හැත්තෑ වසරකට එපිට නවකතා ලිවීමේ රහස හෙළි වූ හැටි | සිළුමිණ

හැත්තෑ වසරකට එපිට නවකතා ලිවීමේ රහස හෙළි වූ හැටි

කුමරජිත්

සෞන්දර්යය පැත්තෙන් ජීවිතය දෙස බලන කලාකාරයකුගේ දර්ශනය පිළිබඳ කරන කතාවල රස විඳීමට මා තුළ පවතින්නේ අතෘප්තිකර ආශාවකි. අහම්බෙන් මුණගැසුණු එබඳු කතාකාරයකු සමඟ දැඩි මිත්‍රත්වයක් ඇති කරගැනීමට මට පිළිවන් වූයේ මගේ ඒ ආශාව නිසායැයි සිතමි. ඔහු ළඟදී ලියූ කෙටිකතා පොතක් මා සිත තදින් ඇදගත්තේය. කතා ලිවීමේ රහස කුමක්දැයි ඔහුගෙන් ඇසීමට මට සිත් වූයේ ඒ පොත කියවීමෙන් පසුවය.

‘ඔබ කතා ලි‍යන්නේ කෙසේද?’

දිනක් ඔහු සමඟ මිත්‍ර සාකච්ඡාවක යෙදී සිටි මම ඔහුගෙන් ඇසුවෙමි. මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔහු මට හෙළි කළ අදහස් බෙහෙවින් චමත්කාරජනකය.

මේ සිද්ධියට මුහුණ දුන‍්නේ මෙය ලියන ලියුම්කරු නොවේ. මීට වසර 73කට පමණ ඉහත හතළිහ දසකයේ සිටි සඟරා සංස්කාරකවරයෙකි. 1946 වසරේ ‘වෙළෙඳාම’ නම් සඟරාවක් සංස්කරණය කළ කේඇම් සිරිසේන ‘ලංකාදීප’ පත්‍රයේ ප්‍රධාන උපකර්තෘ ධුරය හොබවමින් ‘ජයදේව’ යන නමින් පොත්පත් පිටුව සංස්කරණය කළේය. එවක ලොව වැඩිපුරම විකිණී ඇති ඩේල් කානගීගේ ‘හව් ටු වින් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ඉන්ෆ්ලුවන්ස් පීපල්’ කෘතිය අනුවාදය කළ ඔහු ලියූ පොත් අතර ‘හාස්‍යය’, ‘සාහිත්‍ය රසධාරා’, ‘විප්ලවයෙන් බිහි වූ ලෝකය’ හා ‘ගෝර්කි චරිතය’ කැපී පෙනෙයි. මේ කාලයේ ඔහුට මෙරට ප්‍රකට ලේඛකයන් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණේය.

කේඇම් සිරිසේන ප්‍රකට ලේඛකයකුගෙන් එදා ‘නවකතා ලිවීමේ රහස’ ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබුණේ මෙසේය:

හෙළිකිරීමේ විපාක

“ඔබේ ප්‍රශ්නය මා මීට අවුරුදු ගණනකට පෙර (1930දී පමණ) පරණ පොත් වෙළෙන්දකුගෙන් මිලයට ගත් පොතක් මට මතකට නඟනවා. එය නම් ඇත්තනි ට්‍රොලොෆ්ගේ නවකතාවක්. මේ පොතේ ඔහු නවකතා ලියූ සැටි විස්තර කර තිබුණා. ට්‍රොලොෆ් නවකතාකාරයකු හැටියට පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ලේඛකයෙක්. ඔහුගේ නවකතා ශීඝ‍්‍රයෙන් විකුණුණා. ඔහු විසින්ම තමා නවකතා ලියූ හැටි හෙළි කිරීමෙන් පසු ඔහුගේ ප්‍රසිද්ධිය බෙහෙවින්ම අඩු වන්න පටන් ගත්තා. ඔහුගේ පොත් අලෙවි වීමද අඩු වන්න පටන් ගත්තා.

