සොබාදහම, තාගෝර් චින්තනය හා කුඩලිගම කාව්‍ය නිර්මාණ | සිළුමිණ

සොබාදහම, තාගෝර් චින්තනය හා කුඩලිගම කාව්‍ය නිර්මාණ

කුඩලිගම කවියා (1918-1973) රොමැන්තිකවාදි බටහිර කවියකු වශයෙන් හංවඩු ගැසුණද ඔහුගේ නිර්මාණාවලිය දෙස විමසිලිමත්ව බලද්දී ඒ පුරා විහිද පැතිර ඇත්තේ බෞද්ධ දර්ශනය හා තාගෝර් චින්තනය බව මම අදහස් කරමි. ඔහුගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය ‘ඈ’ බව විචාරකයන් පිළිගත්තද ‘ඈ’ එළිදුටුවේ 1948දීය. ඊට ප්‍රථම 1934දී ඔහු ‘ජිනේන්ද්‍ර ප්‍රශංසා’ නමින් පොත්පිංචක් එළිදැක්වීය. ඒ වන විට කුඩලිගම පසු වූයේ සොළොසැවිරිදි වියේය. ග්‍රන්ථ නාමයෙන්ම අපට හැඟී යන කරුණක් වන්නේ ඔහු ග්‍රන්ථකරණයට අත්පොත් තබා ඇත්තේ බෞද්ධ දාර්ශනික පසුබිමක සිට බවයි.

ඉමහත් විචාරක අවධානයට පාත්‍ර වූ කුඩලිගමගේ ‘ඈ’ 1948දී මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එම ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයේ 73 වැනි පිටුවේ මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් (1861-1941) චින්තාවලිය ආශ්‍රයෙන් ලියවුණු කවියක් වෙයි.

1936දී මැක්මිලන් ඉන්දීය මුද්‍රණ සමාගමෙන් එළිදුටු තාගෝර් තුමාගේ ‘Stray Birds – collected Poems’ (මංමුළා වූ කුරුල්ලෝ) නම් ප්‍රකට පද්‍ය ග්‍රන්ථයේ කවියකට බෙහෙවින් සමපාත වන පද්‍යයක් කුඩලිගමගේ ‘ඈ’ කෘතියේ දක්නට ලැබෙයි. අදාළ ඉංග්‍රීසි පද්‍යය මෙසේය:

“How May I sing to thee and worship, O Sun?”

asked the little flower

“By the simple silence of the purity”

answered the sun

(Stray Birds, 247 poem)

කුඩලිගම තාගෝර් පද්‍යය සිය අනන්‍යතාවෙන් දක්වන්නේ මෙසේය:

“දෙවියනි ඔබට මම බැති ගී ගයමි කෙසේ”

හිරුගෙන් අසයි වන මල ගිරි දුදුළු හිසේ

“ඔබගේ හේළි බව පිළිබඳ නිසල වෙසේ

ඇති රසයෙනැ” හිරු පිළිතුරු කියනු ඇසේ

හිරු උදාවෙහි සහ පුෂ්ප විකසිත වීමෙහි උද්භිද-ජීව විද්‍යාත්මක සම්බන්ධයක් ඇත. හිරු උදාවත්, ඒ සමඟ පුෂ්ප විකසිත වීමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි. මල තමාගේ උදාව ගෙන එන හිරුට කතා කරයි. හිරුගේ අපරිමිත බවත්, තමාගේ පරිමිත බවත් මල හොඳින් දනියි. එසේම හිරු සිටින්නේ තමාගෙන් කොතරම් දුර ඈතකද යන හැඟීම මල තුළ වෙයි.

