අන්තර්ජාල වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාව දුරස් ද? | සිළුමිණ

අන්තර්ජාල වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාව දුරස් ද?

  • අපනයන නංවන්නට අවශ්‍යතාව තේරුම් ගැනීම
  • අපනයනය වෙනුවෙන් ලිහිල් ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍යය

සාම්ප්‍රදායික අපනයන ව්‍යූහය වෙනස් වී තිබේ. මෙරට නිපදවන දේ රටින් අපනයනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් තිබුණි. එය ලෝකයේ කොතැනක දී පවා අනුගමනය කරන්නට සිදුවූ පිළිවෙතයි. මෑත කාලයේ තාක්ෂණය අපනයන ක්ෂේත්‍රයට ප්‍රවේශ වී තිබේ. මහා පරිමාණයෙන් කරන අපනයන වෙළඳපොළ පරාජය කරමින් පුද්ගල අපනයනය නොඓසේ නම් විකිණීම හා මිලදී ගැනීම් සැලකිය යුතු ප්‍රතිශතයකින් වර්ධනය වී ඇත. ඊ බේ යනුවෙන් හැඳින්වෙන වෙළඳාම එයින් එකකි. ශ්‍රී ලංකාව නොබෝදා ඊ බේ වෙළඳාමට පුළුල් පහසුකම් සම්පාදනය කරන බව ප්‍රකාශයට පත් කළේ ය.

ඊ බේ ඇමරිකානු සමාගමකි. එය භාණ්ඩ මිල දී ගැනීමට හෝ විකිණීමට පහසුකම් සපයන වේදිකාවක් බවට පත්ව තිබේ. එය බිහිවෙන්නේ තාක්ෂණික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි. 1967 වසරේ උපත ලැබූ තාක්ෂණය හුරු පුද්ගලයකු මේ ව්‍යාපාරය ස්ථාපිත කළේය. ඔහුගේ අරමුණ අතරමැදියන් නැති වෙළඳාමකි. ඊ බේ අරඹන ලද පියරේ ඔමිඩ්‍රයර් ඇමරිකානු බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වී ඇත. පසුගිය අගෝස්තු මාසයේ ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 10.5 ක් බව දැක්වෙයි. මෙහි දී ගැනුම්කරු කෙළින් ම නිෂ්පාදකයා හෝ වෙළෙන්දා සමඟ සම්බන්ධ වෙයි. එය වෙන්දේසියකි. මිල ගැන තීරණය කරන්නට පාරිභෝගිකයාට අවසථාව ලැබේ. 1995 අවුරුද්දේ දී ඊ බේ වෙළඳාම ආරම්භ කරන අවස්ථාවේදී විශාල පරිසරයක් නිර්මාණය වනු ඇතැයි කල්පනා කරන්නට නැත. නමුත් වසර 2011 වන විට රටවල් තිහකට එයට සම්බන්ධ නොවී ඉන්නට නොහැකි පසුබිමක් නිර්මාණය විය. අද වන විට රටවල් 200කට වඩා නිල වශයෙන් ඊ බේ ගනුදෙනු වලට ඉඩ දී තිබේ. ගනුදෙනුව සඳහා අවශ්‍ය පාරිභෝගිකයාගේ කැමැත්ත සහ මුදල් ගෙවීමට ක්‍රමයක් පමණකි. ක්‍රෙඩිට් කාඞ් බහුලව භාවිත කෙරේ. ඒ අතරින් පේ පැල් මුදල් හුවමාරුවට විශාල ඉල්ලුමක් ලැබී තිබේ. ඊ බේ නිර්මාතෘ පියරේ ලෝකයේ රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුවට තිබුණ බාධා ඉවත්කර සෘජු හුවමාරුවට ඉඩ දෙන විට එය විශාල ව්‍යාප්තියක් ඇති කළේය.

