සද්කාර්යය පටන් ගත්තෙ නෙදර්ලන්ත ජාතිකයෙකුට උදව් කරලා. ඉන්පසු යුරෝපයෙන් එක දිගට ඉල්ලීම් ආවා. දැන් දරුවො දෙසීයක් විතර තම මවුපියන් සොයලා දෙන්න ඉල්ලීම් කරලා තියනවා.
අපට සමාජයේ දි දිනපතාම විවිධ මිනිස්සු හමුවෙති. ඒ අතරින් හමුවූ මීගමුවේ ඇන්ඩෲ සිල්වා අමුතුම පුද්ගලයෙකි. ඔහු අමුතු වන්නේ වැරැදි වැඩ කරන නිසා නම් නොව ඔහු සමාජයට මහා මෙෙහවරක් කරනා අයෙකු වන නිසාය.
මිනිස්සුන්ට බොහෝ සේ ආදරය කරන මේ අපූරු මනුෂ්‍යයා කිසිවෙකුට ලෙහෙසියෙන් සිදු කිරිමට නොහැකි කාර්යයකට අත ගසා තිබේ. ඒ වැදූ මවගේ සෙනහසින් ඈත්ව විදෙස් රටවල මවුපිය සෙවනේ ඇති දැඩි වන ශ්‍රී ලාංකික දරුවන්ට තම වැදූ මව සොයා දෙන්නටය.
වැලේ ගෙඩි වැලට බර නැති බව කීවේ ඉස්සරය. දැන් ඒ බර දරාගන්නට බැරි තරමටත් වැඩිය. වැදූ මවුවරුනට තම මොළකැටි පුංචි දරු පැටව් මහා බරක් වන අවස්ථා බොහෝය. විටෙක ආර්ථික ප්‍රශ්නය. විටෙක සමාජ ප්‍රශ්නය. උද්ගත වන ගැටලු අභිමුව ස්වකීය රුධිරයෙන් පෝෂණය වී සිය ගැබ තුළ වැඩුණු දරුවා ඇළකට දොළකට වීසි කරන, වැසිකිළි වළකට අත්හරින අමානුෂික ප්‍රවේශයක් නොගත් මවුවරු දරුවා ජීවත් කරවීමට වෙනත් විකල්ප සොයති. සිය දරු පැටියා දරු කමට හදා ගන්නට දෙන්නේ එවන් විකල්පයක් ලෙසය. අපේ රටේ දරුපැටව් විදේශික මවුපියන්ට කුලවද්දන්නේ එවැනි සමාජ පීඩාවන්හි ප්‍රතිඵල ලෙසය.
ඇන්ඩෘෘ සිල්වා උපකාරයට එන්නේ එසේ පිටරට ගිය ලාංකික දරුපැටව් කරදඬු උස් වී ලංකාවට පැමිණ සිය මවුපියන් සොයනා විට දෙපාර්ශ්වය සම්බන්ධ කරන්නටය. මේ දරුවන්ට සිය වැදු මව සොයා දෙනා අපුරු මිනිසාගේ පදිංචිය මීගමුව මුන්නක්කරය සිරිවර්ධන පෙදෙස අංක 23 නිවසේය. ඔහුට මේ කටයුත්තට අඩිතාලම දමන්නේ පාපන්දු ක්‍රීඩාවය.
මීගමුව ශාන්ත පිතර විද්‍යාලයෙන් අකුරු කළ ඇන්ඩෲ සිල්වා කුඩා කල සිටම පාපන්දුවට පෙම් බැන්දෙකි. ඔහු වසර ගණනක් මීගමුව ජුපිටර් ක්‍රීඩා සමාජයේ දැල් රකින්නා ලෙස කටයුතු කළ දක්ෂ ක්‍රීඩකයෙකි. මේ වන විට එම පාපන්දු සමාජයේ සම ලේකම්වරයෙකු මෙන්ම පාසල් මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන් පුහුණුකරුවෙකි.
