වසර 68කට පසු බෝතලේ වල­ව්වේදී ‘ඩී එස්’ මුණගැසුණු දා... | සිළුමිණ

වසර 68කට පසු බෝතලේ වල­ව්වේදී ‘ඩී එස්’ මුණගැසුණු දා...

ඩී එස් දරු සුර­තල් බල­මින්. වඩා­ගෙන සිටින්නේ රුක්මන්ය. ට්‍රැක්ට­රයේ සිටින්නේ දේවි­න්දය. වටේ සිටින්නේ ගමේ දරු­වන්ය.

අවු­රුදු ගණ­නා­වක් ගෙවී ගිහින්.

ඒත් අතීතෙ කොහොම අම­තක කර­න්නද...

මට විත­රක් නොවෙයි‍, මේ රටේ ඉප­දුණු ඔබ­ටත් බැහැ හිතන තරම් ලේසි­යෙන් ඒ ගෞර­ව­නීය ඉති­හාසෙ අම­තක කර දමන්න.

‍ඔබට සිද්ධ වෙනවා අද මාත් එක්ක මීරි­ගම, බෝත­ලේට යන්න. හරි­ය­ටම කිව්වොත් සේනා­නා­ය­ක­ව­රුන්ගෙ බෝතලේ වල­ව්වට යන්න.

පණ දෙවැනි කොට ආද­රය කළ රට ජාති­යත් ඒ මිනි­සු­න්වත් අතෑ­රලා අවු­රුදු 66 වෙද්දි යන්න ගියාට, ඔහු තව­මත් අපේ හිත්වල ජීව­මා­නව වැඩ හිඳින හින්දා‍.

ජාතියේ පියා....

රටේ පළමු අග්‍රා­මා­ත්‍ය­ව­රයා...

මහා­මාන්‍ය ඩී.එස්. සේනා­නා­යක මැතිඳා... ඔය මොන හැඳි­න්වී­ම­ටත් යටින් උන්නෙ, ඇඟ­ප­තින් වගේම හද­ව­ති­නුත් පිරිච්ච සද්ධ­න්ත­යෙක්.

රටට ආදරය කළ දැක්මක් තිබූ නාය­ක­යෙක්.

ඔහුගෙ ඒ ගිලුණු ඇස්වල ගැඹුරු පෙනු­මට යටින් මොකක්දෝ මහා කරු­ණා­ව­න්ත­ක­මක් දිලි­හුණා.

ගාම්භීර උඩු­රැ­වුල... මුහුණේ රැඳුණු මන්ද­ස්මි­තය... රාජ්‍ය නාය­ක­ය­කුගේ පෙනුම තීව්‍ර කළත්, මට ඕනෙ වුණේ ඊට යටින් උන්නු කරු­ණා­වන්ත මුත්ත­ණුවො ගැන දැන ගන්න.

ඉතින්, අද තමයි හොඳම දවස.

1884 ඔක්තෝ­බර් 20 දා අද වගේ දව­සක බෝතලේ වල­ව්වේදී දොන් ස්ටීවන් හෙවත් DS උපන්නෙ, දොන් ස්පේටර් සේනා­නා­යක මුද­ලි­තු­මා­ගේත් කෙහෙ­ල්ඇල්ල වලව්වේ කැත­රින් එළි­ස­බෙත් පෙරේරා කුමා­රි­හා­මි­ගේත් හත­ර­වැනි දරුවා විදි­යට.

දොන් චාල්ස්, මේරි ෆ්‍රාන්සිස් සහ එෆ්.ආර්. අයි­යලා අක්ක­ලාගෙ පුංචි මල්ලි විදි­යට‍.

එහෙම පට­න්ගත්තු ජීවිතේ ඔහු වැඩි­යෙන් ම වැඩ කළේ රටට.

