ලෝකයේ බයිසිකල් රැල්ල අපට ලොකු වාසියක් | සිළුමිණ

ලෝකයේ බයිසිකල් රැල්ල අපට ලොකු වාසියක්

  • හොඳ නායකයකුගෙ කරුණාව තියෙන්නෙ මුහුණෙ නෙවෙයි, හදවතේ
  • අවුරුද්දකට බයිසිකල් ලක්ෂ දෙකහමාරක් නැව්ගත කරනවා
  • අපේ සේවකයන්ගෙන් සියයට දාසයක් ශ්‍රව්‍යාබාධිත අය
  • අපට ලංකාවේ වෙ‍ෙළඳාම ගැන හිතන්නවත් වෙලාවක් නෑ

''ඔහුගේ හැම සිහිනයකම තිබුණේ බයිසිකල් පමණි. ඒ හා බැදුණු තාක්ෂණයෙන් ඒවා ඉහළ තලයකට රැගෙන යාමේ ‘උණ’ පමණි. ‘පැෂන්’ එකක් වූ බයිසිකල් පිළිබඳ ඒ ආසාව ඔස්සේ ඔහු අද බොහෝ දුර පැමිණ ඇත. බයිසිකල් කර්මාන්තයේ ප්‍රවීණයකු බවට පත්ව ඇත. දකුණු ආසියාවේ හොඳම සන්නාම නාමය ලෙස, තම රටේ තමන්ගේ මිනිසුන් නිපදවූ ‘ඒෂියා බයික්’ සන්නාමය ඔසවා තැබූ ඔහු, එතෙකින්නො නැවතී තවමත් බයිසිකල් පිළිබඳ ලොව නව තාවන් සොයමින් යයි''

 පිටරටින් හැම දේම ලංකාවට ගෙනෙද්දි, ඔබ කොහොමද බයිසිකල් පිටරට යවන්නේ...

අපි BOIකොම්පැනියක්. සියයට දහයක් දේශීය වෙළෙඳපොළට නිෂ්පාදනය කරන්න අවසර තිබුණත් අපිට ජාත්‍යන්තරයේ තිබෙන අධික ඉල්ලුම නිසා දේශීය වෙළෙඳපොළ ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා අපේ බයිසිකල් නිෂ්පාද‍නයේ මුළු ප්‍රතිශතයම යන්නේ පිටරටවලට. අපේ මිනිස්සු බයිසිකලයෙන් ඈත් වුණාට ලෝකෙ දියුණු රටවල හුඟක් මිනිස්සු වාහන අතෑරලා බයිසිකලය ළං කරගන්නා යුගයක් මේක. ආසියාවෙ විශාලම බයිසිකල් කර්මාන්ත ශාලාව විදියට අපි ඒ නිලය අල්ලගෙන ඉන්නෙ.

කොහෙන්ද ඔය තරම් ඉල්ලුමක්. මොකක්ද මේ ආයතනයේ පසුබිම....

1969, මේ ආයතනය පටන් ගත්තෙ මගේ තාත්තා ඒ.ඩබ්.එම්. ෆාරුක්. පානදුර සරික්කාලිමුල්ලෙ කර්මාන්තශාලාව විතරයි අපිට එදා තිබුණෙ. 800 ක් වැඩ කළා. වැඩිම බයිසිකල් ඉල්ලුම තිබුණෙ උතුරු නැගෙනහිරට. අපේ ‘රෝඩ් මාස්ටර්’ බයිසිකලයක් එදා උතුරේ ඕ‍නෑ ගෙදරක තිබුණා. ලංකාවට ආවා නම් ආවේ ජපානයේ, පාවිච්චි කළ බයිසිකල් විතරයි. 1977 වෙනකල් අපිට තිබුණෙ ස්වර්ණමය යුගයක්. නමුත් 77 න් පස්සේ සියල්ල වෙනස් වුණා. අපි BOI වුණා. අද අපි හදන එකම බයිසිකලයවත් මේ රටේ විකුණන්නෙ නැහැ. ‘ඒෂියා බයික්’, කොම්පැනියේ නම වුණාට ලෝකෙ බොහෝ රටවල අපේ බයිසිකල් විකුණන්නෙ ඔවුන්ගෙ ‘හයි - එන්ඩ්’ මාකට් එකේ සන්නාම නාමවලින්.

