ඔහු දුටු පළමු මෙන්ම අවසන් දවස... | සිළුමිණ

ඔහු දුටු පළමු මෙන්ම අවසන් දවස...

මගේ තාත්තා (කිවිපති විමල් අභයසුන්දර) මා කැටුව එ-ගමන ගියේය. ඔහුට වාහනයක් තිබුණේ නැත. එහෙත් තමන්ටම අයත් මෝටර් රථ තිබුණු කවීහු කිහිප දෙනෙක් අපේ ගෙදරට පැමිණියහ. ඒ, සිරි අයියා (යූඒඑස් පෙ

රේරා), කරු අයියා (කරුණාරත්න අබේසේකර), උපනන්ද බටුගෙදර, ඇම්ඇස් සිල්වා වැනි කවීහුය. පී මලල්ගොඩ කවියා අපේ නිවෙසට පැමිණියේ මොරිස් මයිනර් ටැක්සි රියකිනි. මා දන්නා තරමට වෙන කිසිවකු හෝ සිටියේ නැත. එදා ම-පියා මට පැවසුවේ ඔහු සමඟ පැමිණෙන ලෙසය. අප ගමන් කළේ මෘතදේහයක් රැගත් වාහනයක් පසුපසිනි. ඒ පරිසරය මට හුරුපුරුදුය. අපේ අම්මාගේ දෙමවුපියන් ජීවත්ව සිටි ගොතටුවේ එක්තරා නිවෙසක් ළඟ අපි නතර වීමු. කිහිප දෙනෙක් එහි රැස්ව සිටියහ. එච්ඇම් කුඩලිගම කවියා පණ පිටින් දැක නොසිටි මා එදින දුටුවේ ඒ මහා කවියාගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. අපේ තාත්තා ඇතුළු පිරිස ඒ දේහය කරින් ඔසොවා නිවෙසේ තැන්පත් කළහ. අවසන් කටයුතු කළ දිනයේද අපි මෘතදේහය රැගත් පෙරහරේ පසුපසින් ගමන් කළෙමු. මට මතක එපමණය.

එහෙත් එච්ඇම් කුඩලිගම කවියා ඇතුළු කවීන්ගේ කවි කියවන්නටත්, රස විඳින්නටත්, අපේ තාත්තා ඇතුළු කවීන් ඒවා රසවත් ලෙස ගයන විට අසා සිටින්නටත් පුරුදු වූයෙමි. පසු කලක දැන-හඳුනාගත් ගීතනාත් කුඩලිගම වැඩිහිටි මිතුරාගෙන් ඔහුගේ පියා ගැන වැඩිමනත් තොරතුරු දැනගතිමි. ඔහු සිය පියා ලියූ කවි එකතු කොට ‘මන්බැඳි පන්හිඳ: එච්ඇම් කුඩලිගම කවි එකතුව’ නමින් සුවිශාල සංග්‍රහයක් පළ කළේය.

සුළවතුන්ට රස උල්පත්

මා කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ ආනන්ද විද්‍යාලයේ අපට සිංහල ඉගැන්වූ ගුරු භවතුන් කුඩලිගමගේ කවි ගැන අපට කියාදී තිබේ. විශේෂයෙන් පීඑච්ඊ සමරවික්‍රම ගුරුතුමා සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන විට මිහිරි හඬින් කවි ගයයි; ගද්‍ය පාඨ වර්ණනා මධුර ස්වරයෙන් පවසයි. දෙගුරුන්ට හා ගුරුවරුන්ට දරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ රස මනස අවදි කොට සෞන්දර්ය කලා, සාහිත්‍ය කලා ගැන පුබුදු කිරීමක් කළ හැකි ය. ඒවා ඇසුරු කරන, පොත-පත කියවන මිනිස්සු සංවේදි හදවත් ඇත්තෝ වෙති; ධාර්මික වෙති; සත්‍යවාදි වෙති; නීතිගරුක වෙති; හොඳ පුරවැසියෝ වෙති; යහපත් මනුෂ්‍යයෝ වෙති. මෛත්‍රී කරුණාවෙන් යුක්ත නැණවතුන්, රසවතුන්, සුළවතුන් බිහි කරලීමට අවශ්‍ය රස උල්පත් සාදා දුන් ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අතර එච්ඇම් කුඩලිගම නාමය අමරණීයය.

