මෙයා මගේ ගෙදරට ආ දා පටන් මට සැනසීමක් නෑ | සිළුමිණ

මෙයා මගේ ගෙදරට ආ දා පටන් මට සැනසීමක් නෑ

අද භාවනාව බොහෝ දෙනෙකුට නොදන්නාකම නිසා විලාසිතාවක් වී ඇත. අපි විපස්සනා භාවනාව කරනවා යැයි කියති. බොහෝ දෙනා රැකියාවලින් විශ්‍රාම ගිය පසු කෙලින්ම විපස්සනා භාවනාව සොයා යති. පන්සලකට, භාවනා මධ්‍යස්ථානයකට ගිය සැණින් විපස්සනාවට කමටහන් බලාපොරොත්තු වෙයි. එය නිවැරදිද?

බැලිය යුත්තක් ඇතැයි කියන දැනුම අපට ඇත. එය නොපෙනෙන්නේ අඳුර නිසා බවට ද දැනුමක් ඇත.‍ එය නැති කළ යුත්තේ ආලෝකයෙන් බවත් අපි දනිමු. එහෙත් ඒ ආලෝකය සොයා උපදවා ගැනීමට ගන්නා ක්‍රියා මාර්ගවලයි ගැටලුව ඇත්තේ. එය වැඳ වැඳ පුද පුද යැද යැද පූජා අල්ලස් දුන්නාට නම් ලැබෙන්නේ නැත. ඊට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුය.

ඒ සඳහා බුදු රජාණන් වහන්සේ වැඩපිළිවෙළ හතක් දේශනා කැර ඇත. (සබ්බාසම සූත්‍රය - මජ්ඣිම නිකාය)

1. අත්ථි භික්ඛවේ ආසවා දස්සනාය පහා තබ්බා (මහණෙනි: දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව (කෙලෙස්) තියෙනවා)

2. සංවරා පහා තබ්බා (ශීලයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා)

3. පටිසේවනා පහා තබ්බා (ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා)

4. අධිවාසනා පහා තබ්බා (ඉවසීමෙන් පහ කළයුතු ආශ්‍රව තියෙනවා)

5. පරිවජ්ජතා පහා තබ්බා (අත්හැරීමෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා)

6. විනෝදනා පහා තබ්බා (වීර්යයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා)

7. භාවනා පහා තබ්බා (භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා)

මේ බුද්ධ භාෂිතයේ භාවනාව ඇත්තේ හත්වැනි තැනටය. මෙහි නියමිත අනුපිළිවෙළක් ඇත. ඊට පිටින් ගොස් සමහරු කෙළින් ම විපස්සනා භාවනාව සොයා යති. ඔවුන්ට කමටහන් දෙන ගුරුවරු ද නැත්තේ නොවේ. බුද්ධාගමෙන් නිවන් දකින්නට නොහැකි ය. නිවන් දකින්නට බුද්ධ ධර්මයට අනුව කටයුතු කළ යුතු ය. මාර්ගයේ යා යුතුය. ආගම සහ දහම කාරණා දෙකකි. ධර්මයට අනුව සත් වැනි ස්ථානයේ ඇති භාවනාවට එක පාරටම ගියොත් එය අසාර්ථකය. ඉන් පසු ඒ ගුරුවරයාට බැණ බැණ ඇවිද තමන් ගුරුවරයෙක් සොයා යයි‍. ඒ සඳහා ආර්යයන් වහන්සේ නමක් ම සොයා ගත යුතු ය. කෙළින් ම භාවනාවට ගොස් ඔළුව නරක් කැර ගත් අය ද සිටිති. ඔවුන් ධර්මය විකෘති කරමින් අනුන් ද අමාරුවේ දමති.

බුද්ධ දේශනාවට අනුව භාවනාව සතර ආකාර වේ. 1. සමථ පුබ්බංගම විපස්සනා භාවනාව 2. විපස්සනා පුබ්බංගම සමථ භාවනාව 3. යුගනන්ධ භාවනාව 4. ධම්ම ‍උද්ධච්ච විග්ගහිත මානසං භාවනාව යනුයි. සමථය මුල් කොටගත් විපස්සනාව, විපස්සනාව මුල් කොටගත් සමථය. සමථ විපස්සනා දෙකම සමාන්තරව වඩන භාවනාව, ධර්මය අසා සිතේ විසිරුණු කෙලෙස් කිළුටු පළවා හරින භාවනාව, මෙයින් සතර වැනි භාවනාවෙන් ක්ෂණිකව සතර මග සතර ඵල සහිත අරිහත් ඵලයට යන්නේ මාහිය දාරුඨිරිය, පුක්කුසානි රජතුමා වැනි පූර්ව කුසල ශක්ති ලද්දෝය. කුසල යනු කෙලෙස් කුණු සලා ඉවත හැරීමය.

