ලෝකය විනාශයි! | සිළුමිණ

ලෝකය විනාශයි!

  • ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5කට වඩා වැඩි වුණොත් ප්‍රශ්න රැසක්
  • ධීවර කර්මාන්තයටත් ලොකු බලපෑමක්

අවුරුදු බිලියන හතරකටත් පෙරින් බිහිවූ බව කියන අපේ නිවහන, නැතිනම් පෘථිවියට අවසාන වතාවට ආවේ මිහිමවගේ හිතුවක්කාර බාලයා හෙවත් ‘නූතන මිනිසා‘ය. වචනයට ම නොව සැබෑවට ම හිතුවක්කාරයකු වූ නූතන මිනිසා වසර විසිදහසක් වූ සිය කෙටි ගමනේදී අවුරුදු බිලියන ගණනක පෘථිවි ඉතිහාසය සැණින් වෙනස් කළා යැයි කීමේ වරදක් නැත. ඉක්මන් ගමනින් ආ ගමනකින් නූතන මිනිසා වෙනස් කළ මහ පොළොවේ පැවැත්ම දැන් ඇත්තේ අනතුරේ ය. මේ අනතුර ගැන කියන්නේ ද නූතන මිනිසා ම ය. මහ පොළොවට මේ ඉරණම අත් කර දුන් මිනිසාම අද ඒ ඉරණම ආපස්සට හරවන්නේ කෙසේ දැයි සිතමින් සිටින්නේය. ගෝලීය දේශගුණ විපර්යාසවලට උත්තර සොයනා ලොව පුරා විද්වතුන් නම් පවසන්නේ මේ ගත වන්නේ ලෝකය බේරා ගැනීමට අපට ඉතිරිව ඇති අවසාන අවස්ථාව බවයි.‘මේ අන්තිම සිහි කැදවීමයි! ‘ඔවුන්ගේ වචන වලින් එය එසේ කියැවෙන්නේය. මේ අවසාන සිහි කැඳවීම ගැන වූ තීන්දුව ගන්නට තරම් වූ දත්ත මේ විද්වතුන් හමුවේ ගොනු වී ඇත්තේ දකුණු කොරියාවේදී පැවති දේශගුණ විපර්යාස පිළිබද අන්තර් රාජ්‍ය මණ්ඩලයේ හමුවීමකදී ය.

ගෝලීය දේශගුණ විපර්යාස සියල්ලට ම මුල පුරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමයි. ඉදිරි වසර දොළහක කාලය තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් ඉහළ යනු ඇතැයි මේ වන විට අනුමාන කර ඇත. ලෝකයේ එක් එක රටවල සිදුවන කාලගුණ හා දේශගුණ බලපෑම් වලට අදාළ උෂ්ණත්ව වෙනස් වීම් වල සාමාන්‍ය අගය මේ වන බව කියැවෙතත් ලෝකයේ එක් එක් රටවලට සිදුවිය හැකි බලපෑම මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බව විද්වත් මතයයි.

”‍දැනට හඳුනාගෙන තියෙන පාරිසරික බලපෑම වල හැටියට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කර ගැනීමත් එක්තරා විදියක දිනුමක්. මොකද මේ ප්‍රමාණය සෙල්සියස් අංශක දෙකක් දක්වා ඉහළ ගියොත් ඇති විය හැකි බලපෑම ඉතා වැඩියි. පෙනෙන විදියට මෙය පාරිසරික බලපෑමක් වුණත්, ලෝකයේ ආර්ථිකයට වගේම මිනිසුන්ගේ ජීවන තත්ත්වය වෙනස් වීම කෙරෙහිත් මෙය බලපෑම් ඇති කරනවා. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නවතා ගන්නවා කියල දැන් අපිට කරන්න තියෙන දේ තමයි, උෂ්ණත්වය වැඩිවන ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීම.