“ට්‍රොලොෆ් තමා නවකතා ලියූ සැටි විස්තර කළේ මෙහෙම. ඔහු දවසකට ලිය යුතු වචන ගණන මෙපමණයැයි තීරණය කර තිබුණා. ඔහු ඒ වචන ගණන දවස අවසන් වන්නට පෙර කෙසේ හෝ ලියා අවසන් කළා. ඔහුට ලියන්නට නියම තැනක් අවශ්‍ය වුණේ නැහැ. ග්‍රීෂ්ම ඍතු‍වේදී ආලින්දයෙහි හිඳගෙනද ශීත ඍතුවේදී ඇතුළේ කාමරයකට වී හිඳගෙනද රෝගීව සිටි අවස්ථාවල ඇ‍ඳේ සිටිමින්ද ඔහු ලිව්වා. ඇතැම් විට මිත්‍රයකු හමුවීමට යන ගමන් වාහනයෙහිදීද මිත්‍රයා එන තෙක් සිටින ගමන්ද ඔහු මේ වචන ප්‍රමාණය ලිව්වා. ට්‍රොලොෆ් තමා නවකතා ලියූ සැටි මෙසේ අවංකව හෙළි කිරීම නිසා අයාසයක් නොගෙන ඔහු ලියන කතා වැදගත්කමක් නැති ඒවායැයි පාඨකයා අතර ප්‍රකට වීමෙන් ඔහු ලබා තිබුණ ප්‍රසිද්ධිය නැති කරගත්තා.”

‘නවකතා ලිවීමේ රහස’ ගැන කේඇම් සිරිසේනට විස්තර කළ අපේ ලේඛකයා පවසා තිබුණේ ට්‍රොලොෆ්ගේ මේ කියමනෙන් පසු නවකතාකාරයන් තම කතා ලිවීමට ගත් ආයාසයත්, කාලයත්, අතිශයෝක්තියෙන් කියන ප්‍රකාශ තමන් මහා නවකතාකාරයන් හැටියට පාඨකයන් අතර ප්‍රසිද්ධ වීම පිණිස ඔවුන් පතළ කරන ලද අසත්‍යයක් හැටියට සැලකීමට තමා පුරුදුව සිටි බවයි.

අතිශයෝක්ති

ප්‍රංසයේ ගුස්තාව් ෆ්ලෝබෙයා ගැනද අපේ ලේඛකයා කේඇම් සිරිසේනට මෙසේ පවසා තිබිණි:

“මහත් ආයාසයෙන්ද සැලකිල්ලෙන්ද පොත් ලියූවන් අතර ගුස්තාව් ෆ්ලෝබෙයා ප්‍රමුඛය. ඔහු කතාවක යෙදිය යුතු වචන තේරීමට මහත් ආයාසයක් ගත්තා. ‘තරබාරු ගැහැනියක්’ යැයි කිව යුතු තැන යෙදිය යුත්තේ ‘තරබාරු’ යන්නද, ‘පුෂ්ටිමත්’ යන්නදැයි තෝරාගැනීමට ඔහු දවස් ගණනක්, ඇතැම් විට සති ගණනක් කල්පනා කළා. ඔහුට ‘මදාම් බෝවරි’ නවකතාව ලිවීමට අවුරුදු ගණනක් ගත වුණු බව ප්‍රංසයේ ප්‍රසිද්ධ වුණා. තමා ලියන දේ මිත්‍රයන්ට ඔහු ලියා යැව්වා. නිදසුනක් ලෙස සඳ ඇති රාත්‍රියක් විස්තර කිරීමට වුවමනා වූ විට තමා එබඳු රැයක් ඇති ගෝවා වත්තකට ගොස් එහි සිරියාව නරඹුවේයැයි මිතුරන්ට ලියා යැව්වා. ‘මදාම් බෝවාරි’ ශ්‍රෙෂ්ඨ නවකතාවක් හැටියට විචාරකයන් විසින් සලකනු පමණක් නොව, නවකතා කලාව ගැන ලියවුණු හැම නවකතාවකටම එය නිදසුන් වශයෙන්ද පෙන්වා තිබුණා.

