ඇත්ත අම්මා සොයා ළතැවෙන දරුවෝ | සිළුමිණ

ඇත්ත අම්මා සොයා ළතැවෙන දරුවෝ

  • අම්මා කවුද කියලාවත් අම්මගේ නමවත් මම දන්නේ නැහැ.
  • මාව ඉස්පිරිතාලේ දාලා යන්න ඇත්තේ අම්මා ඒ තරමටම අසරණ වුණු නිසා වෙන්න ඇති. මට ලංකාවෙ අම්මා දකින්න ඕනෑ.

ලොව කොතනැක සිටියත් මව් සෙනහස කිසිදා බිඳිය නොහැකිය. වැදූ මවගෙන් කොතරම් දුරක සිටියත්, කෙතරම් සැප සම්පත් වින්දත් තම වැදු මව තුරුලේ මදක් ඉන්නට වාසනාව නැතිව හඬනා දරුවෝ වෙති. ඔවුන්ගේ අභිප්‍රාය තමන් ලෝකයට දායාද කළ මව දැකගන්නට ය; ඇයට උදව් කරන්නට ය. ඇය තමන් කුඩා අවධියේ ම කාට හෝ කුලවැද්දුවේ ඇයි දැයි ඔවුන් විමසන්නේ නැත. පිට රටවලට කුලවැද්දූ ලාංකික දරුවන් තමන්ගේ සැබෑ මව්වරුන් සොයා ලංකාවට පැමිණි අවස්ථා බොහෝ ය. එසේ මව සොයාගන්නට නොහැකි වූ දරුවෝ තවමත් බලාපොරොත්තු සහිතව සිටිති. මේ එවැනි දරුවන් කීපදෙනෙකුගේ කතාවකි.

වර්ෂ 1993 දී හලාවත නගරයෙන් ඉතා සංවේදි සිදුවීමක් වාර්තා විය. එක් මවක් විසින් සිය කුසින් උපන් දරුපැටියා හලාවත නගරයේ අත්හැර ගියා ය. ඒ වනවිට බිළිඳිය සිව් හැවිරිදි වූවා ය. කිසිවෙක් නොමැතිව නගරයේ පසෙක හඩමින් සිටි ඒ දැරිය දුටු පිරිස පොලිසියට දන්වා සොයා බැලිමේදි මව විසින් මහ මඟ දමා ගිය බව අනාවරණය විණි.

පොලිසියේ මැදිහත්වීමෙන් මේ ළදැරිය හලාවත ළමා නිවසයට යොමු කළේය. ටික දිනක් ඒ ළමා නිවස පාලිකාව ගේ සෙවණේ ඇති දැඩිවු දැරිය පසුව ප‍්‍රජාපති ළමා නිවාසයට යොමු කළා ය. තවත් ටික දවසකින් බණ්ඩාරවෙළ ළමා නිවාසයකට ඇයව මාරු කෙරිණි. පි‍්‍රියානි සාගරිකා ජයවීර නම් මේ දැරිය දරුකමට හදාගැනීමට කැමති විදේශික යුවලක් හමුවන්නේ මේ අතර ය. මේ වන විට ඇය කල් ගෙවන්නේ නෙදර්ලන්තයේ ය. දැන් 29 හැවිරිදි තරුණියක් වූ ප්‍රියානි සිය මව සොයමින් සිටින්නී ය.

“ මම ආසයි මගේ අම්මා දකින්න. අම්මා කවුද කියලා මම දන්නේ නැහැ. අම්මගේ නමවත් මම දන්නේ නැහැ. අම්මා කොහෙද ඉන්නේ කියලාවත් මම දන්නේ නැහැ. මට ආසයි මගේ වැදු අම්මාව දකින්න. මාව බලාගන්න මගේ නෙදර්ලන්තයේ අම්මයි තාත්තායි මට ගොඩක් ආදරෙයි. මට හොඳින් සලකනවා. ඒ අයත් මගේ වැදු අම්මා ව හොයන්න මහන්සි වෙනවා. ඉන්න තැනකින් මට මගේ අම්මා දකින්න පුළුවන් ක‍්‍රමයක් කියන්න. අම්මට ඒ අතීතය ගැටලුවක් නම් මම කාටත් හොරෙන් අම්මාව මුණ ගැහෙන්න එන්නම්. පත්තරේ යන මේ විස්තර අම්මා දකිවී කියලා මම බලාපොරොත්තු වෙනවා...“ ඇය අප අමතා කීවා ය.