කණ්ඩා­ය­මක් සේ එක්ව මේ රටට නිද­හස ලබා­ගන්න... සුද්දො බෝ කළ රට අර­ක්කු­ව­ලින්, බලා ඉඳිද්දි විනාශ වෙලා ගිය සිංහල තරු­ණයො ටික බේරා­ගන්න, ඔහු අම­ද්‍යප ව්‍යාපාර හරහා හුඟක් දේ කළා. විටෙක හිර­ගත වුණා.

1946 සැප්තැ­ම්බර් 06 වැනිදා එක්සත් ජාතික පක්ෂය පිහි­ටවූ ඔහු, අපේ රටේ ප්‍රථම අග­මැ­ති­ව­රයා ලෙස පත්වන්නේ 1947 සැප්තැ­ම්බර් 24 වැනිදා, ශ්‍රී ලංකා­වට පූර්ණ නිද­හස හිමි­ව­න්නත් කලින්.

එදා මෙදා තුර කිසිදු රාජ්‍ය නාය­ක­යෙක් නොකළ තරමේ සංව­ර්ධන ව්‍යාපෘති රැසක් රටට උරුම කරදී, 1952 මාර්තුවෙ ඔහු හදි­සියේ යන්නම යනවා.

අද ඔහ‍ුගෙ සදා­ත­නික නවා­තැන, සියලු සේනා­නා­ය­ක­ව­රුන්ගේ අළු බඳුන් තැන්පත් කළ බෝතලේ වලව්වේ සුදු පැහැ විසල් සොහොන් ගෙය.

ඒ සොහොන් ගෙය ඇතුළේ රිදී පැහැ අළු මංජු­සා­වක අවු­රුදු 66 ක් තිස්සෙ භෂ්මා­ව­ශේෂ බවට පත්ව උන්නත් මේ අප­රි­මිත විශ්වයේ කොහේ හෝ තැනෙක හිඳ ඔහු බලා ඉන්නවා ඇති.

ඒ හින්දා ඔබ එක්ක කතා කරන්න මට කාගෙ තහං­චි­යක්ද....

“සුබ උපන් දින­යක්...!”

සිය­ල්ලට කලින් මම ඔබට සුබ පත­නවා.

ජාති­යක වග­කීම කරට ගත් අපේ රටේ අව­සන් නාය­කයා ඔබ. ඔබෙන් පස්සෙ, ඔබේ පුතු ඩඩ්ලි­ගෙන් පස්සෙ මේ රටේ තිබුණු ඒ ස්වර්ණ­මය යුගය සුන්න­ද්දූලි වෙලා ගියා.

තාත්තා­ගෙන් සීයා­ගෙන් උරුම වූ මිනි­රන් ව්‍යාපා­ර­යෙන්, නිකම් උන්නත් මහා ධන­ස්ක­න්ධ­යක් ගලා ආ පසු­බි­මෙක ඇයි ඔබ දේශ­පා­ල­නය කළේ... කෘෂි කර්මා­න්ත­යත් එක්ක ඔට්ටු වුණේ... මහා වැව් අමුණු පිළි­ස­කර කරද්දි... සේනා­නා­යක සමු­ද්‍රය... ගල්ඔය, ඉඟි­නි­යා­ගල, උඩ­ව­ලවේ වැනි මහා ජල යෝජනා ක්‍රම ඇති කරද්දි, ලක්ෂ­පාන කාසල් රී ජල විදුලි බලා­ගාර රටට දායාද කරද්දී, කොළඹ වරාය ගොඩ­න­ඟද්දී... මහි­යං­ග­ණය, හස­ලක වැනි අලුත් නගර බිහි කරද්දී, මෙකී නොකී දහ­සක් වැඩ කරද්දී මොන­වද ඔබට ලැබුණේ...

ඒ විත­රක් නෙවෙයි, වියළි කලා­පයේ කැලෑ ඉඩම් එළි­පෙ­හෙළි කොට අස්වද්දා, අක්කර විසි හත් දාහ­කට එහා සරු­සාර ගොවි ජන­පද බවට පත් කර­ද්දීත් මොන­වද ඔබට ලැබුණේ...

