මේ අගමැති පත් කෙරුණේ කුප්පි ලාම්පු එළියෙන් | සිළුමිණ

මේ අගමැති පත් කෙරුණේ කුප්පි ලාම්පු එළියෙන්

මේ සිදු වුණු දේශපාලන පෙරළිය ඔබ දකින්නේ කොහොමද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව, පෞද්ගලික කාරණයක් මත සිදු කරන ලද දැවැන්ත අපරාධයක් විදියටයි මම මේ ඇති කර තිබෙන තත්ත්වය දකින්නේ.

ඔබ එහෙම කිව්වාට ජනාධිපතිතුමා කළ ක්‍රියාව ව්‍යවස්ථානුකූලයි කියලයි ඔවුන් කියන්නේ?

1978 ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට පටහැණිවයි මේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හා නව අගමැතිවරයා පත් කිරීම සිදු කර ඇත්තේ. ‍නව ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාවේ IV වන අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය හිමි මන්ත්‍රීවරයාවයි ජනාධිපතිගේ මතය අනුව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට හැකියාව තිබෙන්නේ. එහෙත් අද වන තුරු බහුතර විශ්වාසය තිබෙන්නේ කාටද කියන ‍දේ විමසා නෑ.

ඔවුන් විමසන්නේ 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමට ක්‍රියා කිරීම ව්‍යවස්ථානුකූලද කියලයි?

2015 ජනවාරියේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ 1978 ව්‍යවස්ථාවට අනුකූලවයි. එහි කිසිදු ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් සිදු වී නැහැ. එහෙත් 19 වන සංශෝධනයෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා. 1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පරිදි පත් කිරීමට වගේම ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබුණා. ඒත් 19 වැනි සංශෝධනය ගෙනාවට පස්සේ එහෙම කරන්න හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. ඒ වගේම 2015 ජනවාරි 08 පවත්වපු මැතිවරණයේදී බොහෝම පැහැදිලි ලෙස මෛත්‍රී ජනපති - රනිල් අගමැති කියල මැතිවරණ ප්‍රකාශයේ හා ප්‍රචාරණයේදී සඳහන් කළා. ඒ ජනවරම තමයි එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණේ. හැටදෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඒ සඳහා. ඒ වගේම එතනදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය මේ රටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ ලබාදීපු ජනවරම අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඒ අවස්ථාවේ එම පත් කිරීම නීතිවිරෝධියි කියල කවුරුවත් කියන්න ගියේ නැහැ. 78 ව්‍යවස්ථාවට අනුව එය නීත්‍යනුකූල ලෙස ඔවුන්ට පිළිගැනීමට සිදු වුණා. ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා කළ ක්‍රියාව නීත්‍යනුකූලයි, ව්‍යවස්ථානුකූලයි; ඒත් පසුගියදා එතුමා සිදු කළ ක්‍රියාව අනීතිකයි, ව්‍යවස්ථා විරෝධයි.

එසේ නම් නව අග්‍රාමාත්‍යවරයා පත් කළ යුතුව තිබුණේ කවර ආකාරයටද?

ඔක්තෝබර් 5 දා අලුත් අයවැය ගෙන ආ විට එය පරාජයට පත් කර, තමන් බහුතර විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා විදියට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ අවස්ථාව ව්‍යවස්ථානුකූලව ලබාගන්න තිබුණා. එහෙම වුණා නම් මෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වන්නේ නැහැ. එහෙත් ඔවුන් එහෙම කළේ නැහැ. ඒ ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති නිසායි.

ඒත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙවැනි තීන්දුවක් ගැනීමට ප්‍රධාන හේතුව අග්‍රාමාත්‍යවරයා තම හිතුමතේට රට උකසට තබා ගෙන ගිය අදූරදර්ශී, රටට අහිතකර ආර්ථික ප්‍රතිපත්තිය බවයි...

ඒක ඉතා බොළඳ ලාමක කතාවක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණවලදී මේවා තමයි මට අදාළ, මේවා මට අදාළ නැහැ ආදි වශයෙන් නොකියා, කැබිනට් මණ්ඩලයේ සිටින ඕනෑම කෙනකුට තමන් අකැමැති දේට විරුද්ධ වීමට, මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙනවා. ඉන් පසුව තමයි සාමූහික තීන්දු විදියට පිළිගෙන ක්‍රියාවට නංවන්නේ.