දැන් අපේ උත්සාහය මේ වැඩිවීම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවතා ගැනීම. ලෝක දේශපාලනය මේ තත්ත්වය දිහා බලන්නේ මේ ගෝලීය උෂ්ණත්ව වැඩිවීම නිසා ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවෙනවා කියන රාමුවේ ඉදගෙන, කොහොම වුණත් කාගේත් ඉලක්කය වෙන්න ඕන, මේ ගෝලීය උෂ්ණ්තවය වැඩිවීම අවම කර ගැනීමයි.”‍මේ දේශගුණ විපර්යාස මණ්ඩලයේ මුල් පුටුව දරන්නේ එවන් අදහසකි. 2030 අවුරුද්ද වන විට ගෝලීය උෂ්ණත්ව ඉහළ යෑමෙන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර කිහිපයක් ද හඳුනාගෙන ඇත. ලෝකයේ ඉතා ම සංවේදී පරිසර පද්ධතීන් වන කොරල් පරිසර පද්ධතීන් සහ කඩොලාන පරිසර පද්ධතීන් මේ උෂ්ණත්ව වැඩිවීමේ දැඩි බලපෑමට යටත් වනු ඇතැයි කියැවේ. යම් හෙයකින් මේ උෂ්ණත්ව වැඩිවීම සෙල්සියස් අංශක දෙක දක්වා වැඩිවුව හොත් මේ පරිසර පද්ධති විනාශ වී යෑමට පවා ඉඩ ඇත.

මේ පරිසර පද්ධතීන් වලට සිදුවන බලපෑම නිසා ආර්ථිකමය වශයෙන් සංචාරක ව්‍යාපාරට දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ග්ලැසියර ප්‍රදේශවලට ඇතිවන බලපෑම ද මේ උෂ්ණත්ව වැඩිවීම නිසා වැඩිවෙමින් පවතින අතර, ලෝකයේ කුඩා දූපත් මුහුදු ජලයෙන් යටවී යෑමේ අවධානම ද ඒ නිසාම කෙමෙන් වැඩි වෙමින් පවතින බව නොරහසකි. අනෙක් කැපීපෙනෙන ආර්ථික බලපෑම සිදුවන්නේ කුඩා පරිමාණයෙන් සිදුවන ධීවර කර්මාන්තයටයි. ලෝකයේ වැඩිවශයෙන් ම සිදුවන කුඩා පරිමාණ ධීවර කර්මාන්තය නොගැඹුරු මුහුදේ සිදුවන්නක් වන අතර නොගැඹුරු මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම එ් කලාපය තුළ ජීවත්වන් මසුන්ට හානිකර ය. එවැනි තත්ත්වයක් හමුවේ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරගත නොහැකි තැනට ධීවරයා අසරණ වනු ඇත. සිතිය යුත්ත ඇත්තේ මෙතැන ය. මේ කිසිවක් කාර්මික අතින් දියුණුවට පත් වී සිටිනා ලෝකයේ විශාල බලවත් රාජ්‍යයන්ට සිදුවන බලපෑම් නොවේ. ඔවුන් සුළු පරිමාණ ධීවර කර්මාන්තයෙන් හෝ, සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නේ නැත. සිතන්න මේ කියන්නේ අප වැනි කිඩා ආර්ථික හිමි කුඩා රටවල් වලට සිදුවන බලපෑම ගැන නොවේද!

”‍සමස්ත ලෝකය ම මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කියන ගැටලුව විසදා ගැනීමට සිය දායකත්වය ලබා දිය යුතුයි. තමන්ගේ ඉපැයීම් වලින් කොටසක් මේ වෙනුවෙන් යෙදවිය යුතුයි”‍ දෙශගුණ විපර්යාස පිළිබඳ කමිටුවේ නිර්දේශය එයයි.

”‍අපි හඳුනාගෙන තියෙන විදියට මේ වෙනුවෙන් කළ හැකි පහසු ම දෙය තමයි, මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වෙන විශාලතම ක්‍රියාවලි හතරේ එනම් ශක්තිය භාවිතය, භූමිය භාවිතය, නාගරීකරණය සහ කාර්මීකරණය කියන කැපී පෙනෙන වෙනස්කම් සිදු කිරීම.