කොහොමද ඔබ ආසියාවේ හොඳම ව්‍යාපාර නායකයින් ලැයිස්තුවට ගියේ....

‘Asia One’ කියන සිංගප්පුරු ආයතනය විසින් තමයි 2017 වසරේ එම නම් කිරීම කළේ. Asia’s Greatest Brands and Leaders – 2017’ ලැයිස්තුවේ නම් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනා අතර මාත් කෙනෙක්. අම්බානි, ජැක්මා, අලි බබා, ධම්මික පෙරේරා වැනි ආසියාතික දැවැන්තයින් අතර මාවත් තෝරාගෙන තිබුණේ යුනයිටඩ් රිසර්ච් සර්විසස් ජාත්‍යන්තර ආයතනය විසින් ස්වාධීනව කරන ලද සමීක්ෂණයකින්. ඉතාම අතළොස්සක් වූ ආසියාවේ දැවැන්ත බයිසිකල් නිෂ්පාදකයන් අතරින් මේ තැන හිමි වුණේ ඒෂීයා බයික් වෙත පමණයි. ‘හොඳම ආසියාතික ව්‍යාපාර නායකයා’ හා ‘හොඳම සන්නාමය’ කියන සම්මාන දෙකක් අප වෙත ලැබුණා.

එතකොට NCE සම්මානය...

එය ලැබුණේ පළමු වතාවට නම් නෙවෙයි. මෙවර පිරිනැමුණේ ‘මැෂිනරි ඇන්ඩ් ලයිට් ඉංජිනියරින් ප්‍රඩක්ට්ස්, කියන කැටගරියේ මහා පරිමාණ අංශයේ රිදී සම්මානය, 1994 සිට අපනයනයේ යෙදෙන්නට පටන් ගත් දා පටන් අද වන තුරු අපනයන සම්මාන රැසක් අපි දිනා ගත්තේ, අපේ රටේ අපේ මිනිසුන් අතින් නිපදවෙන මේ බයිසිකල්වල කොලිටිය වෙනුවෙන්. ජ්‍යාන්තරයේ දිනු තරගකාරිත්වය වෙනුවෙන්.

මොනතරම් පිරිසකට ඔබ රැකියා දී තිබෙනවද...

අපේ බයිසිකල් නිෂ්පාදනය වන්නේ යුරෝපා යුනියන් ප්‍රමිතියට. ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න ලොකු වියදමක් යනවා. නිෂ්පාදනය වගේම සේවකයන් පිළිබදවත් ඔවුන් බොහෝ ඇගැයිම් කරනවා. මේක සැහැල්ලු ඉංජිනේරු කර්මාන්තයක් වුණත් මෙහි නියැළෙන අපේ සේවක පිරිසෙන් බාගෙට බාගයක් පාණදුර, හොරණ අවට ගම්වල කාන්තාවෝ. ඒ වගේම, සියයට දහසයක් ශ්‍රව්‍යාබාධිත අය. මේ සියල්ලන්ගේ එකතුව හය සිය පණහක් පමණ. බොහෝ තැන්වල රැකියා අවස්ථාවක් හිමි නොවන මෙවැනි සමාජතලවල මිනිසුන්, ‘ඒෂියා බයික්’ අපිට මහත් අභිමානයක්. අපේ මේ දියුණුවෙ ඔවුනුත් කොටස්කරුවන්.

කර්මාන්තශාලාවේ බහුතරය මුස්ලිම් සේවකයන්ද...

