දුවේ උඹ පාස්... | සිළුමිණ

දුවේ උඹ පාස්...

අම්පාර පන්නල්ගම පදිංචි අනුර වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇත. ඒත් ඒ සිදුවීම කාටත් තවමත් හොඳින් මතකය. එදා අනුරගේ පුංචි දියණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. ඇය විභාගයට ගියේ අනුරගේ මිනියට වැඳ ය. තාත්තාගේ මිනියට වැඳ විභාගයට නික්ම ගිය මේ දියණිය මේ රටේ සංවේදී මනුෂ්‍යයන්ගේ නෙත් අගට නොවියැකෙන කඳුළක් එක් කළාය. මේ පොළොවේ සැබෑ මනුෂ්‍යයන්ගේ ජීවිත ඛේදවාචකය මේ යැයි ඇය සංකේතවත් කර තිබිණි.

දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී ඇත. මහ පොළොව තරම් ජීවන බරක් දරාගෙන ඒ බරින් හෙම්බත්වූ මිනිස්සුන්ගේ සැබෑ අරගලය මධ්‍යම පාන්තික අම්මලාගේ අශික්ෂිත තරගයෙන් වෙනස්ය. ඒ මිනිස්සුන්ට ජීවත්වීම අප දන්නා මානයෙන් එපිටය. නියඟයෙන් පීඩා විඳින්නේ ඒ මිනිස්සුය . ගං වතුරත් ඔවුන්ට ය. වන අලි ගහන්නේත් ඔවුන්ටය. පාරට බට විට අලි ගසා මරන ඒ මිනිසුන්ගේ දරුවන්ගෙන් ශිෂ්‍යත්වය පාස් දැයි අහන්නට හිත් දෙන්නේ නැත. එහෙත් අපි ඒ දියණිය සොයා ගියෙමු. ඇය විහංගා ආකර්ෂාය. වන අලි ප්‍රහාරයකට ලක්ව තාත්තා මරා දැමූ මොහොතේ මිනියට වැඳ ශිෂ්‍යත්ව විභාගය ලියන්නට ගිය දියණිය ඇය ය. අහිමිවීමේ වේදනාව දැන් ඇයට හුරුය. ඇය පිච්ච මල් කැකුළක් සේ සිනාසෙමින් සිටියාය.

අප ගියේ ශිෂ්‍යත්ව විභාගයට ඇය මුහුණ දුන්න අයුරු ගැන අහන්නටය. එහෙත් ඇය කියන්නේ ඇගේ තාත්තා ගැනය. දැනී නොදැනුණ බඩගින්න ගැනය. මරණයේ බිහිසුණුකම ගැනය.

“ තාත්තා මට ගොඩක් ආදරෙයි. අයියටයි මල්ලිටයි දෙන්නටත් තාත්තා ගොඩක් ආදරෙයි. අපිට කුඹුරු නැහැ. තාත්තා වෙන කෙනෙගේ කුඹුරක් තමයි වැඩ කළේ. වැඩ නැති කාලෙට හම්බවෙන කුලියක් කරනවා. මෙහෙ වැඩ නැති කාලෙට කොළඹ ගිහින් මොනව හරි වැඩක් හොයා ගන්නවා. වැඩ නැති කාලෙට අපිට කන්න බොන්නත් අඩුපාඩු වෙනවා. සමහර දවස්වල උයන්න දෙයක් නති වුණාම තාත්තා කොහෙන් හරි අපට කන්න දෙයක් ගෙනල්ලා දෙනවා. සමහර දවස්වල වැවේ ගිහින් මාළු අල්ලනවා. තාත්තා ගොඩක් මහන්සි වුණා අපිව බඩගින්නේ තියන්නෙ නැතිව මොනවා හරි කන්න දෙන්න. අම්මා කොහොම හරි අපිට මොනව හරි උයලා කන්න දෙනවා. දවසක් තාත්තා අපිට කන්න දෙන්න විදිහක් නැතිව දරුවෝ ටික දුක් විදිනවා බලන් ඉන්න බැහැ කියලා කුඹුරට ගිහින් හොඳටම අඩලා මැරෙන්න ගිහින් අපේ ලොකු තාත්තා තමයි බේරගෙන තිබ්බේ. එදා ලොකු තාත්තාව අපේ තාත්තාව ගෙදර එවන්නේ නැතිව එහේ තියාගෙන තිබ්බා. පහුවදා උදේ ලොකු අම්මා අපිට හාල් පොල් එහෙම අරන් ආවා. කොහොමත් අම්මයි තාත්තයි අපිව බඩගින්නේ තිබ්බෙ නැහැ. අඩුපාඩු තිබ්බා. ඒත් අපි කොහොම හරි ඉස්කොලේ ගියා. ආසාවෙන් ඉස්කෝලෙ ගියා.

