මහනුවර සිට කිලෝ මීටර හතළිහක පමණ දුරක පිහිටි අදටත් නාගරික ජනතාව ගැමි සුවඳ විඳින්නට යන හද්දා පිටිසර ගමක් ලෙසින් රටේ ප්‍රචලිත උඩුදුම්බර මීමුරේ ග්‍රාමයේ හැඳි වැඩුණු ඔහු එම ගමෙන් සාමාන්‍ය පෙළ සමත්වූ ප්‍රථමයාය. උසස් පෙළින් පසු උඩුදුම්බරින් සරසවි වරම් ලද ප්‍රථමයා ලෙසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත්ව භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකර ගත් හෙතෙම රාජ්‍ය පරිපාලන සේවයට එක්ව තිස් පස් වසරක් තුළ තනතුරු රැසක් දරමින් සිට අමත්‍යංශ ලේකම්වරයෙකු ලෙස විශ්‍රාම ලබන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට අගමැති පුටුව ලබා දීමේ වැඩපිළිවෙළේ මහ මොළකරු ලෙසද කටයුතු කරමිනි. විශ්‍රාම ලැබීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත් සුදත් ගුණසේකර නම් ඔහු අප්‍රතිහත ධෛර්යෙන් තම ඉලක්කය ජය ගත්තෙකි. ඉංග්‍රීසි හා සිංහල බසින් ග්රන්ථ ගණනාවක් රචනා කර තිබෙන ඔහුගේ ජීවිතයෙන් වර්තමාන පරපුරට උකහා ගත හැකි වටිනා දේ බොහෝය. ඔහුගේ වදන් ඔස්සේ ඔහුගේ ජීවිතයට කළ එබී බැලීමකි මේ.
අදටත් අති දුෂ්කර ගමක් ලෙස සැලකෙන මීමුරේ ගෙවුණු ජීවිතය පිළිබඳ සිහිපත් කරනවා නම්
මගේ තාත්තා මීමුරේ. අම්මා පොද්දල්ගොඩ. මේ ගම් දෙකම උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිතියි. මීමුරේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක්. එතනින් එහාට මාතලේ දිස්ත්‍රික්කය. අපේ තාත්තා ගම්මුලාදෑනි කෙනෙක්. මම ඉපදුණේ අම්මගේ ගම වන පොද්දල්ගොඩ. මී මුරේ ඉඳලා පොද්දල්ගොඩට හැතැප්්ම 22 ක් විතර තියෙනවා. මේ දුර අම්මා යන්නේ මාව වඩාගෙන. ඒ දවස්වල විතරක් නෙවෙයි අදටත් මී මුරේට යන ගමන හරිම දුෂ්කරයි. දියපාරවල්වල නටමින් කැලෑවේ ඇවිදිමින් අපේ ළමා කාලය ගෙවුණේ බොහොම සැහැල්ලු විදිහට.
මී මුරේ හැඳී වැඩුණු ඔබ ඩී. ආර්. ඕ කෙනෙක් වෙන්න සිහින දැක්කා නේද?
