ඈත අතී­තයේ නාග ඇද­හිල්ලේ නට­බුන් තව­මත් ඇළ බැම්මේ | සිළුමිණ

ඈත අතී­තයේ නාග ඇද­හිල්ලේ නට­බුන් තව­මත් ඇළ බැම්මේ

යෝධ ඇළ බැම්මත් පහළ වෙම්බුව හරහා හිරිපිටියාගම සිට කාගම ට ඇදෙන මහා මාර්ගයත් මංසන්ධියේ ඇත්තේ විසල් නුග රුකකි. එහි පාමුල ඇත්තේ ගණ දෙවි සංහිඳකි. මෑත කාලීනව අලුත්වැඩියා කොට ඇති එම සංහිඳෙහි අතීතයේ නාග ඇදහිල්ල සිදුවූ බවට වන සාක්ෂි දැකිය හැක. කාලයාගේ ඇවෑමෙන් එම ඇදහිලි වෙනස් වී ඇති බව පෙනෙතත් තවමත් නාග ඇදහිලි පැවැති සමයේ වූ නාග රූපය සහ සලකුණු සංහිද පාමුල ආරක්ෂිතව රඳවා තබන්නට කාරුණික වූ පහළ වෙම්බුවේ වැසියන්ට ස්තූති වන්ත විය යුතුය.

ඉතිහාස කථාවලට අනුව මෙයට අවුරුදු 2500 කට පෙර නාගදීපය සහ යාපනය අර්ධද්වීපය යන දෙකෙහිම ජීවත් වුවෝ නාග ගෝත්‍රිකයෝ ය. නාග ගෝත්‍රිකෙයෝ ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රජාවක් බවට විශ්වාස කරන අතර, හින්දු ඇදහිල්ල අනුගමනය කරමින් නාගයකුගේ ස්වරූපය ගත් දෙවියකු ඇදහීමට පුරුදුව සිටියහ.

ඔවුන් කතා කළේ ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් වූද, පාලි සහ සංස්කෘත භාෂා පොදු ජනයාගෙන් ඈත් වූ පසු බිහි වූ ඉන්දියානු භාෂාවක් බවට පත් වූද ප්‍රකෘත භාෂාවෙනි. ලංකාවට බුදු දහම රැගෙන ආ මිහිඳු හිමියන්ගේ පිය රජු වූ ධර්මාශෝක රජතුමා (ක්‍රි. පූ. 268-232) සෙල්ලිපි කොටවන ලද්දේ ද ප්‍රකෘත භාෂාවෙනි. බුදු දහමේ ආරක්ෂාවට මෙරටට පැමිණි නාගයන් පසුකාලීනව බුදු දහම වැළඳගෙන තිබෙන බවට විශ්වාස කෙරේ. මෙය සියුම්ව විමසා බලා පර්යේෂණයන් සිදුකර හඳුනාගත යුතුව ඇති ඓතිහාසික සංකල්පයකි. එතෙක් අපට කළ හැක්කේ ඇසු දුටු දේ සහ සමාජයේ මත සටහන් කර තැබීම පමණෙකි.

 

අස්වනු සරුකරන්න පුද පූජා

 

“දැන් කිරි ඉතිරිල්ලක් තිබිලා ඉවර වුණා විතරයි. ටිකකට කලින්ආවානම් කිරිබත් කාලාම යන්න තිබ්බා” සංහිඳ අසල වූ ලෑලි තේ කඩයේ මුදලාලි අපට කීවේ තේ කහට දෙකක් වත් කරන ගමන්ය.

“කිරි උතුරනවා කියන්නේ මොකද්ද?”

“මේ පැත්තේ අදහන්නේ ගණ දෙවියන්. තමන්ගේ දුකකදි කරදරේකදි සංහිදක් ගාවට ගිහින් හිතෙන් බාරයක් වෙනවා කරදර බාධක ඉවත් වුණහම කිරි ඉතිරිල්ලක් කරන්න. ලෙඩක් දුකක් හොඳ වෙන්න, අස්වනු සරුවෙන්න, රැකියාවක් ලැබෙන්න, විභාගයක් ජයගන්න වගේ දේවලටත් භාර වෙනවා.”

“අරමුණ ඉෂ්ට වුණහම.? “

“අරමුණ ඉෂ්ට වුණහම කෙම්මුර දවසක උදේම ඇවිත්, නුගේ පාමුල කිරි උතුරවල, කිරිබත් රස කැවිලි, පලතුරු පූජා කරලා වට පිට ඉන්න අයට බෙදල කරලා ආපහු යනවා.”

