මං ලෝකෙට ගෙනියන්නෙ දේශීය ගොවිතැන | සිළුමිණ

මං ලෝකෙට ගෙනියන්නෙ දේශීය ගොවිතැන

මොනවද ඔබේ නිෂ්පාදන...

ෆුඩ් බාස්කට් එකකට අයිති දේ. එහෙමත් නැත්නම් සම්පූර්ණ ආහාර වේලකට අත්‍යවශ්‍ය ඖෂධීය සහල්, එළවළු, පලතුරු, බිත්තර, පලා, මෙනේරි, තල, මුං, කවුපි වගේ ධාන්‍ය වර්ග, පොල්තෙල්, කුළුබඩු අපනයනය කරන සමාගමක් අපි. වැදගත් ම දේ මේ සියල්ල කාබනික නිෂ්පාදන වීම.

කොහේටද මේ නිෂ්පාදන යවන්නේ...

කුරුලු තුඩ, පච්චපෙරුමාල්, සුවඳැල් සහ කළු හිනටි කියන දේශීය ඖෂධීය සහල් සහ කුළුබඩු යවන්නෙ කැනඩාව, ඇමෙරිකාව සහ යුරෝපයට. නැවුම් එළවළු සහ පලතුරු යවන්නෙ, මැද පෙරදිග, මාලදිවයින සහ යුරෝපයට. සෑම මාසෙකම මේ රටවලට එළවළු පලතුරු ටොන් ගණනක් විතර අපි යවනවා. වසරකට අපි මේ රටට ගේන අපනයන ආදායම, ඩොලර් මිලියනයකට වඩා අධිකයි.

දේශීය ඖෂධ සහල් ගමේ එළවළු වගේ දේ කොහොමද ඇමෙරිකාවෙ යුරෝපයේ ප්‍රචලිත කළේ...

අපේ රටේ තරු හෝටල්වල දෙස් විදෙස් සූපවේදින් එක්ක එකතු වෙලා දේශීය දෙයින්, විදේශීය රසට ගැළපෙන වට්ටෝරු හැදුවා. උදාහරණයක් කියන්නම්. අපි කිරට හදන තලන බටු, ප්‍රංශ ජාතිකයන්ට ඉදිරිපත් කළේ සලාදයක් හදා ගන්න විදියෙන්. අපේ නිෂ්පාදන ඒ රටවලට ගියේ ‘කැටලොග්’ එකක් එක්ක. ඒ අත්පොතේ එළවළු වර්ග හයක් සඳහන්ව තිබෙනවා නම්, ඒවායේ ආයුර්වේද ගුණ, ශ්‍රී ලංකා සංස්කෘතියේ ඒවා හදන විදිය, අලුත් වට්ටෝරුව... ආකර්ෂණීයව ඉදිරිපත් කළා. හාල්වලින් අපි බත් ම කෑවට බටහිර පන්නෙට සෑදිය හැකි හුඟක් රසවත් රෙසිපි හඳුන්වා දුන්නා. ඒ රටවල අවන්හල් සහ හෝටල්වල දැන් අපේ මේ ආහාර වට්ටෝරු ජනප්‍රිය වේගෙන එනවා. මේ හරහා අපි ලෝකෙට දෙන්නෙ, slow Food. ඒ කියන්නෙ Fast Food වලට විරුද්ධ දේ.

Slow Food සංකල්පය ගැන පැහැදිලි කරන්න...