‘මදාම් බෝවාරි’ ලිවීමට ෆ්ලෝබෙයා දැඩි ආයාසයක් නොගත්තේයැයි මම කියන්නේ නැහැ. එහෙත් ඔහු ගත් ආයාසය අරබයා ප්‍රචාරය කර තිබෙන මේ තොරුතුරු ඒ පොතට ශ්‍රේෂ්ඨත්වයක් හිමි කර දීම පිණිසත්, තමා මහා නවකතාකාරයෙකැයි මිනිසුන්ට අවබෝධ කරවීම පිණිසත් ෆ්ලෝබෙයා විසින්ම ප්‍රසිද්ධ කරන ලද අතිශයෝක්තීන්ය යනු මගේ හැඟීමයි. ‘මදාම් බෝවාරි’ ලිවීමට ෆ්ලෝබෙයා විසින් කරන ලදැයි කියන උත්සාහයෙන් දාහෙන් කොටසක උත්සාහයක් වත් නොගත් නවකතාකාරයන් විසින් ඊට වඩා හොඳ නවකතා ලියා තිබෙනවා. එහෙත් ඔහු විසින් ගන්නා ලදැයි කියන ආයාසය නිසා මෙවැනි තොරතුරු නිසා ඔහු නවකතා කලාව පිළිබඳ සූරයෙකැයි යන හැඟීම පැතිරී යෑම නිසාද නවකතා ලිවීම පිළිබඳ නීති-රීති විස්තර කරන හැම විට විචාරකයෝ ‘මදාම් බෝවාරි’ කථාව නිදසුනක් ලෙස දක්වනවා.”

මෝපසාංගේ කතාව

‘වෙළෙඳාම’ මාසික සඟරාවේ පළ වී ඇති‍ මේ ලි‍පියෙන් ෆ්ලෝබෙයා තමා සම්බන්ධයෙන් පමණක් නොව, තම ගෝළයා සම්බන්ධයෙන්ද ලොව මුළා කිරීමට තැත් කළ කෙනකු ලෙස අර මිත්‍ර ලේඛකයා නම් කර ඇත.

“ගී ද මෝපසාං ලොව කෙටිකතාකාරයන් අතර අග්‍රේසරයකු හැටියට සලකනු ලබනවා. මෝපසාං ෆ්ලෝබෙයාගේ මිතුරියකගේ පුතෙක්. ඔහු කුඩා කල සිටම නවකතා ලිවීම ‍ෆ්ලෝබෙයාගෙන් පුහුණු කිරීමට පටන් ගත්තා. ඔහුට දකින්නට ලැබෙන පුද්ගලයන්ගේ හා ස්ථානවල විස්තර ලියාගෙන එන ලෙස ‍ෆ්ලෝබෙයා මෝපසාංට නියම කළා. මෝපසාං ලියාගෙන එන හැම විස්තරයක්ම නිරනුකම්පි ලෙස කපා-කොටා හරිගස්සා නැවත ලියාගෙන එන්ට නියම කිරීම ෆ‍්ලෝබෙයාගේ සිරිත. පුද්ගලයකු තවත් පුද්ගලයකුගෙන්ද දෙයක් තවත් දෙයකින්ද වෙන් කරන විශේෂ ලක්ෂණ තිබෙන බවත්, ඒ විශේෂ ලක්ෂණ ඉස්මතු වන ලෙස පුද්ගයන්ද දේවල්ද විස්තර කළ යුතු බවත් ෆ්ලෝබෙයා මෝපසාංට ඉගැන්නුවා. මෝපසාං ඒ අනුව මහත් වෑයමින් කිසියම් විස්තරයක් ලියා‍ගෙන ආ විට ෆ්ලෝබෙයා මෙහෙම කිව්වා: ‘මෙය නිකම් විස්තරයක් පමණයි. මෙහි විස්තර වන පුද්ගයන් හා වෙනත් පුද්ගලයන් අතර වෙනසක් නෑ. මෙහි විස්තර කර තිබෙන ගස් ගල් ආදිය මහාමාර්ගයේදී හමු වන වෙනත් ගස් ගල් ආදියට සමානයි.’”

