
අරළු
රූමත් ලඳකි ඇය අසනීපව උන්න
දොස්තර වෙත ගියේ වෙදකම් අර ගන්න
ඇය දූසනය කර කුටියක් වෙත ඇන්න
දිවි තොරකළා පෙර තොරතුරු හෙළි වන්න
සිසු දැරිවියකි කරගෙන ගිය ඉගෙ නීම
මුල් ගුරුතුමා කිසිවෙකුටත් නොදැ නීම
ඇය හා කලක් සැප විඳි හැටි ඇසු වාම
දොරගුළු අපායේ ඇරුණේ නැහැ තාම
අම්මා රට ගිහින් යළි එන විට මෙතෙර
දියණිය මවක් වී හිටියා ගෙයි වැතිර
විමසා බලන විට වී ඇති දේ ගෙදර
පිය සෙනෙහසට වැදුණා දිගටම කතිර
දිය දම අනුව බැඳි සෙනෙහස් උරුම යට
බල්ලොත් පැටව් අරගෙන යයි හෙවණකට
මනසින් උසස් මිනිසා ගැන සිතන කොට
මහ මඟ දමා යයි දරුවන් ලැබෙන විට
බලයට මැරකමට මුදලට ගැති වීලා
සාධාරණය යුක්තිය ඇත පිටු පාලා
විපතේදී ඉදිරියෙන් සිටි කර උර දීලා
තිස්තුන් කෝටියක් දෙවිවරු රා බීලා
කිඩපොළ ඒකනායක
වැන්දඹු අහසක අනත්දරු සිහින....
තරු උදුළු ගාන්න
වලා බිම් කොටන්න
දේදුන්න රහින්න
අහස මොකටද සුසුම් පිහින්න
ග්‍රහලෝක නෑදෑ පිරිවර
ඉරණම් සකස්කඩ හඳහන
හපොයි මේ ලියැදි මැද
තිත්තයන්ගේ කුණුගඳ
පෘථිවි ෆුට්බෝඩ් එක
ඇළදොළේ වහල උඩ
ජීවිතේ ලේ උරන රජදහන
සති දෙකෙන් ආත්මයෙ වල් නසන
ග්‍රැමොක්සෝන්
පෙම් පරාදීසය.....
ගහක එතුනම වැලක්
වැලට ගහ හව්හරණක්
ජීවිතේ අකල් වියොවක්
මරණයක උල්කාපාතයක්
දරාගැනීම වෙහෙසකර අයිතියක්
බදාගැනීම පපුව සතු කාරියක්
හැඬීමත් තනිකමට බල නහරයක්
කනවැන්දුං කියන්නෙම ප්‍රේමයක්
ශ්‍යාමා දේවිකා දමයන්ති
දුක් ගැනවිලි ලියූ සකි සඳ
දුක් ගැනවිලි
ගොඩ වැසෙන
මේස අතරින්
හිස වදන් ගලා යයි
තුටු ගඟෙහි
ගිලුණු කල
කාලයේ කණ කොක්කු
ගග උඩින් ඉගිළ යති
හුළං පෙති සුළඟට
ලිපි ගොනු අතර
සිර වුණු
දුක් ගැනවිලි
වේදනාවෙන් සැලෙයි
හදිසියේ අත යැවෙන
ලිපි ගොනුවෙ
නුඹේ දුක් සුසුම් පිරි
ලියමනකි
වේදනා අතැඟිලි ලියූ
අකුරු පෙළකි
අපැහැදිලි ලියමනට ඔරවලා
හී තුඩක ඇමිණිලා
පිළිතුරක් ලැබෙනු ඇත
යථා කාලයේ දී
එතෙක් නුඹ පැමිණෙන්න
හති වැටෙන තුරු
කන්තෝරු එළිපත්ත
මත හිදින
නුඹට නොපෙනෙන
දෙයක් වේ
අහිතකර ලිපි ගිලින
කුණු බඳුන
කට ඇරුණු ගමන්මය
සු.ප්‍රි. සමරසිංහ
පිංගුත්තර වලප
දුගී බවේ රැහැන් පටින්
පෙම් හදවත වෙළා තරව
තක්සලාව හැරදා යමි
සොඳුරිය පසුපස එනු කිම
සිප්ගිර පෙළහර පෑවෙමි
ලැබුණ පඬුර නුඹම වුණිය
එය මිණි පඬුරක් සැබැවැයි
අන්ධයාට ඉන් පල කිම
මාගේ මවු මැහැලි තොමෝ
හිඳින්නීය ඉඳකඩ ළඟ
නුඹ කැඳවා දුගී පැලට
