මාධ්‍ය‍ෙව්දියා මරා ළිඳේ දැම්මාද? | සිළුමිණ

මාධ්‍ය‍ෙව්දියා මරා ළිඳේ දැම්මාද?

  • ආරක්ෂක කැමරා කතා කරයි
  • කෂෝගි ඝාතනය දවසේ ජෙට් එකකින් තුර්කියට ආ සවුදි කණ්ඩායම කවුද?
  • සවුදියේ ඔටුන්න හිමි කුමරා නිහඬතාව බිඳියි

මොහොමඩ් බින් සල්මාන් සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරාය. ලෝකයා ඔහුට එම්.බී.එස්. ලෙස අමතන්නට පහසු කෙටි නමක්ද දී ඇත්තේය. අද ඔහුගේ නමවටා උණුසුම්ම පුවත් මැවෙන්නේය. ලෝකයා ඉදිරියේ සැබෑ වයස පවා හෙළිවන්නට මත්තෙන් ඔහු තම ප්‍රචණ්ඩත්වය ලෝකය ඉදිරියේ හෙළිකරන්නට පටන් ගෙන ඇතැයි ලෝකයා කියයි. 2015 ජනවාරියේදී සිය පියා උරුමයෙන් ලද සවුදි කිරුළේ වැඩිම උද්දාමය ලැබුවේ මොහොමඩ් බින් සල්මාන් බව කාටත් දැනෙන්නට පටන් ගත්තේ පියාට කිරුළ හිමි වී වැඩි කලක් ගත වන්නටත් පෙරය. සල්මාන් රජු සිය රාජ්‍ය බලයෙන් සැලකිය යුතු තරමේ විසල් බලයක් එම්.බී.එස් වෙත පවරා දීම ද බොහෝ විවේචන මතු කළද රාජ්‍යත්වයේ බලයත් නීතියත් දන්නා නිසා කිසිවෙක්වත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නොකළහ.

ඒ අනුව සවුදි අරාබියේ ආරක්ෂක ඇමතිකම ලැබී මාස දෙකක් ගතවෙද්දීම අලු‍ත් ආරක්ෂක ඇමැතිවරයා වැඩ පටන් ගත්තේය. අරාබි ලෝකයේ දුප්පත්ම රාජ්‍යය ලෙස සැලකෙන යේමනයට එරෙහිව ඔහු යුද්ධයක් ඇරඹුවේය. ඔහු ගැන කියැවුණු උණුසුම් පුවත් සියල්ල දැන් ජමාල් කෂෝගිගේ කතාව විසින් යටපත් කරනු ලැබ ඇත්තේය. සවුදි මාධ්‍යවේදියෙකු සහ විවේචකයකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහුගේ කතාව අප අරඹන්නේ සැබෑවට ඔහුගේ කතාව නිමා වූ පසුවය. එම්.බී.එස්. ගේ අයපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධියේම කතා කරන්නට පටන් ගත් කෂෝගි ඊට වන්දිය ලෙස තමගේ ජීවිතය හිලව් කළ බව අද රහසක් නොවේ.