සිය ස්වාමිත්වය දරන හිරු පිළිබඳ මල තුළ ඇත්තේ අසීමිත භක්තියකි; ගෞරවයකි. ඒ නිසාම මේ ගෞරවනීය හිරුට තම ප්‍රණාමය පුද කළ යුත්තේ කෙසේද යන්න මලට ගැටලුවකි. මල සිය ගැටලුවට විසඳුම යදින්නේත් හිරු වෙතින්මය. තමා කොතරම් දුර ඈතක සිටියත් සිය භක්තිමත් මල හා තමා අතර ඇති සමීප සම්බන්ධය හිරු මැනැවින් දනියි. මල සතු විය යුතු විසල් ගුණය ‘පිවිතුරු බව’ මිස අන් කිසිවක් නොවන බව හිරු දනියි. ‘ඔබගේ පවිත්‍රත්වයේ සරල නිහඬතාවෙන් මට පුද දෙන්නැ’ යි හිරු පවසන්නේ එහෙයිනි.

 

කුසලතාපූර්ණ බුහුටි බස

 

මේ හැරුණු විට තවත් බොහෝ අනුභූති තාගෝර් කවියාගෙන් කුඩලිගමගේ නිර්මාණ ජීවිතයට ලැබී තිබේ. කෙසේ නමුත් යථෝක්ත පද්‍යයෙන් විශද වන සත්‍යයක් තිබේ. ඒ කුඩලිගමගේ භාෂා භාවිතයේ කුසලතාපූර්ණ බුහුටි ස්වරූපයයි; එමෙන්ම ඒවා පරිසරය හා බැඳී පවත්නා රමණීය ආකාරයයි.

ඉන්දීය ලේඛකයන් අතර රබීන්ද්‍රනාත් තාගෝරයන් බස හැසිරවූයේ කෙසේ ද, සිව්පද ආකෘතිය තුළ කුඩලිගම කවියාද බස් පෙළහර පෑවේ ය. කොළඹ යුගයේ කවීන් බොහෝ දෙනකුගේ නිර්මාණවල තාගෝර් නිර්මාණවල ආභාසය තිබුණද ඒ අනුභූතීන් වඩාත් සාර්ථක ලෙස ග්‍රහණය කරගත්තේ කුඩලිගම කවියාය.

කුඩලිගම කවියාට සංවාදාත්මක කවි පබැඳීමේ අපූරු හැකියාවක් විය. 1954 ඔක්තෝබර් 15 වැනි දා කුරුණෑගල මලියදේව මුද්‍රණාලයයෙන් එළිදුටු ‘කුණාටුව’ පද්‍ය සංග්‍රහයේ එන ‘කැලල මැකීම’ නම් පැදි පෙළ ඉහත කාරණයට සාක්ෂි දරයි. “මට සැක නැතත් තී ගැන හැම තැන ම රටේ

“Woman thou hast encircled the world's heart with the depth of my tears as the sea has the earth.”

“කරදිය වළලු විහිදුවමින් නටන සුලු

සමුදුර වට කළා මෙන් මහ පොළොව මුළු

ගැඹුරු ම බලය කොට ඇයගේ කඳුළු දලු

යුවතිය ලොවේ හදවත වට කරනවලු”

(ඈ, 1948, 77 පිටුව)

කුඩලිගමගේ සමහර පැදි සොබාදහමත්, තාගෝර් චින්තාවත්, බෞද්ධ දර්ශනයේ පවත්නා අනිත්‍යතාවත් අතර කදිම සම්පාත බවක් පෙන්වයි.

රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතය, අධ්‍යාත්මය, නිර්මාණ ජීවිතය තුන් කල්හිම පරිසරය හා අත්‍යන්තයෙන්ම බැඳී පැවතිණි. ඔහුගේ බොහෝ නිර්මාණ විශ්වයේ රහස් සොයන්නා සේ ඉසියුම් තැන් සොයා පියාසර කළ බව පෙනේ.

කුඩලිගමගේ ඇතැම් නිර්මාණවල ජනකවි ලක්ෂණද ගැබ්ව පවතී.

“උදයේ වැටුණු සැඬ හිරු රැස් පොකුරු දැක

දහවල අඳුරු වැහි සලකුණු බැලිය හැක

සිහිලැල් සුළං වැල්වල පෙරනිමිති දැක

පැහැදිලි කරනු ඇත ළඟ එන නියඟ දුක”

(මන්බැඳි පන්හිඳ, 774 පිටුව)

 

ජීවන අවබෝධය

ගැමියකුගේ මුවට නැංවෙන භාෂාවත් පරිසරය පිළිබඳ ගැමියාගේ අවබෝධයත් ඉහත පද්‍යයේ එන අදහස්වලින් හෙළි වෙයි.