අපි පන්නල්ගම ඉස්කෝලෙට ගියෙ. අයියා සාමන්‍ය පෙළ පාස් උනා. තාත්තට වියදම් කරන්න සල්ලි නැහැ කියලා උසස් පෙළ කරන්න බැහැ කියලා අයියා ඉස්කෝලේ යන්නේ නැතිව නතර වුණා. අම්මයි තාත්තායි කිවා කොහොම හරි වියදම් කරන්නම් අඩුපාඩු අරන් දෙන්නම් ඉස්කොලේ යන්න කියලා. අයියා මොකක් හරි වැඩක් කරන්නවා තාත්තට කරදර කරන්න බැහැ කිවා.

මගෙ පන්ති භාර නන්දනී මැඩම් වගේම අනික් ගුරුවරු හැමෝම මට ගොඩක් ආදරෙයි. ඒත් මට තාත්තා මතක් වෙද්දි හරිම දුකයි. කඳුළුත් එනවා.

එදා අම්මයි මල්ලියි මායි ඉස්කොලේ ගිහින් එද්දි හැන්දැවේ 4ට විතර ඇති. තාත්තා අපි එද්දි ගෙදර හිටියේ. අපිට ගොඩක් බඩගිනි නිසා ගෙදර ආවා ගමන් කෑවා. අපි හිතුවේ තාත්තා කාලා කියලා. ඇහුවෙත් නැහැ. ගොඩක් හැන්දැ වෙලා නිසා කන්න ඇති කියලා හිතුවා. මුට්ටියේ බත් ටිකයි මාළු කැල්ලකුයි තිබ්බේ. එක අපි කෑවා. ටික වේලාවකින් තාත්තා කුස්සියට ගිහින් බත් දංකුඩ ටික අරන් මාළු හට්ටියේ අඩියේ ඒ බත් දාලා කෑවා. එතකොටයි අපි දන්නේ තාත්තා තවම කාලා නැහැ කියලා. ඒ වෙලේ මට ගොඩක් දුක හිතුණා. අපිට කන්න නැතිවෙයි කියලා තාත්තා කාලා නැහැ . අපි කනකම් තාත්තා කෑම කෑව විදිහට හිටියා. ඊට පස්සේ තාත්තා කුස්සිය ළඟ වාඩිවෙලා මගෙ ඔළුව අතගාලා සුදු අම්මි ඔයා හොඳට ඉගෙන ගන්න ඕන. තාත්තා ඔයාට කොහොම හරි පොත් පත් අරන් දෙනවනේ කීවා. ශීෂ්‍යත්ව විභාගේ හොඳට ලියලා පාස් වෙන්න කීවා.

අම්මාට කිවා අපි ගිහින් නාගෙන එමු කියලා. පස්සේ අම්මයි තාත්තායි මායි මල්ලියි ඇළට ගිහින් නාගෙන ආවා. ඊට පස්සෙ තාත්ත අම්මගෙන් රුපියල් 200ක් ඉල්ලගෙන කඩේටත් ගිහින් කුඹුරෙ අලි එන නිසා ලාම්පු පත්තු කරලා එන්නම් කියලා ගෙදරින් ගියා.

තාත්තා කඩේ ගිහින් එද්දි හැමදාම මොනවා හරි ගේනවා. ගොඩක් වේලාවටට බනිස් ගේන්නේ . මමයි මල්ලියි බනිස් කන්න ආසයි. එහෙම නැති නම් බිස්කට් හරි මොනවා හරි මටයි මල්ලිටයි ගෙනත් දෙනවා. එදා තාත්තා හත විතර වෙනකම් ආවේ නැහැ. හතට විතර ලොකු අම්මා දුවගෙන ඇවිත් කිවා තාත්තා බයිසිකලෙන් වැටිලා ටිකක් තුවාල වෙලා කියල. මට බය හිතුණා. පපුව හීතල වෙලා යනවා වගේ දැනුණා. බය වෙන්න එපා එච්චර අමාරුවක් නැහැ කියලා ලොකුඅම්මා කිවා. අම්මා තාත්තාගේ ඇඳුම් එහෙම අරන් තොට්ටම ඉස්පිරිතාලෙට ගියා.

අම්මා ඉස්පිරිතාලේට යද්දි තාත්තා ඇඳක දඟල දඟලා ඉඳලා තියෙනවා. එතකොට තාත්තාගේ මුහුණෙන් ඔළුවෙන් එහෙම ලේ ගොඩක් ඇවිල්ලා තියෙනවා. අම්මා එතකොට බය වෙලා කෑගහලා අඩලා. තාත්තා තොට්ටම ඉස්පිරිතාලෙන් අම්පාරට අරන් ගියාම අම්මා ආයේ ගෙදර ආවා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දි තාත්තා මැරුණා කියලා කියනවා ඇහුණා.

මං හිතුවා එයාල කියන්නෙ බොරු කියලා. ඒත් අම්මා අඬනවා මං දැක්කා. මටත් ඇඬුණා. තාත්තා මැරුණම කැලේට ගිහින් වළ දායි කියලා හිතුණම මට ගොඩක් දුක හිතුණා. අලියා තාත්තාට හොඳටම ගහලා තමයි තාත්තා මරලා තියෙන්නේ. මගේ තාත්තා අලියගෙන් බේරෙන්න දුවලා තියෙනවා. ඒත්. අලියා පස්සෙන් පන්න පන්න අපේ තාත්තාට ගහලා තියෙනවා.