අපේ අම්මලාගේ ගමට එන්න අඩි 5000 ක් උඩට නැගලා තමයි පහළට බහින්න ඕන. මම ඉගෙන ගත්තේ මීමුරේ කනිෂ්ඨ පාසලේ. පහේ පන්තියෙන් පස්සේ අම්මගේ ගම වන පොද්දල්ගොඩ ඉස්කෝලෙට ගියා. අපේ ගමට 1949 අවුරුද්දේ ඩී.ආර්.ඕ (ප්‍රාදේශීය ආදායම් නිලධාරී) මහත්තයෙක් ආවා. එදා මී මුරේ ග්‍රාම සංවර්ධන සමිතියේ මුලසන හෙබවූ ඒ මහත්තයට ගමේ මිනිස්සු කතා කළේ හාමුදුරුවෝ කියලා. ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ සිවුරක් දාගෙන හිස මුඩු කරලා නැති මෙයාට ඔක්කොම හාමුදුරුවෝ කියන්නේ ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. පන්සලේ හාමුදුරුවන් ගෙන් ඩී.ආර්.ඕ මහතා යමක් විමසන සෑම අවස්ථාවකම උන්වහන්සේ පිළිතුරු දුන්නෙත් එහෙමයි කියලා. එදා පිළිගැනීමේ කතාව කළේ මම. මගේ කතාව අහලා ඩි.ආර්.ඕ මහත්තයා මට ලොකු ප්‍රශංසාවක් කළා. රැස්වීම ඉවර වෙලා ගෙදර යන ගමන් මම අප්පච්චි ගෙන් ඇහුවා ඇයි අප්පච්චි අර මහත්තයාට මිනිස්සු හාමුදුරුවෝ කියන්නේ කියලා. එයා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක්. ඒ නිසා තමයි ගෞරවයට එහෙම කියන්නේ කියලා අප්පචිචි කිව්වා. 1949 අවුරුද්දේ වුණු මේ සිද්ධියත් එක්ක මගේ ජීවිතය වෙනස් වුණා. මටත් හිතුණා ලොකු වෙලා ඩී.ආර්.ඕ කෙනෙක් වෙන්න. කලිසන් අඳින හාමුදුරුකෙනෙක් වෙන්න මම මොකද කරන්න ඕන කියලා ඇහුවම අප්පච්චි කිව්වේ හොඳට ඉගෙන ගන්න ඕන කියලා.
පහේ පන්තියේදී ඔබ මීමුරේ අතහැරලා අම්මගේ ගමට ගියේ...
මීමුරේ පාසලේ වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීමෙන් මට ලොකු මහත්තයෙකු වන්නට නොහැකි බව අම්මා මට කිව්වා. මගේ හිතේ කැකෑරුණේ කොහොම හරි ඩී.අර්.ඕ මහත්තයෙකු වෙන්න නිසා මම කිව්වා අම්මේ එහෙනම් මොකක්ද කරන්න ඕන කියලා. අම්මගේ කීමට මම පොද්දල්ගොඩ අම්මගේ ගමේ පාසැලට ඇතුළත් වුණා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර මැලේරියා මාස තුනේ මැලේරියාව නිසා අපි අම්මලාගේ ගමට යනවා. නොගියා නම් ගමේ බොහෝ ළමයි වගේ මමත් මැලේරියාවෙන් මිය ගිහින්. ඇළෙන් දොළෙන් වෙල් යායෙන් ඈත් වීම පිළිබඳ පුංචි දුකක් ඇති වුණත් මහත්තයෙකු වීමේ සිහිනය විසින් ඒ දුක් සියල්ල අකාමකා දැම්මා. ලොකු අත්තලාගේ ගෙදර ගියාම දඟ නොකර හොඳට ඉගෙන ගන්න ඕන මගේ පුතා කියලා අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන හිස අත ගගා කිව්වා. අපේ ගේ ඉස්සරහින් කොරටු කන්ද ලස්සනට පේනවා. හඳ එළියේ තවත් ලස්සනට පේන කන්ද පෙන්නවමින් අම්මා කිව්වේ පුතේ ලබන ආත්මේ කූඹියෙක් වෙලා හරි අර කන්දෙන් එහා පැත්තේ උපදින්න ඕනෑ යැයි පැවසුවේ මීමුරේ අඩු පහසුකම් යටතේ ගෙවූ ජීවිතයේ කටුක බව නිසා වන්නට ඇති. මීමුරේ ඉස්කෝලේ හිටියේ එක ගුරුවරයෙක් වුණාට අලුත් පාසැලේ ගුරුවරු පස් දෙනෙක් හිටියා. පාසැල් නිවාඩුවට මම ගෙදර ආවේ කූඩුවක හිර කරලා හිටපු ගිරවෙක් නිදහස ලබලා පියාඹලා යනවා වගේ සතුටකින්...
ඉංග්‍රීසි අධ්‍යාපනයට ඔබ යොමු වුණේ පොද්දල්ගොඩදී නේද?