පාරට තාර ටිකක් දැම්මත් දේශ­පා­ල­කයො කොමිස් ගහන තැනට අද පත්ව තිබෙන්නෙ... ඔබ හැදූ ඒ රට කියලා දැන ගත්තොත් ඔබට දුක හිතේවි.

“මගේ පාස්පෝට් එක අරන් බලා­පල්ලා, 1951 සැප්තැ­ම්බර් 15 වැනිදා නිකුත් කරපු මේ ගමන් බල­ප­ත්‍ර­යෙන් මං බුරු­මය කල්ක­ටාව සිංග­ප්පූ­රුව, ඕස්ට්‍රේ­ලි­යාව කියන රට­ව­ලට ගියා. දින 20 ක මේ නිල චාරි­කා­වට මං ලංකා ආණ්ඩු­වෙන් පවුම් 150 ක් දුන්නා. මට වියදං ගියේ පවුම් 45 යි. හොඳින් බලා­පල්ලා ඉතිරි පවුම් 105 මං ආපහු ආණ්ඩු­වට ගෙව්වා. රටට වැඩ කරද්දී රටේ සල්ලි වංචා කරන්න එපා මිනි­ස්සුනේ...” නොවැ­රැ­දීම ඔබ, තර­හින් කෑගසා කියාවි.

“දේශ­පා­ල­නය යනු, සල්ලි හම්බ කිරී­මට සහ හොර­කම් කිරී­මට ලැබෙන මහඟු අව­ස්ථා­වක් යැයි සිතන මේ රටේ දේශ­පා­ල­ක­යන්ට, අද ඔබ සිටියා නම් මොනවා නොක­රා­විද...

කමක් නෑ... මොහො­ත­කට අපි ඒ හැම දේම අම­තක කරමු.

ඔබේ පුතුන් දෙදෙ­නා­ගෙන් මේ රටේ අග­මැ­ති­කම හතර වතා­වක් දැරූ ලොකු පුතු ඩඩ්ලි ගැන ඔබට විශේෂ ආඩ­ම්බ­ර­යක් ඇති බව අපි දන්නවා.

ඒත් විවාහ නොවුණු එක ගැන නම් තාත්තෙක් හැටි­යට හිතේ පුංචි දුකක් ඇති. ඒත් ඔබට ආද­ර­ණීය ආතෙක් වෙන්න පුළු­වන් වුණා. ඒ, බැරි­ස්ට­ර්ව­ර­යකු සහ කීර්ති­මත් ව්‍යාපා­රි­ක­යකු වෙච්චි පොඩි පුතු රොබට්ගෙ දරු පස්දෙනා නිසා

දේවින්ද, රංජිනී, රංජිත්, රුක්මන් සහ යස්මින්... ඒ මුනු­පුරු මිනිපි­රි­යන් අත­රින් ඔබේ ආද­රය විඳින්න බැරි වුණේ ඒ වෙන­කොට ඉප­දිලා නොසිටි යස්මින්ට විත­රයි.

ඔබ සියල්ල හැරදා යන­කොට, රුක්මන් අවු­රුදු තුනක පුංචි සිඟි­ත්තෙක්.

ඔබ දන්න­වද? ඔබේ පස්සෙම වැටී හුන් අවු­රුදු දහ­යක එකො­ළ­හක ලොකු මුනුපුරා දේවි­න්දට දැන් අවු­රුදු 77 ක්.

කාලය මොන­ත­රම් ඈතට ගිහින්ද...? ඒත් ඔබ ගැන මත­කය තවම අපිට සතු­ටක්.

කව­දා­වත් පත්ත­රේ­කට කතා කර නැති ඔබේ ලොකු මුනුපුරු දේවින්ද, මාත් එක්ක ඔබ ගැන කතා කරන්න එකඟ වෙච්චි එකම, ලොකු දෙයක්.