කේඑම් සිරිසේනගේ මිත්‍ර ලේඛකයා ඔහුට පවසා තිබුණේ මේ අනුව මෝපසාං කෙටිකතා ලිවීමට පෙර මෙබඳු විස්තර සිය ගණනක් ලියූ බවය. බඹ ලොව සැප පතා වන වැද දිවි සම් පෙරවාගෙන කුසගින්නේ සිට දැඩි දුකින් කෙලෙස් තැවීමට පුරුදු වන්නකු මෙන් නවකතා ලිවීමට අවුරුදු ගණනක් අප්‍රතිහත උත්සාහයෙන් මෙසේ දුක් විඳ දැඩි අභ්‍යාසයක් ලැබීමට තරම් ඉවසීමක් මෝපසාංට හැර අන් කිසිවකුට තිබිය හැකිද යන අදහස අපේ ලේඛකයාට මේ තොරතුරු ඇසීමෙන් සිත් තුළ ඇති වූ බවද පවසා ඇත.

‘නවකතා ලිවීමේ රහස’ නම් ලිපිය තමා විසින්ම සංස්කරණය කළ ‘වෙළෙඳාම’ සඟරාවට සම්පාදනය කර ඇති කේඇම් සිරිසේන තම මිත්‍ර ලේඛකයාගේ අදහස් පළ කොට දැන් වසර 70ක් ගත වී ඇත.

ප්‍රචාරක උපක්‍රම

මෙසේ විදේශීය ලේඛකයන්ගේ නවකතා ලිවීමේ රහස් කේඇම් සිරිසේනයන්ට හෙළි කළ අපේ ලේඛකයා කවුරුද? මගේ අනුමානය නම් ඒ ලේඛකයා‍ ජීබී සේනානායක බවයි. ඒ අනුමානයට හේතු කිහිපයක්ම තිබේ. ජීබී සේනානායක විසින් ලියු ‘දුප්පතුන් නැති ලෝකය’ කෙටිකතා සංග්‍රහයේ (1945 මුද්‍රණයේ) මේ පොත මුද්‍රණය සඳහා සකස් කිරීමෙහිදී කතා පිටපත් කරදීමෙන් තමාට උපකාර කළ කේඇම් සිරිසේන මහතා හා චාර්ලට් ලලිතා අමරසිංහ නෝනා මහතාටද ජීබී සේනානායක ස්තුති කර ඇත. සිරිසේනගේ බිරිය වූ චාලට් ලලිතා ‘කල්පනා’ සඟරාවට ලියූ ලිපියක ජීබී සේනානායකගේ කටුක අත්අකුරු සීරුවෙන් කියවා තමා අතින් ලියවුණු බවත්, ඒවා පිටපත් කිරීමෙන් හා ඔහු සමඟ කතා කරමින් තමා කෙටිකතා ලියන අයුරු උගත් බවත් පවසා තිබිණි. පසු කලෙක ලලිතා විසින් ‘අලුත් ගෙදර’ නමින් තමා ලියූ කෙටිකතා සංග්‍රහයක් පළ කළ බවද පවසා තිබිණි. ‘කල්පනා’ සඟරාවේ තිබූ ආකාරයට ජීබී සේනානායක නිතර දෙමටගොඩ පිහිටි තම නිවෙසට පැමිණි බවද, තම සැමියා සමඟ සාහිත්‍ය සංවාදවල යෙදී සිටි බවද ලලිතා පවසා තිබිණි. මේ අනුව මේ අදහස් ජීබී සේනානායකගේම බව අනුමාන කළ හැකිය.

ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය

ජීබී සේනානායක 1952දී ලංකා ගුවන් විදුලි සේවයෙහි ශාස්ත්‍රීය සංග්‍රහයෙන් බටහිර ශ්‍රේෂ්ඨ නවකතාද ශ්‍රෙෂ්ඨ කෙටිකතාකාරයන් ගැනද කතා දොළොසක් කර ඇත. ඒ කතා නම් ‘මහලු ගෝරියෝ’, ‘මළ මිනිස්සු’, ‘ඇනා කැරනිනා’, ‘එමා බෝවරි’, ‘වදරිං හයිට්ස්’, ‘අපරාධය හා දඬුවම’, බටහිර නවකතා හා ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොෆ් නම් කතාකාරයන් ගැන කළ කතාය. මේ කතා පෙළ ප්‍රචාරය වන විට එකී ශ්‍රේෂ්ඨ බටහිර නවකතාවල සිංහල පරිවර්තන පළ වී නොතිබිණි. ඉන් පසු මුනිදාස සෙනරත් යාපා විසින් ‘අපරාධය හා දඬුවම’ හා ‘ඇනා කැරනිනා’ යන නවකතා දෙකද, සිරිල් සී පෙරේරා ‘එමා බෝවරි’ ද, සීතා කුලතුංග, පීකේඩී සෙනෙවිරත්න හා රූ පෙ විජේසිංහ විසින් ‘වදරිං හයිට්ස්’ ද පරිවර්තනය කර තිබිණි. විජේසිංහගේ ‘පෙම් වියරුව’ පොතට හොඳම පරිවර්තක ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමි විය.

මේ අතර ප්‍රකට සාහිත්‍ය විචාරකයකු වූ එඩ්මන්ඩ් ජයසූරිය නවකතාවක් සාර්ථක වීමට චරිත නිරූපණයක් තිබිය යුතුද, චරිතයක් යනු කුමක්දැයි මීට වසර 50කට පමණ පෙර 1968 වසරේ ගුවන්විදුලියෙන් කළ කතාවක කටුසටහනක් මට අහම්බෙන් හමු විය. එහි ඇති සනාතන අගය සලකා එයින් අදහස් ටිකක් මෙයට එකතු කිරීමට සිත් විය.

“කැලෑහඳ කියවූ කාටත් නන්ද සීයාගේ චරිතය මතක ඇති. ඔහුගේ සුදු රැවුල, සුදු හිස කෙස්, ‘හූනා කියන්නා වාගේ’ යන වාග් ව්‍යවහාරය අපට හොඳට මතකයි. ඒ වගේම නවකතාකරුගේ සංකල්පය අනුව නන්ද රාලගේ චරිතය ඉතා හොඳින් නිරූපණය වී ඇති බවත් ඔබ පිළිගන්නවා ඇති. ඉතා පටු සීමාවක සිට නවකතාකරුගේ සංකල්ප අනුව, පමණක් සලකතොත් ඒ පොතේ අනෙක් චරිතත් හොඳින් නිරූපණය කර තිබෙනවා. එහෙත් ඒ නිසාම කැලෑහඳ උසස් නවකතාවක්ද?” එඩ්මන්ඩ් ජයසූරිය ප්‍රශ්න කරයි.

“පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොස්ලින්’ නම් නවකතාවේද ජයතිස්සගේ චරිතය මෙබඳු චරිතයක්යැයි ඔහු සිතයි. නිර්මල බෞද්ධ සංස්කෘතියයැයි හඳුන්වන කිසිවක් නිරූපණය කිරීමට සිරිසේන ජයතිස්ස චරිතය මවා ඇතැයිද ඔහු කියයි.