අපේ තාත්තාගේ කවි පරපුර හැඳින්වීමට ‘කොළඹ කවියෝ’ යැයි අන්වර්ථ නාමයක් විය. කොළඹ කවි යුගය, කොළඹ යුගයේ කවිය, සඳස් කවිය, හතරපද කවිය වැනි ව්‍යවහාර ඒ කවිය අරබයා අදත් කියවෙයි. ඇතැම් යෙදුම් ගරු-ගම්භීරය. සමහර නම් කොළඹ කවියට නිගරු කරයි. කෙසේ වුව ශ්‍රී ලංකාවේ කාව්‍යක්කාරයන්ගේ නිර්මාණ සංස්කෘතිය පිරික්සන විට එච්ඇම්ගේ කවි ‘කුඩලිගම’ නම් මුද්‍රාවක් තබා තිබේ.

කොළඹ කවි යුගය’ නමින් පී මලල්ගොඩ කවියා කළ සංස්කරණය කෘතියක් 1981දී පළ විය. එහි කවි ඉංග්‍රීසියටද පරිවර්තනය කර තිබිණි. එච්ඇම් කුඩලිගම කවියා ගැන කෙටි හැඳින්වීම ඇතුළු පෙරවදන ලියා තිබුණේමගේ පියාණෝය. ඔහු මෙසේ ලියයි:

“ගම්භීර චින්තනයක ආස්වාදනීය චිත්‍රය ඉතා සිලිටි ඉතා සියුම් පදවලියකින් ඉදිරිපත් කිරීමේ සාමර්ථ්‍යය ස්වකීය නිබන්ධ තුළින් සනිදර්ශිත කළ එච්ඇම් කුඩලිගම කොළඹ යුගයේ මධ්‍යතන යුගය ජෝතිමත් කළ දීපශිඛාවෙකි. නිදොස්, නිවැරැදි, නිහතමාන බසෙකින් සැපැයුණු ඔහුගේ පබැඳුම් ජන වින්දනයට වහා සමීප කරවනසුලුය.”

කොළඹ කවිසමයේ ලකුණු

රූබර රබර් කිරි කපන්නියක ගැන වූ ‘ලුසී’ නම්

කවි පෙළ එම සංග්‍රහයේ පළ වී ඇත.

කොළඹ කවි සමය ගැන කියවෙන කරුණු අනුව පහත පරිදි කෙටියෙන් හැඳින්වීමක් කළ හැකිය:

ආකෘතිය, රටාව, ඡන්දස, ලය, තාලය, රිද්මය සහ

රීතිය පුළුල් කෙතකට පිවිසීම.