මේ ආකාරයට ම නෙදර්ලන්තයේ දරු කමට හදා ගන්නා ලද තවත් දියණියක් වන ෂෙහානි රන්දිකා තම වැදු මව සොයමින් සිටින්නී ය.

ශෙහානි 2009 මාර්තු 12 වනදා හෝ ඊට ආසන්න දිනක කෑගල්ල රෝහලේ ඉපදී තිබුණි. ඊට දින කිහිපයකට පසුව ඇයගේ මව විසින් ඇය රෝහලේ ම අත්හැර දමා ගියා ය. රෝහලේ පොත්පත්වල මව ලෙස සටහන්ව තිබුණේ හේරත් මුදියසේලාගේ චමිලා කුමාරි යන නම ය. පියා ලෙස සටහන්ව ප‍්‍රියන්ත නම් නමකි. මවගේ පියාගේ නම ලෙස වන්නිනායක මුදියන්සේලාගේ සමරතුංග ලෙස සටහන්ව තිබිණි. කෙසේ වුවත් මේ තැනැත්තිය සොයා ගන්නට පොලිසියට හැකිවුණේ නැත. රෝහලේ හුදකලා වූ මේ ළදැරිය කුරුවිට ඉසුරු ළමා නිවාසයට යොමු කෙරුණි. ඉන් අනතුරුව නෙදර්ලන්තයේ ඉංජිනේරුවෙක් මේ ළදැරිය සිය දරුකමට තෝරා ගත්තේ ය. මේ යුවල ඇයව නෙදර්ලන්තයට රැගෙන ගියෝ ය. නවහැවිරිදි මේ දැරිය දැන් අසීමිත සෙනහස මැද කිසි දු අඩුපාඩුවක් නොමැතිව හැදි වැඩෙන්නී ය. නමුත් දැන් තමන්ව කුස ඔවා හැදූ මව දකින්නට ඇයට කැමැත්තක් ඇතිව තිබේ. කවුරුත් නොදන්නා ශෙහානිගේ මව සොයා ඇයගේ නෙදර්ලන්ත ජාතික මවුපියෝ වෙහෙසෙති.

“ මගේ අම්මා මාව කෑගල්ල රෝහලේ දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නැහැ. ඒක අපිට ගැටලුවක් නැහැ. මාව අම්මා ඉස්පිරිතාලේ දාලා යන්න ඇත්තේ අම්මා ඒ තරමටම අසරණ වුණ නිසා වෙන්න ඇති. මට ලංකාවෙ අම්මව දකින්න ඕන. මම කොහොම හරි මගේ අම්මාව හොයා ගන්නවා. ඒ නිසා අම්මා හොයා ගන්න තොරතුරක් දන්නෙ කෙනෙක් ඉන්නවා නම් අපිට දන්වන්න. අපි අම්මට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියෙන්නේ නැහැ. කවුරු හරි මේ ගැන තොරතුරක් දන්නවානම් අපිට දැනුම් දෙන්න“ ෂෙහානි රන්දිකා කීවා ය.