ඔහු මේ වන විට වෘත්තියෙන් සංචාරක රියැදුරෙකි. ඔහු ඒ වෘත්තියට අතගසා දැනට වසර 30 ක් ඉක්මවා ඇත. ඇන්ඩෲ සිල්වා බොහෝ විදේශිකයන්ට නැතිවම බැරි සම්පතක් බවට පත්වන්නේ මේ අතරය.
වැඩි දෙනෙකුට තියෙන්නෙ ව්‍යාජ ලියැවිලි
ඒ 2000 ය. නෙදර්ලන්ත ජාතිකයෙකු වන පීටර් බ්‍රොංගර් ලංකාවට පැමිණෙන්නේ පාපන්දු කණ්ඩායමකට ඇඳුම් ලබා දෙන්නටය. ඒ අවස්ථාව ඇන්ඩෘෘලාටද ලැබිණි. පීටර් බ්‍රොංගර් කලකට පෙර ලංකාවෙන් දරුකමට දරුවන් තිදෙනෙකු රැගෙන ගිය අයෙකි. ඔහු මේ ගමනෙදි ඇන්ඩෲ සමග හිතවත් වූයේය. බ්‍රොංගර් නැවත නෙදර්ලන්තයට ගොස් මාස කිහිපයකින් දැරියක සමඟ ලංකාවට පැමිණියේය. ඒ තමන් හදාගත් එම දැරිය ගේ මව මුණ ගැසිමටය. පීටර් බ්‍රොංගර් දරුකමට දරුවා ලබාගෙන තිබුණේ අතරමැදි කාන්තාවක මගිනි. ඔහු ඇයව හමුවුණේය. බ්‍රොංගර් හදාගත් දරුවාගේ නියම මව මුණගැස්වීමට එම කාන්තාව ඩොලර් 400 ක මුදලක් ඉල්ලා සිටියාය. බ්‍රොංගර් එම මුදල කාන්තාවට ලබාදුන්නේය. එහෙත් ගැටලුව වූයේ මේ කාන්තාව දරුකමට හදාගත් දියණියගේ නියම මවම මුණගස්සනු ඇතැයි ඔහුට විශ්වාසයක් නොවීමය. දරුවාගේ සැබෑ මව සොයන්නට පීටර් බ්‍රොංගර් විසින් පවරන්නේ තමන් සමඟ හිතවත්ව සිටි ඇන්ඩෲ සිල්වාට ය.
ඇන්ඩෘෘ සිල්වා ඒ වෙනුවෙන් කැප විය. අවසානයේදි එම දැරියගේ නියම මව සොයා ගන්නට ඔහුට හැකි විය. පසුව ඇයව පීටර් බ්‍රොංගර්ට හංවැල්ල ප්‍රදේශයේදී මුණගැස්සවීමට ඇන්ඩෲ කටයුතු කළේය. ළදැරියකව සිටි සමයේ වැදූ මවගෙන් වෙන් වූ මේ දැරිය සිය වැදූ මව බදා වැලපෙන්නට වූවාය.
දරුවන්ට මවුවරුන් සොයා දීම කෙතරම් පිනක්ද
“එම සංවේදි දසුන දැක්කට පස්සේ මට මහා වේදනාවක් වගේම සතුටක් ඇති වුණා. මේක කොච්චර පිනක්ද කියලා මං කල්පනා කළා. ඒ දැරියයි ඇය හදා වඩාගත් නෙදර්ලන්ත ජාතික පියා ඇතුළු ඥාතීනුයි මට මුව නොසෑහෙන්න ස්තුති කළා.” ඇන්ඩෘ සිය මතකය අවදි කළේය. මේ සද්කාර්යය පීටර් බ්‍රොංගර් විසින් සිය නෙදර්ලන්ත ජාතික මිතුරන්ට පවසා තිබිණි. එය කතාවක් සේ ඒ සමාජයේ පැතිරී ගියේය. ටික කලක් ගතවෙද්දි කුඩා කල තමන්ට කුලවැද්දූ ලාංකික දරුවන්ගේ මවුපියන් සොයා දෙන්නට කරන ඉල්ලීම් ගණනාවක් ඇන්ඩෘෘට ගලා එන්නට විය.
