බීමතින් ගිය දොස්තර පවුලකට දුන් ගින්දර | සිළුමිණ

බීමතින් ගිය දොස්තර පවුලකට දුන් ගින්දර

චූටි පුතා තාමත් ළමා රෝහලේ

ලොකු පුතා ජාතික පිහිනුම් ශූරයෙක්. එයාට කවදා ක්‍රීඩා කරන්න ලැබේදැයි දන්නේ නෑ

බිරියට තවමත් හිස කෙළින් තියාගෙන ඉන්න බෑ

හොරණ - කොළඹ මාර්ගයේ පැපිලියානේදී පසුගිය මස (29) වැනිදා මධ්‍යම රාත්‍රියේවූ රිය අනතුර මේ වන විට රටේම මාතෘකාවක් වී අවසානය. විශේෂඳ වෛද්‍යවරියක විසින් මේ අනතුර සිදු කළ බවද වාර්තා විය. පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා අනතුරින් මියගිය අතර බිරියත් දරුවන් දෙදෙනාත් දැන් ඛේදනීය ඉරණමකට මුහුණ දී සිටිති. අනතුර සිදු කළ වි‍ශේෂඥ වෛද්‍ය තිලානි කාවින්ගා ගුණවර්ධන සමාජ ශාලාවක සිට අධික බීමතින් රිය පදවාගෙන එමින් සිටියදී මේ අනතුර සිදුව ඇති බවද වාර්තා විය. පොලිස් පරීක්ෂක අජන්ත ජීවිතයෙන් වන්දි ගෙවද්දී රියේ සිටි ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා මේ වන විටත් සිදුවූ අනතුර නිසා දුක් විඳිති.

අනතුරෙන් දැඩි කම්පනයට පත් අජන්තගේ බිරිය රෝහල් ගත කෙරුණ අතර තුවාල නිසා කලක් යන තෙක්ම ඇයට ප්‍රතිකාර ගැනීමට සිදුව ඇත. අනතුර සිදුවෙද්දී රිය පදවමින් සිටි පුත් විසි හැවිරිදි අනුප මංජිතගේ පා බිඳී ඔහුද රෝහල් ගත කෙරිණි. ජාතික රෝහලට ඇතුළත් කර සිටි බිරිය පසුගියදා රෝහලෙන් බැහැර කෙරුණු අතර අනුප මංජිත ද මේ වන විට රෝහලෙන් බැහැර කර ඇත. එහෙත් පා බිඳී තිබෙන ආකාරයට තවත් වසර ගණනක් යනතුරුම ඔහුට දෙපයින් නැගී සිටීම අවිනිශ්චිත බව ඔහු දකින ඕනෑම කෙනෙකුට පෙනී යයි. පොඩි පුතු 8 හැවිරිදි නෙතුක ළමා රෝහලේ 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දී ඔහුටද කෙතරම් කාලයක් රෝහලේ ඇඳකට වී සිටීමට සිදුවෙතැයි තවමත් නිශ්චිතව පැවසිය නොහැකි බව වෛද්‍යවරුන් පැවසූ බව අජන්තගේ බිරිය අපට කීවාය.

“මේ අනතුර නිසා අපේ පවුලම අසරණ වෙලා. අනතුරෙන් කකුල් කැඩුණු පුතාගේ ටිකට් කපා එවලා. අජන්තගේ නෝනගෙ හිස වැදුණු වේගයට ඇතුළේ ලේ කැටි කීපයක් තියෙන බව වෛද්‍යවරුන් පවසලා. චූටි පුතා තාම රෝහලේ. එහෙම තියෙද්දී මුළු පවුලකටම විනාශයක් ගෙනැවිත් සුළු තුවාල ලබපු වෛද්‍යවරිය තවමත් රෝහලේ තියාගෙන ඉන්නවා. මෙහෙම වෙද්දී අපට වෛද්‍යවරුන් ගැනත් ඇතිවෙන්නේ සැකයක්.” පොලිස් පරීක්ෂක අජන්තගේ පවුලේ හිතවතෙක් අප හා පැවසීය.

අපරීක්ෂාකාරීව රිය ධාවනය කරමින් අනතුරක් සිදු කර එහිදී තුවාල ලත් විශේෂඥ වෛද්‍යවරිය තවමත් කළුබෝවිල රෝහලේ 11 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව අප කළ සොයා බැලීමකදී දැන ගත හැකිවිය. ඇය පසුගිය 16 වැනිදා දෙවන දිනටද අධිකරණයේ පෙනී නොසිටියාය. අජන්තගේ බිරිය මයුරි චම්පිකා පසුගියදා අපට මුණ ගැසුණේ ඔවුන් පදිංචිව සිටින පොලිස් නිවහනේදීය. ඇය තම සැමියාට හා දරුවන්ට අත්වූ ඉරණම ගැන සෝසුසුම් හෙළන්නීය.