අපි ආගම, ජාතිය බලලා නෙවෙයි මිනිසුන්ට රස්සාව දෙන්නේ. හැම ජාතියකම හැම ආගමකම මිනිස්සු මෙතැන වැඩ කරනවා. අපේ කොම්පැනියෙ සියයට 16 ක් ශ්‍රව්‍යාබාධිත අය රස්සාව කරන්නෙත් ඒ නිසා. රත්මලාන අඳ - බිහිරි විද්‍යාලය අපි එක්ක සම්බන්ධයි. ඕ - ලේවල්, ඒ ‍- ලෙවල් වලින් ඉවත්වන බිහිරි තරුණ දරුවෝ ඒ පාසලින්ම අප වෙත යොමු කරනවා. ඒ හුඟක් ළමයි, පිට පළාත්වල අය. දෙමව්පියොම ඇවිත් අපි එක්ක කතා බහ කරලා, මේ ෆැක්ටරියෙ වැඩකරන විදිය ඔවුන්ම දෑසින් දැකලා තමයි දරුවා අපිට බාර දෙන්නේ. අපි ඒ දුර ළමයින්ට නවාතැන් පහසුකම් හා ආහාර පවා සපයනවා. ඊට අමතරව වැඩ කරන්න උනන්දු, කැමැති ඕනෑම ශ්‍රව්‍යාබාධිත කෙනෙකුට අපි රස්සාව දෙනවා.

වසරකට මොන තරම් අපනයන ආදයමක් ඔබ ලංකාවට ගේනවද....

අපි සියයට සියයක් අපනයන ආදයම් ගෙනෙන කර්මාන්තයක්. එය, රුපියල් බිලියන 2.5 කට වැඩි වාර්ෂික ආදායමක්. අපේ බයිසිකල් නිපදවන්නේ ලෝකෙ ඉහළම සන්නාම වෙනුවෙන්. ඉහළ මිලකට අලෙවි වන ජර්මනියේ ‘ගලානෝ’, එංගලන්තයේ ‘ආගෝස්’, ඉතාලියේ ‘ෂියානෝ’... ඉන් බ්‍රෑන්ඩ් කිහිපයක්. මවුන්ටන්, රෝඩ්,රේසිං .....ඔය කියන හැම වර්ගයකම බයිසිකල් මීට අයත්. යුරෝපයේ, නෙදර්ලන්තයේ බොහෝ මැති ඇමැතිවරුන් පවා රාජකාරියට යන්නෙ බයිසිකල්වලින්. අපේ කර්මාන්තය අරභයා එය ඉතා හොඳ ප්‍රවණතාවක්.

මාසෙකට මොනතරම් බයිසිකල් ප්‍රම‍ාණයක් අපනයනය කරනවද ....

විසිපන්දාහක් - තිස්දාහක් අතර ප්‍රමාණයක්. වසරකට නම් බයිසිකල් ලක්ෂ දෙකක් දෙකහමාරක්, කන්ටේනර් හරහා නැව් ගත කරනවා.

මොන රටවලටද බයිසිකල් අපනයනය කරන්නේ...

එංගලන්තය, ජර්මනිය, හොලන්ඩ්, ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් ගණනාවකට. තව ඉන්දියාවට, බංග්ලාදේශයට.අපේ රටේ කවුරු හරි බයිසිකලේ වැඩට ආවොත් ඒක අඩු තක්සේරුවක්. නමුත් ඔය කියපු දියුණු රටවල රජය පවා තමන්ගෙ ජනතාවට මේ සඳහා අනුබල දෙනවා. ප්‍රධාන පාරවල වෙනම මං තීරු පවා බයිසිකල් පදින්නන් වෙනුවෙන් ක්‍රීයාත්මකයි. තමන්ගේ රටේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වය සහ පරිසර දුෂණය අවම කරගැනීම වෙනුවෙන් රාජ්‍ය නායකයින් පවා බයිසිකලෙන් කාර්යාලයට යෑම, ආදර්ශයක් ලෙසම ඔප්පු කර පෙන්වනවා. එංගලන්තයේ බයිසිකල් අපනයනයෙන් සියයට පහක් සපුරන්නේ අපි.

එහෙනම් ඩොලරයේ ඉහළයාම ඔබටත් වාසියක්...

අපනයනකරුවෙක් විදියට පොඩි වාසියක් අපිට තියෙයි. නමුත් හැමදේම ආනයනය කරන්න පුරුදු වෙච්චි රටක් විදියට රටට ඇති වාසියක් නැහැ. මොනවද දැන් අපිට කියලා, අපි අපේ රටේ හදාගන්නේ ? ටිකක් පිටරට යවලා, හුඟක් පිටරටින් ගෙන්වන රටක් අපි. ඒ නිසා මේ තත්වයේ වාසිය ගන්න හරි අමාරුයි.

