝජනා කරන කිසිවකුට ඒ යථාර්ථවාදි දැක්ම පහළ නොවනු ඇත.

 

Comments