පහත සඳහන් පද්‍යයේ මුල් පාද දෙකෙන් අනිත්‍යය පිළිබඳ ප්‍රබල ඉඟියක් කවියා රසිකයා තුළ දනවයි. අවසන් දෙපදයෙන් එහි කූටප්‍රාප්තිය වූ මරණය පිළිබඳ හැඟීම තීව්‍රව ගම්‍යමාන කරවයි. මෙය බෞද්ධාගමික දර්ශනයේ පරම සත්‍යය නොවේද?

“ඉර සැඟැවෙත්ම නටුවෙන් ඇදවැටෙන බිම

පර මල් පොකුරුවල සැඟවුණු රහස කිම

පෙරළෙන සියුම් දහමක් දැක ගැඹුරුතම

මරණය නමැති පාඩම සිහි කෙළෙමි මම”

(ඈ, 1948, 19 පිටුව)

රොමෑන්තික ආරේ බටහිර කවියකු වැනියැයි ඊනියා විචාරකයන් විසින් නිර්දය විචාරයට බඳුන් කෙරුණද එච්ඇම් කුඩලිගම කවියා සිය කවිත්වය මඟින් නිරතුරු මතු කළේ රබීන්ද්‍රනාත් තාගෝර් චින්තාව හා බෞද්ධ දර්ශනයයි. ඔහු ඒ මඟින් නිරතුරු ‘අත් හැර යෑම’ හා ‘මරණය’ පිළිබඳ සිහිපත් කළේය. ඒ සැම සිහිපත් කිරීමක්ම යම් කිසි දාර්ශනික මුහුණුවරක් ගත්තේය. කුඩලිගමගේ කවි ජීවිත විවරණයක් ඉදිරිපත් කළේය; සංසාරයේ ස්වභාවය පිළිබඳ කිසියම් මතක් කිරීමක් කළේය.

අද මිනිසුන් නොසිතන්නේ ‘තමන් මෙලොව බිහිව ඇත්තේ මිය යෑමටය’ යන පරම සත්‍යය පමණකි. එහෙත් කුඩලිගම කවියා ‘ගංගාවේ සංගීතය’ පද්‍ය පන්තියේදී ඒ ගැන සිහිපත් කරයි:

“එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ

ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ

මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ

කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ”

(ඈ, 1948, 19 පිටුව)

ඉහත පද්‍යය මඟින් ගඟක ගමන සංසාර චක්‍රයට උපමා කරමින් කවියා බෞද්ධ දර්ශනයේ විශිෂ්ටතම හරයට සමීප වෙයි. එය විමසා බැලිය යුතු සංකීර්ණ අදහසකි.

බටහිර කවියකු වූ ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892) විසින් විරචිත ‘The Brook’ (දොළ පාර) නම් වූ සුප්‍රසිද්ධ පැදි පෙළෙහි අවසන් පද්‍යයේ මෙවන් අදහසක් එයි.

“... For men may come and men may go. But I go on forever.”

බොහෝ විචාරකයෝ කුඩලිගමගේ ‘ගංගාවේ සංගීතයේ’ හා ටෙනිසන්ගේ ‘The Brook’ පද්‍ය පන්තියේ සමානතා විශ්ලේෂණය කරති. එහෙත් ‘මිනිසුන් ගිහින් නිතර ම ආපසු එන්නේ’ යන අදහස සමගින් කුඩලිගමගේ හැරවුම් ලක්ෂ්‍යය පෙනෙද්දී ඔවුහු ඒ ගැන නිහඬ ය.