ශ්‍රී ලංකාව ඇතුළතත් නිල නොවන අන්දමට ඊ බේ වෙළඳාම සිදු විය. සාමාන්‍යයෙන් මැණික්, විසිතුරු නිර්මාණ, ඇඟළුම් වැනි දේ වෙළඳාම් වී ඇත. රටට ගෙන්වීම වැඩි වශයෙන් සිදුවී තිබේ. අලුත් ප්‍රතිපත්තිය අනුව ඊ බේ වෙළඳාමට රේගුවේ ලියා පදිංචි විය යුතුය. මාසයක් පාසා කරන ලද ගනු දෙනු සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බැඳී සිටී. අලුත් ප්‍රවණතා අනුව වෙළඳාමට කැමැති අපනයනකරුවන්ට ඊ බේ වෙළඳ අවස්ථාව විශාල පහසුවක් වනු ඇත. අන්තර්ජාතික වෙළඳාම නොයෙක් වකවානුවල දී අලුත් ප්‍රවණතා දක්වයි. ඊ බේ වෙළඳාමේ නැඹුරුව ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගත යුතු ඇයි? මහා පරිමාණයෙන් අපනයන වර්ධනය කරගැනීමට ප්‍රයත්න දරන අතරවාරයේ සුළු වශයෙන් හෝ විකිණීම වැදගත් හෙයින් බව පෙන්වා දිය යුතුය. කෙසේ හෝ මොනවා හෝ විකිණීමෙන් විදේශ විනිමය ඉපැයිය යුතු තීරණාත්මක අවස්ථාවකට රට පත්ව තිබේ.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සමබර වූයේ නැත. ආනයන වියදම විශාල වශයෙන් ඉහළ ගිය අතර අපනයන වලින් ලැබෙන ආදායම රටට අවශ්‍ය මිල දී ගැනීම් සඳහා කෙසේවත් ප්‍රමාණවත් වූයේ නැත. විනිමය හිඟය එහි ප්‍රතිඵලයකි. පසුගිය දශකය තුළ අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අංශ වලින් තාවකාලික විදේශ විනිමය සංචිත ලබා ගැනීමට සිදුවූ අතර මූලික ආනයන පිරිවැය කළමණාකරණය කරගෙන සංවර්ධන අවශ්‍යතා කරගෙන යෑම සඳහා සංවර්ධන බැඳූම්කර වලින් ණය ගැනීමට ද සිදු විය. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 21 භාණ්ඩ රටට ආනයනය කරන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.4 කි. අපනයන මෙන් දෙගුණයක් ආනයන වලට වෙන් කරන්නට සිදු විය. එය අඛණ්ඩ ව කරගෙන යා නොහැකි තත්ත්වයකි. විනිමය හිඟය සහ ජාත්‍යන්තර ප්‍රවණතා පදනම් කරගෙන විනිමය අනුපාතිකය දුර්වල වූ අතර තවමත් එහි පීඩනය අවසන් නොවූ තත්ත්වයක පවතී. වහාම ආනයන පාලනය කිරීම හෝ අපනයන දියුණු කිරීම යන අංශ දෙක ම ඉතා ම වැදගත් ය.

අපනයන වෙනුවෙන් අවශ්‍යතා ඉක්මනින් සම්පූර්ණ කිරීම පහසු නැති අවස්ථාවක ඊ බේ වැනි ක්‍රම වලින් පුද්ගලික මට්ටමින් හෝ මෙරට දේ වලට ජාත්‍යන්තරය තුළ වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට ප්‍රයත්න දැරීම අවශ්‍ය ය.

විදේශ විනිමය අරපරෙස්සම් කරගැනීම අරමුණ ඇතිව තාවකාලික ආනයන පාලනයකට රජය පියවර ගෙන තිබේ. වාහන ආනයන කිරීමේ දී පැවැති ලිහිල් බව සීමා දරා ඇත. විදුලිය මෙවලම්, පාවහන් ඇතුළු දේ ආනයන කරුවන්ට ණයවර නිකුත් කිරීම අත ඇති මුදල් වලට පමණක් සීමා කරන තීරණ ප්‍රකාශයට පත්ව තිබේ. ලබන වසරේ දී මෙරට වගා කළ හැකි ධාන්‍ය වර්ග ආනයනය පාලනය කරන බව ප්‍රකාශයට පත් ව තිබේ. මැදි ආදායම් රටක් වශයෙන් ජනතාවගේ අවශ්‍යතා පාලනය කිරීම පහසු නැත. අතට ධනය ලැබෙන විය ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමටකට පත් වෙයි. මිල දී ගන්නට ධනය ඇති ජනතාව ගේ රැචිකත්වය පාලනය කිරීම පහසු නැත. රටින් ගෙන්වන්නට ඉඩ දෙන අතරවාරයේ රටේ නිපදවන දේ කෙළින් ම අන්තර්ජාතික ගැනුම්කරුවන්ට අලෙවි කරන අවස්ථා වලින් විනිමය සොයා ගැනීම එක උපක්‍රමයකි. ලෝකයේ අලුත් පැති අනුව එක ම වාහනයක් හෝ අයිති නැති සමාගමක් ලෝකයේ විශාලතම ප්‍රවාහන සැපයුම්කරුවා බවට පත්වී ඇත. පික් මී වශයෙන් එය හැඳින්වෙයි. ලෝකයේ අලෙවිය සඳහා භාණ්ඩ ඉදිරිපත් කරන ඇමේසන් සමාගමට බඩු තොග රුස්කර තබා ගැනීමේ විශාල පහසුකමක් නැත. නමුත් ඇමේසන් සමාගම විශාලම විදුලි හා ගෘහ උපකරණ වල සිට පොත පත දක්වා විකුණන දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. සංචාරක හෝටලයක් නැති එයාර් බී ඇන්ඩ් බී ව්‍යාපාරය ලෝකයේ ප්‍රධානතම ආගන්තුක සත්කාර සපයන්නා වී තිබේ. සංචාරක හෝටල් වල නවාතැන් ගැනීමට පැමිණි සංචාරකයෝ ලක්ෂ ගණනින් අද වන විට කෙළින්ම නිවසක කාමරයක් සේවයට සපයන ඈත ප්‍රදේශවල නවාතැන් ගන්නා අතර සංචාරක කර්මාන්තය විශාල පරිවර්තනයකට ලක් කර තිබේ. තරු සංචාරක හෝටල වල ඉල්ලුම පහත වැටී ඇත. ශ්‍රී ලංකාවේ පවා පික් මී හා එයාර් බී ඇන්ඩ් බී වැනි ව්‍යාපාර ක්‍රියාත්මක ය. සම්මත ව්‍යාපාරික අංශ මෙවැනි නව ප්‍රවණතා වලට විරොධය පළ කරන අවස්ථා තිබේ. එයට හේතුව නව ප්‍රවේශ සමඟ ඔවුන්ගේ වෙළඳපොළ බරපතල සේ සීමා වීම ය.

