ජනපති පොලිසියට කළ සොඳුරු තරවටුව! | සිළුමිණ

ජනපති පොලිසියට කළ සොඳුරු තරවටුව!

මේ දිනවල දේශපාලනය උණුසුම් කරන පුවත් පමණක් නොව, දේශපාලනය උණුසුම් කරවීමේ අරමුණ ඇතිව නිර්මාණය කරනු ලබන පුවත්වලද හිඟයක් නැත. රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය සීරුවට මාරුවට ඉදිරිපත් කරන පුවත් සම්බන්ධයෙන් වුව ජනතාව තුළ විවිධ අදහස් තිබෙන බව රහසක් නොවේ. කෙසේ හෝ දකුණේ හා උතුරේ දේශපාලන සංවාදයේ හැඩරුව තීරණය කරන්නේද පුවත්වලින් බව අපි දනිමු. එහෙත් පුවත් ජනගත කරන මාධ්‍ය ඒ වගකීම බරපතළ ලෙස නොතකන අවස්ථාද නැතුවා නොවේ. එසේම ඇතැම් දේශපාලන සංසිද්ධි පිළිබඳ හුදෙක් මතුපිටින් පමණක් බලා කරනු ලබන පුවත් වාර්තාද අද සාමාන්‍ය දෙයකි. වත්මන් රජය අසීමිත මාධ්‍ය නිදහසක් දී තිබීම මේ වගකීම් විරහිතභාවයට හේතුවක් වී තිබේද? කුමක් වුවත් සත්‍යය අඳුරේ තැබීම මාධ්‍ය නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රියාදාමයකටද උචිත නොවේ.

ගොයම කන්නේ වැ‍ටද - නියරද?

දිනපතා මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට ලැබෙන පුවත් ප්‍රමාණය ඉමහත්ය. ඒ සියල්ලෙහි සමාන අගයක්ද නැත. එහෙත් ජනතාවගේ අප්‍රමාණ කුතූහලයට හා අවධානයට ලක් වන පුවත් පිළිබඳ අවශ්‍ය අවධානය යොමු නොවීමද බරපතළ අඩුවකි. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් සම්බන්ධ දුරකතන සංවාදයක තොරතුරු සමාජය තුළ රැව් දෙමින් ඇති, තවමත් බරපතළ සැකයට තුඩුදී තිබෙන පුවතකි. මේ පුවතින් චෝදනා එල්ල වී සිටින එක් අයෙක් පොලිසියේ උසස් නිලයක් හොබවන්නෙකි. ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානියා වූ ඔහු ඒ තනතුරෙන් ඉවත් කර අනිවාර්ය නිවාඩු යවා තිබුණේද මේ චෝදනාව එල්ල වීමෙන් පසුවය. මේ කුමන්ත්‍රණ සිද්ධිය මුලින්ම හෙළි කරන ලද්දේ නාමල් කුමාර නමැති අයකු විසිනි. ඔහුගේ ‍හෙළිදරවුව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඔහුගෙන් කටඋත්තරයක්ද ලබාගෙන තිබිණි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් ගත් බව වාර්තා විය.

නින්දෙන් ඇවිදින ස්නයිපර්!

මේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ පොලිසියත් ආණ්ඩුවත් ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ නොයෙක් විවේචනද විය. ආණ්ඩුවේම ඇතැම් ප්‍රධානීන්ටද මේ සිද්ධිය එතරම් බරපතළ එකක් නොවූ බව ඔවුන් විසින් ජනමාධ්‍ය ඔස්සේ එයට දක්වන ලද ප්‍රතිචාරවලින් තහවුරු විය. රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ චෝදනාවකට පොලිසියේ උසස්ම නිලධරයකු සැකයට ලක් වීම සුළුපටු කරුණක් නොවේ. මේ සිද්ධිය සමඟ තවත් බරපතළ කරුණක්ද ඈඳී තිබේ. ඒ පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබා දී ඇතැයි සඳහන් අවි දෙකක් දින දෙකක් වැනි කාලයක් පිටතට රැගෙන යෑමේ සිද්ධියකි. එසේම ත්‍රස්ත විමර්ශන ඒකකයට අයත්ව තිබී අතුරුදන්ව ඇතැයි කියන ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් ගැනද නාලක ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබුණු බවක්ද වාර්තා විය.

මේ සියල්ල සමාලෝචනය කළ විට රාජ්‍ය නායකයා ඝාතනය, හිටපු ආරක්ෂක ලේකම්වරයකු ඝාතනය හා ගිනි අවි අතුරුදන් වීම් වැනි සිදුවීම්ද සුරංගනා කථා ලෙස සලකා බැහැර කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ යනු සැහැල්ලු විහිළු කථා නොව බරපතළ දෙයකි. එබඳු කුමන්ත්‍රණ මෙන්ම ඝාතන පිළිබඳවද ලෝක ඉතිහාසයේ මතු නොව; මෙරට ඉතිහාසයේද සඳහන්ව තිබේ. මේ එල්ල වී තිබෙන්නේ නොතකා හැරිය යුතු හෝ විමර්ශනය නොකළ යුතු කරුණක් නොවන බව පළමුවෙන්ම තේරුම් ගත යුතුව තිබුණේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම දරන ප්‍රථම රාජ්‍ය නිලධාරියා වන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාය. ඔහු ඒ කරුණ වටහා නොගැනීම මේ සියලු විවේචනවලට හේතු වූ බව නිසැකය. මේ සිද්ධිය වාර්තා වන අවස්ථාව වන විට පවා පොලිසිය පිළිබඳ ජනතාව තුළ වූයේ සුබවාදි චිත්‍රයක් නොවේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද පොලිස්පති පූජිත වෙනුවෙන් විවේචනවලටද ලක්ව සිටියහ. පොලිසිය පොලිස් කෝලමක් බවට පත් කර ඇතැයිද සමහරු චෝදනා කරති.