ලෝකය ඉදිරියේ ඉතා අවලක්ෂණ අප්‍රසන්න අපරාධයක් බවට පත් වී ඇති මේ සිද්ධිය ඔටුන්න හිමි කුමාරයකු ‘ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු’කිරීමට හේතුවී තිබේ. “මේ සිදුවීම ඔහුගේ වෙස් මුහුණ ගලවා දැම්මේ ඔහු සාහසික, භයානක හා මැරවර ඒකාධිපතියකු බවට පත්කරමින්” එම්.බී.එස්. ගැන අද කියැවෙන්නේ එහෙමය. කෂෝගි ඝාතනය කර ඔහුගේ සිරුර කොටස්වලට වෙන් කළ බව කියැවෙන්නේ ගෙවුණු ඔක්තෝබර් දෙවැනිදාය. ඒ ඉස්තාම්බුල් නුවර සවුදි කොන්සියුලර් කාර්යාලයේදීය. කෂෝගි සැකයක් නැතිවම සවුදි කොන්සියුලර් කාර්යාලයට යන්නට ඇත්තේ කොන්සියුලර් කාර්යාලයේ තිබෙතැයි විශ්වාස කළ වීනීතවත් බව නිසා වන්නට ඇත. අස්ථි කැපිය හැකි කියතක්ද අතැතිව කොන්සියුලර් කාර්යාලයේ සිටි පුද්ගලයකුද ඇතුළු පහළොස් දෙනෙකුගෙන් යුතු සවුදි ජාතිකයන් කණ්ඩායමක් හඳුනා ගන්නාතුරු ඉස්තාන්බුල් නුවර සවුදි කොන්සියුලර් කාර්යාලයේ තිබූ ‘තානාපති’ගති ස්වභාවය එලෙසින්ම රැකී තිබුණි. තුර්කි නිලධාරියකු හෙළි කර ඇති අන්දමට මේ සවුදි ජාතිකයින්ගේ මැරවර ගති ස්වභාවය ඔවුන්ගේ වචනවලින්ම පැහැදිලි වී ඇති අතර ඔවුන් කතාබහ කළ ආකාරය හඬපට ලෙස පටිගත වී ඇත. මෙලෙස පටිගතව ඇති වීඩියෝ පලටවල දැකිය හැකි එක් අයකු සවුදියේ බින් සල්මාන් කුමරු යන යන තැන ඔහු සමීප‍යේ සිටින පුද්ගලයකු බව තුර්කි විමර්ෂකයන් මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එසේම කෂෝගිගේ වෙස්ගත් සවුදි තානාපති කාර්යාල සේවකයකු තානාපති කාර්යාලයෙන් පිටතට එන අයුරුද තුර්කි විර්මර්ශනවලදී හෙළිදරව් විය. මෙහිදී තුර්කි පොලිසිය සැක මතු කරන තවත් කරුණක් තිබේ. ඒ තානාපති කාර්යාල භූමියේ ඇති ළිඳක් පිළිබඳ සොයා බැලීමට සවුදි තානාපති කාර්යාලය ඉඩ ලබා නොදීමය. කෂෝගි කෙරෙහි වූ සවුදි කෲරත්වය ගැන ලෝකයා කොතෙක් දේ කීවද කාගේත් අවධානය යොමු වූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ සිදුවීම ගැන පළ කළ මතයයි.

“රටක පරමාධිපත්‍ය කියලා කියන්නේ ඒ අයට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ගති සිරිත් තමන්ට කැමති පරිදි පවත්වාගෙන යාමට තියෙන අයිතිය. ඉස්තාන්බුල් නුවර වීදියක තිබුණත් සවුදි කොන්සියුලර් කාර්යාලයේ ක්‍රියාත්මක වෙන්නේ සවුදි රටේ නීතිය. අනෙක නීතියේ වුණත් පිළිගැනීමක් තියෙනවානේ කෙනෙක් කරපු වරද ඔප්පු වෙන තුරු ඔහු පිළිගන්නේ අහිංසකයෙක් විදියටයි”ලෝකයේම මතයට එරෙහිව ට්‍රම්ප් ජනාධිපතිවරයා සවුදි රජ පවුලට එල්ලවූ චෝදනා වවලින්ම සෝදා දැමුවේය. කෂෝගි ඇමෙරිකා පුරවැසියකු බවට වූ කතාවටද ඔහු පිළිතුරු දුන්නේය.

“ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් නොවෙයි. නිත්‍ය පදිංචිකරුවෙක් පමණයි” සිදුවීම තවත් පැහැදිලි කර ගන්නට ට්‍රම්ප් ජනාධිපතිවරයා රාජ්‍ය ලේකම් මයික් පෙම්පෝ සිය දූතයකු ලෙස සවුදි රජු සල්මාන් වෙත යැව්වේය. සල්මාන් රජු හා කෙරුණු සාකච්ජාව කෙසේ සිදු කෙරුණත් ඒ හමුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප්ට දැනගැනීමට ලැබී තිබුණේ කෂෝගිට අත්වූ ඉරණමට වගකිව යුත්තේ ‘මැරවර කණ්ඩායමක්’ විය හැකි බවය. නිව්යෝක් ටයිම්ස් පුවත් පතට මෙම පුවත ලැබෙන්නට එතරම් වේලාවක් ගත වූයේ නැත. පුවතට ප්‍රසිද්ධිය ලැබීමත් සමඟම මැරවර කණ්ඩායමක් ගැන වූ කතාව දියවී ගියේ සවුදි ඔටුන්න හිමි කුමාරයාගේ පිරිවරෙහි වූ කීපදෙනෙකු කෂෝගිගේ ඝාතනයේ සැකකරුවන් ලෙස නම් කරමිනි.කෂෝගිට මේ ඉරණම අත්වීමට වගකිව යුත්තේ සවුදි රජ පවුල බවට තොරතුරු තහවුරු වෙමින් තිබුණද, කෂෝගි සවුදියට ආගන්තුකයකු නොවේ. සවුදි රාජාධිකරණයේ කටයුතුවලට සක්‍රීයව සහ බාහිරව සහයෝගය දක්වන්නෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු ආයතනික පුවත්පතක සංස්කාරකවරයකු ලෙසද කටයුතු කර ඇත්තෙකි. වොෂින්ටන් නුවර සවුදි තානාපතිවරයාගේ ප්‍රකාශකයා ලෙසද කටයුතු කර ඇති කෂෝගි කෙරෙහි අවාසියක් වූයේ ඔහු බලය අහිමි වී ගිය සවුදි පවුලකට දැක්වූ සබඳකමයි. ඔහුගේ වඩාත් නරක පුරුද්ද වී තිබුණේ අවංකව කතාකිරීමේ පුරුද්ද නතර කර ගන්නට නොහැකිකමය. ඔටුන්න හිමි කුමරුගේ තීරණ සහ කටයුතු ගැන ප්‍රසිද්ධියේම කතා කළ කෂෝගිට මෑතදී ප්‍රසිද්ධියේම බල කෙරී තිබුණේ ඔටුන්න හිමි කුමරු මුණ ගැසෙන ලෙසය. කාන්තාවන්ට රිය පැදවීමේ අවසරය ලබා දීම සහ චිත්‍රපට ශාලාවලට යෑමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් කෂෝගිගේ සුභපැතීම පමණක් කුමරුට උවමනා බව ද කෂෝගිට දන්වා තිබිණි.

“මට කියලා තිබුණා මම ම දිගු කාලයක් තිස්සේ ඉල්ලපු සහ දැනට අනුමැතිය ලැබී තිබෙන මෑතදී කරපු සමාජ ප්‍රතිසංස්කරණ අනුමත කරන බව කියන්න කියා. මම කතා කරන අනෙක් දේවල් ගැන නිහඬව ඉන්න කියලත් මට දන්වලා තිබුණා.” කෂෝගි පසුගිය මැයි මාසයේදී වොෂින්ටන් පෝස්ට් වෙත ලියා තිබුණේ එවැන්නකි.

යේමනය මඩවගුරක් බව කියමින් දක්වන ආකල්පය, අනුමත කළ නොහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ, කටාර් රාජ්‍යය වෙත දක්වන අවහිරතා, ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සමඟ කටයුතු කරන්න කරපු කතාබහ, දුසිම් ගණන් සවුදි බුද්ධිමතුන් සහ පූජකයන් සිරගත කිරීම් කෂෝගිට කතා කරන්නට තහනම් වී තිබුණු නමුත් ඒවා ඔහු නිතර කතා කළ මාතෘකාය.