කන්නෙ මොනවද, මේ ආහාරය එන්නෙ කොහෙන්ද, එය හදාගන්නා ක්‍රම මොනවද, එහි ගුණ අගුණ මොනවද, මේ ආහාරය නිෂ්පාදනය කර තිබෙන්නේ කොහොමද, එහි අන්තර්ගත දේ මොනවාද... ඔය වගේ, කන දේ ගැන හොඳ අවබෝධයෙන් අනුභව කිරීමයි Slow Food සංකල්පයෙන් කියැවෙන්නේ. ඔය කරුණු ගැන අවබෝධයෙන් කනවා නම් කන්න වෙන්නේ ස්වාභාවික දේ පමණයි. ‘The Slow Food Foundation’ එකෙන් කෙරෙන්නේ මෙවැනි ස්වාභාවික ආහාර වට්ටෝරු සඳහා ලෝක ජනතාව පෙලැඹවීමයි. මුළු ලෝකයේ ම ලක්ෂ හතරක පමණ සාමාජිකත්වය දරන මේ සංවිධානයේ ‘සාරකෙත’ අපිත් සාමාජිකත්වය දරනවා.

කවුද මේ සංවිධානයේ පාර්ශ්වයන්...

සූපවේදින්, ආහාර නිෂ්පාදකයන්, සැපයුම් කරුවන්... ඇතුළු ආහාර නිෂ්පාදන සහ සැකසුම් දාමයේ සිටින සියලු ම දෙනා මේ සංවිධානය නි‍යෝජනය කරනවා. මෙහි මූලස්ථානය තිබෙන්නේ ඉතාලියේ. මං හැකි පමණින් මේ රටේ සූපවේදින් සහ නිෂ්පාදකයින් මේ සඳහා සහභාගි කර තිබෙනවා. මේ සංවිධානය හරහා මං හදාගත් ජාත්‍යන්තර සබඳතා ජාලයක් තිබෙනවා. මෙයින් අපේ දේශීය දේට වටිනාකමක් එක් කරන බොහෝ ‍දෑ මං උකහා ගෙන තිබෙනවා.

එතකොට මොනවද ඔබ, දේශීය දෙයින් නිමැවූ අලුත් ආහාර...

දෙල්වලින් පාන්, දෙල් ඩෝනට්, අපි තම්බලා, උයලා කන මුං ඇටවලින්, පැළ මුං සහ පලතුරු මුසු කළ ප්‍රණීත අතුරුපස වර්ග, බීම වර්ග, බත්වලින් අතුරුපස, ඔය වගේ අපි හදපු රෙසිපි ගණනාවක් දැන් ජාත්‍යන්තරයේ ජනප්‍රියයි.

මෙවරත් NCE සම්මානයක් ලැබුණා නේද...

මේ අපි NCE සම්මානයක් දිනූ තුන්වැනි වතාව. කිලිනොච්චි ප්‍රදේශයේ එළවළු සහ පලතුරු අපනයනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් 2015 දි විශේෂ ඇගැයුම් සම්මානයකුත් 2016 දි කුඩා ව්‍යාපාර අංශයේ NCE රාජ්‍ය සම්මානයකුත් දිනා ගත්තා. මෙවර අපිට ලැබුණේ, ‘Fresh and Value added’ කැටගරියේ රිදී සම්මානයත්.

මොනවද ඔබේ සෙසු ව්‍යාපාර...

ටිකක් වෙනස් විදියේ පරිසර හිතකාමි හෝටලයක් තිබෙනවා. නම ස’රායි විලේජ්. ඒවා ගස් උඩ හැදූ කාමර. එවැනි ෂැලේස් ‍එකොළහක් තිබෙනවා. ඊට අමතරව ලොකු රෙස්ටෝරන්ට් එකක් තිබෙනවා. ඒක කෙමිකල් ‍ෆ්‍රී රෙස්ටෝරන්ට් එකක්. දේශීය අමුද්‍රව්‍යවලින් පමණයි ආහාර හදන්නේ. ස්විමින් පූල් එකත් ක්ලෝරින් රහිත ලුණු වතුරින් සැදුණු එකක්. මේ හෝටලය තිබෙන්නේ වීරවිල. තාත්තාගෙන් ලැබුණු ඉඩමක මං සිටුවා ලොකු කළ ගස් උඩයි මේ හෝටලයේ සියලු කාමර සාදා තිබෙන්නේ. මේ ව්‍යාපාරය මගේ බිරියගේ. මං ඒ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක්. එයා මගේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ / සන්නාම. මේ අපි දෙන්නම එක්ව, වෙනස් විදියට කරන ව්‍යාපාර දෙකක්.