හිතේ හැටි­යට බෝතලේ වලව්වේ අපි ඇවිද්දෙ ඡායා­රූප ගත්තෙ දේවින්ද ලබා­දුන්නු ඒ කොන්දේසි විර­හිත කාරු­ණික අව­ස­ර­යෙන්.

ඔබේ සීයා හැදූ, ඔබත් හුඟක් ආසා කළ බොරැල්ලෙ සේනා­නා­යක හන්දියේ ‘සිරි­මැ­දුර’ සුන්දර වලව්ව නම්, පොළො­වට සම­තලා කර හුඟක් කල්. අද එතැන නැඟී හිඳින්නෙ අලුත් පර­ම්ප­රාවෙ සුපිරි නිවාස සංකී­ර්ණ­යක්.‍

ඊට යාබද, හවුස් ඔෆ් ෆැෂන් ඉදි­රි­පිට, මහා ගොඩ­නැ­ඟි­ලි­ව­ලට වැසී ගියත් තව­මත් ඉති­රිව ඇති ‘වුඩ්ලන්ඩ්ස්’ වලව්ව නම්, ඔබ අන්ති­මට දැකපු පුංචි මුනු­පුරා රුක්මන්ගෙ.

ඒ ගැන නම් ඔබට සතු­ටක් දැනේවි.

දේවින්ද සිය බිරිය කල්පනා සේනා­නා­යක සමඟ ජීව­ත්වන නවීන මහල් නිවා­සය තිබෙ­න්නෙත් මේ වුඩ්ලන්ඩ්ස් වලව්ව ඉදි­රි­පි­ට­මයි.

කාට­වත් ඒ තරම් නොදැ­නු­ණාට, දව­ස­කට ලක්ෂ ගණ­නක් මිනි­සුන් එහා මෙහා යන කනත්ත ඉදි­රි­පිට පිළි­රුව සහිත ඩඩ්ලි සේනා­නා­යක වට­ර­වුම.... සේනා­නා­යක හන්දිය... වුඩ්ලන්ඩ් වලව්ව... තව­මත් ඔබ ගැන මත­කය අලුත් කරන අතීත සිහි­ව­ටන.‍

දේවින්ද තරම්ම සේනා­නා­යක පර­පුරේ අභි­මා­න­යට සල­කන, එය සුර­කින කල්පනා, ඒ අතී­ත­යට උරුම සෑම සියලු දෙයම රැක­ග­න්නට ලොකු වෑය­මක් දර­නවා.

බෝතලේ වලව්වෙ වගේම, සේනා­නා­යක පර­පුරේ වටිනා ඡායා­රූප, ලිපි ලේඛන මේ නිවෙ­සේත් සුරැ­කිව තිබෙන්නේ මේ දෙදෙ­නා­ගෙම මහ­න්සියේ ප්‍රති­ඵ­ල­යක් විදි­යට.

“කාගෙ­වත් ළඟ නැති වටිනා දෙයක් මං ළඟ තියෙ­නවා. ඒ, DS සහ මුවර් ආණ්ඩු­කා­රයා අත්සන් කළ, මේ රටේ Independent Document එක.”

ඔන්න, දේවින්ද කියූ ඒ රහස අපි ‍ඔබටත් කිව්වා.

“ආතා එක්ක වැඩි­යෙන් ම හිටියෙ මං. එයා යන හැම තැන­කම මාව එක්ක ගියා. වැව් අමුණු පිළි­ස­කර කරද්දී කැලෑ ගම්මා­න­වල, ගොවි ජන­ප­ද­ව­ලට යද්දි, ඔය ඕනෙ තැන­කට මාව අරන් ගියා.