රටක් වශයෙන් අපනයන නැංවීම අරමුණු කරගෙන අලුත් නිෂ්පාදක පරපුරක් හඳූනාගත යුතුය. නිපදවන දේ ලෝකයේ ඕනෑම තැනකට විකුණා මුදල් උපයා ගැනීම අවශ්‍ය ය. එහි දී තරගකාරීත්වය වැදගත් ය. තාක්ෂණය බහුල ව භාවිතා කළ යුතුය. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ යුගයකට ඇතුළු වෙමින් සිටී. පරිගණක සාක්ෂරතාව වර්ධනය වී තිබේ. මෙරට ජනගහනයේ ප්‍රමාණයට වඩා දුරකථන භාවිත කරන බව මහ බැංකු වාර්තා පෙන්වයි. එ් දුරකථන ස්මාට් වර්ගයේ ඒවා වීම විශේෂත්වයකි. ස්මාට් දුරකථන වලින් අන්තර් ජාලයට ප්‍රවේශ විය හැකිය. තමන්ගේ ඊ බේ වෙළඳාමක් ආරම්භ කළහොත් රටට විනිමය උපයා දෙන අතර තමන්ගේම ව්‍යවසායකත්ව වැඩසටහනක් අරඹන්නට මෙරට තරුණ පෙළට හැකියාවක් තිබේ.

ශ්‍රී ලංකාවේ දුරකථන භාවිතයේ දී ගෙවිය යුතු මිල එයට යම් බාධාවක් පමුණුවා තිබේ. කතා කාලය වෙනුවෙන් සියයට පනහ ඉක්මවන බදු අය කෙරේ. නමුත් දත්ත භාවිතය වෙනුවෙන් අය කරන බදු සියයට විස්සකට අඩු ය. ඊ බේ වෙළඳාම පමණක් නොව විවිධ ඇප් වර්ග භාවිත කර දත්ත මත පදනම් කරගෙන කතා කරන්නට මෙරට තරුණ පරපුර තුළ අවබෝධයක් තිබේ; එය වැදගත් ය. මෙරට නිපදවන දේ වෙනුවෙන් වෙළඳපොළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක පිහිටුවන අතර අපනයනය වෙනුවෙන් ඉතාම ලිහිල් ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍ය ය. අපනයනය තරගකාරී කරනු සඳහා පවතින බාධා මොනවාදැයි සොයා බැලීම වැදගත් ය. ලෝකයේ නොයක් රටවල දුරකතන භාවිතයේ දී දත්ත හුවමාරුව විශේෂ අඩු අය කිරීම් පද්ධතියකට යටත් ය. එය නිෂ්පාදන පිරිවැය පාලනය කරන ක්‍රමයකි. ඉදිරි අය වැය ආනයන හා අපනයන වෙළඳ අංශ කෙරෙහි පුළුල් සමාලෝචනයක් කරන තැනකට යා යුතුව තිබේ. එය නැවත නැවතත් අවධාරණය කළ යුතුය.

අදහස්