ජීවිත අහිමි වීම ජීවත් වන අයට ලජ්ජාවක් නොවේද? | සිළුමිණ

ජීවිත අහිමි වීම ජීවත් වන අයට ලජ්ජාවක් නොවේද?

පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාව නිසා සිදු වූ අනතුරුවලින් මිය ගිය ගණන දොළහ දක්වා ඉහළ නැඟ ඇති බව පුවත්පත් වාර්තාවල සඳහන් වේ. මාස දෙකක පමණ කාලයක් පැවති ඉඩෝරය නිමා කරමින් ඇදවැටුණ විශාල වර්ෂාව ආශීර්වාදයක් වුවද ඒ පිටුපස මාරයාද සැඟවී සිටීම කනගාටුවට කරුණකි.

දැන් ලංකාවට විශාල වශයෙන් වැසි ඇති වන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළඟින් නොවේ. එසේම අන්තර්-මෝසම් සුළඟින්ද නොවේ. එහෙත් විශාල වැසි ගෙන එමින් ජීවිත හානි කරන්නට තරම් ප්‍රබල වන්නේ සුළි කුණාටුයි. මේ නිසා ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් වාර්ෂික වර්ෂාපතනය නියත අගයක පවත්වාගැනීමට හැකි වී තිබේ. නැති නම් ඇති වන නියං තත්ත්වය නිසා වාර්ෂික වර්ෂාපතනය අවම අගයකට සීමා වේ.

වාර්ෂික වර්ෂාපතනය නියතව තිබියදී වර්ෂා දින ගණන අවම වෙමින්, වැසි දිනක විශාල වර්ෂාවක් ඇති වීම මේ කාලගුණයේ විශේෂ ලක්ෂණයයි. එය ලෝකය පුරා දේශගුණික ස්වභාවය බවට පත්ව තිබේ. මේ ලක්ෂණය දේශගුණික වෙනස් වීමක් ලෙස හඳුනාගෙන ඇත.

දේශගුණික වෙනස්කම් ඇති වන්නේ ජාතික රාජ්‍යයක ඇති වන පාරිසරික හානිකර තත්ත්ව නිසා නොවේ. ඊට ගෝලීය පාරිසරික වෙනස්කම් තදින් බලපායි. ධනේශ්වර සංවර්ධනය පාරිසරික විනාශයන්ට සංවේදී නොවන නිසා මේ දේශගුණික වෙනස්කම් ධනේශ්වර සංවර්ධනයේ ලාක්ෂණික ගුණාංගයන් බවට පත් වේ.

දේශගුණික වෙනස්කම් නතර කරන්න නම් ගෝලීයව සිදු වන පාරිසරික හානි අවම කළ යුතුය. එහෙත් ධනේශ්වරයේ වේගවත් සචලතාව තුළ ගෝලීයව සිදු වන පාරිසරික අගති අවම කළ නොහැකිය. එනිසා දේශගුණික වෙනස්කම් නතර කරන්න වෑයම් කරමින් කාලය කාදැමීම වෙනුවට, කුඩා රටවල් උත්සාහ කළ යුත්තේ දේශගුණික වෙනස්කම්වලට ඔරොත්තු දෙන පරිදි ජීවත් වන්න පුරුදු වීමය.

දේශගුණික ව්‍යාධිවලට මුහුණදීමද ගෝලීයව සිදු විය යුතු සූදානමක් ලෙස සලකා විශාල වැඩසටහන් ක්‍රියාත්මක කරන්නද පටන් ගැනිණි. ඒ අනුව විශාල සල්ලියක් සෑම රටකටම ලබාදෙන්නේ දේශගුණික වෙනස්කම්වලට ඔරොත්තු දෙන ක්‍රමෝපාය සකස් කරගන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒ විෂයයට අදාළව ලේකම් කාර්යාලයක්ද පවතී. ලැබෙන මුදල් යොදවමින් විශාල වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඒ ආශ්‍රිත දැනුම නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් වෙහෙස මහන්සි වන බවක් දක්නට ලැබේ.

දේශගුණික වෙනස්කම්වලට මුහුණදීම සදහා වූ ප්‍රතිපත්තියක්ද ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක්ද ඇතුළු ප්‍රකාශන රැසක් ඔවුන් සකස් කර ඇත. ප්‍රශ්නය වන්නේ මේ සියල්ල කොළඹ එක්තරා සීමිත නිලධරයන් පිරිසක් අතර සීමා වී තිබීමයි. ඒ අනුව විදේශ ශිෂ්‍යත්ව ලබමින්, පුහුණු වෙමින් හා ලැබෙන විශාල සල්ලිය වියදම් කරමින් මොනවා කළත් ඒ නිෂ්පාදනය කරන දැනුම සමාජගත නොවේ. එනිසා දේශගුණික වෙනස්කම්වලට මුහුණදීමේදී තවමත් සමාජය සතුව ඇත්තේ සාම්ප්‍රදායික හා ප්‍රාථමික මට්ටමේ දැනුම පමණි.

මේ දේශගුණික වෙනස්කම් ක්‍රියාවලිය යළි ආපිට හරවා හැටේ හෝ හැත්තෑවේ හෝ දශකයන්වල තිබිණි පරණ දේශගුණික තත්ත්වයන්ට යළි යෑමට හැකියැයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය හාස්‍යජනක සිතිවිල්ලකි. ධනේශ්වර සංවර්ධනය සමග පාරිසරික වෙනස්කම් අනිවාර්ය වේ. එනිසා ඕනෑම රටක ප්‍රතිපත්තිය විය යුත්තේ ඒ සිදු වන දේශගුණික වෙනස්කම්වලට ඔරොත්තු දෙන ලෙස ජීවන සංස්කෘතියක් ගොඩනඟාගැනීමයි. එහෙත් තවමත් දින දෙක-තුනක් තිස්සේ ඇදහැළෙන විශාල වැස්සක් නිසා මිනිස් ජීවිත 10ක්-12ක් අහිමි වන්නේ නම් මේ රට පවතින්නේ ගෝත්‍රික යුගය තුළ බවට කිසිම තර්කයක් නැත. එය නිර්ණායකයක් ලෙස ගත හොත් එමඟින් කියවෙන්නේ රාජ්‍යයේ අවලංගු වීම මිස අනෙකක් නොවේ.

එක් අතකින් තාක්ෂණය මෙපමණ දියුණුව තිබියදී තවමත් කාලගුණික අනාවැකි කීමට අපේ රට අසමත්ය. අවම වශයෙන් ඒ සඳහා ඉන්දියාව වැනි රටක සහයෝගය ගෙන වැඩපිළිවෙළක් සකස් කරන්නේ නැත. අනෙක් අතින් එවැනි අනාවැකි පළ කළත් ඒවා සමාජගත කරන්නට වැඩපිළිවෙළක් නැත. එසේම මහ ජනතාව විශාල වශයෙන් අනාරක්ෂිත ස්ථානවල ක්‍රියාකාරි වන නිසා ඔවුන්ගේ ජීවිත රැකගන්නද අපහසු වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉතා කුඩා කාලගුණික වෙනසකදී පවා මිනිස් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වීමයි.

ජීවත්ව සිටින අපට මේවා ලජ්ජාවට හේතු වන කාරණාවන් නොවන තාක් මිනිස් ජීවිත නිකරුණේ අහිමි වීම වැළැක්විය නොහැකිය.

 

 

අදහස්