උඩිස්පත්තුව ඉස්කෝලමුදුන කනිෂ්ඨ විද්‍යාලයට තමයි මම පොද්දල්ගොඩදී ගියේ. ඒ කාලේ අපි හය වැනි ශ්‍රේණියේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න ඕන. අටවන පන්තියේ විභාගය සමත් වුණාට පස්සේ තෙල්දෙණිය මහ විදුහලට ඇතුළු වුණා. ඩී.ආර්.ඕ කෙනෙක් වෙන්න නම් එච්.එස්.සී පාස් වෙන්න ඕන. ඒකට කලින් එස්.එස්.සී පාස් වෙන්න ඕන. මගේ දක්ෂතා හඳුනා ගත් පන්තිය බාර හිටපු ගුරුතුමා කිව්වා මගේ අක්කා කෙනෙක් ඉන්නවා ගම්පොළ. කැමැති නම් එහේ නැවතිලා ඒ ඉස්කෝලෙට යන්න පුළුවන් කිව්වා. ගම්පහ පැත්තේ හිටියා අපේ අත්තා කෙනෙක් ගම්පහ පැත්තේ. උන්වහන්සේ ඇවිත් කිව්වා වේයන්ගොඩ මධ්‍ය මහ විදුහලට යන්න ලෑස්ති වෙයන් කියලා. මම අප්පච්චිට කියලා ගියා. වේයන්ගොඩ විදුහල්පති මාව ගන්න අකැමැති වුණා. මොකද තෙල්දෙණිය ඉස්කෝලේ මට්ටම අඩුයි. පස්සේ මම ගලහිටියාව මධ්‍ය මහ විදුහලට ගියා. ප්‍රශ්න පත්‍ර තුනක් දුන්නා මගේ මට්ටම බලන්න. ඒක ලියලා දවස් තුනකින් ලියුමක් ආවා මාව පාසලට ඇතුළත් කළ බව දන්නලා. පළවෙනි වාර විභාගයෙන් පස්සේ විදුහල්පති තුමා ආවා රිපෝට් දෙන්න. රිපෝට් ගන්න පෝලීමේ මම හිටියේ විසි හය වෙනියට. මම පන්තියේ අන්තිමයා. මට රිපෝට් එක දීලා ප්‍රින්සිපල් ඉංග්‍රීසියෙන් කිව්වා ‘යූ හැව් කම් ෆ්‍රොම් සම් ජන්ගල්. ඉෆ් යූ ඩෝන්ට් ඩූ වෙල් අයි ඈම් ගොයින් ටු චේස් යූ අවුට් ටුද සේම් ප්ලේස් කියලා.’ මම අහගෙන හිටියා. මම අධිෂ්ඨාන කර ගත්තා ඊළග වතාවේ කොහොම හරි හොඳට කරනවා කියලා. මාස හතරකට පස්සේ විභාගය තිබ්බා. විදුහල්පතිතුමා රිපෝට් දෙනකොට මුලින්ම ගත්තේ මම. මම පන්තියේ පළවෙනියා. ඒක මම කළේ අධිෂ්ඨානය හා කැපවීමෙනුයි. ‘මයි සන් යූ හැව් ඩන් ඉට්’කියලා විදුහලපති කිව්වා..
ගලහිටියාව මධ්‍ය මහ විදුහලේ භූගෝල විද්‍යාව උගන්වපු ගුරුවරිය වේයන්ගොඩට මාරුවෙලා ගියා. ඇය මාර්ගයෙන් මමත් ඒ විද්‍යාලයට ගියා. 1957 දෙසැම්බර් මාසයේ පැවැති සරසවි පිවිසුම් විභාගය සමත්ව පූර්ණකාලීන ශිෂ්යත්වක් මත මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. සපත්තු දෙක මාරුකර දමා ඇවිදීම, තනි කකුලෙන් සිටගෙන සිටීම, කමිසය පිටුපසට හරවා ඇඳීම, කෝට්වල ඉදිරිපසට යතුරු නැති ඉබ්බන් දැමීම, පිටු පසට ගමන් කිරීම, ජ්‍යෙෂ්ඨ ගැහැනු ළමයෙකුට මලක් දීම වැනි විනෝදාස්වාදවලින් පිරි නවක වදය කෙළවර වන්නේ නවක ස්නානයෙනි. අද මෙන් වධ හිංසා පැමිණ වීම්, දේශපාලන මතවාද වලට හරවා ගැනීම් එදා දක්නට ලැබුණේ නැහැ.