මගේ පුංචි කාලෙ මේ බෝතලේ වල­ව් වත්තෙ ඉඩම අක්කර 600 ක්. ඉඩම් පන­තෙන් ඔක්කොම ආණ්ඩු­වට ගත්තා. දැන් තියෙන්නෙ අක්කර 50 ටත් අඩු­වෙන්. මගේ මුත්තා ස්පේටර්ට තමයි, ඒ කාලෙ ලොකුම මිනි­රන් පතල් තිබුණෙ. අශ්ව­බල 34 ක වාෂ්ප පොම්ප­යක් තිබුණෙ අඹේ­පුස්සෙ පතලෙ විත­රයි. 1907 දී සුද්දොත් වැඩ කළ මේ අඹේ­පුස්ස පතලෙ හිටි සේව­කයො ගණන 3000 ක්. මේ තොර­තුරු සඳ­හන්ව තියෙන්නෙ Arnold Wright ලියූ ‘Twentieth Century Impressions of Ceylon’ කියන ලන්ඩ­නයේ ප්‍රකා­ශ­යට පත් කළ ශ්‍රී ලාංකීය ව්‍යාපා­රි­ක­යන් දාන­ප­ති­යන් ප්‍රභූ පවුල් පිළි­බඳ ලියැ­වුණු විශාල පොතේ.

“ආතා, මේ මිනි­රන් පත­ල්වල ඕනෙ තරම් වැඩ කරලා තියෙ­නවා. අපේ කුඹු­රු­වල හාලත් තියෙ­නවා. ලොකු කම් හාමු­කම් කව­දා­වත් ඉස්සර කර­ගත්තෙ නැහැ.

මට හොඳට මත­කයි මං ආතා එක්ක බෝත­ලේට යන­කොට වලව්වෙ ඉස්තෝ­ප්පුවෙ මිනිස්සු පිරිලා. ගමේ ප්‍රශ්න විස­ඳ­ගන්න ආතා එන­කල් බලා­ගෙන ඉන්නවා. ඒ කාලෙ බෝතලේ මිනිස්සු ප්‍රශ්න­ව­ලදී පොලිසි උසාවි ගියේ නැහැ. අර හාන්සි පුටුවෙ වාඩි­වෙලා ආතා තමයි ඔක්කොම නඩු ඇහුවේ. සමා­දාන ක‍ෙ‍ළ්.‍

සැරයි වගේ පෙනු­ණට ආතා පොඩි ළම­යින්ට හරි හිතයි. වල­ව්වට කාර් එක ආවා කියලා දැන­ගත්තු ගමන් ගමේ කොලු ගැටව් ටික දුව­ගෙන එනවා. ඇවිත් කාර් එකේ නගි­නවා. අත­පත ගානවා. “ මිස්කින් මේ ළමයි රවු­මක් එක්ක යන්න...” ආතා ඩ්‍රැයි­වර්ට කිය­නවා.

ඉතින් මිස්කින් ළමයි ආතගෙ කාර් එකේ කීන­දෙ­ණිය හන්දි­යට රවු­මක් එක්ක යනවා. ආවම ආතා ඒ ළම­යින්ට කාසි­ය­කුත් දෙනවා.

ආතා අලි ඇතුන්ට අශ්ව­යින්ට, කොටින්ම සත්තුන්ට හුඟක් ආද­රෙයි.

ඒ කාලෙ සංව­ර්ධන ව්‍යාපෘති සඳහා කැලෑ එළි කරද්දී අලි ඇතුන් හුඟක් තුවාල වුණා. එහෙම අලි ඇත්තු හීලෑ කරලා බල­ප­ත්‍ර­යක් අරන් ඇති කරන්න අව­සර තිබුණා. ආතා­ටත් අව­සර පත්‍ර හත­රක් ලැබුණා.

රංජිනී නංගි­ටයි, රංජිත්, රුක්මන් මල්ලි­ලා­ටයි මටයි එහෙම හීලෑ කරපු අලි ඇත්තු හතර දෙනෙක් ආතා තෑගි දුන්නා. පුංචිම නංගි යස්මින්ට නොලැ­බුණේ එයා ඉපි­දිලා හිටියෙ නැති නිසා.

