ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2018 | සිළුමිණ

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2018

ජපානයට ජය පිට ජය

අදියර ත්‍රිත්වයේම පළඟ ශූරියෝ ශ්‍රී ලංකාව

ආසියානු කලාපයේ රග්බි ප්‍රබලයා ලෙස සැලකෙන්නේ ජපානයයි. කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ජපානයට අභියෝග කිරීමට කිසිවකුටත් හැකි වී නැත. එය යළිත් වතාවක් තහවුරු විය.

ඒ ඉකුත් සති අන්තයේ කොළඹදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදීය. එහිදී ජපානය කාන්තා සහ පිරිමි දෙඅංශයේ ම ශූරතා හිමි කරගැනීමට සමත් විය. ඒ අනුව 2018 ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ සමස්ත කාන්තා සහ පිරිමි ද්විත්ව ශූරතා ද ජපානයට ම හිමි වූයේය.

මෙම වසරේ පැවැති අදියර ත්‍රිත්වයේ ම සමස්ත ප්‍රතිඵලයට අනුව කාන්තා අංශයෙන් 05 සහ පිරිමි අංශයෙන් 04 වැනි ස්ථාන ශ්‍රී ලංකාවට හිමි විය. එසේ වුවත් ලබන වසරේ හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. එම අවස්ථා හිමි වන්නේ මෙම ආසියානු තරගමාලාවේ මුල් ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් දෙකටය. වාර්ෂිකව ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව අදියර 03ක් යටතේ පැවැත්වෙයි. ඒ පළමු අදියර හොංකොං, දෙවන අදියර දකුණු කොරියාව සහ තෙවන අදියර ශ්‍රී ලංකාව ලෙසටයි.

ඒ අනුව තෙවැනි අදියර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි. ඊට කාන්තා සහ පිරිමි දෙඅංශය සඳහාම රටවල් 08 බැගින් සහභාගි වූහ.

පිරිමි තරගමාලාව

ඒ කාණ්ඩයට අයත් වූයේ ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ මැලේසියාවයි. මෙහිදී මුල් වටයේ ප්‍රතිඵලවලට අනුව ජපානය සහ පිලිපීනය කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. මින් ජපානය තරග 3 ම ජයගෙන අපරාජිතවයි. පිලිපීනය පරාජය වූයේ ජපානයට පමණකි.

බී කාණ්ඩයට ශ්‍රී ලංකාව, හොංකොං, චීනය සහ චීන තායිපේ අයත් විය. එහිදී හොංකොං සහ ශ්‍රී ලංකාව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. මෙහිදී හොංකොං අපරාජිතවය. ශ්‍රී ලංකාව ලකුණු 21 - 12කින් හොංකොංට පරාජය විය. සෙසු තරග ජය ගත්තේ 19 - 12 චීනය සහ 43 - 00 චීන තායිපේ පරාජය කරමිනි. කුසලාන අවසන් පූර්ව වටයේදී ජපානය 34 - 17 ශ්‍රී ලංකාව සහ හොංකොං 19 - 12 පිලිපීනය පරාජය කළේය. අවසන් මහ තරගයේදී ජපානයට 19 - 05ක ජයකි. හොංකොං පරාජය විය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් පිලිපීනය 19 - 07කින් ජය ගත්තේ ශ්‍රී ලංකාව පරාජය කරමිනි.

මෙම පරාජය ලබන වසරේ හොංකොං තරග මාලාවට සහභාගි වීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දැමීය. ඒ සමස්ත ප්‍රතිඵලයට අනුව පිලිපීනය ලකුණකින් ශ්‍රී ලංකාව හමුවේ එම අවස්ථාව ලබා ගත් බැවිනි.

(1) ජපානය 36

(2) හොංකොං 30

(3) පිලිපීනය 19

(4) ශ්‍රී ලංකාව 18

(5) චීනය 16

(6) දකුණු කොරියාව 11

(7) චීන තායිපේ 06

(8) මැලේසියාව 05

මේ අනුව හොං‍ෙකාං සහ පිලිපීනය ලබන වසරේ හොංකොං සත් සාමාජික තරගාවලියට සුදුසුකම් ලැබීය. ජපානය දැනටමත් ලෝක තරගමාලාවට සුදුසුකම් ලබා සිටියි. වාර්ෂික ලෝක තරගමාලාවේ ප්‍රධානතම සහ ජනප්‍රියතම තරගාවලිය වන්නේ හොංකොං සත් සාමාජික හෙවත් හොංකොං සෙවන්ස් ය.

කාන්තා තරගමාලාව

ශ්‍රී ලංකාව තරග වැදුණු කාණ්ඩයේ මුල් ස්ථාන ජපානය සහ හොංකොංටයි. මින් ජපානය අපරාජිතවය. හොංකොං මුල් වටයේදී පරාජය වූයේ ජපානයට පමණි. ශ්‍රී ලංකාව ලකුණු 26 - 10කින් දකුණු කොරියාව පරාජය කළේය. එහෙත් හොංකොංට 29 - 00 සහ ජපානයට 29 - 00 ලෙස පරාජය විය. අනෙක් කාණ්ඩයෙන් චීනය සහ කසක්ස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි. එහිදී මෙම දෙරට අතර පැවැති තරගය ජය පරාජයකින් තොරව නිමා වූයේ කිසිඳු ලකුණක්වත් ලබා ගැනීමට නොහැකි වීමෙනි.

කුසලාන අවසන් පූර්ව තරගවලදී ජපානය 26 - 12 කසක්ස්තානයත් හොංකොං 17 - 07 චීනයත් පරාජය කළහ. අවසන් මහා තර‍ගයේදී ජපානය ලකුණු 31 - 00 කින් හොංකොං පරාජය කළේය. තෙවැනි ස්ථානය චීනයටයි. ඒ ලකුණු 17 - 12 කින් කසක්ස්තානය පරාජය කිරීම නිසාය.

මීළඟ අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාව 40 - 00 සිංගප්පූරුව සහ තායිලන්තය 26-10 දකුණු කොරියාව විසින් ජය ගත්හ. එහි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ලකුණු 07 - 05 කින් තායිලන්තය පරාජය කරමිනි. මෙම තරග මාලාවේ අදියර ත්‍රිත්වයේ ම කාන්තා පළඟ ශූරියෝ වූයේ ශ්‍රී ලංකාවයි. එහිදී අනුශූරතාව තායිලන්තයටමයි. 2018 ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ සමස්ත ශූරතාව ජපානයටයි.

(1) ජපානය 36

(2) චීනය 26

(3) කසක්ස්තානය 25

(4) හොංකොං 24

(5) ශ්‍රී ලංකාව 12

(6) තායිලන්තය 09

(7) සිංගප්පූරුව 05

(8) දකුණු කොරියාව 04

ලබන වසරේ හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියට ජපානය සහ කසක්ස්තානය සුදුසුකම් ලැබීය. චීනය දැනටමත් ඊට සුදුසුකම් ලබා සිටියි. ඒ 2018 හොංකොං සත් සාමාජික ශූරියන් ලෙසිනි.

 

Comments