ගී ලොව අමරා දේවිය, ඔබ අමරණීයයි | සිළුමිණ

ගී ලොව අමරා දේවිය, ඔබ අමරණීයයි

කලාකරුවෝ අමරණීයයි. මැරෙන තරමට අමරණීයයි. ඒ කියමන සනාථ කරන්නට සමත් අමරණීය කලාකරුවෝ රැසක් අතීතයේ පටන් අප රටේ සිටියහ. පසුගියදා දිවියෙන් සමුගත් විශාරද අමරා රණතුංග ගායන ශිල්පිනිය ද එවැනිම අමරණීය චරිතයකි.

වසර ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට අපමණ සේවාවක් කළ රසිකයන් අතර නොමැකෙන නාමයක් දිනූ ඇය ගුරුවරියක ලෙසින් කළ මෙහෙය සුවිශාලය. නමුදු ඈගේ ගී හඬ කෙලෙසක නම් අමතක කරන්නද? අවර ගණයේ ගී නිර්මාණ, වින්දනයක් නැති හරසුන් නිර්මාණ බිහිවන යුගයක වුවද ඇගේ නිර්මාණවලට සම කළ හැකි නිර්මාණ මෙතෙක් බිහි වී නැත. ශ්‍රී ලාංකේය සංගීත කේෂත්‍රයේ පළමු මහාචාර්යවරිය වන්නේ ඇයයි.

රාගධාරි සංගීතය පිළිබඳ කතා බහ කිරිමේදී අපට නිරන්තරවම සිහිපත් වන නම් කිහිපයකි. ඒ අතරින් විශාරද දයාරත්න රණතුංග හා විශාරද අමරා රණතුංග නාමයන් පෙරමුණ ගනී. රාගධාරී සංගීතය දේශීය සංගීතය හා මුසුකළ ඔවුන් කළ නිර්මාණ බොහෝ අපූරුය.

දෝන අමරා කස්තුරිආරච්චි නම් වූ ඇය එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නීය. ගම්පහ බටුවත්තේ උපන් ඇය පාසල් අධ්‍යාපනය ලද්දේ හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන්ය. පසුව හංවැල්ල මධ්‍ය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඇය රජයේ ලලිත කලා විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නීය. ඒ සංගීතය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමටය. එකල රජයේ ලලිත කලා විද්‍යාලයට බැඳීමට වයස් සීමාවක් බල පාන්නේ නැත. පාඨමාලාව අවසානයේ මීගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවයට බැඳේන්නීය. වසර හතළිස් තුනක් තිස්සේ ගුරු සේවයේ යෙදුණ ඇය ඒ අතර තුර ගෙවී ගිය කාලයේ තම වැඩි දුර අධ්‍යාපනයද කරගෙන යන්නීය.

මේ අතර විටෙක සංගීතයට ඇති ඇල්ම ආසාව නිසාම ඉන්දියාවට ගොස් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ලබන ඇය සිය රට පැමිණි පසු රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. ඒ අතර බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබන ඇය පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධානියා ලෙස ද කලක් කටයුතු කරන්නීය.

තවත් විටෙක ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය. සංගීතය පිළිබඳ හසළ දැනුමක් ඇති ඇය සිය සැමියා වූ විශාරද දයාරත්න රණතුංග සමග හා තනිව ගී රැසක් ගායනා කර ඇත.

අමරා රණතුංග ගායන දිවියට එළැඹෙන්නේ වයස අවුරුදු අටක් දහයක් තරම් වූ වයසේ දීය. ‘යමුනා යමුනා සෝබන යමුනා“ නමින් පළමු ගීය ගයමින් ගායන කේෂත්‍රයට පිවිසෙන ඇය පසු කාලීනව ගී රැසක් ගායනා කර ඇත්තේය.

දිනෙක ගී පද රචක ස්වර්ණදාස හේරත් දයාරත්න යුවළ වෙත පැමිණෙන්නේ ගීතයක් ද අතැතිවය.

“මේ ගීතය ඔය දෙන්නට“

ඔහු එදා අමරා අතට දුන් ගීතය අද ද බෙහෙවින් ජනප්‍රියය. ඒ “අමරා දේවී“ ගීතයයි.

අමරා ගැයූ ගි අතර “සැලලිහිණියෝ නුඹ දන්නේ නෑ, මහ රෑ යාමේ, ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ, රාධා ක්‍රිෂ්ණා, ආදී ගී අද ද නිතර ඇසෙන, රසිකයන් ප්‍රිය කරන ගී අතර වේ.

කිසිදාක ජනප්‍රියත්වය පසු පස හඹා නොගිය අමරා හැම විටම තම දැනුම දරුවන්ට බෙදා දෙන්නට මුල්තැන දුන්නාය.

මිය යන විට හැත්තෑ නවවැනි වියේ පසු වූවාය.

ගීතය සංගීතය ආදිය පිළිබඳ අධ්‍යයනය කරන, එ් පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති විද්වතුන් හිඟ යුගයක අමරා රණතුංග වැනි සංගීතවේදිනියන්ගේ අඩුව ක්ෂේත්‍රයට දැඩිව දැනෙනු ඇත. රසික මනස සුවපත් කරන අපූරු ගී රැසක් ගැයූ ඇගේ ගී හඬ යුග යුග ගණනාවක් මේ විශ්වයේ රැඳෙනු ඇත.

Comments