කේසේ දුක් දෙවන්නේ ද
පරම්පරා යස ඉසුරට
මුළු ලොව ලොබ බැඳ දිවයයි
නුඹ කිරුළක් දැරූ ලොවට
දූවිල්ලක් වුව මැනවැයි
රජ සිරියහනෙහි සැතපෙන
උදුම්බරාවිය මනකල
කප් කෙළවර තෙක් පැතිරෙයි
වියෝ දුක් සුසුම් පෙළහර
අජිත් ලියනගේ
වියපත් යකඩ අශ්වයා
තිස් හත් වසක් ගමනට ඔබෙ සහය වුණ
ඇස් දෙක වගේ රැකගෙන ඔබ යන ගමන
දිව රෑ දෙකම ඔබ සමගින් වෙහෙස වුණ
අද මම සිටිමි වියපත් අසකු විලසින
රජෙක් වගේ නෝනත් පිටුපස හිඳුවා
පළවෙනි ගමන මාතර ගම රට දක්වා
පදවන්නට ඔබට ලැයිසොම වත් නැතුවා
ගිය හැටි පුදුම හිතෙනව බිය සැක සඟවා
ටැංකිය උඩ පුතා දුව නෝනා පිටූපස්සේ
මාකට් ගියේ පවුලම ඉරු දින දවසේ
අතින් කටින් අරගෙන බඩු මළු එකසේ
මතකද ආව දහසක් වාහන අස්සේ
රැකියාවට යන්න කොටුවට වෙලාවට
ළමයි ඇරලන්න සමහරදා පාසලට
තව කොතෙකුත් ගමන් තිබුණද ඔබලාට
හැකි විය සහය වී ඔබෙ සිත සනසන්ට
මහලුයි මමත් ඔබ වාගේ අද දවසේ
සතුටයි දිවිය ගතවෙන ඔබ ළඟ පෙරසේ
සලකයි ගුණය රැකගෙන මම අද නිෙවසේ
මේ කයි පළමු පාඩම එන බුදු සිරිතේ
ජයසේන කොඩිතුවක්කු
ඉර මඳක් නවතින්න
ඉර මඳක් නවතින්න
තවත් හෝරා ටිකක්
නිදි ඇසට ඉඩ දෙන්න.
කෙළවරක් නැතිව යයි
ත්‍රී විලර් බයිසිකල්
කාර් බස් රථ පෙළක්.
සිනහවක් නැති මුහුණු
දයාවක් නැති දෑස්
වෙනත් ලොවකට පලා යනු වැනි.
නිශ්ශබ්ද ලෝකයට
නලා හඬ හඬවමින්
ඉඩ පතයි
මඟ සොයයි.
දහසක් බුදුන් බුදුවන
සහසක් කුසුම් පිබිදෙන
ලොවකට එළිය සපයන
ඉර ඉතිං නවතිනු
සිහිනයට තව ඉඩ දී.
ගිල දා යමක් හදිසියෙ
ඇඟලා ඇඳුම් නොරිසියෙ
රේස් කරනා රථයක
දසුන ද උදය උරුමය.
ඉර මඳක් නවතින්න
තවත් හෝරා ටිකක්
නින්දකට ඉඩ ඩදන්න.
තිලක් ඒකනායක
විහඟුන්
උසැති තරු මුදුන්වල
කුසුම්වල ඇති අරුමය
මඩ වැකුණු මහමුල්
නුදුටු බව පෙන් වු
කුරුල්ලෝ රෑනකි
ඒ මුදුන් මුල්වල කඳුළින්
මහ පොළොව ගන්නා හුස්ම
ගීතයන් කොට ගැයු රෑ යාමවල
තරු පවා කළු වලාකුළුවල
සැඟව නිදි නොලැබූ
සඳදිය පවා සිඳි ගිය
සල්ලාල දිගු ගිම්හානවල
හුස්ම බිඳුවක් හදවතින් ගෙන
සහෝදර පියාපත් මත තැවරු
ඒ මතක සිත්තම් වේළි නැත
අහස මත තම කතා ලියුමට
පියාපත් දී තම බිලිඳු පැටවුන්ට
ගයන්නට එක් ස්වරයෙන් මහී ගීතය
සමව පියඹන්න වසන්තය තෙක්
තරු ගණින වැඩිහිටි විහඟුණි..!
නපුරු සිහිනයන් රැසක් අවසන
උදා විය යුතු ය දිප්තිමත් උදෑසන
පිනි කැට සතු සකල ජීවය
පොවා ඇත ඔබ අපේ ස්වරයට
එතෙක්;
නතර නොව අප සහෘදය ස්පන්දන..!