නුවර කලාවියේත්, පොදුවේ රජරටත් කෘෂිකර්මය හා බැඳුණු වත් පිළිවෙත් බොහෝය. ඒවා පැවැතෙන්නේ බුද්ධකාලයටත් පෙර සිටයැයි අනුමාන කළ හැකි සාධක වෙයි. මුට්ටි නැමීමේ මංගල්‍යය, හත්කට්ටුවේ රාජකරිය, වැවේ රාජකාරිය, පනම් බැඳිම ආදී විවිධ ආගන්තුක නම්වලින් හැඳින්වෙන මේ පුද පූජාවන් පොදුවේ සමානය. නමුත් එකිනෙකට වෙනස් පේ වීම්, භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රරමාණය, අනුපිළිවෙළ ආදිය දැකිය හැකිය.

යෝධ ඇළෙන් දියවර ගන්නා ගොවියෝද සිය අස්වනු කපා අවසන් වූ පසුවත්, අලුත් කන්නයට බිම් හාන්නට පෙරත් විවිධ වූ පුදපූජා කරති. වාර්ෂිකව කන්න දෙකක් හෝ තුනක් පැවතියද මේ පුදපූජාවන් සිදු කෙරෙන්නේ වසරකට වරකි. එනම් මාස් කන්නය අවසානයේ මාර්තු මාසයේත්, යල කන්නය ආරම්භයේ මැයි මාසයේදීත් පමණෙකි.

පහළ වෙම්බුවේද වැවක් තිබේ. එහෙත් එය මහ වැවක් නොවේ. එය ගම් වැවකි. වැවක් මහ වැවක් වන්නට නම් එයට වසර පුරා අඛණ්ඩව ජලය ලැබෙන ක්‍රමවේදයක් පැවැතිය යුතුය. අඛණ්ඩව ගලනා ඔයකින් හෝ දොළකින් නැතහොත් යෝධ ඇළ බඳු මහා වාරිමාර්ගයකින් ජලය ලැබෙන්නේ නම් එය මහ වැවකි. ගම් වැව් සහ කුළු වැව්වලට එබඳු මහා පරිමාණ ජල මාර්ගවලින් ජලය ලැබෙන්නේ නැත. ඒවා පිරෙන්නේ වැසි වතුරෙනි. නැතහොත් වැසි සමයට පමණක් සක්‍රීය වන කුඩා දොළ පහරකිනි.

මේ සියලු වැව් එකිනෙක හා සම්බන්ධ වන්නේ ඇළ මාර්ගවලිනි. එවැනි වැව් සංකීර්ණයකට එල්ලංගාවක් යැයි කියනු ලැබේ. රජරට සියලු වැව් නිර්මාණය කොට ඇත්තේ එල්ලංගා පද්ධතීන් ලෙසය. මේ වැව් පද්ධති සියල්ල සිතියම් ගත කළහොත් එය දිස්වනු ඇත්තේ මිනිසාගේ ස්නායු පද්ධතිය මෙන් දැළක ආකාරයටය. එල්ලංගා පද්ධතියක එක් සම්බන්ධීකරණ ඇළ මාර්ගයක් ගොඩවී ගියහොත් හෝ විනාශ වි ගියහොත් වැව් බොහෝ ගණනකින් අස්වද්දන කුඹුරු වලටත්, ගොඩ ගොවි බිම්වලටත්, ඒ වැව් ගම්වල වැසියනටත් ගැහැට විඳින්නට සිදු වේ.

කෙමෙන් කෙමෙන් මද්දහන උදා වූවද පහළ වෙම්බුවේ සිට ගන්තිරියාගම දක්වා විහිදෙන යෝධ ඇළ බැම්මට නම් හිරු රැස් පතිත වන්නේ නැත. ඒ යෝධ ඇළ බැම්මේ වවුණු රූස්ස ගස් වදුලකින් අහස නොපෙනෙන තරමේ ඝනකමකින් යුතු උඩුවියනක් නිර්මාණය වි ඇති නිසාය. කලකට පෙර තාර දමා තිබී ඇති මේ මාර්ගයේ දැන් තාර ඇත්තේ අතරින් පතරය. හමුවන්නේ නිවෙස් කිහිපයක් පමණි. අනෙක් සම්පූර්ණ දුරම වෙන්ව ඇත්තේ ගන්තිරියාගම වැවේ තාවුල්ලටය. එය රක්ෂිතයක් ලෙස රැකෙන නිසා මේ මාර්ග කොටසේදී මිනිස් ක්‍රියාකාරකම් දැකගත හැක්කේ සීමිතවය.