කොහොමද ඔබට පුළුවන් තරමින් මේ දේ කරන්නෙ...

අපි ටික කලකට උඩදී හොරණ අක්කර හතක තව අලුත් අපනයන කර්මාන්ත ශාලාවක් ඇරියා. අපේ නිෂ්පාදන ධාරිතාව වැඩිකළා. රැකී රක්ෂා ප්‍රමාණය වැඩිකළා, බයිසිකල් වැඩිපුරම භාවිත වන කාම්බෝජය, වියට්නාම්, බංග්ලාදේශ් වගේ රටවල් එක්ක තමයි අද අපි තරග කරන්නේ.

මේ ආයතනයට කළ ලොකුම වෙනස කුමක්ද....

ඒ වෙනකොට හොඳම බයිසිකල් තාක්ෂණය ති‍බුණේ ජපානයේ. මං උසස් පෙළ ඉවර වෙලා 1983 ජපානයේ ඔසාකා ටෙක්නිකල් කොලේජ් එකට ගියා. ඔසාකාවල බයිසිකල් ෆැක්ටරි දෙක තුනක වරින්වර වැඩ කරමින් ඉගෙන ගත්තා. මේ අවස්ථාවක් හදා ගත්තෙ, තාත්තා අඳුරන සැපයුම් කරුවො හරහා. එක දිගට ඉන්න අවස්ථාවක් නැති නිසා ලංකාවට යමින් එමින් තුන් අවුරුද්දක් මං, ජපානයේ නවීන බයිසිකල් තාක්ෂණය ඉගෙන ගත්තා. ඒ ඇවිත් එතෙක් අපි හදමින් හිටි සාමාන්‍ය බයිසිකලේට අගයක් එකතු කළා. මවුන්ටන් බයිසිකල් හදන්න ගත්තා. ඊළඟට ජපන් උපාංග මිල වැඩිවෙන කොට චීනයෙන්, තායිවානයෙන් තව දුරටත් අලුත් තාක්ෂණය සහ උපාංග ගෙනාවා. අපේ සීයගෙ - තාත්තගෙ කාලෙ පටන් යකඩින් හැදූ බයිසිකල්, සැහැල්ලු ඇලුමිනියම් තාක්ෂණයෙන් හදන්න ගත්තා. අද හැම බයිසිකලයක්ම පාහේ නිපදවන්නේ ඇලුමිනියම් බටවලින්.

මේ ව්‍යාපාරය පහු කළ දුෂ්කරම කාලය මොකක්ද....

එහෙම යුග දෙකක් තිබෙනවා. එක, 1977 ජේ.ආර්.ජයවර්ධන ඇති කළ විවෘත ආර්ථිකය. එයින්, සීමාවක් නැතිව පිට රටවලින් බඩු එන්න ගත්තා. ඒකෙන් සිරිමා මැතිනිය දේශීය කර්මාන්තවලට දී තිබුණු තැන වේගයෙන් නැති වෙලා යන්න ගත්තා. අනෙක තමයි උතුරේ යුද්ධය. කොටි ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවගේ බයිසිකලේ මරාගෙන මැරෙන බෝම්බයක් විදියට පාවිච්චි කළා. බයිසිකලේ ෆ්‍රේම් එක ඇතුළේ හිස් කුහරවලට පවා ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පිරෙව්වා. ප්‍රබල පිපිරවීම්වලට බයිසිකලේම යොදා ගත්තා. අන්තිමේ වැඩිම සේල් එක තිබුණු උතුරු නැගෙනහිරේ, බයිසිකලේ තහනම්

භාණ්ඩයක් බවට පත්වුණා. ඒ වෙලාවෙ රජයට ඒක නොකර බැරි වුණා. හැබැයි මේ අවාසනාවන්ත සිදුවීමම තමයි අපේ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය වුණොත්.

ඒ කොහොමද...