සමථ භාවනාවේ යෙදෙන යෝගියා එක් අරමුණකට සිත බැඳ තබා සිත ඒකාග්‍ර කොට සමාධි සුවයට ද එතැනින් ධ්‍යාන ශක්තීන් ද ලබයි. එහිදී සිතේ කෙලෙස් (ලෝභ, ද්වේෂ, මෝහ) යටපත් වෙයි. ධ්‍යාන ලාභීහු අනුන් සිත් දැකීම්, පෙර ජාති දැකීම්, අහසින් යෑම් වැනි විස්මිත දේ කරති. එහෙත් කොයි වේලේ ධ්‍යාන පිරිහී අනතුරට පත්වේ දැයි කිව නොහැකිය. අහසින් යන යෝගියා නාරිලතා මලක් දැක එයින් ස්ත්‍රී අඟ පසඟ සිහිපත්ව ධ්‍යානය පිරිහී වැටුණු සිද්ධිය උදාහරණ වේ.

කුරුණෑගල ගුණසිංහ හතළිස් හැවිරිදිය. අවිවාහකය. ඉතා සිල්වත්ව ජීවත්වූ ඔහු උදේ හවස හා විවේක ඇති අවස්ථාවල භාවනාවේ යෙදුණි. ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාව කළේ ය. ඒ ආයතනය සමීපයේ නිවෙසක කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන රැකියාවට ගියේය. එහෙත් දැනට මාස දහයක පමණ කාලයක සිට ගුණසිංහ අසනීප විය. ඔහුට ඇවිද ගන්නට නොහැකි තරමට දෙපා දුර්වල විය. එතැන් පටන් උදේ වනතුරු නොනිදා පහන් කරන්නට සිදු විය. කෑම අරුචිය සමඟ ශරීරය කෙට්ටු විය.

ගුණසිංහ මිත්‍රයකු සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවේය‍. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී රෝග තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතීය. මේ තරම් සිල්වත්ව, භාවනා කරන මට මෙහෙම වුණේ මොකදැ’යි ඇසීය.

“මොකක්ද කරන භාවනාව?” ගවේෂකවරයා ගුණසිංහගෙන් ඇසීය.

“ආනාපාන සතිය. සමථ භාවනාව” ඔහු කීවේය.

“කවුද ගුරුවරයා”

“දහම් පාසල් යන කාලෙ ඉගෙන ගත්තා. පන්සලේ හාමුදුරුවන්ගෙන්.”

“ඒ හාමුදුරුවෝ ගුරුවරයෙක් ‍යටතේ භාවනා කළ කෙනෙක්ද?”

“දන්නේ නැහැ”

“ඒ හාමුදුරුවෝ භාවනාව ‍උගන්නන කෙනෙක්ද? භාවනා කරන කෙනෙක්ද?”

“දන්නේ නැහැ”

“හොඳයි අපි බලමු” යි කී ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරන විට ගුණසිංහ සිහිසුන්ව වැටුණේ ය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ඔහුට භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතයාගෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ? ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?”

“මම කළු මහත්තයා” යි භූතයා කීවේය.

“ඇයි මෙයාට කරදර කරන්නේ?”

“මම නොවෙයි කරදර කරන්නේ. මෙයායි මට කරදර කරන්නේ?”

මට මගේ ගෙදර නිදහසේ ඉන්න දෙන්නේ නෑ”

“ඒ ඇයි?”

“මගේ ගෙදර මමයි මගේ පුතයි ජීවත් වුණා. අවුරුදු පහකට කලින් බස් එකක හැපිලා මං මැරුණා. මැරුණ වෙලාවේ මගේ ගෙදර මතක් වෙලා මම ගෙදරම උපන්නා, මගේ පුතා හොඳට බොනවා. මස් මාළු බදිනවා. කනවා, මමත් ඒවා කකා බිබී හිටියා. ඔය අතරෙ දාමරිකයො තුන් හතර දෙනෙක් ගෙදර නවාතැන් ගත්තා. උන් කුඩු විකුණනවා. හොරකම් මංකොල්ල කරනවා. රෑට හොඳට අඩි ගහනවා. මස් බදිනවා. මමත් උන් එක්ක සතුටෙන් හිටියා. දවසක් උන්ව පොලිසියෙන් අල්ලාගෙන ගියා. ඊට පස්සෙ මේ මිනිහා මගේ ගෙදර නවාතැන් ගත්තා. කාමරය බුදු කාමරයක් කරගෙන මල් පහන් පූජා කරනවා. ගාථ කියනවා. පිරිත් කියනවා. භාවනා කරනවා. මට ඉන්න බැරුව ගියා. මගේ ගෙදර දීලා මම කොහේ යන්නද? මම කරදර කරන්න පටන් ගත්තා” යි ප්‍රේතයා කීවේය.

“මෙයා භාවනා කරන කොට ඔබට ඉන්න බැරි වුණේ මොකද?”

මෙයාගෙ මැරිච්ච තාත්තා මූ ළඟ ඉන්නවා. මට මූට කරදර කරන්න ළං වෙන කොට ඌ මට ගහලා පන්නනවා. මේක හරි මඟුලක්නෙ. මගේ ගෙදර මට ඉන්න නොදී ගහල පන්නන්න හිටියා. ඊට පස්සෙ මුගේ තාත්තා අතුරුදන් වුණා. එදා ඉඳලා මම මූට ළංවෙලා ලෙඩ කළා. මාස දහයක ඉඳලා මම පළිගත්තා.”