“අපේ පවුලම මේ ඛේදවාචකයෙන් විනාශ වෙලා ගියා. අපි හරිම සතුටින් ජීවත්වූ පවුලක්. ඒත් මේ වෛද්‍යවරියගේ නොසැලකිල්ල අද ඒ සතුට අපෙන් උදුරගෙන. චූටි පුතා තවම රෝහලේ. ඔහුගේ තත්ත්වය ඉදිරියේදී කොහොම වෙයිද කියන්න මං දන්නෙ නෑ. ලොකු පුතාටත් දෙපයින් නැගිටින්න කාලයක් යාවී. ඔහුට ලොකු අසාධාරණයක් වුණේ... අනුප කියන්නෙ පිහිනුම් ක්‍රීඩාවෙන් රටට කීර්තියක් ගෙන දෙමින් සිටි දරුවෙක්. මටත් කෙළින් නැගිටලා ඉන්න අමාරුයි. මට තියෙන අමාරුව මගේ හිස වැදිච්ච එක. නැගිට සිටිද්දී මා විසි වෙනවා. ඉඳගෙනම ඉන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දුන්නෙ. මුකුත් කන්න බෑ දත් හිරිවැටිලා. කිසිම දෙයක් දැනෙන්නෙ නෑ. කකුල් දෙක සම්පූර්ණයෙන්ම රිදෙනවා. වෛද්‍යවරුන් මගේ ඔළුවේ ශල්‍යකර්මයක් කළ යුතු බව කීවත් එය අවදානම් සහගත යැයි පවසනවා.” ඇයටද යථා තත්ත්වයට පත්වීමට බොහෝ කලක් ගතවනු ඇති බව පැවසේ.

“මං මහත්තයා නැතිවෙච්ච බව දැනගත්තෙ ඔහුගේ භූමදාන දවසේ. ලොකු පුතාට තාත්තා නැතිවූ බව කීවේ අද. (අප ඔවුන් දැකීමට ගිය 16 වැනිදා) චූටි පුතා තවම දන්නෙ නෑ. ඔහුට තාත්තා කියන්නෙ පණ. ඒ කොල්ලා තාත්තා නැතිවූ බව කොහොම දරාගනීවිද කියන එක ගැන මට හරිම බයයි. එයාට හුඟාක් අමාරු වෙලා. දවස් හතකට වඩා වැඩි කාලයක් සිහි නැතිව ඉඳලා. කකුල කැඩිලා. එයා ජීවත් කරවන්න අමාරු වෙයි කියලා තමයි වෛද්‍ය නිගමනය වෙලා තිබුණේ. නමුත් ඒ දරුවගේ වාසනාවට අද යම්කිසි සුවයක් ලබමින් සිටිනවා. නමුත් නියම තත්ත්වයට එන්න තව කාලයක් යයි කියලයි වෛද්‍යවරු කියන්නෙ. මං ටිකට් කැපුව ගමන්ම ගියේ චූටි පුතා බලන්න. එයාට තව ශල්‍යකර්මයක් කළ යුතුයි කියනවා. නමුත් එය කරන්නෙ නැත්තෙ ඔහු පැරලයිස් වෙයි කියා බයක් තියෙන නිසයි”

අජන්තගේ බිරිය අප සමඟ කතාබස් කරන අතරේ සිය පවුලට අත්වූ ඛේදජනක ඉරණම ගැන සිතමින් හඬා වැලපෙන්නීය.

“මේ වගේ විපතක් කාටවත් සිද්ද වෙන්න එපා. එදා අම්මාගේ උපන් දිනය වෙනුවෙන් තිබුණු පින්කමට ගිහින් ආපහු එද්දි රෑ එකොළහයට විතර ඇති. වාහනේ එළෙව්වෙ ලොකු පුතා. ඔය වාහනේ ඈතින් නිකං ඡායාව වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දි වගේ එනවා අපි දැක්කා. අපි හිතුවේ එන විදිහට එයා කොහේහරි තාප්පෙක වද්ද ගනිවී කියලා. ඒත් මගේ මහත්තයා කිව්වා, 'මෙයා එන විදිහනම් හරි නෑ' කියලා. එහෙම කියලා තත්පරයක් ගියේ නෑ... අපේ වාහනේ හැප්පුවා. හැපුණු ගමන් මහත්තයා වාහනෙන් බැහැලා පුතාගේ පැත්තට යනවා මං ඡායාව වගේ දැක්කා. පුතාගේ පැත්තෙ දොර ඇරලා පුතා අල්ලන ගමන් මාවත් අල්ලනවා මට මතකයි. මාත් අඩසිහියෙන් වගේ චූටි පුතා දිහාට අත දික් කරලා බැලුවා. ඒ වෙලාවෙ එයාව මගේ අතේ වැදුණා. ඊට පස්සෙ මට සිහිය නැතිවුණා. කොහොමහරි මහත්තයා තමයි අපි හැමෝම රෝහලට ඇතුළු කරලා තියෙන්නේ. ඒත් මගේ මහත්තයා අපට නැති වුණා.”