77 න් පස්සෙ සෑහෙන කලක් යනතුරු අපේ ව්‍යාපාරය ආවේ බොහොම අමාරු ගමනක්. 800 ක් වැඩ කළ ෆැන්ටරියෙ එන්න එන්නම සේවකයො අඩුකරන්න වුණා. ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් (Slico) නම්, අ‍පේ තාත්තගෙ කර්මාන්ත ශාලාවෙන් රටපුරා ගිය ‘රෝඩ් මාස්ටර්’ බයිසිකලේට තවදුරටත් මේ විදියට පවතින්න බැරි බව තාත්තා තේරුම් ගත්තා. ජපානයේත් හදන ‘ඒෂියා බයික්’ බ්‍රෑන්ඩ් එක, ලංකාවේ හදන එකම නියෝජිතකම තාත්තා අරගත්තා. දේශීය වෙළෙඳපොළේ වෙනස් විදියකට ඉස්සරහට යන්නත්, අපනයනය ගැන උනන්දු වෙන්නත් අපි වැඩිපුර පෙළැඹුණේ මේ වෙනසත් එක්කයි.

ඒත් ඇයි, අපනයනයට අතගහන්න 1994 වෙනකල් හිටියෙ...

ජපානයට, චීනෙට, තායිවානෙට ගිහින් ඇවිත් මං ඩිවලොප් කළේ ලෝකල් මාකට් එක. මට ඕන වුණේ දියුණු නිෂ්පාදන තාක්ෂණය අපේ බයිසිකල්වලට උපරිමව සහ හොඳම විදියට යොදාගන්න. තායිවාන් කොම්පැනියක් එක්ක අනුබද්ධ වෙලා අපනයනය සඳහාම අලුත් ෆැක්ටරියක් හදන්න සියලු කටයුතු කරමින් ඉන්න අතරේ ප්‍රේමදාස ජනාධිපතිතුමා බෝම්බයකින් මිය ගියා‍. රටේ අස්ථාවරත්වය ගැන බයවෙලා තායිවාන් කොම්පැනිය වැඩේ අත්හැරියා. තවත් අවුරුදු දෙක තුනක් ඇදි ඇදී ගිහින් අන්තිමේ 1994 වෙනකොට තනි සමාගමක් විදියට අපනයනය පටන් ගත්තා. තාත්තා නිෂ්පාදනය කළ බයිසිකල් බ්‍රෑන්ඩ් එකේ නමමයි අපේ BOI කොම්පැනියේ නම විදියටත් පාවිච්චි කළේ.

ඔබ සේවකයන්ට හැබෑවටම කරුණාවන්ත නායකයෙක්ද...

හොඳ නායකයකුගෙ කරුණාවන්තකම තියෙන්න ඕනෙ හදවතේ පමණයි. මුහුණෙන් කරුණාව පෙන්වන්න ගියොත් වැඩ කෙරෙන්නෙත් නැහැ. වැඩ ගන්නත් බැහැ. රාජකාරියේදී සියයට සියයක් මට උපරිමය අවශ්‍යයයි. හැබැයි හදවතේ සේවකයන් වෙනුවෙන් බැඳීමක් කරුණාවක් තිබෙන නිසා මං කවදාවත් ඔවුන්ට අසාධාරණයක් කරන්නෙ නැහැ. ඉතින් මට අනුව නම් හොඳ නායකයකුගෙ මුහුණ ‘ස්ට්‍රික්’. හාට් එක ‘සොෆ්ට්’.

ඔබට බයිසිකල් ගැන ඉගෙන ගන්න, තවත් දේ ඉතිරිවෙලා තියෙනවද...