කෙටියෙන් කිව්වොත් පොඩි ම තැනින් මේ වැඬේ පටන් ගන්නවා නම්, සත්ව ආහාර ඒ කියන්නේ මස්, කිරි, චීස් වගේ කල් තබා ගන්න ආහාර වලට තියෙන කැමැත්ත ටිකක් අඩු කරලා තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ නිපදවෙන ශාකමය ආහාර වලට නැඹුරු වීම, වගේම ආහාර අපතේ යැවීම අවම කිරීම, හැකි තරම් විදුලියෙන් ධාවනය වන වාහන භාවිත කිරීම, යන්නට තිබෙන්නේ කෙටි දුරක් නම් ඇවිදගෙන යෑම නැත්නම් බයිසිකලයක් පාවිච්චි කිරීම වගේ පුංචි දේවල්.

ගුවන් ගමන් අඩු කරමින් බස්රිය සහ දුම්රිය යොදාගෙන ගම්න් බිමන් යෑම එහෙමත් නැතිනම් ගමන් නොයෑම වීඩියෝ කොන්ෆරන්ස් වගේ දෙයකින් තමගේ සාකච්ජා පැවැත්වීම හරිම පහසු දේවල්. හැම නිතරම අඩු කාබන් ප්‍රමාණයක් තියෙන දේවල් ඉල්ලන්න වගේම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. වැදගත්ම දේ තමයි අපි පරිසරයට නිකුත් කරන අකාබන් ප්‍රමාණය උරා ගන්නා ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඒ කියන්නෙ ගස් සිටුවන්න. ගස් වලට තමයි වායුගෝලයේ එකතු වෙන කාබන් වලින් වැඩ ගන්න පුළුවන්”‍ අපේ වෙනස් වීම් පටන් ගත යුත්තේ එහෙම ය.විද්වත් මතයට අනුව ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සිය 1.5 මට්ටමේ පවත්වා ගැනීමට නම් සපුරාගත යුතු ඉලක්ක පහකි. 2010 වසරේ තිබූ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2030 වන විට සියයට 45 දක්වා අඩු කර ගත යුතුය, 2050 වන විට පුනර්ජනනීය බලශක්තී වලින් විදුලිය නිපදවීම් සියයට 85ක් බවට පත් කර ගත යුතුය. ගල් අගුරු භාවිතය සියයට බිංදුවක් කළ යුතු අතර දැනට ඕස්ට්‍රේලියාව තරම් විශාල බිමක් බලශක්ති නිපදවීම වෙනුවෙන් වෙන් කර යුතුය. එසේම වාහන වලින් පිටවන දුම 2050 වන විට සියයට බිංදුව බවට පත් කර ගත යුතු ම ය.

මේ ඉලක්ක සහනදායී මිලකට සපුරා ගැනීමට ලෝකයාට හැකි වන්නේ ද නැත. ස්වභාවිකත්වය වනසමින් හරි හම්බකරගත් මුදල් මේ පරිසර හිතකාමී ඉලක්ක සපුරා ගැනිම වෙන්වෙන් ආයෝජනය කළ යුතුව ඇත.