පුද්ගලානුභූතීන් කාව්‍යකරණයට පදනම් කරගැනීම

වදන් වැළ සරල සුගම වීම

එළිය ඇති වත් නැති වත් පැදි පබැඳුම් කරන අතර,

මුල මැද එළිවැට අත් හැරදමා අග එළිසමය පමණක්

ප්‍රමාණවත් කොට සැලකීම

පද හා පාද රචනයේදී වාග්සංවරතාව සහ පද

සාම්‍යය ඇගයීම

පද්‍ය හතකින් අටකින් පමණ අවසන් වන කේවල

රචනා නිර්මාණය කිරීම

ක්ෂණික රචනාවලට නව ජීවනයක් ලබාදීම

එක ම පැදියකින් කාව්‍යොක්තියක් ප්‍රකාශ කිරීම

උපමා රූපක දීපක භාවිතයේදී නව මං සෙවීම

සාම්ප්‍රදායික කාව්‍යාධිකරණය යුගයට

උචිත සේ නවීකරණය කරගැනීම

විසිවන සියවසේ දෙවැනි දශකය ඇරැඹෙන විට නව කවියේ හැඩගැස්මටත් ඉදිරි ගමනටත් පාදක වන පරිදි පුවත්පත් සඟරාවලින් ලැබුණු සහයෝගය විශේෂයෙන් අගය කැරෙයි. ශ්‍රී ධර්ම ශ්‍රී, කවීන්ද්‍රයා, සිංහල කව් කිරුළ වැනි සඟරා මෙන් ම ස්වදේශ මිත්‍රයා, සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, සිංහල බලය වැනි පුවත්පත්ද මේ ක්‍රියාවලියට එක් විය. යුගයේ ආදිම කවීන්ගේ රචනා පළ වූයේ ඔවුන්ගේ පුද්ගල ශක්‍යතා පළට කරවමිනි. තත් යුගයෙහි පියදාස පලන්සූරිය වැනි ස්වෛරී රචකයන්ගේ ප්‍රබන්ධ, පොත්-පත්, සඟරා හේතු කොටගෙන යුගයේ කවි පැතුම් වෙනත් අතකින් ද නිර්මාණ කුසලතා පුෂ්ටිමත් කළේ කොළඹ කවි යුගය දීප්තිමත් කරවමිනි. ඩබ්ලිව්ඒ සිල්වාගේ සංස්කාරකත්වයෙන් පැවැත්වුණු ‘ලංකාසමය’ වැනි පුවත්පත්ද කවියේ සැකැස්මට මනා සේවයක් සැලසුවේය.

‘සලසිකසය’ හා ‘අතකසය’

මහනුවර ධම්මරතන, මීදෙණියේ විමලානන්ද, හොරණ වජිරඤාණ, අතුරුගිරියේ ඤාණවිමල, වරකාගොඩ සීලරතන යන හිමිවරුද කලල්ඇල්ලේ සාගර පලන්සූරිය, විමලේන්ද්‍ර වතුරේගම, සුගුණපාල සමරසේකර, මහානාම දිසානායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පීකේඩී සෙනෙවිරත්න, කොල්ලුපිටියේ පීබී අල්විස් පෙරේරා, මීතොටමුල්ලේ යූඒඇස් පෙරේරා, විමලරත්න කුමාරගම, නාඹුලුවේ ඊඇල්ඩී දිසානායක, ආර් විල්සන් හෑගොඩ, උපනන්ද බටුගෙදර, එච්ඇම් කුඩලිගම, පී මලල්ගොඩ, ඩීඑෆ් කාරියකරවන, හොරණ ඩීඒ කුමාරසිංහ, කෑගල්ලේ ඩීටී මල්ලව, බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්න, ගුන්නෑපානේ කපිල ඊ සෙනෙවිරත්න, උඳුගොඩ නවරත්න, මලලගම ඩීජීනන්දාවතී ගුණවර්ධන යනාදි කවි-කිවිඳියෝ ඊළඟ කවි පරපුර පොබයවමින් නන් අතේ පැතිර නන් වැදෑරුම් අත්හදාබැලීම්වලින් නව කවියේ ප්‍රවණතා තව-තවත් විචිත්‍රවත් කරන්නට වූහ.

1931 දී සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය බිහි විය. බ්‍රිතාන්‍යයන්ගෙන් සිරිලක නිදහස් කැරගැනීමේ හා ජන සමාජය ප්‍රගතිය කරාගෙන යෑමේ අවශ්‍යතාව දැඩිව දැනුණු යුගයෙහි සාහිත්‍ය කලා ප්‍රබෝධයක වැදගත්කම පෙන්නුම් කර තිබිණි.

අගනුවර තරුණ කවි සමාජය (අතකසය) බිහි වන්නේ කවීන් කිහිප දෙනකු විහාරමහාදේවී උයනේ එකතු වී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි. එකල අද දවසේ මෙන් පුළුල් භෞතික සංවර්ධනයක් නොතිබිණි; රැස් වන්නට ශාලා පහසුකම් නොවීය; දුරකතන, පරිගණක, විදුලිය නැත.