මං හැමදාම අප්ඩේට් වන කෙනෙක්. අපේ කාර්යාලයක් තියෙන නිසා කොහොමටත් අවුරුද්දට හතර පස් වතාවක් මං යුරෝපයට යනවා. පෙබරවාරි මාසෙ තායිවානයෙන් පටන් ගත්තම චීනයේ ෂැංහයි, ජර්මනිය, ලාස් වේගාස් හි පැවැත්වෙන දැවැන්ත බයිසිකල් ප්‍රදර්ශන හැම එකකටමත් මං යනවා. අලුත්වන තාක්ෂණය මෝස්තර, උපාංග... ඔය කොයි දේ ගැනත් ලොකු දැනුමක් ගන්න, හැමදාම අලුත් විදියට පවත්වන ඒ ප්‍රදර්ශනවලින් පුළුවන්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

මං ඉගෙන ගත්තෙ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ. ඉස්කෝලෙදි මං දක්ෂ ක්‍රීඩකයෙක්. රග්බි ඇත්ලටික්, ෆුට්බෝල්... හැම දේම කළා. ක්‍රීඩාවට මොන තරම් කැමැති වුණත් ඉගෙනීම පාඩු කරගත්තෙ නැහැ. මං දක්ෂ වුණේ කොමර්ස් සහ ඉකොනොමික්ස් විෂයන්ට. මේ මොන දේ කළත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම මං තාත්තගෙ ෆැක්ටරියට ගියා. මගේ හිත ගියේම බයිසිකල් නිෂ්පාදනය කරන අංශයට. මං පොඩි කාලෙ කළෙත්... ලොකු වුණාම කළෙත් හොය හොයා තාක්ෂණය හදාරපු එක.

ඔබ, පවුලේ කී වැනියද...

අයියලා දෙන්නෙකුට පස්සෙ මං. මට පස්සෙ මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි. පිරිමි ළමයි පස් දෙනාගෙන්ම බයිසිකල් කර්මාන්තයට සහ නිෂ්පාදනයට ආසා කළේ මං විතරයි. අයියලා මල්ලිලා කවුරුත් නැඹුරු ව‍ුණේ ට්‍රේඩින්වලට.

බයිසිකල් කියන්නෙ අනාගතයක් තිබෙන ව්‍යාපාරයක්ද?

සියයට දාහක් ඔව්. ලෝකෙ මේ තියෙන තත්වෙ එක්ක පරිසර දූෂණය, මිනිසුන්ගේ ලෙඩදුක්... මේ හැම දේම එක්ක මිනිස්සු ආපහු බයිසිකල් යුගයට එමින් පවතිනවා. දියුණු ලෝ‍කයේ රටවල් දැනටම එය පටන්ගෙන. අපේ රටේ මිනිස්සු වුණත් තව අවුරුදු දහයක් පහළොවක් යනකොට මේ යථාර්ථය අත්දැකීමෙන් ම වටහා ගනීවි. සැප පහසුවට සුපිරි වාහනවල ගිහින් අකාලයේ ලෙඩ වෙලා දුක් විඳලා මැරෙනවට වඩා, වයසට යනකල් සෞඛ්‍ය සම්පන්නව ඉන්න බයිසිකලේ තිබෙන ප්‍රයෝජනය ඔවුන් වටහා ගනීවි. එදා බයිසිකලේ, දුප්පතාගෙ වාහනේ කිව්වට අද ඒක පෝසතාගේ හිතවතෙක් වෙලා.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කුමක්ද...

මගේ පුංචි කාලෙ මං දැක්කෙ මගේ සීයාට තාත්තට තිබුණු සශ්‍රීක ව්‍යාපාරයක්. නමුත්, මගේ තරුණ කාලෙ වෙනකොට, යුද්දෙ නිසා එය පසුබාපු ව්‍යාපාරයක්. මම ඒ ව්‍යාපාරයට එන්නෙ, එය ගොඩ ගැනීමේ ලොකු අභියෝගයකුත් එක්ක. මං ඒ අභියෝගය ජයගන්නෙ නවීන තාක්ෂණය නිසා. අපේ නිෂ්පාදනය Value added දෙයක් බවට පත් කළ නිසා. අපිට නැති තාක්ෂණය ඉගෙන ගත්තොත් අපිට තියෙන දේ දියුණු කරගන්න පුළුවන් කියන දේට, ‍මං හොඳ ආදර්ශයක්. පසුබෑමකට ලක්ව තිබූ කර්මාන්තයක් දකුණු ආසියාවේ හොඳම බයිසිකල් නිෂ්පාදන ආයතනය දක්වා මං දියුණු කළේ ඒ හැදෑරූ තාක්ෂණය ඔස්සේ වැඩ කිරීමෙන්.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්