තාත්තා අම්පාර ඉඳන් පෙට්ටියක දාලා ගෙදර එක්කරන් එද්දි මට දරා ගන්න බැරි වුණා. ආයේ මට මගේ තාත්තත් එක්ක කථා කරන්න වෙන්නේ නැහැ කියලා හිතුණම මට ඇඩෙන්න ගත්තා. බලද්දි ඔක්කොම වගේ තාත්තා පෙට්ටිය ළඟට වෙලා අඬනවා. පහුවදා ශිෂ්‍යත්ව විභාගය. ඒ අතරෙ මට කියනවා ගිහින් පාඩම් කරන්නලු. මං කොහොමද මාමෙ පාඩම් කරන්නෙ. තාත්තා මැරිලා ගෙයි පෙට්ටයක ඉන්නවා. ඒත් මගෙ යාළුවො ඇවිත් මාව එක්ක ගියා පාඩම් කරන්න. ලොකුඅම්මලගෙ ගෙදරට ගියෙ. අනේ මෙයාලට තේරෙන්නෙ නෑ. මගෙ ඔළුව හිරවෙලා. කිසි දෙයක් පේන්නෙවත් නෑ. මං ගිහින් තාත්තගෙ පෙට්ටිය ළඟ නිදා ගත්තා.

පහුවදා උදේ ශිෂ්‍යත්ව විභාගෙ. මං දැන් යන්න ඕන විභාගෙට ලියන්න. මට බෑ කියලමයි හිත. ඒත් උදේම අපේ ඉස්කොලේ මැඩම් කාර් එකේ අපේ ගෙදර ආවා. මැඩම් ඇවිත් මාව එක්ක යන්න. මම අම්මාට වැඳලා තාත්ත ළඟට ගියා. එයා පෙට්ටියෙ නිදි. මං තාත්තාටත් වැන්දා. මට හොඳටම ඇඬුණා. ඔළුව උස්සලා බලනකොට අනිත් අයත් අඬනවා.

මැඩම් සාරි පොටින් කඳුළු පිහිදා ගන්නවා දැක්කා. පස්සෙ මාව කාර් එකට දාගෙන මාන්තොට්ටම ඉස්කෝලේට මැඩම් මාව එක්කරන් ගියා. එතෙන්ට හැමෝගෙම අම්මලා තාත්තලා ඇවිල්ලා. මගේ තාත්තත් හිටිය නම් මං එන්නෙ තාත්තත් එක්ක. . ආයේ මට තාත්තා මාව කොහෙවත් එක්ක යන්නෙ නෑ... ඉතින් මං අඬන්න ගියෙ නෑ. බිම් බලාගෙන විභාගෙ තියන තැනට ගියා.

මට දන්න දේයක්වත් ලියාගන් හිත නෑ. විභාගේ ලියන්න ගත්තම තාත්තා ගෙදර පෙට්ටියේ ඉන්නවා පේනවා මාමෙ. මට එතකොට ඇඬෙනවා. මං හිටියෙ විභාගෙ ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉවර වුණා ගමන් මං දුවන් ආවෙ තාත්ගෙ පෙට්ටිය ළඟට. ගිහින් හයියෙන් ඇඬුවා. මං තවත් රෑට අඬනවා මාමෙ. මට පාළුයි.

“පුතා ඉතින් ශිෂ්‍යත්වෙ පාස්නෙ... තාත්තගෙ බලාපොරොත්තු ඉෂ්ට කළා නෙ.” අපි ඇය අස්වැසුවෙමු.

නෑ මාමේ... මට ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න බැරි වුණා. කමක් නෑ. මං තාත්තගෙ බලාපොරොත්තු කොහොම හරි ඉෂ්ට කරනවා. මම කොහොම හරි ලොකු වුණාම ටීචර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ අම්මාව බලා ගන්නවා. දැනට අම්මා රස්සාවක් හොයනවා. ඉස්කෝලෙ මැඩම් අම්මට රස්සාවක් හොයලා දෙන්න මහන්සි ගන්නවා.”

මේ පුංචි කෙල්ලගේ මුහුණ දෙස බලාගෙන සිටියෙමි. ඇයට ලකුණු එකසිය දොළහක් ලැබී තිබේ. එක විෂයකට පනස් හයකි. පුංචි එකී විභාගය සමත්ය. ලකුණු අසූ තුනක් විෂයකට ලබා ගන්නා දරුවන් අසමත් කරන කාලකණ්ණි තරගයකින් ඇය අසමත් බව සැබෑය. නමුත් අලි ගසා මැරූ සිය පියාගේ මිනිය ගෙදර තියෙද්දී විභාගයට පැමිණ විෂයකට ලකුණු පනස් හයක් ලබා ගත් මේ පුංචි පැටියා අගය කළ යුතු මානය මේ සමාජයට තේරෙන්නේ නැත. ඇය ළඟට තුරුලු කරගෙන හිස අතගෑවෙමි.

“රත්තරන් පුතේ... උඹ විභාගෙ පාස්...”

අදහස්