මියයන විට ගී ගැයීම | සිළුමිණ

මියයන විට ගී ගැයීම

සීයගෙ මරණයට හේතුව අපි දැනගෙන හිටියෙ නෑ. ඒක දරුණු හදවත් ලෙඩක් කියලයි හිතන්නෙ. ඒ වෙලාවෙ මං සීයගෙ කනට ළං වෙලා ‘නාන, වෙන්වෙලා යන්ඩ කලිං ඔයාට මොනවහරි කියන්ඩ තියෙනවද? මගෙ ජීවිත කාලෙටම මතක හිටින්ඩ මට දෙන්ඩ දෙයක් තියෙනවද?’ කියල ඇහුව. සීය එයාගෙ මුද්ද මගෙ අතේ තිබ්බ. ඒ මුද්ද දැන් තියෙන්නෙ මගෙ ගෝල සන්නාසියෙක් ළඟ. ඒක මට කවදත් අබිරහසක් වෙලයි තිබුණෙ. සීය මුළු ජීවිත කාලෙම ඒ මුද්ද ඇතුළෙ තිබුණු දේ කිසිකෙනකුට පෙන්නුවෙ නෑ.

එයා විටින් විට ඒ මුද්දට එබිල බලන්ඩ නං පුරුදු වෙලා හිටිය. ඒ මුද්ද දෙපැත්තෙ වීදුරු කවුළු දෙකක් තිබුණ. ඒවයින් ඇතුළ බලන්ඩ පුළුවන් වූණා. මුද්ද මුදුනෙ තිබුණෙ දියමන්තියක්. අර වීදුරුවලිං මුද්ද ඇතුළෙ තිබුණු දේ ලොකු වෙලා පෙනුණා. මට ඒකෙ ඇති වැදගැම්මක් තිබුණෙ නෑ. මොකද ඒ ඇතුළෙ තිබුණෙ ජෛන තීර්ථංකර මහාවීරගෙ පිළිමයක්.

ඒක ඇත්තටම හරිම ලස්සන හරිම පුංචි එකක්. මුද්ද දෙපැත්තෙ හයි කරල තිබුණ කුඩා දේ ලොකු කරල පෙන්වන වීදුරු ජනෙල් දෙකෙන් අර පුංචි පිළිමෙ ලොකුවෙලා පෙනුණා. මට ඒ මුද්දෙන් ප්‍රයෝජනයක් තිබුණෙ නැත්තෙ මට මහාවීර බුදුන් තරමට වැදගත් වෙච්චි නැති නිසයි. දෙන්න සමකාලීනයො වෙලා හිටියත් මම ආදරේ කෙරුවෙ බුදුන්ට විතරයි.

සීය ඇස්වල කඳුළු පුරෝගෙන මට මෙහෙම කිව්ව. ‘මට වෙන කිසිදෙයක් නෑ උඹට දෙන්ඩ. මොකද ඒව උඹෙනුත් නැතිවෙලා යයි හරියට මගෙනුත් නැතිවෙලා ගියා වගේ. මට උඹට දෙන්ඩ තියෙන එකම දේ තමන් කවුද කියල දැනගත්තු උත්තමය වෙනුවෙන් මගෙ හිතේ තියෙන ආදර භක්තිය විතරයි’

මං ඒ මුද්ද මා ළඟ තියා නොගත්තට මං උන්දැගෙ කැමැත්ත ඉෂ්ට කෙරුව. සත්‍යාවබෝධය ලබපු තැනැත්තා කවුද කියල මං දැනගත්ත. මං ම දැනගත්ත. එහෙම තියෙද්දි මුද්දකිං ඇති පලේ මොකක්ද? නමුත් ඒ අහිංසක වයසක මනුස්සය, මගෙ සීය තමංගෙ ශාස්තෘවරයට, මහාවීරතුමාට හුඟක් ආදරේ කළා. සීය මටත් ඒ ආදරේ දුන්න. මං උන්දැ තමන්ගෙ ශාස්තෘවරයටයි මටයි ආදරේ කළ එකට ගරු කරනවා.

උන්දැගෙ කටින් පිටවෙච්ච අන්තිම වචන ටික මේකයි. ‘බයවෙන්ඩ එපා! මං මැරෙන්නෙ නෑ’ උන්දැ තව මොනව හරි කියනකල් අපි බලන් හිටියා. ඒත් එච්චර ම තමයි. උන්දැගෙ ඇස් පියවිලා උන්දැ නැතිවුණා.

ඒ නිහඬතාව මට තාම මතකයි. ඒ වෙද්දි අපේ ගොං කරත්තෙ ගියේ ගං ඉවුරක. ආච්චිට කරදර කරන්ඩ හොඳ නැති හින්ද මං උන්දැට මොකුත්ම කිව්වෙ නෑ. ඔහොම ටික වෙලාවක් ගියා. එතකොට මට ආච්චි ගැන පුංචි දුකක් ඇති වුණා. ‘ආච්චියෙ මොනව හරි නොකිය ඉන්ඩ එපා! මට ඒක දරාගන්ඩ බෑ’ මං ආච්චිට කිව්ව. ඔබට විස්වාස කරන්ඩ පුළුවන්ද එතකොට උන්දැ සින්දුවක් කියන්ඩ පටන් ගත්තැයි කිව්වම. ඒකයි මං කිව්වෙ මරණය සැමරිය යුතුයි කියල. ආච්චි ගැයුවෙ සීයත් එක්ක ආදරෙන් බැදිච්ච දවස්වල ගයපු ගීයමයි.