 

එල්ලංගා පද්ධති හා බැඳුණු රජරට වැව්

 

ආරම්භයේම හමුවන ගෙවතු වගාවක් සහිත නිවෙසකට අප ගොඩවූයේ යෝධ ඇළ ගැන ඔවුනගේ මතක කෙසේදැයි විමසන්නටය.

එච්. ජී. බිසෝමැණිකා මහත්මිය හැටතුන් හැවිරිදිය. ඇගේ මුල් ගම මාතලේ, රංගමය. පහළ වෙම්බුවට දීග ආ ඇය දැන් දරුවන් කිහිප දෙනෙකුගේ මවකි. ඔවුනගේ සෙනෙහස විඳිමින් ජීවිතයේ සැඳෑසමය ගෙවන ඇය, අප එහි යන විට යෝධ ඇළට පැන දිය කෙළින සිය මුනුපුරාගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙමින් සිටියාය.

“අද ඉස්කෝලෙ නිවාඩුනේ….රෑ වැස්ස නිසා දහම් පාසලට ගියෙත් නෑ… දැන් ඇළේ බැහැගෙන නටනවා….”

මේ ඉසව්වට එන විට ජයගඟත්, යෝධ ඇළත් ගලන්නේ එකිනෙකට ඈතිනි. එනිසා ප්‍රදේශවාසීහු නෑම, සේදිම වැනි කටයුතු සඳහා යෝධ ඇළ ප්‍රයෝජනයට ගනිති. එවැනි අවස්ථාවක යළිත් යෝධ ඇළ පිරිසිදුවට පවතිනු දැකිය හැකිය. මිනිසා විසින් භාවිතයට ගන්නේ නම් යෝධ ඇළ ජරාවාස විම අවම වන බවට ඒ අනුව නිගමනය කළ හැකිය.

“මම ආවේ මාතලේ ඉඳල..1970 ගණන්වල. අපේ පැත්තේ ධාතුසේන කතාව තමා යෝධ ඇළේ ඉතිහාසේ විදියට ඇහෙන්නේ. මෙහෙත් ගොඩක් දෙනා කියන්නේ ඒ කතාවම තමයි. හැබැයි ටිකක් විතර වෙන කතන්දරවල විස්තරත්දාලා. ඒත් මෙහෙට ආවහම යෝධයෙක් ඇදගෙන ගිය උදළු පාරක් දිගේ ඇළ කැපුව කතාවක් ගැන සමහර වැඩිහිටි උදවිය කියනව ඇහිලා තියෙනවා. ඒත් මට හිතෙන හැටියට ඒ කතාව පොඩි අයට බත්කවන කොට කියන ජාතියේ සුරංගනා කතාවක්. යෝධ ඇළට පාර ඇඳගෙන තියෙන්නේ ගැබ්බර එළිච්චියකගේ පිටේ බර බැඳල යවල කියන එකයි පිළිගත්තු කතාව වෙන්නේ….”

 

යෝධයෙක් උදැල්ලක් ඇදගෙන ගියාලු

ඉතිහාසය සහ ජනශ්‍රැතිය යනු දෙකකි. ඉතිහාසය තහවුරු කරගත යුත්තේ පිළිගත් සාධක සහ සංකල්ප මතය. නමුත් ජනශ්‍රැතිය බොහෝ ඉතිහාස සිදුවිම්වල මතකයේ සංයෝගයක් අනුව පැවැතෙන්නකි. එයට නිදහසේ වැඩෙන්නට දිය යුතුය. ඉතිහාසය තහවුරු කරගන්නට අවශ්‍ය සාධක ජනවශ්‍රැතියෙන් ලබාගත්තද, ජනශ්‍රැතිය මත ඉතිහාසය නිගමනය කරන්නට යාම වැරදි පූර්වාදර්ශයකි. එනිසාම අපි, එදිරිව කිසිත් නොකියා ඇගේ කතාවට ඉඩ දුන්නෙමු.

“අපිට කුඹුරු නෑ. තියෙන්නේ ගොඩ ඉඩම් තමයි. අපේ හේන් වගාවට, කෙසෙල් වගාවට වතුර ගන්නේ යෝධ ඇළෙන්. දැන් අවුරුදු දෙක තුනක ඉඳලා අපි කිලෝ පේර වගාව පටන් ගත්තා. මෙහේ දේශගුණයට ගැළපෙන හොඳ වගාවක්. ඒකටත් වතුර ලැබෙන්නේ යෝධ ඇළෙන් තමයි.”