එච්ඇම් කුඩලිගම කවියා අගනුවර තරුණ කවි සමාජයේ ප්‍රධාන සභාපතිවරයා වශයෙන් දෙවරක්ම මුලසුන හෙබවූ බව ගීතනාත් ලියූ පොතේ සඳහන්ය. අතකස වාර්තාවලද ඒ බැව් කියවී ලියවී තිබේ.

පළමුවරට 1954දී අතකසයේ සභාපතිත්වය ඉසිලූ ඔහු 1967දී දෙවැනි වතාවටත් මුල් පුටුව බාරගත්තේය. අතකස කවි සාමාජිකයන් අමතා ඔහු කියූ අදහසක් මෙසේ දැක්විය හැකිය:

“අපේ කවි සමාජය නිඳා සිටිද්දී සිදු වූ සිද්ධිවලින් සදානුස්මරණීයම සිද්ධිය තමයි, සිංහල භාෂාව දිවයිනේ රාජ්‍ය භාෂාව වීම. සිංහල භාෂාව සිංහාසනයට පත් කළ යුතුයැයි අපේ කවි සමාජය උද්ඝෝෂණය කළේ තිඹිරිගෙයින් එළියටත් එන්න කලින් සිටයි.

ලෝකයේ ප්‍රථමයෙන්ම පහළ වූ සාහිත්‍ය සංග්‍රහය තමයි පද්‍යය. පද්‍යයටත් කලින් පහළ වූයේ ඡන්දසයි. පද්‍යයේ ප්‍රභවය සිදු වූයේ මිනිසා තුළ ඡන්දස කෙරෙහි පවත්නා අසීමිත ආශාව තුළින්ම බවත් සිතිය හැකියි.

කිසිද තේරුමක් - අදහසත් පේන තෙක් මානයක නැතත් හුදෙක් ඡන්දසක් පමණක් ඇතිව පදවලට නඟාගත් නිකම් හිස් වචන වැළකින් - අජීව ශබ්ද මාලාවකින් පවා ආස්වාදයක් ලබන්නට මිනිසා පුරුදුව සිටියේ ඈත අතීතයේ සිටමයි. ඡන්දසින් කැටි වුණු ඒ අජීව ශබ්දයනට ජීවය කවන්නට ඔහු කලෙකදී අනුක්‍රමයෙන් හුරු පුරුදු වුණා.

ලෝකයේ විවිධ කලාශිල්ප ශාස්ත්‍රාදිය පිළිබඳ තොරතුරු ග්‍රන්ථාරූඪ වන්න කලින් ඒ හැම එකක් ම රැඳී තිබුණේ මතකයේමයි.

මතකයේ දැනුම රඳවාතබාගන්නට ඉතා ලෙහෙසිම මාර්ගය වුණේ ඒ ඒ විෂයයන් පිළිබඳ තොරතුරු ඡන්දස් සහිත පද්‍යයට නඟා කටපාඩම් කරගැනීමයි.

ඡන්දසින් තොර ගද්‍යයට පුරාණයේ සෑම ග්‍රන්ථයක්ම පද්‍යයට සීමා වී තිබීම, යම් අදහසක් සිතට කාවැද්දීමේදී ඡන්දසින් යුක්ත පද්‍යයම වඩා සුදුසු බව අතීතයේ ජීවත් වූ මහා වියතුන්ගේ විශ්වාසය වී තිබුණු බවට සාක්ෂියකි. එදා වෛද්‍ය ශාස්ත්‍රය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය, ධර්ම ශාස්ත්‍රය වැනි සෑම ශාස්ත්‍රයක්ම ග්‍රන්ථාරූඪ වුණේ, පොත්වල ලියවුණේ ඡන්දස් සහිත පද්‍යයෙනුයි.