සරසවියේදී ඔබේ ඩී.ආර්.ඕ සිහිනය වෙනස් වෙනවා නේද?
ඩී.ආර්.ඕ විභාගයට වඩා උසස් සී.සී.එස් කියලා විභාගයක් තියෙනවා කියලා මම දැන ගත්තේ සරසවියේදී. විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමයේ ලේකම් වීම නිසා විශ්වවිද්‍යාලය තුළ මට විශාල පිළිගැනීමක් තිබුණා. ප්‍රකට මහචාර්යවරුන් වන පුංචි බණ්ඩා මීගස්කුඹුර, විමල් දිසානායක, විමල විජේසූරිය යන අය මගේ සිංහල පන්තියේ හිටපු අය. සිංහල ගෞරව උපාධිය කරන ලෙස මට සිංහල අංශයේ මහචාර්ය විදිහට කටයුතු කළ හෙට්ටිආරච්චි මහතා පැවසුවත් මම භූගෝල විද්‍යාව ඒ සඳහා තෝරා ගත්තා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඔබ ගුරු සේවයට එක් වෙනවා?
ගුරුසේවයට ඇතුළත් වූ මට මුල්ම පත්වීම ලැබුණේ මිණිපේ මොරයාය විදුහලටයි. 1962 මැයි 02 මම වැඩ බාර ගන්නකොට ගුරුවරු හත් දෙනෙක් හා ළමයි 300 ක් හිටියා. පළමු වාරය අවසන් වනවිට විදුහල්පති වරයා මාරු වීමක් ලැබ ගිය නිසා ඉස්කෝලේ වැඩබලන විදුහල්පති ලෙස මම වැඩ භාර ගත්තා. 1963 පැවැති සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළම ස්ථානය ලබා ගැනීමට අපට පුළුවන් වුණා. 1965 පැවැති මහ මැතිවරණයේදී අපේ පාසැල් ඉදිරිපිට මොරයාය හන්දියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත් වුණා. සංවිධායකයෝ රැස්වීමට පාසැලේ පුටු 100 ක් ඉල්ලුවා. මහනුවර අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ අනුමැතිය ඇති ලිපියක් නැතුව පුටු ලබා දිය නොහැකි බව මම කිව්වා. පසුදින රැස්වීමේදී කථිකයෙක් කිව්වේ පුටු නොදුන් මා මැතිවරණයෙන් පසු මාරුකර යැවිය යුතු බවයි. ඒ වනවිට පරිපාන සේවා විභාගය අවසන් කර සිටි මා ගුරු සේවයට කොහොමත් ආයුබෝවන් කීමේ අරමුණින් සිටි නිසා මා එය එතරම් ගණන් ගත්තේ නැහැ.
මේ ගැන පත්තරේත් පළවුණා නේද?
රැස්වීම තිබිලා දින දෙක තුනකට පස්සේ එම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු ‘සර් මේ බලන්ඩකෝ අර සිද්ධිය පත්තරේ ලොකුවට දාලනේ’ කියලා ඇත්ත පත්තරේකුත් අරන් මා ළඟට ආවා. මොරයාය විදුහලේ විදුහල්පති ඔහු හමුවීමට එන දෙමව්පියන්ට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියා කියනවා ඒක ඇත්තක්ද? කියලා පත්තරේ තිබ්බා. මම හිනාවෙලා යාළුවා කොයි පත්තරේ තියෙන්නෙත් ඇත්ත. මේ පත්තරේ තියෙන්නෙත් ඇත්ත. කොටු කරලා දාලා තියෙන නිසා ඒක ගොඩක් ඇත්ත කියලා කිව්වා. දේශපාලනයෙන් දෑස් අන්ධ පුද්ගලයින්ට කිසිදාක ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීමට බැහැ. මේ මැතිවරණයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය පැරදිණි. මේ නිසා පරිපාලන සේවයේ නව රැකියාව බාර ගන්නා තෙක්ම මට ස්ථාන මාරුවක් ලැබුණේ නැහැ.
අවුරුදු 10 දී දිසාපති හාමුදුරුකෙනෙකු වන්නට දුටු සිහිනය ඔබ සැබෑ කරගත්තා නේද?