ඔහුට එය තේරුණේම නැද්ද?

කෙසේ හෝ පොලීසියේම පහළ නිලධරයකු පිළිබඳ සිදුවීමකදී එයට යොමු වූ පොලිස් අවධානය ගැනද මාධ්‍ය වාර්තා පළ විය. ඒ තෙබුවන පොලීසියේ සැරයන් ගුණවර්ධන මහතා සම්බන්ධ සිද්ධියේදීය. බලපත්‍ර නීතියට පටහැනිව වැලි ප්‍රවාහනය කළ ලොරියක් අත් අඩංගුවට ගත් සැරයන්වරයාට සිදු වූයේ ඉහළ නිලධාරීන්ගෙන් බැණුම් අසා වැඩ තහනමකටද ලක් වීමටය. ඔහු එයට විරුද්ධව ගිනි අවියක්ද අතැතිව පොලිසියට විරෝධය පෑමේ සිද්ධියක් වාර්තා විය.

ලජ්ජා විය යුතු කවුරුද?

මේ නිලධාරියාට දැක්වූ ප්‍රතිචාරය නීතිය ඉටු කළ පොලිසියට දඬුවම් දීමක් බව බොහෝ අය කියා සිටියහ. ඒ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිසිදු ප්‍රශ්නයක් නොවීමද කැපීපෙනිණි. කුමක් වුවද පොලිසියේ මේ ක්‍රියාදාමයට ජනාධිපතිවරයා දුන් මානුෂික ප්‍රතිචාරය සියලු මාධ්‍යවල ප්‍රධාන පුවතක් විය. ජනාධිපතිවරයා තෙබුවන සැරයන් ඇතුළු මුළු පවුලම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා එම පවුලේ ආර්ථික ගැටලුවලට සහනයක් ලෙස ලක්ෂ 10ක පරිත්‍යාගයක්ද කළේය. මේ සැරයන්වරයා කොටි ත්‍රස්තවාදීන්ගේ සිර කඳවුරක අමානුෂික වධ-වේදනා ගෙවමින් කොටි වටකාගාරයකද කල් ගෙවූ නිලධරයෙකි. එහෙව් නිලධරයකුට පොලීසිය සැලකූ ආකාරය ගැන ලජ්ජා විය යුතු කවුරුදැයි අපි නොකියමු.

එහෙත් ජනාධිපතිවරයා ඒ අවදානමෙන් හා අපකීර්තියෙන්ද පොලිසිය මුදාගෙන තිබේ. එමතු නොව ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය හා ප්‍රදානය පොලිසියට දෙන ලද සොඳුරු තරවටුවක්ද වැන්න. ජනපතිගේ ක්‍රියාවේ තිබෙන වෙනත් හැඟවුම්කාරකද පොලීසිය තේරුම් ගත හොත් පොලීසියේ අනාගතය යහපත් වන බවද අපට කිව හැකිය. ඒ මොනවා වුවත් ජනපතිගේ මානුෂික ප්‍රතිචාරය නිසා දුක සේ සිටි පොලිස් පවුල දැන් සුව සේ සිටිති. සැරයන් ගුණවර්ධනද සිය නුගුණ දුරු කරගත් යහපත් ගුණගරුක නිලධරයකු බවට පත්ව සිටිනු ඇතැයිද සිතිය හැකිය.

කල්කිරියාවේ ගැටලුව

ඇරිස්ටෝටල් කීවාක් මෙන් ‘සියලු මිනිස්සු දේශපාලන සත්ත්වයෝ වෙති’ යන්නට අපි ගරු කරමු. එහෙත් මේ රටේ බොහෝ දෙනකුගේ දේශපාලනය ගැන අපට විවේචන තිබේ. විශේෂයෙන් රාජ්‍ය සේවය, පොලීසිය, ආරක්ෂක සේවා වැනි ආයතන දේශපාලනයෙන් නිදහස් විය යුතුයැයිද අපි කල්පනා කරමු. පොලිස්පතිවරයා දේශපාලනය කරන බවට චෝදනාවක්ද ඇත. මේ රටේ පොලීසියට හැමදා විවිධ චෝදනා නැඟී ඇත. එකක් දේශපාලන බලපෑම්ය. අනෙක පොලිසියේ චර්යාවය. මේ පොලිසියේ ස්වභාවය ගැන මෙන්ම එය භාර පොලිස්පතිවරයා ගැනද නොයෙක් චෝදනා නැඟී තිබේ. එබඳු පසුබිමක වර්තමාන පොලිස්පතිවරයාගේ හැසිරීම් අපටද ප්‍රශ්නකාරි වේ. මෙයට පෙරද සඳහන් කරන ලද පරිදිම රාජ්‍ය නායකයා සහ හිටපු ප්‍රධාන රාජ්‍ය නිලධරයකු ඝාතනය කිරීමේ සැලැසුමක් පිළිබඳ කතාබහක් යනු කිසි සේත් නොසලකා හැරිය යුතු සිදුවීමක් නොවේ. රාජ්‍ය ආරක්ෂාව හා සිවිල් ආරක්ෂාව තහවුරු කරන පොලීසියක් එබඳු බරපතළ සිදුවීමක් පිළිබඳ ජනතාවටත් රාජ්‍ය නායකයා ප්‍රමුඛ ආණ්ඩුවටත් නිවැරදි තොරතුරු සැපයිය යුතුය.

අදහස්