“ඇයි මෙයා ඔබට කරදරයක් කළේ නැහැනෙ.”

“ඒ වුණාට මුගේ තාත්තා මට ගහපු ඒවාට මම මුගෙන් පළි ගන්නවා.”

“තාත්තා ගැහැව්වට පුතාගෙන් පළිගන්න එක වැරදිනේද?”

“මුගෙ තාත්තා කොහෙද ගිහින්. ඌ මට අහුවුණොත්...........” යැයි ප්‍රේතයා කුණු හරුපයෙන් බණින්නට විය.

ගවේෂකවරයා භූතයාට ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය.‍

“අනේ, මගේ ගෙදර මට ඉන්න බැරි හැටි?” යි භූතයා අඬන්නට විය.

“ඔබ දැන් කළු මහත්තයා නෙමෙයි, දැන් දුක් විඳින ප්‍රේතයෙක්. ඔය දුකෙන් මිදෙන්න සිද්ධස්ථානයකට යන්න. අපි දානයක් දී පින් අනුමෝදන් කරන්නම්” යැයි ගවේෂකවරයා ප්‍රේතයාට පොරොන්දු විය.

ඒ අනුව ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා කළු මහත්තයාගේ ප්‍රාණ කාරයාට පින් අනුමෝදන් කළ ගුණසිංහ නැවත ආවේ ය.

“ප්‍රේතයා මල් වට්ටියකට සම්බන්ධ කොට කැලණියට ඔවුන් අතම යවා ඊළඟ සතියේ ගුණසිංහ ගෙන්වා අවවාද කළේ ය. ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය. මිනිස් සිතේ කෙලෙස් ක්‍රියාත්මක අවස්ථා තුනක් තියෙනවා. අනුසය, පරි උට්ඨාන, ව්‍යතික්‍රමණ කියලා. අනුසය කියන්නේ කෙලෙස් තැන්පත් වී නිදන අවස්ථාව, පරි උට්ඨාන කියන්නේ කෙලෙස් නැගී සිටින අවස්ථාව, ව්‍යතික්‍රමණ කියන්නේ කෙලෙස් ක්‍රියාත්මක අවස්ථාව. කෙලෙස් නැගී සිටින විට ඒ පැන නගින කෙලෙස් සමථ භාවනාවෙන් යටපත් කොට සිත ආරක්ෂා කරනවා. ඒත් සුළු ප්‍රමාදයෙන් වුණත් ඒ කෙලෙස් නැගී සිටිනවා. හරක් ගාලෙ කඩුල්ල දිරලා බිඳුණොත් එතනින් හරක් ටික කඩා බිඳගෙන එළියට එනවා වගෙයි. ඒ නිසා නිදා සිටින කෙලෙස්, සමථ භාවනාවෙන් යටපත් වූ කෙලෙස් නොපමාව මුලින් උදුරා දාන්න ඕනෑ. ඒකට ප්‍රඥා භාවනාව හෙවත් විපස්සනාව වඩන්න ඕනෑ. විපස්සනාවෙන් නාම රූප පරීක්ෂා කරන කොට රූප කලාප ඉපද ඉපද බිඳි බිඳී යන හැටි චිත්ත චෛතසික ඉපද නිරුද්ධවන හැටි අවබෝධ වෙනවා. ගුරුවරයා අභිමුඛව සිට ධර්මශ්‍රවණය කරන විට ඒ ආර්යයන් වහන්සේගේ මෛත්‍රී කරුණා මුදිතා කිරණ ශක්තීන් විසින් තවත් උදව් වෙනවා. භාවනාව පොතෙන්වත්, දුරකතනයෙන්වත්, සංයුක්ත තැටිවලින්වත් ඉගෙන ගන්න බැහැ. ඇප කැපවෙන්න ඕනෑ. සීල, සමාධි, ප්‍රඥා, ත්‍රිවිධ කුසල ක්‍රියා මාර්ගයක් දේශනා කර තියෙන්නේ ඒකයි.

භාවනාව යනු සිත ශක්ති කිරීමක් නොවෙයි. සිත පිරිසිදු කිරීම යි. කෙලෙස් මුල් උදුරා දමා ප්‍රභාතය කර පිරිසිදු කිරීමයි. පිරිසිදු වූ සිතයි ශක්තිමත්, ‘පභස්සර මිදං භික්ඛවේ චිත්තං‍’ කීවේ ඒකයි. ඒ සඳහා ආර්යයන් වහන්සේ නමක් මුණ ගැසිය යුතුයි. ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ධම්මානුධම්ම පටිපදාවේ යෙදිය යුතුයි‍. යෝනිසෝ මනසිකාරයෙන් ජීවත්විය යුතුයි. එවිට ඔහු හෝ ඇය සෝවාන් මාර්ග‍යෙන් ඵලස්ථ වෙයි. එසේ නැතිව වැඳ වැඳ පුද පුද යැද යැද සිටියාට මේ සංසාර ගමන (ජාති - උපත්) දික් වෙනවා මිසක, පැවතීම මිසක ‘නැවතීම’ සිදු නොවේ.

Comments