මුලින්ම මම වැඩ බාර ගත්තේ 1966 මැයි මාසේ බදුල්ල යටිකිඳ ප්‍රාදේශීය ආදායම් නිලධාරියා වශයෙන්. මහනුවර දිසාපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත මම ඊට වසරකට පස්සේ උපන් ප්‍රදේශය වන උඩුදුම්බරට මාරු වීමක් ලැබ ආවා. පහේ පන්තියේ සිටියදී මා දුටු ඩී.ආර්.ඕ සිහිනය සැබෑ කර ගැනීමෙන් පසු එදා ජෝජ් අබේගුණසේකර ඩී.ආර්.ඕ මහතා පිළිගත් මී මුරේ පාසලේදීම ගමේ මගේ ජනතාව මාව පිළිගත් අන්දම මගේ ජීවිතයේ අමරණීය මතකයක්. ඉන් පසු ගොවිජන සේවා සහකාර කොමසාරිස් කොමසාරිස්, කුඩා කර්මාන්ත සහකාර අධ්යක්ෂ, කුඩා කර්මාන්ත නියෝජ්‍යය අධ්යක්ෂ, ප්රවෘත්ති හා ගුවන් විදුලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු සහකාර ලේකම්, පුනරුත්තාපන නියෝජ්‍යය කොමසාරිස්, අතිරේක දිසාපති. කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ, ශ්‍රීලංකා හදබිම අධිකාරයේ විධායක අධ්යක්ෂ, සෞඛ්‍යය කාර්මික අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරමින් සිට මම විශ්‍රාම ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාර්ය භාරයක් නොමැති ඇමැතිවරිය ලෙස පත්කර සිටියදී එම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදීයි.
හදබිම අධිකාරියේ නිර්මාතෘ ඔබ නේද?
ඔව්. මේකේ නම තිබුණේ නැට්සා කියලා. මම ඒක අපේ හදවත්වලට දැනෙන විදිහට පරිවර්තනය කරලා හදබිම අධිකාරිය කියන නම දලා එයි ව්‍යුහය වෙනස් කළා. මධ්‍යම පළාතට පමණක් සීමා වෙලා තිබුණු මෙහි සීමා බල ප්‍රදේශය මධ්‍යම, ඌව, සබරගමුව පළාත් තුන දක්වාම මම මේකේ ව්‍යාප්ත කළා.
අමනාප වී සිටි ලලිත් හා ගාමිණි මිතුරු කළෙත් ඔබ නේද
ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස ජනාධිපති තුමා ළඟට සිටි ප්‍රබලයින් දෙන්නා ලලිත් හා ගාමිණියි. මේ දෙන්නා පසුවුණේ තරමක විරසකයකින්. ලලිත් කියන්නේ කවුද හරි නොව කුමක්ද හරි යන්න ජීවිතයට බද්ධ කරගෙන ජීවිතය ගෙන ගිය කෙනෙක්. රඹුක්කන තිබ්බ ලලිත්ගේ වත්තකදී අපි දෙන්නා වරක් හමුවුණා. මම එතනදී ලලිත් ගෙන් ඉල්ලීමක් කළේ ගාමිණි සමඟ අමානාපය දිගට ගෙනි යන්න එපා කියල. පහුවෙනිදා ලලිත් මට කතා කරලා කිව්වා සුදත් කියපු දේ ගැන මම ගොඩක් කල්පනා කළා. ඔයා හරි කියලා. පසු කාලයේ ඔවුන් එජාපයෙන් ඉවත්ව රාජලියා පක්ෂයට හදන්නත් මේ මිතුදම හේතු වුණා.
සිරිමාවෝ මැතිණිය අගමැති කිරීමේ සැලසුම් මහ මොළකරු ඔබ නේද?
චන්ද්‍රිකා කුමාරතුංග ජනපති ධූරයට පත් වුණාට පස්සේ අගමැති සටනේ පෙරමුණේ පස් දෙනෙක් හිටියා. දි. මු ජයරත්න, අනුරුද්ධ රත්වත්ත, සී.වී ගුණරත්න, රිචඩ් පතිරණ හා ධර්මසිරි සේනානායක. චන්ද්‍රිකා අගමැති ධූරය දෙන්න යන්නේ මේ අයගෙන් එක් කෙනෙකුට කියලා මට දැන ගන්න ලැබුණා.