කෂෝගි ඉදිරිපත් කළ මත සැම විටම ඔටුන්න හිමි කුමාරයාගේ ක්‍රියා විවේචනය කිරීමක් වී තිබුණු නිසාම 2017 අවුරුද්දේ කෂෝගි සවුදියෙන් පිටුවහල් කරන ලදී. මෙනිසා කෂෝගිට සිය පවුලද අත්හැර දැමීමට සිදුවිය. අවසානයේදී ඔහු ඉස්තාන්බුල් නුවර පදිංචියට ආවේය. එහිදී අලු‍ත් සහකාරියකද සොයා ගත් කෂෝගිට ඇය හා විවාහවීමට මුල් විවාහයෙන් දික්කසාද වී ඇති බව ඔප්පු කළ යුතුවිය. ඔහු කලින් දුන් වෙලාවකට සවුදි කොන්සියුලර් කාර්යාලයට ගියේ ඒ වෙනුවෙනි. වාර්තාවී ඇති ලෙසට කෂෝගිට කොන්සියුලර් කාර්යාලයෙන් ලබාදුන් වේලාවට හරියටම පැය දහයකට පෙර පෞද්ගලික ජෙට් යානයක් ඉස්තාන්බුල් නුවරට ළගා වී ඇති අතර එහි සවුදි ජාතිකයින් 15දෙනෙකු සිටි බවද තහවුරු වී ඇත. ඒ බව ගුවන් තොටුපළේ ආරක්ෂක කැමරා ද සාක්ෂි දරයි. මේ සියල්ල තහවුරු වෙද්දී සවුදි රජු හමුවී ආ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ කතාවලින් ද මේ තොරතුරු ගැන ඉඟි ලැබී තිබුණේය.

“කෂෝගි ඉලක්ක කරගෙන තිබුණේ ප්‍රශ්න කිරීම්වලට විතරයි. ඒත් හැම දේම නුහුරට ගිහින්. කෂෝගිගේ මරණය සැලසුම් කරපු දෙයක් නොවෙයි” ඇමෙරිකාව තවදුරටත් සවුදි රජ කුමරුට සහාය දෙමින් පවසා තිබුණේ එවැන්නකි. කෂෝගි කොන්සියුලර් කාර්යාලයේදී අතුරුදන් වී පැය හතරකට පසු තවත් පෞද්ගලික ජෙට් යානයක් ඉස්තාන්බුල් වෙත පැමිණ තිබූ අතර එය එහි තිබී ඇත්තේ පැයකට ආසන්න කාලයකි. නමුත් නැවත සවුදියේ රියාද් නුවරට ළගා වීමට පෙර එය පැය 27ක කාලයක් ඊජිප්තුවේ නවතා තැබුණු බව කියැවේ. තවත් යානයක් එමීර් රාජ්‍යයේ තිබී ඇති අතර කෂෝගිගේ ඉරණම තීරණය කරන්නට මේ සියලු‍ තැන්වලින් දායකත්වය ලැබුණු බවට අනුමාන කෙරේ.

කෂෝගි තම කටයුතු කෙරෙහි දැක්වූ අප්‍රසාදය සහ පළකළ අදහස් සවුදියේ ඔටුන්න හිමි කුමරු නොරුස්සන බව ඔහු කෂෝගි වෙත දැක්වූ ප්‍රතිචාරයෙන් මනාව පෙනී ගොස් තිබුණු පසුබිමක සවුදි කුමාරයා ජනපති ට්‍රම්ප්ගේ උදව්ද ලබමින් තමාට එල්ලවන චෝදනාවලින් ගැලවී යාමට දරණ තැත ගැන ලෝකයා සිටින්නේ විමසිල්ලෙනි. මේ විමසිල්ලේ තරම ලෝකයේ මෙතෙක් ඝාතනයට ලක්වූ කිසිදු මාධ්‍යව්දියකු කෙරෙහි නොලැබෙන තරමේ එකකි. එය තවදුරටත් ලෝක නායකයන්ගේ හා මාධ්‍යවල පමණක් නොව සාමාන්‍ය ජනතාව අතර පවා වැඩි කතා බහක් නිර්මාණය වන්නට පදනම් වන්නේ මෑත කාලීන ජනප්‍රිය පරිත්‍යාගශීලී ප්‍රතිසංස්කරණවාදියකු ලෙසින් සැලකුණු පුද්ගලයකුට මෙම චෝදනා එල්ල වීමය.

