පුතාට තාත්තා නැතිව සාංකාව | Page 3 | සිළුමිණ

පුතාට තාත්තා නැතිව සාංකාව

ඛනිජ තෙල් සේවකයාගේ බිරිය ඉල්ලයි

“මගේ මහත්තයගේ ඝාතකයන්ට නිසි දඬුවම් පමුණුවමින් මගේ දරු පැටියට සාධාරණය ඉටුකරන්නැ”යි ඛනිජ තෙල් අමාත්‍යංශයේ පසුගිය 28වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ රංගන පුෂ්පකුමාර රාජපක්ෂ මහතාගේ බිරිය හඬා වැලපෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

ගම්පොළ, ගෙලිඔය, කරමඩ විසූ 36 හැවිරිදි රංගන පුෂ්පකුමාර 2007 වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට එක්ව ඇත. පසුව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සේවයට පැමිණි ඔහු පසුගිය 28 වැනිදා සවස අමාත්‍යංශය වසා දමා සීල් තබා තිබියදී එහි පැමිණි හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු පිරිවර නිසා ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූයේය. ඉරිදා දිනයක් වූ එදින අමාත්‍යංශය ඉබි යතුරු දමා වසා තිබියදී පැමිණි එම පිරිස නිසා ඇතිවූ ගැටුමෙන් රංගන පුෂ්පකුමාර ජීවිතයෙන් වන්දි ගෙවද්දී මාලිගාවත්ත, ඛෙත්තාරාමයේ නාලක රුක්මල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූහ.

වෙඩි ප්‍රහාරය එල්ල කළායැයි සැක කෙරෙන්නේ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන්වරයෙකි. ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර තිබේ. හිටපු අමාත්‍යවරයාද කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

සිද්ධියේදී ජීවිතයෙන් වන්දි ගෙවූ කුරුණෑගල ගල්ගමුව ඇබෝගම උපන් රංගන කුඩා අවදියේදීම දෙමාව්පියන්ද අහිමිව තම වැඩිමහල් සහෝදරයා සහ නැගණිය සමඟ ඉතාම අසරණ දිවියක් ගත කරමින් ජීවිතයේ ඉදිරියට පැමිණි තරුණයෙකි. පසුව 2015 වර්ෂයේදී ගෙලිඔය, කරමඩ වෙසෙන ආර්. එම්. ධනුෂිකා සමඟ විවාහ වූ ඔහු සිය ස්ථිර පදිංචිය සඳහා ගෙලිඔයට පැමිණ තිබේ. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරිනියක ලෙස සේවය කළ ධනුෂිකා සමඟ ඉතාම සතුටින් දිවි ගෙවූ රංගනගේ ජීවිතය තවත් හැඩ කළේ 2016 වර්ෂයේදී උපන් මෙතික තෙදත්විත් පුංචි පුතාය.

කෙතරම් වැඩ රාජකාරි තිබුණත් කෙසේ හෝ සති අන්තයේ නිවෙසට පැමිණෙන රංගන නැති අඩුව මෙතික දරු පැටියාට නම් තදින්ම දැනෙන බව පෙනී යන්නේ දරු පැටියා දුටු විටය.

“දරුවා හැම තිස්සෙම අහන්නෙ තාත්තා ගැන... අපිට ඒවට දෙන්න උත්තර නැහැ.... පුතාට දැන් නිකං සාංකාව වගේ... බලාගත්තු අත බලාගෙන ඉන්නෙ... එයා රංගන සති අන්තෙ ගෙදර එන බව හොඳටම දන්නවා... මොකද රංගන කියන්නෙ කොහොමහරි හැම සති අන්තෙකම අප බලන්න ගෙදර ඇවිල්ලා යන කෙනෙක්. අන්තිමට ආවේ පසුගිය 22 වැනිදා... කරුමෙට එයාට මේ සතියේ එන්න ලැබුණේ නෑ... මහත්තයා මටයි මගේ දරු පැටියටයි පණ වගේ ආදරෙන් හිටියේ. අපි ගොඩාක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වුණේ. අපි දෙන්නා එකතුවෙලා අමාරුවෙන් හරිහම්බ කරගෙන නිවෙසක් තනන්න ගත්ත විතරයි මේ අපරාධය වුණේ... අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා... මේ ඝාතනය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා වැරැදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවන්නැයි මම සියලුම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා”යැයි සිය ස්වාමියාගේ වියොවින් තැවෙන ධනුෂිකා කීවාය.

තම බිරියට දරුවාට මෙන්ම පවුලේ සෑම දෙනාටම පණ මෙන් ආදරය කළ රංගන ගැන එකම සොහොයුරිය නයෝමි සඳමාලි කීවේ මෙවන් කතාවකි.

“ඇයි මගේ අයියව වෙඩි තියලා මරලා දැම්මෙ... එයා මොකක්ද කළ වරද... රත්තරන් අයියා තමයි අපේ පවුලට ශක්තියක් වුණේ... මොන තරම් වැඩ රාජකාරි අධිකව ගෙලිඔය ජීවත් වුණත් අයියා අපිව බලන්න ඇබෝගමට අනිවාර්යයෙන්ම ඇවිල්ලා යනවා... ඒ වගේම ගමේ කාගේහරි මරණයක් මඟුලක් තිබුණොත් අයියා ඇවිල්ලා යනවාමයි... අන්තිමට අපට අයියා හමුවුණේ පසුගිය 21 වැනිදා වාරියපොළ තිබුණ මඟුල් ගෙදරට ආ වෙලේ... අපේ අයිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න... ඒ වගේම තවත් මේ ආකාරයේ නිරපරාදේ මිනිස් ජීවිත විනාශ වෙන දේශපාලන ක්‍රමය අවසන් කරන්නැයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

පසුගිය බදාදා මළහිරු බැස යන සන්ධ්‍යාවේ දේශපාලනඥයන් ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවූ රංගනගේ අවමංගල කටයුතු සියල්ල මේ වන විට අවසානය. එහෙත් ඔහුගේ ඝාතකයන් ගැන නිසි පරීක්ෂණ සිදුකොට දඬුවම් පැමිණවීම බලධාරීන්ගේ යුතුකමයි. එසේම අනාගතයේදී මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන දේශපාලන ක්‍රමයට 'තිත' තැබීමට සියලු දෙනා අදිටන් කරගත යුතුමය.

ඡායාරූප - දිල්හාන් විජයානන්ද ගම්පොළ සමූහ

Comments