කොහේද ඔබේ ගොවි බිම් තිබෙන්නේ...

ඖෂධීය සහල් වගා කරන්නේ අම්පාරෙ සහ තණමල්විල. උඩරට එළවළු, හපුතලේ, නුවර, හේවාහැට, හැටන්, බණ්ඩාරවෙල. පහතරට එළවළු තණමල්විල, හම්බන්තොට, කිලිනොච්චි, පුත්තලම ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක වගා කෙරෙනවා. මේ එකක්වත් අපේ ම ගොවි බිම් නෙවෙයි; අපිට ම වගා කරන, ඔවුන්ගේ සියලු අස්වැන්න අපිට ම සපයන ගොවි බිම්.

100% ක් කාබනික ලෙස ඔවුන් වගා කරනවාය කියන සහතිකය දෙන්නෙ කොහොමද...

අපේ ආයනයේ ඒ වෙනුවෙන් ම වැඩ කරන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ඒ ගොවි බිම්වල සිදුවන කාබනික ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගිකව, සොයා බලනවා. පරීක්ෂා කරනවා. ඊට අමතරව, මේක ගොවීන් සහ අපි විශ්වාසයෙන් යන ගමනක්. ඒ නිසා විශ්වාසය කැඩුවොත් එතැන පැවැත්මක් නැහැ.

ඒත් පාරිභෝගිකයාට තිබෙන විශ්වාසය කුමක් ද...

අපි ජාත්‍යන්තර සහතිකකරණයක් සහිත සමාගමක්. ඒ සහතිකය අපිට ලැබෙන්නේ අංශ ගණනාවක් සම්පූර්ණ කිරීමෙන්. එහි එක අංශයක් හැටියට වාර්ෂිකව අපිව ඔඩිට් කරනවා. ඒ ඔඩිට් කරද්දි පසේ සාම්පලයක්, ඒ භූමියේ වතුර සාම්පලයක්, ඒ භූමියේ වැවෙන ගස්වල කොළ සාම්පලයක් සහ අවසාන නිෂ්පාදනවලින් සාම්පලයක් නෙදර්ලන්තයේ control union certifate…. කියන ජාත්‍යන්තර සමාගමට අරන් ගිහින් පරීක්ෂාවට ලක්කරනවා. ඇත්තට ම අපි වැඩි ම වියදමක් දරන්නෙත් මේ සහතිකකරණය ලබා ගැනීම සහ පවත්වාගෙන යෑම වෙනුවෙන්. මොකද, ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරු අංශයේ Fresh produce වලට ජාත්‍යන්තර සහතිකකරණයක් තියෙන්නෙ අපිට විතරයි.

මේ සහතිකකරණයෙන් ගොවීන්ට ලැබෙන වාසිය කුමක් ද...

මේ සහතිකකරණයට අනුව නිෂ්පාදනය කරන සෑම නිපැයුමකට ම, වෙළෙඳපොළේ මිලට වඩා සියයට විස්සක - තිහක වැඩිපුර මිලක් ලැබෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය කරවිල කිලෝවකට වඩා කාබනික කරවිල කිලෝවක් මිලෙන් වැඩියි.

ඔබට ම ගොවිබිම් නැත්නම් කොහොමද මේ දේ කරන්නෙ...

