ටොන් 28ක කුඩු ඇල්ලූ නාවික මෙහෙයුම් | Page 2 | සිළුමිණ

ටොන් 28ක කුඩු ඇල්ලූ නාවික මෙහෙයුම්

අන්තර්ජාතික ඔත්තු සේවා

මසුන් අස්සේ මත් කුඩු

මේ වසර ආරම්භයේ සිටම කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙන්ම රේගුව හරහාද රට තුළට ගෙන ඒමට තැත් කළ මත්ද්‍රව්‍ය තොග රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් ශ්‍රී ලංකා රේගුවත් සමත් විය.

රට අභ්‍යන්තරයේ මත්කුඩු බෙදාහරින්නන් වැටලීමටද ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී නැ‍ඟෙනහිර වෙරළ ආශ්‍රිත සාම්පූර් හා සේරුවිල ප්‍රදේශවලින් සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ ගණනින් මතු විය. මේ සියලු මත්ද්‍රව්‍ය විදේශයෙන් ගෙන්වාගත් ඒවා වන අතර, දේශීය වෙළෙඳපොළේ ඇති අධික ඉල්ලුම මත ගෙන ආ ඒවාය.

රටක ආර්ථිකය මුළුමනින්ම බිඳදමන්නට මත් රකුසාට හැකියාව ඇත. යුද්ධයෙන් වූ විපතට වඩා හානියක් එයින් සිදු වනු ඇත. මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදින් එන මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලදි.

2010 වසරේදී ‘ගාලු කථිකාව’ නමින් අන්තර්ජාතික සමුළුවක් ආරම්භ කරන ලද්දේ කලාපයේම පමණක් නොව, සමස්ත ලෝකයේම ඇස් ඇරවනු පිණිසය.

මේ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය මඟින් සාගරය හරහා සිදු කෙරෙන ජාවාරම්, මත්කුඩු ප්‍රවාහනය සාගරය අපවිත්‍ර කිරීමට එරෙහිව කටයුතු කිරීම ඇතුළු සාගරය ආශ්‍රිත සිදු කෙරෙන සියලු ව්‍යසනකාරි සිදුවීම් නැවැත්වීමටත් සාගරය සම්පතක් සේ වැඩි දියුණු කරගැනීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.

මේ කථිකාව මඟින් රටවල් එකතු වී සිදු කරනු ලබන සහයෝගිතාව අනුව මේ වසරේ පළමු මාස 6 තුළ මත් කුඩු ටොන් 28.5ක් මුහුදේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට මේ නාවික සහයෝගිතාවට හැකිව ඇත. ඒ මත්කුඩු තොගයේ දළ වටිනාකම ඇමෙරිකොනු ඩොලර් බිලියන 1.8ක් බව නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඉන්දීය සාගරය, කෙන්යාව, මැඩගස්කරය වැනි රටවල් දක්වා විහිද ඇති බවත්, එම සාගරයේදී අත්අඩංගුවට ගත් මේ මත්ද්‍රව්‍ වලින් කොටසක් මෙරටට ගෙන ඒමට බොහෝ ඉඩ තිබුණු බවත් පියල් ද සිල්වා මහතා පැවසීය.

ගැඹුරු මුහුදේදී මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රා 13ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව රියර් අද්මිරාල්වරයා පවසයි. ඉන්දීය සාගරය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැඩි වීම නිසා ඒ සඳහා වන වැටලීම්ද වැඩි කිරීමට සාගරික රටවල් එකමුතු වී මෙසේ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබන බවත්, මේ සාගරික එකමුතුව මත මත් උවදුර පමණක් නොව; මිනිසා විසින් සිදු කරන සියලු සාගරික ව්‍යසනකාරි ක්‍රියා නැවැත්වීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා කීය. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාද ප්‍රහාරක යාත්‍රාද යොදවාගෙන ඉන්දීය සාගරයේ සිදු කරනු ලබන මේ වැටලීම් සහ පරීක්ෂා කිරීම් සඳහා උපරිම සහාය ලබා දෙන බවද රියර් අද්මිරාල්වරයා කීය.

