හැදෙතොත් හැදෙන්නට තවමත් නැත බාධා..! | සිළුමිණ

හැදෙතොත් හැදෙන්නට තවමත් නැත බාධා..!

  • ගෝලීය ආර්ථිකය
  • විධිමත් විශ්ලේෂණ

''මෙරටේ ආර්ථික ක්ෂේත්‍රයෙහි විද්වතුන් හා විශේෂඥයන්ගේ උපදේශනය ලබාගැනීමේ සැලැස්මක් 70 දශකය වැනි පාලන යුගයේ ස්ථාපිත කර තිබුණත්, ක්‍රමයෙන් එය අභාවයට හෝ බල රහිත තත්ත්වයකට හෝ ගිය බව පෙනේ. පනහ, හැට වැනි දශකවල පාලකයන්ට රටේ සම්පත් මංකොල්ලකෑමේ දොළක්ද නොවීය''

මේ දිනවල අප රටේ සමාජ-දේශපාලන ක්ෂේත්‍රවල පමණක් නොව, සියලු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්සේද සාකච්ඡාවට භාජනයව තිබෙන ප්‍රශ්න සියල්ල අබිබවා මුලටම පැමිණ ඇති මාතෘකා දෙකකි. පළමුවැන්න: දිනෙන් දින අලුත් වන ආර්ථික අර්බුදයත්, ඒ සමඟ ගැටගැසී ඇති රුපියල අවප්‍රමාණය වීමත්ය. දෙවැන්න: භාරකාර ආණ්ඩුවක් පිළිබඳ කෙරෙන නොයෙකුත් ප්‍රකාශය.

මේ අතුරින් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉකුත් සතියේත් අපි යම් යම් කරුණු දැක්වීමු. අපගේ නිගමනය වූයේ මේ ආර්ථික අර්බුදය නමැති රෝගය නිදන්ගත ව්‍යාධියට ප්‍රත්‍යක්ෂ ඖෂධ දී එය මුලිනුපුටා දැමීමට මේ රට කරවූ කිසිවකුට සාධනීය වැඩපිළිවෙළක් නොවූ බවයි. දේශපාලනය හා ආර්ථිකය අතර ප්‍රබල අන්තර්-සබඳතාවක් තිබෙන නමුදු, මෙරට ආර්ථික න්‍යාය හා භාවිතය දේශපාලන බලය අතට ගත් අය බරපතළ කාරණයක් ලෙස සැලකූ බවක් නොපෙනේ. දේශපාලන නායකයන් විසින්ම ආර්ථිකය මෙහෙයවනු ලැබීමේ විපාක වශයෙන් මේ රටට සිදුව ඇති හානිය සුළුපටු නොවන බවට චෝදනාවක් තිබේ. ආර්ථික විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිව, ප්‍රාමාණික විශේෂඥ උපදේශයකින් තොරව ආර්ථික සැලසුම් සකස් කරන කවර රටකට වුවද ඉදිරියට යා නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉටු වූ අපේක්ෂා

2015 ජනවාරි 08 දා මෙරට ජනතාව රාජපක්ෂ පාලනය පෙරළා දැමූයේ එවක පැවති සමාජ, ආර්ථික, දේශපාලන, අධිකරණ යනාදි ක්ෂේත්‍ර ගණනාවක තිබුණු විකෘති වෙනස් කර, යහපත් නීතිගරුක රටක් නිර්මාණය කරගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයාට රට භාර කරන්නේත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස තෝරන්නේත් ඒ වෙනස සිදු කිරීමට අවශ්‍ය බලයද සමඟය. එය සාර්ථකද නැද්ද යන්න පිළිබඳ මතුපිටින් බලා කෙරෙන විවේචන සමඟ එකඟ විය නොහැකිය. අපගේ අදහස වන්නේ එයින් මේ රටේ ජනතාව අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු වූ බවය. ජාතිවාදී ප්‍රවණතා අඩු කරගැනීමට මෙන්ම මාධ්‍ය නිදහස, ස්වාධීන ආයතන බිහි වීම වැනි සාධනීය ජයග්‍රහණ සියල්ල එහි ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.