අපි භවබෝගයට අදාළ ගොවිතැන් කෙරෙන ප්‍රදේශ හඳුනා ගන්නවා. ඒ තැන්වලට ගිහින් ගොවීන්ට කතා කරනවා. වතුර සහ සාම්පල

අරගන්නවා. ‘කාබනික ලෙස පමණක් වගා කළ යුතුයි’ කියන අපේ එකම කොන්දේසිය ඔවුන්ට ඉදිරිපත් කරනවා. අවංකව ම මේ වැඩේට උනන්දුවක් - ජවයක් තිබෙන ගොවි මහත්වරුන් හඳුනාගෙන ගිවිසුම්ගතව වැඩේ පටන් ගන්නවා. මේ සඳහා වැඩිපුර අපි තෝරා ගන්නේ දැනටමත් කාබනික ගොවිතැනේ යෙදෙන ගොවිබිම්. එහෙම නොවුණොත්, රසායනික පොහොර කාලයක් තිස්සේ පොළොවට දමපු ගොවිබිමක ඒ රසායනික ද්‍රව්‍ය දාන එක නැවැත්වුවත් ඒවා පොළොවෙන් ඉවත් වෙන්න අවුරුදු තුනකට වඩා කල් යනවා. ඉතින් නෙදර්ලන්තයෙන් පස් ගෙනිච්ච ම ඒවා ෆේල්. සහතිකකරණය ලැබෙන්නෙ නැහැ.

එතකොට ෆැක්ටරිය කොහේද තිබෙන්නේ...

කඩුවෙල. වර්ග අඩි පහළොස් දාහක ෆැක්ටරියක්. රට වටා අපේ ගොවීන්ගෙන් ලැබෙන අස්වනු ගේන්නෙ මෙතැනට. ප්‍රමිතියෙන් යුතුව ඒ ආහාර වර්ග තෝරා ගෙන, ‘ට්‍රිපල් වොෂ්’ සංකල්පයට අපි ඒවා සුද්ධ පවිත්‍ර කරනවා. තුන්පාරක් හේදෙන මේ ක්‍රමයේදි, අවසන් සේදීම සිදුවන්නේ ක්ලෝරින් පවා රහිත ‘ඕගනික් වොෂ්’ එකක් හැටියට. ඇසුරුම් ක්‍රියාවලිය අරඹන්නෙ ඉන් පස්සේ. එළියට සිදුරක්වත් නොපෙනෙන ලේසර් සිදුරුවලින් පිරුණු ‘MAP’ නම් සුවිශේෂී ඇසුරුමකයි අපි ඒවා අසුරන්නේ. රණවරා, පොල්පලා, ලීක්ස්, මැල්ලුම් කොළ... ඔය ඕනෑ ම කොළ වර්ගයක් මේ ක්‍රමයෙන් ඉතා නැවුම්ව ගුවනින් යවන්න පුළුවන්. වැදගත් ම දේ ඉතා ඉක්මනින් මේවා ගුවන්ගත කිරීමයි.

ව්‍යාපාරය පහු කළ දුෂ්කර ම කාලය මොකක්ද...

මං මේ ව්‍යාපාරයට අත ගැහුවේ මීට හාත්පසින් ම වෙනස් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉඳලා. ඉතින්, ආරම්භය ම අභියෝගයක්. මට තිබූ එකම සහනය, ඇඟලුම් ක්ෂේත්‍රයේදි මං ගොඩ නඟා ගෙන තිබූ ජාත්‍යන්තර සබඳතා සහ ගැනුම්කාර ජාලය. මගේ ඒ රස්සාව නිසා මං ලෝකෙ හුඟක් රටවලට ගිහින් තිබුණා. මිනිස්සු දැන හඳුනාගෙන තිබුණා. ප්‍රශ්න ගොඩක් එක්ක හෙමි හෙමින් ආ ගමනක් මේක.

එතකොට මේ ව්‍යාපාරයේ ආරම්භය...

2011 අවුරුද්දේ. මම ම වීරවිල ගිහින් දන්න කියන ගොවීන්ගෙන් අඹ, ගස් ලබු සහ තැඹිලි කිලෝ තුන් සියයක් අරන් ඇවිත්, ගෙදර පොඩි ගරාජ් එකේ තියාගෙන පැක් කළා. උදව්වට එක යාළුවෙක් හිටියා. ගුවනින් බඩු ප්‍රවාහනය ගැන කිසි ම අත්දැකීමක් නැහැ. බඩු ලෑස්ති කරගෙන ඉවර වෙන කොට, එයාර්පෝට් යන්න වෙලාව මදි. ගියත් ෆ්ලයිට් එක මඟ හැරෙනවා. බඩු ටික තියාගෙන කල්පලා කරලා. අන්තිමේ ඩුබායි කස්ටමර්ගෙන් එක දවසක් ඉල්ලා ගත්තා. ඊළඟ දවස වෙනකොට ගස්ලබු ඉදිලා. ආපහු ගස්ලබු පැක් කළා. ඒ පළමු බිස්නස් එකෙන් ම තිස් හතළිස් දාහක් පාඩුයි.