මං මරණය දැක්ක. ඒ තමයි මං මුලින්ම මුහුණ දීපු මරණය. මරණය දැක්ක වගේම නොමැරෙන දේකුත් දැක්ක. ඒක සීයගෙ සිරුරෙන් මිදිල ඇවිත් සිරුර උඩ පාවෙවී තිබුණ. ඒක තමයි මූල ධාතුව. ඒක මට කලින් දැනගෙන හිටපු නැති දිසාව, මානය පෙන්නල දුන්න.

හුඟ දෙනෙකුගෙ මරණ ගැන මං අහල තිබුණ. ඒව අහපු ඒව විතරයි. ඒව මං දැකල තිබුණමයි කියමුකො. ඒ වුණත් මගෙ හිතේ එච්චර ලොකු දෙයක් වෙන එකක් නෑ.

ඔබ ආදරේ කරන කෙනෙකුගෙ මරණයකට මුහුණ දෙනකොට තමයි ඔබට හෑබෑවටම මරණයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ. මරණය හැබෑවට ම මුණගැහෙන්නෙ තමන්ගෙ ප්‍රියයන්ගෙ මරණෙකදි විතරයි. ඔබ තුළ ප්‍රබල වෙනසක් ඇතිවෙන්නෙ ආදරයත් සමඟ මරණය ඔබ වටකරගෙන ඉන්දැද්දියි. එවිටයි ඔබ තුළ අතිශයින් ප්‍රබල විපර්යාසයක් ඇති වෙන්නෙ. ආදරේ කරන කෙනාට ඒ යතුරු සියල්ල ආදරෙන් ම ලැබෙනවා.

මරණය පිළිබඳ මගෙ මුල් ම අත්දැකීම එසේ මෙසේ මුහුණ දීමක් නෙමෙයි. ඒක හුඟක් විදිවලින් සංකීර්ණයි.

මං ආදරේ කළ මිනිසා මිය යමින් සිටියා. මං ඔහු දැනගෙන හිටියෙ මගෙ පියා විදිහටයි. ඔහු මට හිතාගන්ඩ බැරි තරමට නිදහසක් ලබා දීලයි තිබුණෙ. කිසිම බාධාවක් අවහිරයක් කළේ නෑ. කිසිම පීඩාවක් දුන්නෙ නෑ. කිසිම නියෝගයක් කළේ නෑ,

ආදරය සමඟ නිදහස! ඔබට එය ලැබුණොත් එක්කො ඔබ රජෙක්. නැත්නම් රැජනක්. ඒක තමයි දේව රාජ්‍යය. නිදහස සමඟ ආදරය! ආදරය ඔබට මහපොළොවට ඇදෙන්ඩ මුල් දෙනවා. නිදහස ඔබට පියාපත් දෙනවා.

අපේ සීය මට ඒ දෙකම දුන්නා. උන්දැ තමන්ගෙ පුතා වෙච්ච අපේ තාත්තට තියා තමන්ගෙ බිරිය වෙච්ච අපේ ආච්චිටවත් නොදුන් විදිහෙ ආදරයක් තමයි මට දුන්නෙ. උන්දැ මට දුන්න නිදහස අති උතුම්ම තෑග්ගක්. මරණ මංචකේදි උන්දැ මට අතේ දාගෙන හිටිය මුද්දත් දීල ‘මට උඹට දෙන්ඩ වෙන දෙයක් නෑ’ කියල කිව්වෙ දෑසෙ කඳුළු පුරෝගෙන.

‘සීයෙ, ඔයා මට දැනටමත් හුඟක්ම වටින තෑග්ග දීල ඉවරයි’ මං කිව්ව. උන්දැ ඇස් ඇරල ‘ඒ මොකක්ද?’ කියල ඇහුව. මං හිනාවෙලා මෙහෙම උත්තර දුන්න. ‘ඔයාට මතක නැද්ද ඔයා මට ආදරේ දුන්න. ඔයා මට නිදහස දුන්න. මං හිතන්නෙ නෑ කිසිම ළමයෙකුට ඔයා මට දීපු තරං නිදහසක් ලැබෙයි කියල. තව මොකක්ද ඔයාට මට දෙන්ඩ පුළුවන්? මං ස්තූති කරනව. ඔයාට නිදහසේ ඇස්දෙක පියාගන්ඩ පුළුවන්’

එදා ඉඳං මං හුඟදෙනෙක් මැරෙනව දැකල තියෙනවා. හිතේ සහනෙන් මියයන්ඩ පුළුවන් කලාතුරකින් කෙනෙකුට විතරයි. ඒ විදිහට මැරෙනව මං දැකල තියෙන්නෙ පස්දෙනයි. පළමුවෙනි කෙනා සීය. දෙවෙනි කෙනා මගෙ සහායකයා, තුන්වෙනි කෙනා අපේ ආච්චි. හතරවෙනි කෙනා අපේ තාත්ත. පස්වෙනිය විමල්කීර්ති. (ඕෂෝ අනුගාමිකයෙකි.)

ලබන සතියට

 

අදහස්