දේශපාලනය තුළ ‘තාරුණ්‍යයේ’ මිථ්‍යාව | සිළුමිණ

දේශපාලනය තුළ ‘තාරුණ්‍යයේ’ මිථ්‍යාව

ඕනෑම සමාජයක වේවා සමාජ ඒකකයක වේවා ජව සම්පන්න මෙහෙයුම් ක්‍රියාකාරිත්වය වන්නේ තාරුණ්‍යයයි. උදාහරණයකට යම්කිසි ආයතනයක මෙහෙයුම් ක්‍රියාකාරිත්වය සලකා බැලුවහොත් එහි විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ තාරුණ්‍යය බව අවිවාදිතයි. තාරුණ්‍යය සම්බන්ධයෙන් කීමට කියන්නේ ‘යං බ්ලඩ්’ ලෙස, මහත් උජාරුවෙනි.

ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරීම අවධිය වන තරුණ යුගය ජව සම්පන්න වේ. එනිසා ඕනෑම කාර්යයක් කිරීමේ භෞතික මෙන්ම මානසික ශක්‍යතාව තාරුණ්‍යයට පවතී. සැලසුම් සකස් කිරීම ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම ශක්තිමත්ව කළ හැක්කේ තාරුණ්‍යයටයි. එනිසා ඒ තරුණ ජවය සමාජයක ඉදිරි පැවැත්ම සඳහා අතිශයෙන් වැදගත් වේ.

දේශපාලන ක්‍රියාකාරිත්වය තුළද තාරුණ්‍යයට හිමි වන්නේ ආකර්ෂණීය ඉල්ලුමකි. කලක් පළාත් පාලන මැතිවරණ නාමයෝජනාවේ තරුණ අපේක්ෂකයන්ට සලාකයක් වෙන් විය. එමගින් බලාපොරොත්තු වූයේ පළාත් පාලන ආයතනයන්හි තරුණ දේශපාලකයන්ට අවස්ථාවක් සලසාදීමය. කෙසේ වුවත් තරුණයකු හෝ තරුණියක මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශ වන්නේ නම් නිතැතින්ම සමාජයේ ආකර්ෂණය ඔවුන්ට යොමු වේ. ඒ තරුණ ජවයට සමාජය ආකර්ෂණය වන බැවිනි.

පාර්ලිමේන්තුවේත්, පළාත් සභාවේත්, පළාත් පාලන අයතනවලත් තරුණ නියෝජනයක් පවතී. කනගාටුවට කරුණ වන්නේ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන තරුණයන් තුළ තාරුණ්‍යය පවතින්නේ ජීව විද්‍යාත්මකව පමණක් වීමය.

ශ්‍රී ලංකාවේ මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට බරපතළ අභියෝගයකට ලක්ව තිබේ. ඊට හේතුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යාවත්කාලීන නොවීමයි. ඒ නිසා නමට ප්‍රජාතන්ත්‍රවාදී වුවද ඒ අනුව සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී බලාත්මක වීමක් ලැබී නැත. සංස්කෘතියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වෙනසකට සමාජය යොමුව නැත.

උදාහරණයකට: වයසින් සෑහෙන කාලයක් ගත කර සිටින අමාත්‍ය මංගල සමරවීර සමාජයට මත්පැන් පානය කරන්න ඇති අයිතිය වෙනුවෙන්, ලිංගික නිදහස සම්බන්ධයෙන් නොබියව පෙනී සිටී; සමාජයේ සාම්ප්‍රදායික ජනප්‍රිය නමුත් පසුගාමී මතවලට නොබියව පහර ගසයි. ඇත්තටම ඔහු ‘තරුණකම’ කියන්නේ කුමක්දැයි ඔහු ප්‍රායෝගිකව ඔප්පු කරයි.

ඒත් ජීවක්‍රියාවලියෙන් තරුණ සෑම පක්ෂයකම මන්ත්‍රීවරු එදිනෙදා පත්තර ටික කියවා ගොබ්බ කතා ප්‍රකාශ කරමින් සිටිනවා මිස වෙන කිසිම දේශපාලනයක් නොකරති. ලෝක ප්‍රවණතා අනුව සිදු වන දේශපාලන වෙනස්කම් පැහැදිලි කරන්නේ නැත. සමාජය තුළට යා යුතු දේශපාලන පණිවිඩය දීම සඳහා උත්සාහ ගන්නේද නැත; තමන්ටම කියා දේශපාලන මතයක් නිර්මාණය කරගන්නේද නැත.

ඒ වෙනුවට ඔවුහු සාම්ප්‍රාදායික දේශපාලනය තුළ සිටිමින් යහමින් හොරකම් කරති; කොඩිවින බලිතොවිල් බෝධිපූජාවලට ඔජ වඩති. වැරදිලාවත් ආගමික මූලධර්මවාදයක් විවේචනය කරන්නට ඔවුන් හිතන්නේවත් නැත. තක්කඩි ජාතික ඇඳුම වෙනුවට තමන් නිතර අඳින කලිසම කමීසය කෝට්එක ප්‍රසිද්ධ උත්සවවලට අඳින්නේ නැත. හතර පෝයට සිල් ගන්නා, රහසින්වත් පවක් නොකරන, මස් මාළු නොකන උපාසක මහත්වරුන් සේ එකත්පසව ඔවුහු සිටිති. සමාජයේ පවතින සාම්ප්‍රදායික හා ආධිපත්‍යවාදි, පසුගාමි මතවලට මොවුන් පහර ගසන්නේ නැත; ආගමික මිථ්‍යා හෙළා දකින්නේද නැත; වංචාකරුවන්, ප්‍රෝඩාකරුවන් හෙළි කරන්නේද නැත. ඔවුහු ඊට බියය. සමාජයට අභියෝග කර අලුත් සමාජයක් නිර්මාණය කරගන්නට තරම් මොළයක් ඔවුන්ට නැත.

ඔවුන්ගේ එකම ඉලක්කය තම මනාප ගොඩ වැඩි කරගෙන ඊළඟ වතාවටත් මන්ත්‍රීකමක් දිනාගැනීමය. ඒ නිසා බඩු බෙදමින්, පාසල් පොත් ලබා දෙමින්, පාරවලට තාර දමමින්, විදුලිය දෙමින්, මැහුම් ගෙතුම් කරමින් මුදල් හා කාලය කාදමති. ඔවුන් තරුණයන් වන්නේ වසඟ කරවන ශරීරයක් නිර්මාණය කරගනිමින් කාමාස්වාදය ලැබීමට පමණි.

මේ පිරිස් තම තරුණ ජවය යොදවා අභියෝගයක් භාර ගන්නෙ නැත; අභියෝගයක් කරන්නේ නැත. පවතින ක්‍රමයට විකල්පයක් වන්නට මහන්සි වන්නේද නැත. ඉතින් මේ මස් ගොඩවල් තරුණයන් වන්නේ කෙසේද?

 

 

අදහස්