ඒ පටන් ගත්තු ගමන, අද ඔබ කී දෙනකුට රැකියා උදා කරල ද...

වුවමනාවෙන් ආදරයෙන් ගොවිතැනේ යෙදෙන මේ රටේ දුෂ්කර පළාත්වල එළවළු සහ පලතුරු ගොවීන් තුන්දාහක් දැන් අපි එක්ක ඉන්නවා. කාර්යාලයේ හතළිස් පහක කණ්ඩායමත්, ඇසුරුම් සපයන, බස් ප්‍රවාහනය කරන සහ වක්‍රව අප හා සම්බන්ධව සිටින ප්‍රමාණය පන්සියයක් පමණ. මාත් දියුණු වන ගමන් මේ සියලු දෙනාට දේශීය කෘෂිකර්මාන්තය හරහා වේදිකාවක් තනා දෙන්න ලැබීම මට සතුටක්.

ඩොලරයේ ඉහළ යෑම, මේ වෙලාවෙ වාසියක් කරගන්න පුළුවන් අපනයනකරුවන්ට...

මගේ ගනුදෙනුව තිබෙන්නේ අක්කරයක් හෝ අක්කර එකහමාරක් වැනි වපසරියක වගා කරන බහුතර කුඩා ගොවීන් එක්ක. සමස්තයක් ලෙස ගත් විට ඔවුන්ගේ අස්වනු අඩුයි. තාක්ෂණය එක්ක ඉදිරියට යෑමක් නැහැ. තමන් මුහුණ දෙන ගැටලු නිසා ගොවි මහත්තුරු කැමැති නැහැ ඒ අයගෙ දරුවො ගොවිතැනට යනවට. වෙන විකල්පයක් නැති කමට පාරම්පරිකව ඒකෙම ඉන්න පිරිස හැර අභිමානයකින් ගොවිතැනේ යෙදෙන අය ඇත්තේ ම නැති තරම්. මේ වෙලාවෙ හොඳ නිෂ්පාදන ඵලදායිතාවක් ලැබෙන්න ඕනෙ. ඒක‍ වෙන්නෙ නැහැ. කාබනික වගාවේදි ලැබෙන ඵලදාව අඩුයි කියන මතයෙන් එළියට එන්නත් ඔවුන් කැමැති නැහැ. මේ නිසා, රසායන පොහොර භාවිතය හුරු වෙච්චි අය, කාබනික වගාවට පොලඹවා ගන්න එක ලේසි නැහැ. මේ රටේ ප්‍රවාහන ගාස්තු ගොවීන්ට දරා ගන්න ම බැහැ. අපේ රටේ ආහාර පද්ධතියේ දළ ජාතික පසු අස්වනු නාස්තිය, තවමත් සියයට හතළිහක් වැනි ඉහළ ප්‍රමාණයක්. ඒ කියන්නෙ නාස්තිය අවම වෙලත් නැහැ. රටෙන් එළියෙ තත්ත්වය හොඳ වුණාට, රට ඇතුළෙ අපි මුහුණ දෙන මේ නිෂ්පාදන පිරිවැය ගැටලුත් එක්ක අපනයනය වැඩි කරනවා කියන එක හිතන තරම් ලේසි නැහැ.

හැම අපනයනකරුව ම කියන්නෙ එක ම කතාවක්නෙ...