ගණන් බලා ඇති ආකාරයට මෙකී ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් 2016 සිට 2035 තෙක් කාලයට සමස්ත ලෝකයෙන් ම ආයෝජනය විය යුතු මුදල ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 2.4කි.”‍ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් 1.5ක අගයේ තිබුණොත් ඔබේ රටේ ආර්ථික වර්ධන වේගය උෂ්ණත්වය සෙල්සියස් දෙකට වැඩිවුනොත් තියෙන ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි.ඒ ගැන හිතලා 1.5 සීමාවේ උෂ්ණත්වය තබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්න.හොඳ දේවල් ලාභෙට ලැබෙන්නේ නැහැ!”‍ පර්යේෂකයෝ එසේ කියති. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් 1.5ක සීමාවේ නවතා ගැනීම ගැන වඩා සංවේදී වන්නේ මුහුදු මට්ටමට ආසන්න භූමියක් සතු දූපත් රටවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ.ගෝලීය උෂ්ණත්වය වැඩිවීමෙන් තමන්ට අහිමිවී යන්නේ තමන් සතු සියල්ල බව ඔවුහු දනිති.”‍මුල් කාලයේ අනතුරු අගවලා තිබුණේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමෙන් ග්ලැසියර දියවීම පැසිපික් කලාපයේ දූපත් වලට බලපෑම් ඇති කරන බව.නමුත් අලු‍ත් අධ්‍යයනයන් වලින් කියැවෙනවා ලෝකය පුරාම තැන තැන තියෙන දූපත් හැම එකකටම මේ බලපෑම ඇතිවෙනවා කියලා. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කර ගැනීම සදාචාරය සහ මනුෂ්‍යත්වයට සංවේදී දෙයක් බවටත් පත් වෙනවා. මොකද ඒ දූපත් වාසින්ට අහිමි වෙන්න යන්නෙ ඔවුන්ගේ රට,ඒකත් මුළු ලෝකයම වගකිව යුතු වරදක් වෙනුවෙන්!”‍ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීම ‘වහා ක්‍රියාත්මක විය යුතු‘ කටයුත්තක් වන්නේ ඒ නිසා ය. හුදු පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමම නොව ලෝකයේ දේශපාලන නායකත්වයේ දායකත්වය මේ වෙනුවෙන් වුවමනා වන්නේ ඒ නිසා ය.

පැරිස් සමුළුවේදී රටවල් එකඟ වූ ප්‍රතිපත්තීන් 2030 වන විට ක්‍රියාත්මක කරවීමට දේශපාලන නායකත්වයන් සමත් වේ නම් අවධානම අවම කර ගැනීමට ලෝකය සමත් වනු ඇත.”‍මේක තමයි අපි හරියටම තීන්දුවක් ගත යුතු වෙලාව.අපිට වුවමනා වෙන්නේ පිරිසිදු ශක්තීන්, ඒ වගේම තිරසාර ජීවන රටාවක්.

අපි අපේ වනාන්තර සහ ඒවායේ ජීවත් වන් ජීවීන් ආරක්ෂා කර ගත යුතුයි. මේ තමයි හොඳම කාලය හැරවුම් ලක්ෂ්ය හදා ගන්න.”‍දේශගුණ විපර්යාස මණ්ඩල වාර්තාවේ එසේ ලියැවී ඇත්තේය. ලෝකය මෙවන් අවදානමක තිබුණේ නැත.

මේ අවදානමට ලෝකය ඇද දැමුවේ අප ම ය. ලෝකය එයින් මුදවා ගත යුත්තේ ද අප ම ය. නැතහොත් සියල්ල අහිමිවී යන්නේ අපට ම ය. මහපොළව මතට අවසනායට ම එක්වී අලු‍ත් ම ජීවියා වන අප අපට ඕනෑ හැටියට මුරණ්ඩුකම් කිරීමේ වරදට දඩුවම දැන් ලැබී ඇත්තේ ය. ‘උෂ්ණත්වය වැඩි වූවාට, ග්ලැසියර දියවූවාට අපිට කමක් නැහැනෙ, පොඩි දූපත් යටවෙයිනෙ‘ කියා අහක බලා ගන්නට ලෝකයේ කිසිම බලවතකුට හැකියාවක් ද නැත. සැමගේ වරදින් හෙට පොඩි වුන් ද පසුදිනට ලොකුවුන් ද යට කරගෙන තම සාගරයේ අණසක පතුරුවන්නට මිහි මව දෙවරක් නොසිතනු ඇති නිසා ය. මිහිතලය තම නිවහන කරගත් සෑම මිනිසකුට ම මේ වගකීමෙන් මිදෙන්නට බැරිය.

අදම තීන්දුවක් ගත යුතුය. අද ම එක් ගසක් හෝ සිටුවා සිය වගකීම ඉටු කළ යුතුමය. ඒ ලෝකය උණුසුම් කරවන ‘ විමෝචනය වන කාබන් ‘ මට්ටු කර ගත හැක්කේ ගස් වලටම නිසා ය!

අදහස්