යළි සංසාරයේ ඉපැදීම ගැන කියමින් ඊට පිළියම් නො සොයන්නේ ඇයි දැයි කුඩලිගම විමසද්දී ටෙනිසන් තමා අදහන කිතුනු දහමට අනුව පවසන්නේ මියගිය මිනිසුන් සදාතනික බවට යන බවයි. මරණින් මතු සදාතනික ජීවනයකට යන බව ක්‍රිස්තු ධර්මයේ නියාමයකි.

 

සංවාදාත්මක කවි

 

‘කැලල මැකීම’ නම් පද්‍ය පන්තිය කෝට්ටේ යුගයේදී වීදිය බණ්ඩාර විසින් සමුද්‍රා දේවිය ජීවිතක්ෂයට පත් කිරීම අලළා ලියැවුණු පද්‍ය 16 කින් යුක්ත ය. එය කුඩලිගම කවියා සිය කවිත්වය මඟින් අතිශය නාට්‍යානුරූපි පරිදි අවස්ථා ඉදිරිපත් කළ තැනකි.

ඒ වීදියබණ්ඩාර මායාදුන්නේ රජු සමඟ යුදවැද සිටි අවස්ථාවකි. නිතර පෘතුගීසි සොල්දාදුවන් කෝට්ටේ රජ මාලිගයේ සැරිසරද්දී පෘතුගීසි සෙන්පතියෙක් සමුද්‍රා දේවිය ඇස ගැටී ඈ පසුපස්සේ හඹන්නට විය. ඇය ඔහු පලවා හැරියද සිදු වුණු අපහාසයට පලි ගැනීමට සිතූ ඔහු තමාත් සමුද්‍රදේවියත් අතරේ අයුතු හාදකමක් ඇතැයි කඳවුර පුරා ප්‍රචලිත කරහැරියේය. යුද්ධය අවසාන වී පෙරළා මාලිගයට පැමිණි වීදියබණ්ඩාරගේ සවනත මේ ආරංචිය වැකුණු මොහොතේ සිට ඔහු අප්‍රමාණ කෝපයකින් සලිත විය.

දැඩි සිතක් ඇති වීදිය බණ්ඩාර සිය බිරිය වූ සමුද්‍රදේවිය මරාදැමීමට මොහොතකට පෙර දියවන්නා ඔය ඉවුරේ ඔවුන් අතර ඇති වූ සංවාදය සහ අවට පරිසරය දැඩි සිතක් ඇති සෙන්පතියකුගේ නිර්දය කතා විලාසයත් මරණ බියෙන් ඇලළී ගිය සිතැති බිරියකගේ ජීවිත යැදීමත් පිළිබඳ සංසිද්ධි මොනවට චිත්‍රණය කරයි.‍ මොහොතින් මොහොත එළඹෙනුයේ සිය බිරිය දියවන්නාවට තල්ලු කොට මරා දැමීමට තරම් දැඩි වූ වීදිය බණ්ඩාරගේ ක්‍රෝධ සහගත සිතිවිලි ය. හිරු අස්තංග වන මොහොත මේ පද්‍යයෙන් නිරූපණය වන ආකාරය බලන්න.

“දිය රැළි ඔවුන් රැඳි ඉවුරට පැමිණ ඔයේ

ආපසු හැරී යයි මොහොතින් මොහොත බියේ

ආයුව ගෙවී ගිය හිරු රැස් සම‍ඟ දියේ

සැඟවී ඔවුන්ගේ සේයා තවම තියේ”

මරණ බියෙන් මුසපත්ව සිටි සමුද්‍රදේවිය සිය සැමියා අමතා මෙසේ කීවාය:

“හිමියනි! හිරු ගිලී දෙපැයක් පමණ ගියා”

එවිටම වීදිය බණ්ඩාර “ඔව් දැන් අඳුර එනු ඇත තිට සරණ සොයා” යනුවෙන් පිළිතුරු දෙන්නේ ඊළඟට සිදු වන්නට යන අකරතැබ්බය පිළිබඳ ඇයට ව්‍යංග්‍යයෙන් ඉඟියක් සපයමිනි. ඉක්බිති ඇයගේ සහ ඔහුගේ දෙබස මෙසේ වෙයි:

“හිමියනි! කමනු මැන ඔබගේ දැසිය හට

උගහට සේය ඔබ වටහාගැනුම මට”

“තවමත් තිගේ අප්පාටත් නොහැකි කොට

බල! මා කෙසේ වටහාගත හැකිද තිට”

සමුද්‍රදේවියගේ පියා කෝට්ටේ රජකම් කළ බුවනෙකබාහු රජය. ඒ ගැනත් ඉඟියක් දෙමින් වීදිය බණ්ඩාර ඇය ඇමතූ ආකාරයයි, ඒ. මේ නාට්‍යමය ජවනිකාවේ කූටප්‍රාප්තියට යන ගමනේ සමුද්‍රා දේවිය නැවත ඔවුන් දෙදෙනාගේ ප්‍රේමණීය අතීතය සිහිපත් කළේ මෙසේ ය.

“වැලි කෙළියෙහි පටන් අතු මෙන් එකම ගසේ

ජීවත් වුණා අමතක කළ හැකිද කෙසේ

හිමි! ඔබ රුවන් කිරුළක් කොට රැඳුණු හිසේ

මම ගරු කළෙමි, තවමත් ගරු කරමි එසේ”

වීදිය බණ්ඩාර ඇයගේ ප්‍රකාශයට එකඟ වෙමින් මෙසේ පවසයි:

“ගැඹුරින් ඉතා ඉහළින් දිවි දෙවැනි කොට

තී දන්නෙහිය මා පෙම් කළ හැටිද තිට

කරුමය එහෙත් පුරවැසියන් ඉදිරිපිට

අද තී සමග ජීවත් විය නොහැක මට”

තුඩු දෙන සැකෙන් අප කුල ගෙට කැලල කෙටේ”

පරිසරයේ ඇති නිහඬතාව ඊළඟ මොහොතේ සිදු වන්නට යන ඛේදජනක සිද්ධිය පිළිබඳ පූර්ව දැනුම් දීමක් කළා වැනි ය.

මොහොතක් නිසල විය යළි ඒ පෙදෙස වටේ

ඉඳහිට ඉදුණු අඹ කොළයක් බිමට වැටේ

සමුද්‍රදේවියගේ අවසන් ඉල්ලීම වූයේ මෙයයි:

“හිමි! ඔබ දෙපා සිප සැනහෙනු පිණිස මට

අවසර! එසේ නම් තව එක මොහොතකට”

“එව! එව! වැඩි වෙලා ඉඩ දිය නොහැක තිට

දෙවියන්-බුදුන් සිහි කරගනු පළමු කොට”

තරු කැට කළු වලාකුළු අස්සට පැන්නා

පළඟැටි මැඬිති කඳවුරු මර හඬ දුන්නා

උහුලනු බැරි බරක් සිය ඇකයෙහි ගන්නා

ඇඬුවා මහ හඬින් ඒ ඔය දියවන්නා

 

‘ගැහැනිය’

 

කුඩලිගමගේ මේ අපූරු පද්‍ය පන්තිය කියවද්දී නිතැතින්ම සිහියට නැඟෙන්නේ හින්දු දේව කතාවක් ඇසුරෙන් 1946 තරම් ඈතක‍ ඔහු විසින් විරචිත ‘ගැහැනිය’ නම් පද්‍ය පන්තිය යි. එහි සඳහන් වනුයේ “ලෝකය මැවූ දෙවියා මිනිසා මවා, අනතුරුව ගැහැනියද මැවීය” යනුවෙනි. ලොව ඇති සියලු සුන්දර වස්තු සංකලනය කොට, අලංකාර කොට, ලොව ඇති පිළිකුල් සහගත විසකුරු සර්පයන්ගේ විෂද එක් කොට අනුපාන යොදා ගැහැනිය නිමැවූ බව කියැවේ.

