සිනාව සොයන අපේ කාලයේ ආදරණීයන් වෙනුවෙන් | සිළුමිණ

සිනාව සොයන අපේ කාලයේ ආදරණීයන් වෙනුවෙන්

බෝ නොවන රෝගයක් ලෙස නම් කළ හැකි පිළිකාව හේතුවෙන් වසරකට අප රට තුළ අහිමිවී යන ජීවිත සංඛ්‍යාව අතිමහත්ය. අලුතින් මෙම රෝගයට ගොදුරු වන පිරිසද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. දුම්කොළ සහ දුම්වැටි භාවිතය, බුලත් විට කෑම, මධ්‍යසාර පානය, යෞවනයට අහිතකර ආහාර පුරුදු, ශාරීරික ව්‍යායාම නොමැතිකම, මානසික ආතතිය සහ පරිසර දූෂණය පිළිකාව ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන අවදානම් තත්ත්ව ලෙස හඳුනාගෙන තිබේ.

වර්තමානය වන විට දිනෙන් දින ඉහළ යන පිළිකා රෝගීන් ප්‍රමාණය හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පවා ගැටලුකාරී තත්ත­්වයන් මතුවී තිබේ. ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම, ඖෂධ හිගය, රසායනාගාර සේවාවල අඩුපාඩුකම්, නවීන යන්ත්‍රවල හිඟය මේ අතර වේ. තවද මහජනතාවගේ නොදැනුවත්කමද පිළිකා රෝගය වැඩි වීමට හේතු වී ඇත. පිළිකා රෝගයට ගොදුරු පුද්ගලයකුගේ මානසික කම්පනය පිළිබඳව මෙන්ම එම රෝගියාගේ සමීපතමයන් පසුවන දුක, බිය, ආර්ථීක ගැටලු, ආදිය පිළිබඳ පූර්විකාවක් ඉදිරිපත් කළ යුතු නැත. එම නිසා තවත් අයකු එම තත්වයට පත්වීම වැළැක්වීමට නම් දැනුවත් වීම කාලීන අවශ්‍යතාවකි .

වෛද්‍ය නිගමනවලට අනුව පොදු පිළිකා රෝගය සම්බන්ධව පූර්ව දැනුවත් කිරීම තුළින් වසරකට පුද්ගලයින් 50,000ක් මෙම රෝගයට ගොදුරු වීම වළක්වා ගත හැකිය. එසේ හෙයින් මේ සියලු කාරණා යුගයේ අවශ්‍යතා ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම යොවුන් තරුණ පිරිස් ලෙස සමාජ වගකීම් හමුවේ නිර්මාණශීලීව හා වඩාත් සංවිධානාත්මකව මෙම කාලීන ගැටලු පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

2016 වසරේ වෙන්නප්පුවේදී පැවැති නොආයි පවුලේ එකමුතුවේදී ශුද්ධවු පවුලේ යොවුන් තරුණ දූ පුතුන් ලෙස ඉදිරි කාලයේද සිදුකිරීම සඳහා යෝජනා කරන ලද 'සුපත ඒකකවල සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා එළි දක්වමින් ප්‍රසංගයක් පවත්වා ඉන් ලැබෙන අරමුදල් මහරගම අපේක්ෂා රෝහලට ලබා දීම' යන යෝජනාව මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් සහභාගී වීම විශේෂත්වයකි.

ඒ අනුව පූර්ව වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සමාජ ජාල භාවිත කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වූ අතර ජනතාව දැනුම්වත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා හැරීමත්, වාහනවල ස්ටිකර් ඇලවීමත්, වීදි නාට්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමත් පසුගිය කාලය පුරා සිදුකෙරුණි. මෙම වැඩසටහන තුළින් රැස්කරගන්නා අරමුදල් අපේක්ෂා රෝහලේ කඩිනම් අවශ්‍යතා සඳහා ලබා දෙයි.

දැනට ක්‍රියාත්මක සුපත ඒකක 16 හි සාමාජික සාමාජිකාවන් සම්බන්ධකර ගනිමින් ලබන 26 වැනි සිකුරාදා දින පස්වරු 2.30ට (පාසල් දර්ශනය) සහ 6.30ට මීගමුව ලොයෙලා විදුහල් ශ්‍රවනාගාරයේදී ‘හැඟුම් වරුසාව‘ විවිධ ප්‍රසංගය පැවැත්වේ. පිළිකා රෝගය සම්බන්ධව, පිළිකාව ඇතිවීම වළක්වා ගැනීම මෙන්ම පිළිකා රෝගයට ගොදුරු වූ පිරිස් වෙනුවෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ආදිය මෙහි තේමාවයි.

Comments