ආතා මට තෑගි කරපු ඒ ගාමිණී, අවු­රුදු 98 ක් වයස වෙලා 2013 මැරු‍ෙණ දත් ඔක්කොම හැළු­ණට පස්සෙ. ලංකාවේ පළ­මු වැනි ලියා­ප­දිංචි ඇතා, මගේ ‘ගාමිණී’. දළ දෙක සේනා­නා­යක පිරි­වෙ­නට පූජා කරලා, වලව්ව ඉස්ස­රහා ටිකක් ඈතට වෙන්න අපි ගාමි­ණීව වැළ­ලුවා. ඒ කාලෙ පටන් බෝතලේ ගමේ මර­ණ­යක් වුණොත් මිනී පෙට්ටිය හැදුවේ වලව්වෙ වඩු මඩුවේ. ඒ වෙනු­වෙන්ම වෙන් කරපු ලූණු­මි­දෙල්ල ගස් යායක් තිබුණා. DS ආතා නැති වෙන­කල්ම ඒ රාජ­කා­රිය වල­ව්වෙන් කෙරුණා.

ආතගෙ අශ්වයො වෙනු­වෙන් ගෙදර ලොකු ඉස්තා­ල­යක් තිබුණා.‍ එයාගෙ කැමැ­තිම අශ්වයා, බ්ලැක් වෙල්වට් සහ චිත්‍රා කියන කළු වෙළඹ. පිට­ර­ටින් ගෙන්වපු හොඳ රේස් අශ්වයො ගණ­නා­වක් වලව්වෙ හිටියා. උන් මගේ. කොළඹ ඉන්න­කොට ආතා හුඟක් පැද්දෙ පොලිස් අශ්වයො. පිට­කො­ටුවෙ පොලිස් අශ්වා­රෝ­හක බල­කා­යෙදි තමයි ආතා මට මුලින්ම අශ්වයො පදින්න පුරුදු කළේ. මං සැදෑ­ලේ­ට­වත් උස නැහැ. ආතා මාව නග්ග­වලා වැටෙන්න නොදී මාව අතින් අල්ලා­ගෙන පුරුදු කරපු හැටි තවම මත­කයි. හදි­සියේ අශ්ව­ය­කුට තුවා­ල­යක් වුණොත් අත් බේත් කර­ගන්න හැටිත් ආතා මට කියා දුන්නෙ ඒ පුංචි කාලෙ­මයි.

පස්සෙ කාලෙක මං අශ්ව රේස් පැද්දෙ ප්‍රසිද්ධ තරග ගණ­නා­වක් ජය­ග්‍ර­හ­ණය කළේ කුස­ලාන දිනා­ගත්තෙ, ආතා තියපු ඒ ආර­ම්භ­යෙන්.‍

ඒත් ඔච්චර පුරුදු කාර­යෙක් වෙච්චි මං 1989 අවු­රුද්දෙ දව­සක පාර්ලි­මේන්තු පාරේ අශ්වයා පදිද්දි, සීනි බැහැලා කලන්තෙ දාලා වැටුණා. එදා තමයි පළමු වතා­වට දැන­ගත්තෙ මට දිය­වැ­ඩි­යාව ඇවිත් කියලා.

එදා අන්තිම දව­සෙත් ගෝල් ෆේස් එකේ ආතා අශ්වයො පදින්න ගිහින් තියෙන්නෙ උදේට නොකා, දිය­වැ­ඩි­යා­වට ගහන ඉන්ජෙ­ක්ෂන් එකත් අරන්.

“ආතා එක්ක එදා පොලි­ස්ප­ති­ව­ර­යාත් ඉඳලා. අපි ටිකක් හයි­යෙන් යමු...” ආතා කියලා. වය­සට ගියත් එයා බොහොම ජව­ස­ම්ප­න්නයි. ආතා අස්සයා පිටින් වැටුණු එක ගැන මිනිස්සු එක එක කතා කිව්වට මට නම් හිතෙන්නෙ සීනි අඩු­වෙලා කල­න්ත­යක් එන්න ඇති. එහෙම නැතුව නම් එයාව අස්සයා පිටින් වට්ටන එක ලේසි නැහැ. එයා වැටුණු පාරෙට බෙල්ලට, සුසු­ම්නා­වට හුඟක් හානි­වෙලා තිබුණා.