ජනකවි ආරේත්, වියත් කවි ආරේත් සම්මිශ්‍රණයෙන් සිංහල කවියට අලුත් මුහුණුවරක් දෙන්නට අගනුවර තරුණ කවි සමාජය පටන් ගත්තේ මෙයින් අවුරුදු තිහකටත් කලින්...” මේ ප්‍රකාශය කුඩලිගම කවියා විසින් කරන ලද්දේ 1967දීය.

යුගාන්තර සැසඳීමෙන් අපට සමාජ වෙනස, සංස්කෘතික විපරිණාමය වටහාගත හැකිය.

කුඩලිගම: ගීත ප්‍රබන්ධකයා

කටපාඩම, වනපොත් කිරීම පැත්තකට විසි කළ අධ්‍යාපන ක්‍රමය වියැකී ගොස් නූතනයේ නැවතත් බටහිර දිගුවක් ස්මෘතිය ගැන සිතමින් කියමින් කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.

සිංහලය රාජ්‍ය භාෂාව වීම රටේ අප මුහුණ දෙන වාර්ගිකත්ව ගැටලුවට ප්‍රධාන හේතුවයැයි මුරගා පවසමින් සිංහල භාෂාව අවමානයට ලක් කිරීම තවත් පැත්තකි. නූතනයේ අප විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම ප්‍රගුණ කළ යුතුය.

කුඩලිගම කවියා නූතනයේ මෙන් ගීත ප්‍රබන්ධකයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ නැත. එ-ද ඔහු විසින් ලියනු ලැබ ගී පද මාලා බවට පත් පද්‍ය පන්ති දෙකක් දැකගත හැකිය:

“හඳත් ගිලී ගිහින් මිණේ! අපේ පමාවකින්

වලාකුළුත් කැඩී-බිඳී එහා-මෙහා ඇදෙයි

හඳේ කැඩුම්-බිඳුම් වගෙයි අනන්ත තාරකා

ගොඩත් දියත් මැදුම් රැයත් බොහෝ නිසන්සලයි”

සුනිල් සාන්ත සංගීතවේදියා මේ කාව්‍ය රචනාව මනහර සොඳුරු මිහිරියාවකට, නාද සිත්තමක් බවට පත් කළේය.

අයිවෝ ඩෙනිස් ගායකයාණන් ගැයූ පහත සඳහන් ගීතයට තනු නිමැවුම් කරන ලද්දේද සුනිල් සාන්තයන් විසිනි.

“කේතකි පාටලි ගස් නටවා පිපි මල් පර වී පැවතී

එම රේණු පෙරා මල් පෙති හා කඳු හෙල් අතරේ නැවතී

සේද පලස් මැද සීත රිදී දිය වැල් ලෙළවා සිඟිතී

රස ගීත ගයා ජය බූමි කරා දිව යාම මගේ සිරිතී”

තුරු ලිය ගොමු, අහස, පොළොව අතරින් ඉර-හඳ මල් රටාවේ විවිධ ඡන්දස් අනුව යමින් ජීවිතය, සෞන්දර්යය, චමත්කාරය, ප්‍රේමයේ රස කලතා පෙරා දුන් අමා සුවයක් ඔහුගේ ගීයෙන් කවියෙන් සුළවත් හදවතට දැනෙයි.

වසර පණහකට පෙර ගීතනාත්ගේ ඉල්ලීමෙන් කුඩලිගම කවියා වික්ටර් රත්නායකයන් වෙත ගීයක් රචනා කරදුන්නේය.

1967 ජූලි මස රචනා කළ එය ගීයක් ලෙස හදිසියේ පටිගත කරනු ලැබුවේ මෑතකදීය. එනම්: වර්ෂ 2007දී ‘මන්බැඳි පන්හිඳ: එච්ඇම් කුඩලිගම කවි එකතුව’ ජනගත වූ අවස්ථාව වෙනුවෙනි.