මේ ඒ ගැන ඔහුගේ තෘප්තිමත් මතකය ය.
“ඇත්තට මේ වන විට මම මවුපියන්ගෙන් කුඩා කල සිට වෙන්ව විදේශ ගත වුණ දරුවන් 78 දෙනෙකුගේ නියම වැදූ මව හොයලා දීලා තියෙනවා. ඒ වැඩිම පිරිසක් සොයලා දුන්නේ නෙදර්ලන්තයෙන්. අනෙක් පිරිස යුරෝපයේ සෑම රටකින්ම වගේ සොයා ගෙන තිබෙනවා. මේ ඉල්ලීම් සියල්ල ලැබෙන්න ගත්තේ පීටර් බ්‍රොංගර්ගේ දරුවා සම්බන්ධව මං කටයුතු කරපු අවංක විධිය නිසා.”
“මේ වන විට දරුවො 200කට අධික පිරිසක් තම වැදූ මව සොයා දෙන ලෙස මගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරලා තියනවා. ඔවුන් දන්නා තොරතුරු මට එවලා තියෙනවා. ඒ වගේම මවුවරුන් 150ක් වැඩි ප්‍රමාණයක් කුඩා කල නොයෙක් හේතුන් මත වෙන්ව ගිය දරුවන් සොයා දෙන ලෙස මගෙන් ඉල්ලා තිෙයනවා.”
“කොහොමද මේ වැඩේ ලේසි නෑ නේද?.” අපි ඇන්ඩෘෘගෙන් විමසමු.
“ඇත්තටම මේ කටයුත්ත හරිම අපහසු වෙෙහසකර කාර්යයක්. මේ දරුවන්ගේ 75%කට බොරු ලියකියවිලි තියෙන්නේ. තව නියම අම්මා වෙනුවට බොරු අම්මලා පෙනී සිටින අවස්ථාවන් ගොඩක් තියෙනවා. අවසානයේදි ඩී.එන්. ඒ. පරික්ෂණයක් කළාම ඇත්ත අම්මද බොරු අම්මද කියලා හොයා ගන්න පුළුවන්. සමහර වෙලාවට නිවුන් දරුවෝ තුන් දෙනෙක් කියලා දරුවන් හදාගන්න රට ඉන්න අයට දෙනවා. පස්සේ ඩී. එන්. ඒ. පරික්ෂා කරලා බලද්දි නියම නිවුන්නු නොවෙයි. මේ ආකාරයෙන් වංචාවල් ගොඩක් වෙලා තියෙනවා. ඒ නිසා නියම මව සොයාගැනීමට සැහෙන වෙෙහසක් දරන්න වෙනවා.”
“මේ වැඩේ කරද්දි එක එක අත්දැකිම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒකල පැත්තේ කාන්තාවක් කතාකරලා කිව්වා තමන්ගෙ දරුවා කුඩා කල රට අරන් ගියා... එයා හොයලා දෙන්න කියලා... මේ කාන්තාව මට විටින් විට කථා කළා. මම විදේශ රටවල ඉන්න හිතවතුන්ට කියලා මේ දරුවා සොයන්න සෑහෙන මහන්සියක් ගත්තා. මේ කාන්තාව මට අවුරුදු 10ක් තිස්සේ කොල් කර කර තමන්ගේ දරුව සොයා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියා. පස්සේ මම බොහොම අමාරුවෙන් ඒ දරුවාව සොයා ගත්තා. පස්සේ ඩී.එන්.ඒ. පරික්ෂණය කළාම නියම අම්මා කියලා තහවුරු වුණා. දැන් දරුවා ලංකාවට එන්න හදනවා අම්මා මුණ ගැහෙන්න. එතකොට මේ අම්මා කියනවා දරුවා මුණ ගැහෙන්න බැහැ කියලා. තමන්ගේ අම්මා බලන්න ලොකු ආශාවකින් හිටිය දරුවට ඒ කතාව අහලා ගොඩක් දුක හිතුණා. ඔහු අහනවා ඇයි අම්මා මුණ ගැහෙන්න බැහැ කියලා කියන්නේ කියලා. ඒව උත්තර නැති හරිම සංකීර්ණ ප්‍රශ්න. අන්තිමේදි මට අවුරුදු 10ක් මහන්සි වෙලාත් ඒ දරුවයි අම්මාවයි මුණ ගස්සන්න බැරි වුණා.” ඇන්ඩෘෘ කියන්නේ මනුෂ්‍ය හැඟීම්වල සංකීර්ණ විචනයේ ස්වරූපය ය.