ආතගෙ ඩ්‍රයි­වර් මිස්කින්, මාව ඉස්කෝ­ලෙට ඇවිත්, සෙන්ට්‍රල් හොස්පිට්ල් එකට එක්ක ගියා. මං දැක්කා ආතා මහා සද්දෙට හුස්ම ගන්නවා. කවුදෝ ඩොක්ට කෙනෙක් පිට­ර­ටින් එන­කල් හැමෝම බලා­ගෙන හිටියා. ඒත් පහු­වැ­නිදා, ඒ කියන්නෙ මාර්තු 22 දා ආතා නැති­වුණා... ආතගෙ ඇඟිල්ලෙ තිබුණු දිය­මන්ති ගලක් ඔබ්බ­වපු රන් මුද්ද අද පල­ඳින්නෙ මං. ඒ මුද්ද මට ලෝක­යක් වටි­නවා.”

හෙමි හෙමින් මතක් වන අතී­තය දේවින්ද පෙළ ගස්වන්නෙ සීරු­වට.

“බෝතලේ කුස්සිය හුඟක් ලොකුයි. දර පෝර­ණුම හතර පහක්. පොල් ලෙලි, හනසු, හොඳ දර... මේවා පුර­වපු ගමන්. ඒ තර­මට කෑම ඉව්වා. අදත් හොඳට තියෙන ස්පේටර් මුත්තා හද­වපු වී පෙට්ටියෙ ගම­ටම වුණත් කන්න දෙන්න පුළු­වන් තර­මට හාල් තිබුණා. ආතා ආසා කළේ කොස් පොළොස් අල බතල කොළ මැල්ලු­ම්ව­ලට. ආතා එක්ක, ගමේ කෑම දර ලිපේ උයලා කාපු ඒ පුරු­ද්දට අදත් මට ඕනෙ දර ලිපේ උයාපු ගමේ කෑම. අපේ ගෙදර ඒ කට­යුත්ත නම් මගේ නෝනා­ගෙන් අත්හැ­රෙන්නෑ...”

දේවින්ද කියන්නෙ සතු­ටින්.

අම්මලා බයට කෑගැ­හු­වට ආතා ඉන්න වෙලා­වට මට ඕනෙ තරම් ගස් ගල් නගින්න අව­සර ලැබුණා.

“කෑ නොගහා ඉන්න, ඔහේ නැග­පු­වාවේ, නැගලා බහී­විනේ, පිරි­මි­යෙක් වුණොත් හැදෙන්න ඕනෙ එහෙම තමයි...”

දව­සක් මං පුවක් ගහ­කට නගි­නවා දැකලා අම්මා කෑ ගහද්දි ආතා කිව්වෙ එහෙ­මයි. මගේ කොණ්ඩෙ කපන්න, කොල්ලු­පි­ටියෙ ගේබ්‍රි‍යල් සැලුන් එකට නැත්නම් රෝයල් සැලුන් එකට මාව එක්ක ගියෙත් ආතා. කපල ඉව­ර­වෙ­න­කල් කකා ඉන්න මට රට කජු ගොට්ට­කුත් අරන් දෙනවා. ඉව­ර­වෙ­න­කම් මගෙ ළඟ­ටම වෙලා ඉන්නවා.‍

ඇත්ත­ටම ආතා කැමැති වුණේ එයා වගේම මාත් දඩ­බ්බර වැඩ කර­න­වට. සත්තු ඇති කර­න­වට දැන් ඉන්නෙ මේ අශ්වයො දෙතුන් දෙනයි, ගිනි කුකුළො සහ මොන­රුයි විත­රයි.

මං ෆ්‍රෙෂ් මිල්ක් බොන එක නැවැ­ත්තු­වෙත් ආතා නිසා.