ඇමෙරිකාව පවා මුලදී මෙම ඝාතනය හමුවේ ෂේප් න්‍යායෙන් කටයුතු කිරීමට උත්සාහ කළද දැන් ඔවුන්ටද කෂෝගි ඝාතනය වෙනුවෙන් කඳුළු සලන්නට සිදුව තිබේ. එයට මුල් වූ ප්‍රධාන කරුණ වූයේ ඇමෙරිකාවේ සී.අයි ඒ ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ගිනා හැස්පෙල් පසුගියදා තුර්කියේ කළ අප්‍රකට සංචාරයයි. ඇය එහිදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය කරගෙන තිබූ අතර එහිදී තානාපති කාර්යාලයේ හඬපට සියුම්ව නිරීක්ෂණය කරමින් ඇමෙරිකාවට දැනුම් දී ඇත්තේ එය ඉතා හොඳ පූර්ව සූදානමකින් යුතුව සිදු කළ එකක් යන්නය. මේ සිදුවීමත් සමඟ පසුගියදා සවුදියේ රියාද් නුවර පැවති ආයෝජන සමුළුවට සහභාගීවීම ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔවුන් එසේ කළේ ඝාතනයට විරෝධය පළකරමිනි. ඊට අමතරව ලෝක නායකයන් කිහිපදෙනකුම මෙම ඝාතනය හෙළා දකිද්දී බින් සල්මාන් කුමරුටද මේ ගැන නිහඬව සිටින්නට හැකි වුණේ නැත. පසුගිය බදාදා පැවැති එකී ආයෝජන සමුළුවේදී කෂෝගි ඝාතනය හෙළා දුටුවේ එය අති බිහිසුණු ඝාතනයක් ලෙස පෙන්වා දෙමිනි. මේ ඝාතනය සම්බන්ධයෙන් දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් සවුදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතරේ තුර්කි ඉස්තාන්බුල් ගුවන් තොටුපළේදී ආරක්ෂක කැමරාවල සටහන් වූ පුද්ගලයන් සිටිනවාද යන්න තවමත් තහවුරු වී නැත. සවුදි බුද්ධි අංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් සිව් දෙනකු මේ වෙද්දී සේවයෙන් නෙරපා ඇති අතර ඒ අතරේ බින් සල්මාන් කුමරුන්ගේ ප්‍රධාන උපදේශකයෙක්ද සිටී. එසේම බි.බී.සීය පවසන්නේ සල්මාන් කුමරු විශේෂ රැස්වීමක් පවත්වා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බව පැවසූ බවය. එයට බලපා ඇති හේතුව කුමක්ද යන්න ඉදිරියේදී අනාවරණය වනු ඇත. ලෝකය බලා සිටින තවත් සිදුවීමක් වන්නේ තුර්කි ජනාධිපති මේ පිළිබඳ කියනන්ට යන කාරණාය.

තුර්කි ජනපති රිසෙප් අර්ගොඩාන් පසුගියදා පැවසූයේ කසෝගි ඝාතනය සම්බන්ධයෙන් තම රට සිදු කළ විමර්ෂණවල සියලු තොරතුරු හෙළි කරන බවය. කෙසේ වුවද තම මතයට සහ ඇවතුම් පැවතුම්වලට එකඟ නොවන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම හෝ සිරුරු කීතු කීතු කිරීමේ සාහසික පාලන සම්ප්‍රදාය හොල්ලන්නට කෂෝගි ගේ සිරුරවත් සමත් වුවහොත් එය ලෝකය ලබන ජයග්‍රහණයකි.

අදහස්