වසර 28කින් පසු වැදූ මව සොයා නෙදර්ලන්තයේ සිටි පැමිණි තරුණයෙකුට අම්පාර පන්නල්ගමදි තම නියම මව සොයා දෙන්නට ඇන්ඩෲ සමත් වුවේය. පන්නල්ගමදී මට ඇන්ඩෘෘත් ඒ තරුණයාත් මුණගැසිණි.
නෙදර්ලන්තයේ සිට පැමිණි තරුණයා කෙවීන් කුමාර ය. ඔහු සිටියේ විස්තර කළ නොහැකි තරම් වූ තෘප්තිමත් හැඟීමකිනි.
නිවුන්නු කීවත් සමහරවිට DNA සමාන නෑ
“ මම කාලයක ඉඳන් මගේ අම්මව සෙව්වා. අද තමයි මට අම්මා හමුවුණේ. මට ඇන්ඩෲ සිල්වා මහතා නිසයි මේ අවස්ථාව උදා වුණේ. ඔහු සෑහෙන මහන්සියක් ගත්තා මේ අවස්ථාව උදාකරලා දෙන්න. මට හරි සතුටුයි අම්මා මාගේ සහෝදරියන් සහෝදරයන් මුණු ගැසෙන්නට ලැබීම ගැන. ඔවුන්ගේ දුප්පත්කම ගැන මට ගැටලුවක් නැහැ. මේ මගේ අම්මා. මේ මගේ සහෝදරයන්. මම ඔවුන් වෙනුවෙන් කරන්නේ මොනවද කියලා කියන්නේ නැහැ. මම අවශ්‍ය දේ කරනවා. මම අවුරුද්දකට සැරයක් මෙහෙ එනවා. ඇවිත් කරන්න අවශ්‍ය දේ මම කරනවා. මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු ගැන මම බලනවා. ඉංග්‍රීසි ඉගෙනගන්න කියනවා. මමත් සිංහල ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම මෙහේ පදිංචියට එන්නේ නැහැ. මාව හදාගත්ත අම්මා තාත්තා මට හොඳින් සලකනවා. මට ඔවුන් ගැනත් බලන්න වෙනවා. මම මේ විස්තර වීඩියෝ නෙදර්ලන්තයේ ඉන්න මගේ නෝනට යැව්වා. නෝනා ඒ විස්තර දැකලා හොඳටම ඇඬුවා.” කෙවීන් කීවේ බොඳවුණු දෙනෙතිනි.
“මට ලොකු විශ්වාසයක් තිබ්බා මං මැරෙන්න කලින් කවදාහරි දවසක පුතාව දැකගන්න ලැබෙයි කියලා. ඒකට අවස්ථාව ලබා දුන් මගේ පුතා හදාගත් මවුපියන්ටත් මීගමුවේ ඇන්ඩෘෘ සිල්වා මහතාටත් කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මට පුදුම සතුටක් තියෙන්නේ.”
එසේ කියන්නේ කෙවින් වැදූ මව, දීපිකා ය.
ඇන්ඩෘෘ ඒ දෙස බලාගෙනය. ඔහුගේ දෑසෙහි නොවියැකෙන සිනාවක මිහිරි ලකුණු ඇඳී ඇති අයුරු දුටුවෙමි.
සුසන්ත අමරබන්ධු