“කතුවරයාගේ ඒ සංකල්පය අනුව සලකන කල එය සාර්ථක චරිත නිරූපණයක් වෙයි. ඔහු සිතින් පවා පව් නොකරයි. මෙලොව මිනිසුන් අතින් සිදු වන වැරදි ජයතිස්ස අතින් සිදු වන්නේ නැත. ඔහු පස්පවින් මිදී ඇත. කතුවරයාට අවශ්‍ය වූයේ බෞද්ධ සංස්කෘතියැයි සිතන දෙය චරිතයක් මඟින් කීමටය. ඒ අනුව ජයතිස්ස ඒ අදහස ඉතා හොඳින් දෙන සාර්ථක චරිත නිර්මාණයක්. එහෙත් නවකතාව පරමාර්ථ වශයෙන් කලා කෘතියක් ලෙස සලකන විට සිරිසේනගේ නවකතාව හොඳ නවකතාවක් වශයෙන් සලකන අය දැන් ඉතා අඩුයැයි සිතීම හරි නොවේද?”

මැඩම් බෝවාරි

සාර්ථක චරිත නිර්මාණ කළ නවකතාකරුවන් ලෙස ඔහු එඩ්මන්ඩ් ජයසූරිය නම් කර ඇත්තේ ප්‍රංසයේ ෆ්ලෝබෙයා සහ බාල්සාක්ය. බාල්සාක්ගේ ‘මහලු ගෝරියෝ’ සහ ‍ෆ්ලෝබෙයාගේ ‘මැඩම් බෝවාරි’ නවකතා ඔහු නිදර්ශන කොට දක්වයි. මේ නවකතා බොහෝ කල් නවකතා ලෝකයේ චරිත අතර යහතින් වැජඹෙනවා ඇතැයි ඔහු පවසයි.

එක් කාලයක අපේ නවකතාකරුවන් සිය චරිතවලට දුන් නම්ද සැලකිල්ලට ගැනීම වැදගත් බව ඔහු පවසයි. ඔවුන් කතා නායකයන්ට ලස්සන, ගීතවත් නම් යොදා තිබුණු බවත් සුනිල්, ජගත්, වසන්ත, නිමල්, සරත්, සුගත් නිතර දේවේලේ අප කියවා පුරුදු නම් බවත් කියයි. එහෙත් මේ ලෝකයේ ඇත්තේ සුගත්, නිමල්ලා, වසන්තලා, ජගත්ලා, පමණක්දැයි ප්‍රශ්න කරන ඔහු පේදිරික් සිංඤෝඤෝලා, ජෝර්ජ්ලා, ගිරිගෝරිස්ලා, මැන්දිස්ලාද සිටින බව පවසයි. ඒවා නවකතාවලදී අපට හමු වන්නේ කලාතුරකින් බව කියන ඔහු ඉඳහිට පේදිරික් නම් වැඩකාර කොලුවකු නවකතාවක එන බවත්, තමාගේ ගෙදර වැඩකාර ළමයාගේ නම සරත් පවත්, තමා නවකතාවක් ලියන වි‍ට ඔහු හඳුවන්නේ ප්‍රේමසිරි කියා බවත් නැති නම් තමාට තාත්වික වන්ට බැරි බවත් කියා ඇත. ඔහු තවදුරටත් එය මෙසේ විග්‍රහ කරයි:

චරිත නිරූපණය

“ජීවිත ජීවිතය නිරූපණය කළ යුතුයි. ‘ජීවිත නිරූපණය’, ‘චරිත නිරූපණය’ වැනි ආකල්ප හා අදහස් දැන් කෙමෙන් මැරීගෙන යන බවට ලකුණු පහළ වී තිබෙනවා. මීට ප්‍රධානම හේතුව ලෝකයේ කිසිවක් එක් අයුරු එක් විදිහකට නොතිබීමයි. විද්‍යාත්මක දියුණුව නිසාත්, මනුෂ්‍ය ජීවිතයේ මෙතෙක් කල් වැසී තිබුණු දේ දැන් අනාවරණය වෙනවා. ඒ හේතුව නිසා මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණ තැන් අඩ අඳුරු තැන් එළියට එනවා.