එතකොට මම සිරිමාවෝ මැතිනියගේ අමාත්‍යාශයේ ලේකම්. මැතිනිගේ ස්ටාෆ් එකේ ඉන්න කීර්ති මාවැල්ලගේට මම ලියුම් දෙකක් හදලා දුන්නා. බණ්ඩාරනායක මැතිණියට හා චන්ද්‍රිකා ජනපතිට වෙන වෙනම ලියුම් දෙකක් සකස් කළා. අගමැති ධූරය හිමිවන බවට නම් කියවුණු පස් දෙනා මූලික කරගෙන ඒ ලියුම් දෙකට අත්සන් ගන්න කියලා මම කීර්තිට කිව්වා. එක ලියුමකින් මන්ත්‍රීවරු චන්ද්‍රිකා මැතිනිය ගෙන් ඉල්ලනවා අගමැතිකම සිරිමාවෝ මැතිනියට දෙන්න කියලා. අනිත් ලියුමෙන් ඒ අයම මැතිනිය ගෙන් ඉල්ලනවා අගමැතිකමට එකම සුදුස්සා ඔබයි ඒක බාර ගන්න කියලා. කීර්තිට මම කිව්වා අගමැතිකමට නම් කියවුණු පස් දෙනා අනිවාර්ය කරගෙන තවත් කිහිප දෙනෙකු ගෙන් මේකට අත්සන් ගන්න කියලා. මැතිනිට ලියුම දෙන්න පැය භාගයකට කලින් චන්ද්‍රිකාට ලියුම දෙන්න කියලා මම කීර්තිට උපදෙස් දුන්නා. වැඩේ ඒ විදිහටම වුණා.
මැතිනි මට කතා කරලා කිව්වා සුදත් මේ බලන්න කට්ටියම මට අගමැතිකම භාර ගන්න කියලා ඉල්ලීමක් කරලා කියලා. මැතිනිට අගමැතිකම දෙන්න කියලා චන්ද්‍රිකාට ඒ වෙනකොට ලියුමක් ලැබිලා කියලා මැතිනි දැන ගෙන හිටියේ නැහැ. මේ විදිහට තමයි මැතිනි අගමැති වුණේ. එදා මම මේ ගැටේ නොගහන්න මැතිනියට අගමැතිකම ලැබෙන්නේ නැහැ.
තිස් පස් වසරක රාජ්‍ය සේවයට ඔබ සමුදෙන්නේ කල කිරීමෙන් නේද?
ඔව්. රාජ්‍ය සේවය කෙනෙහෙලිකම්වලින් පිරුණු තැනක්. මම මගේ ගමන ආවේ අධිෂ්ඨානය, උත්සහය හා කැපවීම මතයි. රාජ්‍ය සේවයෙන් කලින් විශ්‍රාම යනවිට පුරවන්න තියෙන කොළයේ විශ්‍රාම යාමට හේතුව දක්වන්න කොටසක් තිබෙනවා. මම ලිව්වා රාජ්‍යය සේවය පිළිබඳ කලකිරීම ඒකට හේතුව කියලා. මම ආචාර්ය උපාධිය ලබා ගත්තේ අවුරුදු හැට හයේදී. මම ඒකෙන් කියන්න උත්සාහ කළේ ඉගෙන ගන්න වයස වැදගත් නෑ කියන පණිවිඩය රටට දෙන්නයි.
ඔබේ බිරිය හා දරුවෝ
මගේ බිරිය අයිරාංගනී ගුණසේකර. පුතා පරිගණක ඉංජිනේරුවෙක්. පදිංචි ඇමෙරිකාවේ. ලොකු දුව වරලත් වාස්තු විද්‍යාඥවරියක්. ඇය විවිහ වෙලා ඉන්නේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නගේ පුතා සමඟ. පොඩි දුව ඇමෙරිකාවේ ඇලබාමා විශ්වවිද්‍යාලයේ මහචාර්යවරියක්. මම දැන් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පොත් ලියනවා. මගේ ජීවිතය දැන් ගෙවෙන්නේ පොත් එක්කයි.
ඡායාරූප - රුවන් මීගම්මන