සෙනෙහස­ින් දිවි ගෙවූ ඔවුන්ගේ පවුලට හිටිහැටියේ කඩාපාත් වූ 'හෙණ' ගෙඩිය නිසා අත්වූ ඉරණම නිසා අද චම්පිකා දිවි ගෙවන්නේ සිය පවුලේ අනාගතය ගැන බියෙනි.

“දරුවන්ට දැන් මං විතරයි ඉන්නෙ. මේ එක්තැන්වුණු දරුවෝ දෙන්නත් සමඟ මං මේ ලෝකෙ තනිවුණා. පුතුන් දෙන්නගෙ අනාගතයම අඳුරුයි. ඒ අනතුරෙන් අපේ පවුලට වෙන්න තියෙන ලොකුම වින්නැහිය වෙලා ඉවරයි. ලොකු පුතාට පිහිනුම් ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න තිබුණා. චූටි පුතා රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේ. දෙවැනි පුතා ලබන අවුරුද්දෙ උසස් පෙළ ලියන්න ඉන්නෙ. ඔහුගේ අධ්‍යාපන කටයුතුත් මේ සිදුවීම නිසා අඩාළ වෙනවා. ‍කොටින්ම කිව්වොත් අද වන විට අපිට ඉන්න හිටින්න තැනත් නැතිවෙන තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. අපට පොලිස් නිවාසවල ඉන්න ලැබුණේ මහත්තයගේ රස්සාව නිසයි. දැන් අපට මෙහෙනුත් යන්න වෙයි. දරුවන් දෙන්නට සනීප වෙලා දෙවැනි පුතාගේ උසස් පෙළ විභාගේ ඉවර වෙනකල්වත් මේ ගෙදර ඉන්න අවස්ථාව දෙන්න කියලා මං පොලිස්පතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

අපට අත්වෙච්ච මේ ඉරණම වෛද්‍යවරියට තේරෙනව ද? එයා අපට මේ දේ හිතාමතා කළාය කියා මං කියන්නෙ නෑ. ඒත් වෛද්‍යවරිය සිහිබුද්ධියෙන් හිටියානම් අද අපට මෙහෙම ඉරණමක් අත්වෙන්නේ නෑ. මගේ මහත්තයා අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඔහු රට, ජාතිය වෙනුවෙන් සේවයක් කළ කෙනෙක්. ඒ වගේම අපේ පවුලේ හැමෝටම හිටිය උතුම් මනුස්සයෙක් මගේ රත්තරන් මහත්තයා... අද අපේ පවුලට අත්වෙලා තියෙනවා වගේ විනාශයක් හතුරෙකුටවත් වෙන්නට එපා කියා මං යළි යළිත් ප්‍රාර්ථනා කරනවා”

අනුප මංජිත යනු ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ළාබාල ක්‍රීඩකයෙකි. මේ වන විටත් පිහිනුම් තරග සඳහා රටවල් රැසක සංචාරය කර තිබෙන අනුප එහිදී ලංකාවට කීර්තිය ගෙනෙමින් පදක්කම් රැසක්ම දිනා තිබේ. ප්‍රකට පිහිනුම් ශූර ජුලියන් බෝලිංගේ ප්‍රධාන ගෝලයකු වන අනුපට නැවතත් පිහිනුම් තටාකයට බසින්නට හැකිවන්නේ කවදාද යන්න කාටවත් නිශ්චිතව කිව නොහැකිය.

“මං ඉගෙන ගත්තේ තර්ස්ටන් විදුහලෙන්. පොඩි කාලේ ඉඳලාම ස්විමින් කළා. පාසලෙන් පසුව එන්සීසී එකේ ජුලියන් සර් ළඟ පුහුණුම් කරලා ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමටත් තේරුණා. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ නියෝජනය කළා. 2016 සාක් ක්‍රීඩා උලෙළේදී පදක්කම් තුනක්ම දිනාගත්තා. වෛද්‍යවරුන් කියන්නේ නැවතත් පිහිනුම් ක්‍රීඩාවට එක්වීමට කාලයක් යාවි කියා. තාත්තා නැතිවීම මගේ ක්‍රීඩා ජීවිතයට මෙන්ම අපේ පවුලටම කියාගන්න බැරි පාඩුවක්. වේදනාවක් ”යැයි අනුප සිදුවූ තුවාලවලින් දැඩි වේදනා විඳින අතරේ කීවේය.

පුද්ගලයකුගේ අපරික්ෂාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස අනුප වැනි ක්‍රීඩා ශූරයකු ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම කාලයේ එක්තැන්ව ගත කිරීමට සිදුවීම රටේ ද අභාග්‍යයකි.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

අදහස්