ජනපතිට අවශ්‍ය සහාය ලබා දෙනවා | Page 2 | සිළුමිණ

ජනපතිට අවශ්‍ය සහාය ලබා දෙනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා විශේෂ දුරකථන සංවාදයකට එක් වූහ.

ඉතා මිත්‍රශීලී අන්දමින් මෙම දුරකථන සංවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව තුළ මේ වනවිට මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා එහිදී කරුණු පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එතුමා වෙත සහය ලබාදීමට තමන් ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමා වෙත හිමි බලතල අනුව බවයි.

එමෙන් ම සංහිඳියාව සහ ප්‍රතිසංධානයට අදාළ කටයුතු නව රජය යටතේ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෑම මොහොතකම කැපව සිටින බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන තත්ත්වයට අදාළව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති අතර, දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ය. එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නුදුරේදී ම පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අනතුරුව පවතින සැක සංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි.

 

 

Comments