දව­සක් ආතා මාව අඹේ­වෙල හරි බග­ව­න්ත­ලාව හරි ෆාම් එකට අරන් ගියා. ලොකු කිරි හරක් වර්ග­යක් ගෙනැත් උන් බලන්න අපි ගියේ. එතැ­නදි ආතා මට කිව්වා, ඒ වෙලාවෙ දොවපු අමු කිරි බොන්න කියලා. පෙණ පිරුණු කිරි භාජ­නේට කට තියලා බිව්ව ගමන් මට මහා අප්පි­රි­යා­වක් දැනුණා. එදා ඉඳලා මං කිරි බොන එක අත්හැ­රියා.”

බෝතලේ වලව්ව මේ සියලු ගෘහ භාණ්ඩ DS මහ­ත්තයා පාවිච්චි කළ දෑ කියා හිතු­වත්, දේවින්ද කිව්වෙ ඒ උරු­ම­යට අත්වුණු ඉර­ණම ගැන.

“රජයෙන් මියු­සි­යම් එකේ තියන්න කියලා බෝතලේ වලව්වෙ තිබුණු ආතා පාවිච්චි කළ ඇඳන්, මේස පුටු ගණ­නා­වක් ලොරි දෙකක් පුර­වලා අරන් ගියා. හදපු DS මියු­සි­යම් එක­කුත් නැහැ. ඒ බඩු ටිකට වෙච්චි දේකුත් නැහැ. මේ බෝතලේ වලව්වේ දැන් වැඩි හරිය තියෙන්නෙ මං කොවු­ල්වැව වත්තෙ බංග­ලා­වෙන් ගෙනාපු බඩු භාණ්ඩ.

අද නාර­ම්මල NLB ෆාම් කියන්නෙ ආණ්ඩු­වට ගත්තු අපේ ඒ කොවු­ල්වැව වතු­යාය සහ බංග­ලාව.

මට මත­කයි ගොවියො හෙට්ටීන්ට කුඹුරු උකස් කරලා, අත මාරු අර­ගෙන අමා­රුවෙ වැටු­ණම කුඹුරු ටික හෙට්ටී­න්ටම සින්න වෙනව කියලා ආතා සෑහෙන්න දුක් වුණා. ඒකෙන් ගොවීන් බේර­ගන්න රාජ්‍ය උකස් හා ආයෝ­ජන බැංකු­වක් පිහි­ටු­වන්න ආතා යෝජනා කළා. අද ඒක ගෙවල් හදන බැංකු­වක් විත­රයි.”

කතා කළාට වැඩක් නොවෙන, මේ රටේ බොහෝ දෑ දෙස බලා­ගෙන අද දේවින්ද ගෙවන්නෙ නිස්ක­ලංක සැඳෑ සම­යක්.

කලෙක ව්‍යාපාර හැදූ, වර්ධ­නය කෙරූ ඔහු අද ඒ සිය­ල්ලෙන් අත්මි­දිලා. වල­ව්වට ගිය­විට මුණ ගැහෙන සිය ආද­ර­ණීය සත්ව හුර­ත­ලු­න්ගෙන් ඔහු ලබන්නෙ අස්වැ­සි­ල්ලක්.

ගේ ඉදි­රි­පිට දේව­ම­දාරා ගහ යටින් යද්දී, ආතා තමන් වෙනු­වෙන් සිටවූ අඹ ගස් හෙව­ණට යද්දී, නා ගහේ දලු­ලන රෝස පැහැ නා දලු දකිද්දී, ජීවි­තයේ ගෙවී අව­සන් වූ ආතා හා බැඳුණු ඒ සුන්දර දවස් ඔහුට සිහි­වෙ­නවා ඇති.

බෝතලේ වලව් බිම පුරා ඇවි­දි­මින් සැරි­ස­ර­මින් මං හොයන්නෙත් කිසිදා නොදුටු ඒ ප්‍රතා­ප­වත් මිනිසාගේ නොමියෙන මතකය නොවෙද...

 

 


අදහස්