කෙටි කාලීනව, ආදායමේ ප්‍රතිලාභයක් තිබෙනවා. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය. අපනයන නිපැයුම් රට තුළ ඉහළ නංවන්න ඕනේ. වැඩි ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමාණයකට පිවිසෙන්න ඕනේ. ඒ එක්ක ම රට ඇතුළෙ ගොවීන්ගෙ යටිතල පහසුකම් වර්ධනය වෙන්න ඕනේ.

කොහොමද ඒක කරන්නෙ...

ඒ ඒ නිෂ්පාදන ප්‍රදේශවලට අවශ්‍ය ශීතාගාර සහ ගබඩා පහසුකම් රජය ඇති කරන්න ඕනේ. මීට වඩා, මේ ක්ෂේත්‍රයට අදාළ ක්‍රමෝපායන් භාවිත කරන්න ඕනේ. එකතු කිරීමේ මධ්‍යස්ථාන, නිසි ලෙස ප්‍රවාහනය, ගබඩා ක්‍රමයේ පිළිවෙළක් තිබිය යුතුයි. විශේෂයෙන් Fresh Produce වලදි ශීතකරණ සහිත ට්‍රක් රථ ශීතාගාර අත්‍යාවශ්‍යයයි. පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට පුළුවන්කම් නැහැ, ජාතික තලයේ යටිතල පහසුකම් ගොඩනැඟීමට මැදිහත් වෙන්න. රජය මේවා ගොඩනැඟූ විට යම් ගාස්තුවක් අය කර ඒ සේවාව ගොවීන්ට ලබා දෙන්න පුළුවන්. අද වෙන්නෙ, පළාතෙ ඔක්කො ම අස්වනු එකට නෙළනවා. වෙළෙඳපොළේ මිල අඩුයි. සමහරවිට දෙන්න කෙනෙක් නැහැ. දවසක් දෙකක්වත් තියාගන්න ශීතාගාර නැහැ. මහන්සියේ ප්‍රතිඵල අලින්ට කන්න දානවා. තරගකාරි මිලකට රටේ අස්වනු, පිටරට යවන්න මේ වෙලාවෙ මීට වඩා රාජ්‍ය මැදිහත්වීම අත්‍යාවශ්‍යයි.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම මාතලේ සෙන්ට් ඇග්නස් කොන්වන්ට් එකේ. අනුරාධපුර සෙන්ට් ජෝසෆ්, හම්බන්තොට සෙන්ට් මේරිස්, යාපනේ සෙන්ට් ජෝන්ස්, මාතර රාහුල සහ අන්තිමට මරදාන සෙන්ට් ජෝසෆ්. තාත්තා පොලිස් නිලධාරියෙක් නිසා රට වටේට ම මාරුවීම් ලැබුණා. අම්මත් ටෙලිකොම් වැඩ කළ නිසා අයියයි අක්කයි අම්මා එක්ක නැවතුණත් හැම වෙලාවෙ ම තාත්තා මාව යන යන තැන අරන් ගියා. අපි හිටියෙ පොලිස් ක්වාටර්ස්වල.

මොනවටද ඔබ වඩා දක්ෂ වුණේ...

තාත්තා නිසා මං පොත් කියවන්න පුරුදු වුණා. ඒ නිසා ආසා වුණෙත් දක්ෂ වුණෙත් සාහිත්‍යයට. උසස් පෙළ කරන්න සෙන්ට් ජෝසෆ් ආවෙත් ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න ඕනෙ නිසා. මං ඉංග්‍රීසි සාහිත්‍ය, බටහිර සංස්කෘතිය සහ ප්‍රංශ භාෂාව කළා. කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. මගේ උපාධිය තියෙන්නෙත් ඉංග්‍රිසි සාහිත්‍යයට.

එතකොට ඔබේ ඉලක්කය වුණේ...