“සුළඟින් චපලකම - මුහුදින් වලප ගොස

කපුටා කෙරෙන් දොඩමලු බව සහිත බස

මුව දෙනගෙන් බැල්ම නැත හොත් බොළඳ ඇස

පුළුනින් මෙළෙක - පොළඟාගෙන් දරුණු විස”

“ආඩම්බරය මොනරාගෙන් අඩුව නොදා

හුරතල පරෙවියාගෙන් ගෙන පදම යොදා

ගැහැනිය උසස් නිමැවීමක් පරිදි හදා

දෙවියා දුන්නේය මිනිහා අතට එදා”

එහෙත් දෙවියන් විසින් බාර කරන ලද ගැහැනිය එපා වුණු මිනිසා නොබෝ දිනකින් ම මෙසේ දෙවියන් යදියි:

“දෙවියනි! විඳින්නට බැහැ හිරිහැරය මැගේ

කාලය කාදමයි දොඩමලු ගතිය දිගේ

ගොරවයි හඬයි වැලපෙයි උමතුවට වගේ

විස වද්දවා වනසයි ජීවිතය මගේ”

මේ අඳෝනාවට සවන් දුන් දෙවියෝ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, ගැහැනිය ආපසු තමන් බාරයට ගත්හ. යළිත් ටික දිනක් ගත වෙද්දී මේ යාදින්නද දෙවියන්ට ඇසිණි:

“දෙවියනි! මගේ පණ ආපසු එවනු මැන

පාළුයි තනියි අඳුරුයි ඇය නුදුටු තැන

අමතක වෙයිද ඒ ජීවන රසය දෙන

ගී හඬ - නැටුම - හුරතල - තුනුසපුව ගැන”

“දෙවියන් විසින් ඒ දුක තව ඔහුට නොදී

ගැහැනිය සමඟ ඔහු ආපසු යවන ලදී”

ටික දිනකින් දෙවියන්ට මිනිසාගේ තවත් යාදින්නක් අසන්නට ලැබිණි:

“දුක්-වේදනා මට ගෙන දෙයි සැපට වඩා

උහුලාගත නොහැක ඇය දෙන දරුණු විඩා

දෙවියනි! මා නහන්නට පෙර බොටුව කඩා

ගලවාගත මැනැවි! මින් පසු නො එමි අඬා”

‘කිසි දා නැවත නො එමි’ කියා ගිය මිනිසා යළි ටික දිනකින් හඬාවැටෙනුද දෙවියන්ට ඇසිණි:

“දහදුක දෙතත් මිහිරියි දුක්වලද රසේ

දෙවියනි! ඇය නැතිව මම පසු වෙමිද කෙසේ’

මිනිහා බැගෑපත් හඬකින් කියනු ඇසේ

දෙවියා කියන්නට විය අන්තිමට මෙසේ”

“ඇය ඇතිවත් බැහැලු නැතිවත් බැහැලු තට

එහෙම යි කී ය මිනිහා අත් එකතු කොට

එහෙනම් ගෙන ගිහින් කරදර නොකර මට

යහතින් වෙසෙන්නට වෙහෙසෙව! මෙතැන සිට”

මිනිසා ගැහැනිය සමග වාසය පටන්ගත් ආකාරය අතිශය නාට්‍යානුකාරයෙන් ඉදිරිපත් කොට ඇත්තේ ඒ ආකාරයෙනි.

ලංකාවේ නූතන සංවාද කවියේ ආරම්භය පටන් ගත්තේද හේමපාල මුනිදාසයන්ගේ ‘සිංහල බලය’ පුවත්පතිනි. කුඩලිගම විසින් ‘යුද්ධයට ගිය අයියාට’ යන මැයෙන් ‘නලිනි සෙනෙවිරත්න’ නම් ආරූඪ නාමයකින්ද යුතුව සිංහල බලයට ලියන ලද කවි පෙළකට පිළිතුරු කවි පෙළ එවූයේ පීබී අල්විස් පෙරේරා කවියාය.

‘යුද්ධ සංවාදය’ මැයෙන් සිංහල බලය පුවත්පතේ පළ වූ ‘සංවාදය’ එකල අතිශය ජනප්‍රිය සාහිත්‍යාංගයක් වූ බවද සිහිපත් කළ යුතුය.

Comments