“නන්ද සීයාගේ චරිතය අපට වටහාගන්න පුළුවන්. ජයතිස්සගේ චරිතයද අපට අවබෝධ කරගන්ට පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ ගේ ‘විරා‍ගයේ’ එන අරවින්දගේ චරිතය එතරම් පහසුවෙන් වටහාගන්න පුළුවන් ද? සරච්චන්ද්‍රගේ ‘වල්මත් වී හසරක් නුදුටිමි’ පොතේ එන වික්ටර්ගේ චරිතය එතරම් පහසුවෙන් වටහාගන්න පුළුවන්ද? ඒ වගේම අරවින්ද හා වික්ටර්, නන්ද සීයා, හා ජයතිස්ස වැනි ‘චරිත නිරූපණ’ නොවේ. මේ චරිත විකාශනයේ එක් අවස්ථාවක්.

“සාම්ප්‍රදායික චරිත නිරූපණයේ විස්තර චරිතයේ කෙස් ගස දක්වා වර්ණනා කරනවා. නිදර්ශනයක් වශයෙන්: කිසියම් චරිතයට උකුසු ඇස් ඇත, බෙල්ල දිගය, නැහැය පළල්ය, තොල් මහතය, වම් සුළැඟිල්ලේ නියපොතු දිගය, සිනාසෙන විට දත් දෙකක් නැති බව පෙනේ, කාල වර්ණය... යනාදි වශයෙන් කෙළවරක් නැති විස්තර ඇත.

චරිත නැති කතා

“අලුත් නවකත‍ාවට ඇත්ත වශයෙන්ම නමක් වත් නැත. ආන්ද්‍රෙ ජීද් නමැති නවකතාකරුවා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සුලබ නොවන නම්ය. කෆ්කාගේ ඇතැම් නවකතාවක චරිතයට ඇත්තේ මුලකුරු පමණය. ෆෝක්නර්ගේ ‘ද සවුන්ඩ් ඇන් ද ෆියුරි’ නම් නවකතාවේ මාමා සහ බෑනා යන දෙදෙනාම හඳුන්වන‍්නේ ‘ක්වෙන්ටි’ යන එකම නමිනි. මව හා දියණිය යන දෙදෙනාම හඳුන්වන්නේ ‘කැඩී’ යන එකම නමිනි. අලුත් නවකතාවේ චරිත අපට හුරු-පුරුදු ‘චරිත’ නොව; සිතුම්-පැතුම් මාලාවක් පමණි. ඒවා ජීවිතය මෙන්ම සංකීර්ණය; ප්‍රතිවිරෝධිය. පරණ කෝදුවලින් ඒවා මනින්න පුළුවන්කමක් නැත.”

එඩ්මන්ඩ් ජයසූරිය සිංහල-ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම විචාරයේ යෙදුණු උසස් විචාරකයෙකි. සැලලිහිණි සන්දේශය, හංස සන්දේශය ඉංග්‍රීසියට පරිවර්තනය කොට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ඔහු ගීත රචකයෙක්ද වෙයි. නාරද දිසාසේකර ගැයූ ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතය රචනා කළ ඔහු අනුරාධපුරයේ උපදිසාපති ලෙසත්, සංස්කෘතික ත්‍රිකෝණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේද සුනාමිය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේද ලේකම්වරයා ලෙසත් කටයුතු කොට ඇත. ඉංග්‍රීසි සාහිත්‍යයේද බොහෝ ඇසූ-පිරූ තැන් ඇති ඔහු ‘ඩේලි නිව්ස්’ හා ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍රවල සාහිත්‍ය විචාර ලියුවේ ‘ඊජේ’ යන කෙටි නමිනි.

ප්‍රවීණ විචාරකයකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුව සිටි අජිත් සමරනායක ‘ඩේලි නිව්ස්’ පත්‍රයේ ‘බුක්ස් ඇන්ඩ් ආට්’ පිටුවට ලියූ ලිපියක මෙරට බොහෝ ඇසූ-පිරූ තැන් ඇති විශිෂ්ට ඉංග්‍රීසි සාහිත්‍ය විචාරකයන් තිදෙනා ලෙස රෙජී සිරිවර්ධන, ගාමිණි හත්තොට්ටුවේගම හා එඩ්මන්ඩ් ජයසූරිය හඳුන්වා තිබිණි.

Comments