මේ සියලු වැටලීම් කටයුතු සඳහා උපකාරී වී ඇත්තේ ඔත්තු සේවා අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඔත්තු සේවා සම්බන්ධව නිරන්තරයෙන් විමසුම් ඇසින් සිට යම් ඔත්තුවක් ලද පසු එය සාර්ථක වන තුරුම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සිදු වූ බවද ඒ මහතා කීය.

“ඕස්ට්‍රේලියානු ‘වරුමුංගා’ සෝදිසි නෞකාව පහුගිය ජූනි මාසයේදී සුවිශේෂ වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් රැසක් සිදු කළා. එහිදී 3 වැනිදා හෂීස් මත් කුඩු ටොන් 3.6ක් අත්අඩංගුවට ගත්තා. පසු දින එනම් 4 වැනිදා හෂීස් මත් කුඩු ටොන් 2.9ක් අත්අඩංගුවට ගත්තා. එසේම 5 වැනිදා හෙරොයින් කිලෝ 40ක් අත්අඩංගුවට ගත්තා. ඒ සියලු අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ ඉන්දීය සාගරයේ පහළ කොටසේ ඒ කියන්නෙ ලංකාවට ආසන්නයෙන්. ඒ බොහෝ මත් කුඩු ලංකාවට එන්න ඉඩ තිබුණා. ‘වරුමුංගා’ නාවික නෞකාව පමණක් නොවෙයි, අපේ සෝදිසි නෞකාත් මේ වන විට උපරිම මට්ටමකින් සෝදිසි කටයුතු සිදු කරනවා. ඉන්දියාවේ සිට එන කේරල ගංජා ඇතුළු මත් කුඩු වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපට හැකිව තිබෙන්නේ ඒ නිසයි,” රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කීවේය.

මේ සාර්ථකත්වය එක්වරම පැනනැඟුණක් නොවේ. රියර් අද්මිරාල්වරයා පෙන්වා දෙන්නේ ගාලු කථිකාව ඇරැඹීමෙන් පසු ලෝකයේ රටවල් සාගර ආරක්ෂාව පිණිස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සාර්ථකත්වය ඇති වූ බවයි. එහෙත් මෙය තවදුරටත් අතිසාර්ථක කරගැනීමට නම් මත් කුඩු ප්‍රවාහනය මුළුමනින්ම නවතා දැමීමට කටයුතු කළ යුතුය.

ඒ කරුණ පමණක් නොව, සාගරික සහයෝගය පිණිස හෙට (22) කොළඹ ගාලු මුවදොර ‍‍හෝටලයේදී ගාලු කථිකාව අන්තර්ජාතික සම්මන්ත්‍රණය ආරම්භ වනු ඇත.

ආරම්භයේදී ගාල්ලෙන් ඇරැඹුණු මේ අන්තර්ජාතික සමුළුව මේ වන විට කලාපීය රටවලට පමණක් නොව, සමස්ත ලෝකයටම සාර්ථක ප්‍රතිඵල රැසක් අත් කර දී ඇත. මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේද ‘සහයෝගය මඟින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම’ යන්නයි.

ඒ අනුව ඉදිරියේදී ඉන්දීය සාගරය හරහා පමණක් නොව, සමස්ත සමුදුරේම සිදු කරනු ලබන මේ මත් කුඩු ප්‍රවාහනයට බොහෝ දුරට වැට බැදෙනු ඇත.

පසුගිය සමුළුවලදී සිදු කළ ඒකාබද්ධවීම් නිසා ඒ ඒ රටවලට අවශ්‍ය අත්දැකීම් බෙදා හදා ගෙන ඇත.