කාව්‍ය ආකෘතිය සංගීත සන්දර්භයකට සරිලන ලෙස ලිවීමේ හැකියාව කවියා සතුව පැවතිණි. එමෙන්ම ලාංකේය සංස්කෘතික උරුමය ගැන කුඩලිගම කවියා සතුව පැවති හැඟීම, දැනීම ඉන් වියත් වෙයි:

“සුන්දර කඳුකර මංගල සිරිබර

සෙංකඩගල පුර දළදා පෙරහර

සුන්දර කඳුකර මංගල සිරිබර

සෙංකඩගල පුර දළදා පෙරහර

එළිය වැටෙන කඳුකරේ - අසිරි සිරිය පෙරහරේ

කලා රසින් රස පෙරේ - දැයක උරුම මතු කෙරේ”

මිනිසා සත්ත්වයෙකි. මානව විද්‍යාව, ජීව විද්‍යාව ඒ ගැන උගන්වයි. බුදුන් වහන්සේද දෙපා සතාට සත්ත්ව යන වචනයෙන් ආමන්ත්‍රණය කළහ.

ජාතක පොත, පංචතන්ත්‍රය, හිතෝපදේශය වැනි කෘති දෙස බැලුව හොත් මිනිසාට සත්ත්ව ගතිත්, සතුන්ට මිනිස් ගතිත් ආරෝපණය කළ සාහිත්‍යයක් ලෝකයේ බිහිව ඇතැයි පෙනෙයි. කුමාරතුංග මුනිදාසයන් ‘හීන්සැරය’, ‘මඟුල් කෑම’ ලියුවේ එබඳු කරුණු දන්නා බැවිනි.

‘ගොවිපොළේ පෙරැළිය’ (ජෝර්ජ් ඔවල්/ පරි. දයාරත්න ගුණසිංහ), ‘වෘකයන් අතර නග්නව’ (බ්රූනෝ ආපිට්ස්/ පරි. සිරිල් සී. පෙරේරා), ‘බල්ලකුගේ හදවත’ (මිහායිල් බුල්ගනොව්) අපට සිහිපත් කරවන ක්ෂේත්‍රය බරපතළය. එච්ඇම් කුඩලිගම කවියා ‘බකමූණකු වන්න එපා’, ‘සමනලයෝ’, ‘බකතපස්’, ‘වැලිගොව්වෝ’, ‘අලියාගේ අපේ වැඩ’, ‘බලු වලිගය’, ‘ගොනා වණ ගින්නේ - කපුටා මස් ගින්නේ’, ‘කපුටාගේ කවිය’ ආදියෙන් පිළිබිඹු කරන සමාජ සංස්කෘතික යථාර්ථය අප විසින් තේරුම්-බේරුම් කැරගත යුතුය.

පොදු මිනිසාගේ සමාජයේ ප්‍රජාවේ යහපත, සමඟිය, සාමූහිකත්වය, සහජීවනය සුරකිමින් සිය කවිය සමාජ අරගලයේ අවියක් කළ සෞන්දර්යවාදි කාව්‍ය මාර්ගයක් අනුදත් එච්ඇම් කුඩලිගම ඇතුළු එවක වූ කවීහු කාව්‍ය ගායනයේ ඕජෝ ගුණය, ඡන්දස් වෘත්ත අලංකාර පසක් කළහ; ධ්වනි ගුණය රසය මඟින් ශ්‍රාවක-පාඨක සුළවතුන් රසවත් කළහ; ඔවුන්ගේ දිවි මඟ ආලෝකවත් කළහ. සොබාදහමට සිදු වන විපත දැක කුඩලිගම ලියූ ‘අපරාධය’ මැයින් යුත් කවි පෙළේ කවියකි, මේ:

“පොළොවේ සාරවත් බව තෙතමනය රැකී

ගස්-වැල් වන ළැහැබ් හා මිල නොකළ හැකී

ලස්සන දැකුම්කලු තැන් යන අතර මැකී

මිනිහා අලුත් යුගයේ කල-එළිය දකී”

Comments