ආඩම්බර වෙමු ද? සාඩම්බර වෙමු ද? | සිළුමිණ

ආඩම්බර වෙමු ද? සාඩම්බර වෙමු ද?

මුළු රට ම අවුල් ජාලාවකින් වෙළී තිබෙන අවස්ථාවක ක්‍රීඩාවට පමණක් එයින් මිදිය නොහැකි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. යකඩ ගිනිබත් වන තැනක පුළුන් ඉතිරි වේ යැයි සිතීමත් විහිළුවකි; මුළාවකි. ඒ තරමට සෑම නිමේෂයක් ම ගෙවී යන්නේ අවිචාරවත් විදියටය. මේ ගෙවෙන නිමේෂයේ ක්‍රිකට් ලොව දූෂිත ම ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් වීම ගැන අප ආඩම්බර වෙමු ද? සාඩම්බර වෙමු ද? යන්න කවුරු කවුරුත් සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය. මැස්සෙකුවත් අල්ලන්න බැරි තරමට අපේ ක්‍රීඩා නීතිය අරාජික නම් එතැනින් එහාට කවර කතා ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආරම්භ කළ පරීක්ෂණයන්හි අවසානයක් මේ වන තෙක් ම දක්නට නැත. චෝදනා එල්ල වන්නන් අතර ප්‍රවීණයන්ගේ පටන් නවකයන් දක්වා ම නම් වැල දිගුය. පුහුණුකරුවන්, පුහුණු කළමනාකරුවන්ගේ පටන් තණතීරු සකසන්නන් මෙන් ම තේරීම් කමිටු නිලධාරින්ගේ නම් ද දූෂණ චෝදනා එල්ල වන්නන් අතර ප්‍රමුඛය. කවුරු කෙසේ මොන පම්පෝරි ගැසුවද පසුගිය දශකය එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තිබී ඇත්තේ ක්‍රීඩකයන් - ක්‍රීඩාංගණවලට වඩා බුකිකාරයන්, දූෂිතයන් සහ ඔට්ටුකාරයන්ගේ ඔඩොක්කු තුළ බව පැහැදිලිය.

දැන් සිදුව ඇත්තේ ගිල දැමූ ජරාව වමාරන තැනට කරුණු කාරණා පෙළගැසීමය. මේවා බොරු නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එරෙහිව කොන්ද කෙළින් තබාගෙන සිට ගත යුතුය. මේ සියලු පරීක්ෂණ අභියෝගයට ලක් කරන තැනකට යා යුතුය. එවැනි සේයාවක්වත් පෙනෙන්නට නැත. පරීක්ෂණ පැවැත්වෙන අතරතුර ම ජනාධිපතිවරයා - අගමැතිවරයා මෙන් ම ක්‍රීඩා අමාත්‍යවරයාට ද කල් ඇතුවම Icc දැනුම් දී ඇත්තේ තත්ත්වය වඩා බැරෑරුම් බවය. මේ බැරෑරුම් බව කොතෙක් ද යත් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ ඉතා භයානක වාතාවරණයක් පවතින බව Icc තමන්ට දැනුම් දුන් බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අයි.සී.සී. දූෂණ විරෝධි ඒකකය මඟින් හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරියව චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු කර තිබේ. මේ සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දෙසතියක කාලයක් ඔහුට ලබා දී තිබේ. මේ චෝදනා වන්නේ දූෂණ විරෝධි ඒකකය විසින් මෙහෙය වූ කිසිඳු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු හෝ ලේඛන ‍නිවැරදි සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් ‍වීමය.

ලෝකයේ සෑම රටක ම එකී රටවලට ආවේණික නීති පද්ධති පවතින අතර ඇතැම් රටවල් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරද්දි, ඇතැම් රටවල් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරති. බටහිර රටවල් මෙන් ම විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙකී නීති ඉතා තදින් ක්‍රියාත්මක කරන රටවල් ලෙස ප්‍රකටය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට රැගෙන එන පාවහන් යුගලක මඩ ටිකක් රැඳී තිබීම පවා එරට රේගුව ඉතා දැඩි නීති ක්‍රියාත්මක වූ අවස්ථා තිබේ.

2002 දී නවසීලන්ත ක්‍රිකට් සංචාරයක නිරත වූ ඉන්දීය කණ්ඩායමේ විරේන්දර් ෂේවාග් සහ හර්බජන් සිං ට එරෙහිව එරට රේගුව දඩ මුදලකට යටත් කර ඇත්තේ ඔවුන්ගේ පාවහන් යුගලේ මඩ තැවැරී තිබීම ‍ෙහ්තුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මේ ආකාරයට චෝදනා එල්ල වූ එකම අවස්ථාව හෝ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2010 දී ක්‍රීඩා අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී සී.බී. රත්නායක ප්‍රකාශ කළේ මෙරට දූෂිත ම ආයතන අතර ඉදිරියෙන් ම ක්‍රිකට් තිබෙන බවයි. බලධාරින් මේ පිළිබඳ සොයා බැලීමට උත්සුක නොවූ නමුත් වැඩි කල් නොගොස් ම සී.බී. ට ක්‍රීඩා පුටුව අත හරින්නට සිදු විය. නිසි අවස්ථාවේ රෝගය හඳුනා ගෙන බෙහෙත් නොකිරීම නිසාමය. දැන් කුණු වී ඔජස් ගලන තැනට ම පත්වී තිබේ. 

අදහස්