විශේෂයෙන් ම නාවික හමුදාවන්ට පොදු වූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර අදහස් හුවමාරු කරගෙන සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කර ‍ගනු ඇත.

මෙවර ගාලු කථිකාව - 2018 සමුළුව රටවල් 50 ක අන්තර්ජාතික සංවිධාන 17ක් සහභාගි වනු ඇත. එමෙන්ම නාවික ප්‍රධානින් 3 දෙනකු ඇතුළත්ව විදෙස් නියෝජිතයන් 140 දෙනකු සහභාගි වනු ඇත.

මෙහිදී විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගීත්වය පිණිස ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගන්නා ආකාරයද සාකච්ඡා කෙරෙනු ඇත.

මේ සියලු වෑයම් ගනු ලබන්නේ රටේ සංවර්ධනය ඇති කිරීම පිණිස ආර්ථික ශක්තිය වැඩි කිරීම පිණිසය.

එහිදී ප්‍රධානම මර්මස්ථාන බාධකය වන්නේ මත්කුඩු බෙදාහැරීමයි.

එයට දැන් වැට බැ‍ඳෙමින් පවතී. පළමු මාස 6 තුළදී ඒකාබද්ධ නාවික මෙහෙයුම් තුළින් ටොන් 30 කට ආසන්න අතිවිශාල මත් කුඩු ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම තුළින් මේ බව මැනවින් පැහැදිලි වේ.

ටොන් 30ක මත් කුඩු යනු ලොරියකින් ගෙන යා යුතු තරමේ මත් කුඩු තොගයකි. ඒ මත් කුඩු තොගය ශ්‍රී ලංකාව වැනි රටක් සහමුලින්ම වනසා දැමිය හැකි තරම් වූ ප්‍රමාණයකි.

අන්තර්ජාතික සහයෝගිතා මඟින් මේ මත් කුඩු අත්අඩංගුවට ගත්තේ මාස 6ක කාලයකදීය. ඊට පෙර වසරවල කොපමණ මත් කුඩු ප්‍රමාණයක් සාගරය හරහා ඇදෙන්නට ඇත්දැයි මෙයින් අපට සිතාගැනීමට පුළුවන. එය වළක්වා ගැනීමට ඉදිරියේදී මීට වඩා පුළුල් මෙහෙයුම් දියත් කිරීමට නාවික හමුදාව බලාපොරොත්තුව සිටින්නේ කුඩු ජාවාරම්කරුවන් විවිධ උපායමාර්ග ක්‍රියාවට නංවන බැවිනි.

උදාහරණයක් ලෙස බහුදින යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාවට හැකි වුවත් සියලු මසුන් පරීක්ෂා කිරීමට හැකියාවක් නැත. කුඩු ජාවාරම්කරුවන් මත් කුඩු පැකට් මධ්‍යම ප්‍රමාණයේ මසුන්ගේ කරමල් අස්සේ සඟවා එවනු ලබන හෙයින් ඒ සඳහා ද ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඒකාබද්ධ නාවික මෙහෙයුම් තුළින් හැකි වනු ඇත.

විශේෂයෙන්ම නවීන නාවික තාක්ෂණය භාවිත කර, මත් කුඩු හඳුනා ගැනීමේ සංවේදක හා ස්කෑන් යන්ත්‍ර භාවිත කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. ඒ මඟින් මේ ව්‍යසනයට ස්ථාවර විසඳුමක් ගෙන දීමට ඒකාබද්ධ මෙහෙයුම්වගට හැකියාව ලැබෙනු ඇත.

දියුණු රටවලට පවා ආදර්ශ ලබා දීමට ගාලු කතිකාවට හැකි වී තිබෙන බව අපට මෙයින් පැහැදිලිය.

මත් කුඩු ජාවාරමුන්ට දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද දැන් රතු එළි දැල්වී තිබේ.

මෙවර ගාලු කතිකාවෙන් ඒ එළිය වඩාත් තීව්‍ර වනු ඇත.

Comments