කලාවැව, ගන්තිරියාගම, තලාව, ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල දැන් ඇපල් පේර හෙවත් කිලෝ පේර වවන්නනට පටන්ගෙන තිබේ. වසර පහළොවක පමණ කාලයක් අඛණ්ඩව අස්වැන්න ලබාගත හැකි මේ දෙමුහුම් පේර වර්ගය දේශීය පේර ප්‍රභේදවලට වඩා රෝගවලට සහ පරපෝෂිතයින්ට ඔරොත්තු දෙන බැවින් වාණිජ වගාවක් ලෙස සුදුසුය.

මානෑව අසල වගා බිමකදී මෙම ඇපල් පේර ව්‍යාපෘතිය මෙහෙයවන පෞද්ගලික සමාගමක ප්‍රවර්ධන කළමනාකරුවෙකු හමුවීමටද අපට අවස්ථාව ලැබිණි. නමින් අනිල් ජයසිංහ වන ඔහු කෘෂි උපාධිධාරියෙකි.

“අපි පෞද්ගලික සමාගමක්. අපනයනය සහ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන ගොවීන් මෙම වගාවට යොමු කරන එක තමයි අපේ ව්‍යාපාරයේ ස්වභාවය වන්නේ. අපිම පැළ දෙනවා. අපි මාසෙකට දෙපාරක් ගොවිබිමට ඇවිත් අවශ්‍ය උපදෙස් දෙනවා. දෙසතියකට වරක් ගොවියාගේ ළඟටම ඇවිත් අස්වැන්න මිලදී ගන්නවා. දැනට මෙම ප්‍රදේශයේ ගොවීන් සියයක් විතර අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි වගේම මෙම අස්වැන්න මිළදි ගන්න තවත් සමාගම් කිහිපයකුත් තියෙනවා. ”

 

අලුත් වගාවලට යොමු වූ ගොවියෝ

සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් මිදී නව කෘෂිකාර්මික බෝග වෙත යා යුතුය. වැඩි වෙළඳපොළ වටිනාකමක් ඇති බෝගත්, පළිබෝධ හානිය අවම බෝගත් තෝරාගෙන වගා කරන්නේ නම් වැඩි ලාභයක් ඉපැයිය හැකිය. රජයටම නව බෝග වර්ග හඳුන්වාදීමත්, ප්‍රචලිත කිරීමත් වගකීමක් ලෙස නොපවරා පෞද්ගලික අංශයත් දායක වන්නේ නම් නුවර කලාවියේත්, මුළු රජරටත්, සමස්ත රටේමත් කාෂිකාර්මික සංස්කෘතිය උඩු යටිකුරු කළ හැකි වනු ඇත. මේ ඊට හොඳම නිදසුනකි.

“අක්කර භාගෙක ඉඩමකින් මාසෙට කිලෝදාහකට වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. කිලෝ එකක අඩුම මිළ රුපියල් හැත්තෑවක් වෙනවා. මේ දවස්වල අපි ගන්නේ සීයට. එකසිය දහයට.”

හිරු මුදුනට ආ නමුදු අපට තවමත් දාහයක් දැනෙන්නේ නැත. ඒ ගන්තිරියාගම වැවේ සිසිලසත්, යෝධ ඇළ බැම්මේ සරුවට වැඩුණු රුක් ගොමුවේ සිසිලසත් නිසාය.

සියයකට ආසන්න රිලා රංචුවක් විසල් රුක් මුදුන්වල සිට එබිකම් කරන්නේ ආගන්තුක අප ගැන විය යුතුය. ඔවුනගේ සිරි විසිතුරු නරඹමින් කිලෝමීටර දෙකක පමණ දුරක් ඒ වනගත මාර්ගයේ ගිය අපි ඉපලෝගම නඟරයට ආසන්නයෙන් කැකිරාව තලාව ප්‍රධාන මාර්ගය පැන මානෑව ගංතිරියාගම ප්‍රදේශයට අවතීර්ණ වුණෙමු.

දැන් අපට ගන්තිරියාගම වැව හොඳින් පෙනේ. විශාල වැවක් වන ගන්තිරියාගමට දියවර ලැබෙන්නේ යෝධ ඇළෙනි. එයින් අස්වද්දන කුඹුරු යාය විහිදෙන්නේ සේනපුර, ගෝනපතිරාව සහ මහඉලුප්පල්ලම දෙසටය. නමුත් මේ ඉසව්වවේදි යෝධ ඇළ වංගු ගැහෙමින් ගලන්නේ එම ප්‍රදේශවලින් උතුරටය.

 

යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.

 

(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)

 

රෑන ගිරව් චිත්‍රපටයේ “දිසා” සහ “සුමනා” සොයා ගමන ලබන සතියේ….

Comments