යුද හමුදාවට බැ‍ඳෙන එක. මං විශ්ව විද්‍යාලයට නොයා STF එකට බැඳුණා. හිටියෙ නැගෙනහිර සටන් බිමේ. STF එකේදියි, විශේෂ අවසරයක් මත, උපාධිය සම්පූර්ණ කළේ. අවුරුදු අටහමාරක් මං හිටියෙ යුද්දෙත් එක්ක. අතක වෙපන් එක. අතක ඉංග්‍රීසි සාහිත්‍ය නෝට්ස්. STF එකේ IP තනතුර නිසා මං හිටියෙ ප්‍රභූ ආරක්ෂක අංශයේ. අන්තිම කාලෙ මං හිටියෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සහ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ ප්‍රභූ ආරක්ෂක අංශයේ. පාප්වහන්සේ ලංකාවට ආ වෙලාවෙ උන්වහන්සේගේ මෙරට බොඩිගාඩ් වුණේ මම.

කවුද ඔබේ Role Model…..

තාත්තා. ඍජු අවංක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. එයා මට ජීවිතේ බොහෝ දේ විඳින්න ඇරියා. මට අද යාපනයත් හුරුයි. මාතරත් හුරුයි. මට ඕන සමාජ තලයක ජීවත් වෙන්නත් පුළුවන්. උතුරෙත් දකුණෙත් සංස්කෘතිය දන්නවා. ඒ මිනිස්සුන්ගෙ ආහාර, මට හුරුයි. යන යන තැන මාව අරන් ගිහින්, ස්වාධීනව හැදෙන වැඩෙන, හිතන පතන හැටි කියා දුන්නෙ තාත්තා.

එත‍කොට හමුදාවෙ හිටපු ඔබ, ව්‍යවසායකයෙක් වුණේ කොහොමද...

හමුදාවෙන් ඉවත් වෙනවා. Slime line එකේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකාර විදියට අලුත් පරිච්ඡේදයක් අරඹනවා. මං නවතින්නේ මෙක්සිකෝවේ. ආයතනයේ විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මං ලෝකෙ ව‍ෙට් යනවා. බොහෝ දෑ මගේ ජීවිතයට ගන්නවා. මං මගේ ම දෙයක් පටන් ගත්තෙ මේ ආයතනයෙන් ගත් ආදර්ශය නිසා.

මොකක්ද ඒ ආදර්ශය...

ලෝකෙ බොහෝ රටවල ඉහළ ම බ්‍රෑන්ඩ් එකක් වන ‘සාරා’ ලංකාවෙ නිෂ්පාදනය කළේ මං වැඩ කළ ආයතනය. ‘සාරා’ මොනතරම් ජනප්‍රිය වුණත් එයාලට ලෝකෙ කොතැනකවත් ෆැක්ටරියක් නැහැ. බ්‍රෑන්ඩ් එක කොලිටියට ගන්න පුළුවන් වීම විතරයි වැදගත්. ඒක අදටත් එහෙමයි. එක ම ගොවි බිමක්වත් නැතිව, ගොවීන් නඟා සිටුවීමෙන් ඔවුන්ගෙන් කොලිටිම බඩු මං ගන්නෙත් ‘සාරකෙත’ බ්‍රෑන්ඩ් එකක් කරලා ජාත්‍යන්තරයට යවන්නෙත් ඒ වගේ.

ඔබේ ජීවිතයෙන් ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න...

ඉලක්ක හඹා යන්න. හැබැයි ඒ අතරෙ ජීවත් වෙන්න. මොන රාජකාරිය තිබුණත් මගේ පුංචි පුතාව නාවන්නෙ කවන්නෙ පොවන්නෙ මං. මගේ බිරිය සහ දරුවා වෙනුවෙන් මං කාලය හොඳින් වෙන් කරනවා. අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. බිස්නස් කරන්න ගිහින් පවුල නැති කරගත්තොත් මොකක්ද ඇති වැඩේ?. ඔබට විඳින්න පුළුවන් දෙයක්. ඔබේ ව්‍යාපාරය වුණොත් මේ දෙක ම සමබර කරගන්න පුළුවන්.

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර
[email protected]
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්