ලබන අවුරුද්ද වන විට අප ඩොලර් බිලියන නවයක් ණය ගෙවිය යුතුයි. මේ ආකාරයට දේශපාලන අර්බුදකාරි වාතාවරණයකට රට දිගටම ඇදී ගිය හොත් අප විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. අවසානයේ මේවාට වන්දි ගෙවන්න වන්නේ මේ රටේ මහජනතාවට...

ඔබ ඔය අසන ප්‍රශ්නයේ විසඳුම තිබෙන්නේ ජනාධිපතිවරයා අතේ. මේ දේශපාලන වාතාවරණය රට තුළ ඇති කළේ වෙන කවුරුවත් නෙවෙයි; ජනාධිපතිවරයායි. ව්‍යවස්ථාවට පටහැණිව හොර-රහසේ කුප්පුලාම්පු එළියෙන් අග්‍රාමාත්‍යවරයකු පත් කරමින්, දවසගානේ අහුල-අහුල ලක්ෂ 50-60 හැට අල්ලස් දෙමින් මන්ත්‍රීවරුන් බිළීබා‍ගෙන අමාත්‍යවරුන් ලෙස පත් කරමින් මේ ක්‍රියාව සිදු කරන්නේ කවුරුද? එතුමව 2015දී බලයට ගෙනාවේ අපි. අපියි රාජපක්ෂ රජයේ භීෂණයට, මර්දනයට මුහුණ දෙමින් උගුර ලේ රහ වන කල් කෑ ගහලා. එනිසා මේ තත්ත්වය ඉතාම වේදනාකාරීයි.

ජනාධිපතිවරයා ඇයි මෙවැනි ක්‍රියාමාර්ගයක් එකපාරටම ගත්තේ?

ඔහු ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ එතුමාම කිව්වේ: එතුමාගෙ චින්තනයයි, අගමැතිවරයගෙ චින්තනයයි ගැළපෙන්නේ නැහැ; එනිසා මේ ක්‍රියාමාර්ගය ගත්තා කියලා. එහෙත් එතුොට ඒක ගැන හිතන්න තිබුණේ 2014 අග භාගයේදී මේ දෙගොල්ලො එකට එක්කාසු වෙන්න තීරණය කරපු වෙලාවේ නේද? මම මේ විවාහ වෙන්නේ කුල කාන්තාවක් එක්කද? නැද්ද? කියලා එදා තීන්දු කරන්න තිබුණා. විවාහයෙන් පස්සේ මේ කාන්තාවගෙ මෙන්න මෙතන හොඳ නෑ, අතන හොඳ නෑ, අතන ලප තියෙනව, අතන කැලලක් තිබෙනවා කියලා වැඩක් නැහැ. ඊට පස්සේ කියනවා සංස්කෘතිය නොගැළපෙනවලු. අගමැතිවරයා කොළඹ ඉපදිලා, කොළඹ ජීවත් වෙච්ච කෙනෙක්.

ජනාධිපතිවරයා පොලොන්නරුවේ ඉපදිලා, පොලොන්නරුවේ ජීවත් වෙච්ච කෙනෙක්. ඉතිං මේ සංස්කෘති දෙක අතර පරස්පර විරෝධයක් තිබෙනවා. ඒ පරස්පර විරෝධය නොදැනද මේ එකතු වුණේ? අනෙක් අතට ජනාධිපතිවරයා වසර 40ක පමණ දේශපාලන ජීවිතයක් ගෙවපු කෙනෙක්. එහෙම නම්, එතුමට අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ස්ථාවරය ගැන අනවබෝධයක් තිබෙන්න විදියක් නැහැ. එනිසා එතුමා දැනගන්න ඕනෑ ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. එහෙම නැතුව අනුන්ගෙ උගුල්වල හිර වෙලා අවලාද කීමෙන් පලක් නැහැ.

මෙරට ආර්ථිකයට ඍජුව බලපාන කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කටයුතු කිරීම මේ තීරණයට බලපෑ බවයි ඔහු සඳහන් කරන්නේ...

ඒක ඉතින් මහ ලොකු දෙයක්ද? ඒක වැරදි නම් ඒක නවත්තන්න කැබිනට් මණ්ඩලයේ නායකයා වශයෙන් එතුමාට තීන්දුවක් ගන්න තිබුණා නේ. කළ යුතු දේ නොකර, මෙවැනි චෝදනා නැඟීම අසෝබනයි.

 

Comments