යළිත් ඇසෙන්නේ සැබෑ මව සොයන නෙදර්ලන්තයේ දරුවන් දෙදෙනෙක් ගැන ය. ඔවුහු නිවුන්නු වෙති. මීගමුව රෝහලේ 2010 වසරෙ පෙබරවාරි 24වන දින හෝ ආසන්න දිනක මෙම නිවුන් දරුවෝ උපත ලබා තිබුණහ. රෝහල් වාර්තාවල ඇයගේ මව ලෙස සටහන්ව ඇත්තේ ත්‍යාගි රාජ් ශී‍්‍ර දේවි නම ය. ගම ලෙස කුලියාපිටිය ය. සොයා ගත් තොරතුරු අනුව ඇය එ් සමයේ වැඩ කරමින් සිට ඇත්තේ වයික්කාලේ කොච්චිකඬේ ප‍්‍රදේශයේ උළු මෝලක් ය. ඇයට දරුවා ලැබෙන්නට සිටි සමයේ උදව් කර ඇත්තේ උළු මොලේ හිමිකාර කාන්තාව ය. ශි‍්‍ර දේවිට දරුවන් දෙදෙනා ලැබුණ පසු බොහෝ සෙයින් කාරුණික වු ඇය සතියක් පමණ දරු දෙදෙනා සහ මව නිවෙසේ තබාගෙන ඇප උපස්ථාන කර පසුව ඔවුන් මිගලෑව ළමා නිවාසයට භාරදි තිබේ. එ් ළමා නිවාසයේ මාසයක් පමණ සිටි ශ‍්‍රී දේවි නැවතත් උළු කම්හලේ සේවයට පැමිණ තිබේ. ඉන්පසු ඒ මව උළු මෝලෙන් කාටත් නොකියා පිටත් ව ගියාය. දරුවෝ ළමා නිවාසයේ ජීවත් වූහ.

මේ අතර වර්ෂ 2010 දී ජයන්ති නැමැති තරුණියක් නෙදර්ලන්තයේ සිට ලංකාවට පැමිණියා ය. ඇය විවාහ වී සිටියේ නෙදර්ලන්ත ජාතිකයෙක් සමඟ ය. ජයන්තිත් නෙදර්ලන්තයට කුල වැද්දූ ලාංකිකයෙකි. ඇයව නෙදර්ලන්ත යුවලක් විසින් දරුකමට රැගෙන ගොස් තිබුණේ වර්ෂ 1981 දී ය. ඇයත් කලක සිට සිය ලාංකික මව සෙවූ කාන්තාවකි. ඇය වර්ෂ 2005 දී ලංකාවට පැමිණ සිය මව සොයා ගත්තා ය. මේ යුවලට දරුඵල නොතිබිණි. එහෙත් ඔවුහු දරුවෙක් හදා ගැනීමට තීන්දු කර තිබුණහ. ඒ සඳහා අසරණ වූ ලාංකික දරුපැටවෙක් තෝරා ගැනීමට ජයන්ති සිය සැමියාව පොලඹවාගෙන තිබුණේ තමන්ගේ ජීවිත අත්දැකීම් සිහි කරගනිමිනි. ඒ අනුව 2010 ලංකාවට පැමිණි මේ යුවල ශ්‍රී දේවියගේ නිවුන් දරුවන් දෙදෙනා වන හිරුෂ ලක්මාල් සහ තරුෂ ලක්මාල් නම් පුංචි දරු පැටව් දෙදෙනා ලංකාවෙන් රැගෙන ගියහ.

මේ වන විට ජයන්තිගේ සෙනෙහස් කැදැල්ලේ මේ දරුවන් දෙදරුවො යෙහෙන් වැඩෙති. එහෙත් මේ යුවල මේ දරුවන්ගේ සැබෑ මව සොයා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

දස මාසයක් කුස දරා බිහිකරන දරුවා දමා යන්නේ නම් එය පිටුපස බිහිසුණු මානුෂික ඛේදවාචකයක් තිබේ. හේතුව කුමක් වුවත් ඒ දරුවෝ තම මව සොයා වෙහෙසෙති. ලංකාවට පැමිණ හසරක් නොදැක ඇවිදිති. එය සමාජය විසින් ම විසඳා දියයුතු මානුෂික කාරණාවකි.

Comments