එහෙත් රටේ ජාතික ආර්ථිකය පිළිබඳ යහපත් සංවර්ධනයක් නොවූ බව අද අප අබියස තිබෙන යථාර්ථයයි. අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මේ ආණ්ඩුවේ වරදක් ලෙස අර්ථකථනය කිරීම දේශපාලන ප්‍රතිචාරයකි. එහෙත් ඒ අර්බුදයට ශක්තිමත් ලෙස මුහුණ දීමට ආණ්ඩුව අසමත් වීම පිළිබඳ විවේචනයක් තිබේ. අද සමස්ත ලෝක ආර්ථිකයම අර්බුදයක ගිලෙමින් තිබේ. එය වනාහි ගෝලීය ආර්ථිකයේ අනිවාර්ය ඵලයක් බව කිව යුතුය. අපගේ ආර්ථික මූලෝපාය පදනම් වී ඇත්තේ විදේශ ආයෝජන මතය. එහෙත් එය සංවර්ධනය සඳහා විධිමත් සැලසුම් අපට තිබිණි නම් මේ අවුල ළිහාගැනීම අසීරු නැත. ලෝක ආර්ථික බලවතුන් වන ඇමෙරිකාව, ඉන්දියාව හා චීනය අතර ඇති වී තිබෙන සීතල යුද්ධයේ ප්‍රතිඵල ලංකාව වැනි රටවලට විඳගැනීමට සිදුවීමද මේ අර්බුදය උත්සන්න කිරීමට හේතු විය. ගෝලීය ආර්ථිකය හැසිරෙන ආකාරය අමතක කර අපට ආර්ථිකය සැලසුම් කළ නොහැකි බව ඇතැම් විවේචකයන්ට නොතේරේ. එබඳු විධිමත් හැදෑරීමක් නැතිව ආර්ථිකය ගැන කථා කිරීම අපට සිහිපත් කරන්නේ අලියා සහ අන්ධයන්ගේ උපමාකතාවය. ආර්ථික ප්‍රාතිහාර්ය පෑම සඳහා ආණ්ඩු බලය වෙනස් විය යුතු බව ඔවුන්ගේ ‍යෝජනාවකි. අපි ඒවා ගැන ඉක්මන් නොවෙමු.

අර්බුුදයේ යථාර්ථය

එහෙත් රටේ ආර්ථිකය මෙහෙයවූ අය යම් යම් ක්‍රියාදාම සදොස් බව පළමුව වටහාගන්නේ රාජ්‍ය නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. එතැනදී මෛත්‍රී ජනධිපතිවරයා විසින් යෝජනා කරන ලද ආර්ථික සභාව ඉතා ඵලදායි අදහසක් බව අපගේ තේරුම් ගැනීමය. රටේ ආර්ථිකය දේශපාලන අභිලාෂයන් අනුව මෙහෙයවීමේ අගතිගාමී ක්‍රමය තවදුරටත් නඩත්තු කිරීම විනාශකාරී ප්‍රතිඵල උදා කරන්නක් බව මෛත්‍රී ජනාධිපතිවරයා තේරුම්ගත් බව තහවුරු වන්නේද එම ආර්ථික සභාව පත් කිරීම නිසාය. මෙරටේ ආර්ථික ක්ෂේත්‍රයෙහි විද්වතුන් හා විශේෂඥයන්ගේ උපදේශනය ලබාගැනීමේ සැලැස්මක් 70 දශකය වැනි පාලන යුගයේ ස්ථාපිත කර තිබුණත්, ක්‍රමයෙන් එය අභාවයට හෝ බල රහිත තත්ත්වයකට හෝ ගිය බව පෙනේ. පනහ, හැට වැනි දශකවල පාලකයන්ට රටේ සම්පත් මංකොල්ලකෑමේ දොළක්ද නොවීය. සිරිමාවෝ මැතිනිය එහිදී ක්‍රියා කළ ආකාරය විශිෂ්ට ය. ඒ ජයග්‍රහණ රැසක් අද ආපසු හරවා තිබෙන බවද කිව යුතුය. එහෙත් සිය නායිකාවගේ ජයග්‍රහණය මෛත්‍රී ජනාධිපතිවරයාට සිහිපත් නොවී නම්, ආර්ථික සභාවක් පිළිබඳ අදහස ඇති නොවීමටද ඉඩ තිබිණි. කෙසේ හෝ මහත් පරිශ්‍රමයකින් එම අදහස ක්‍රියාත්මක කිරීමට ජනධිපතිවරයාට හැකි විය.

ජනාධිපති ආර්ථික සභාව

ජගත් කීර්තියට පත් ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ඒ ආර්ථික සභාවේ ලේකම්වරයා ලෙස පත් වන්නේ මේ පසුබිම අනුවය. මහාචාර්ය ලලිත් යනු තම මවුබිමට සේවය කිරීම සඳහා කැප වූද දේශපාලනයෙන් නොකිලිටි වූද විද්වතකු බවට පිළිගැනීමක්ද ඇත. ඇමෙරිකාවේ සරසවියක භෞතික සම්පත් හා වරප්‍රසාද සහිත සුපිරි ජීවිතයක හිමිකම අතැර මවුරටට සේවය සඳහා පැමිණි ඒ විද්වතාට කටයුතු කිරීමට පහසු වාතාවරණයක් ඇති වූයේද යන්න අපි නොදනිමු. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවක අසතුටට පත් වන කණ්ඩායම්වල ප්‍රතිචාර යහපත් ඒවා නොවන බවද අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ ආර්ථික සභාවේ ව්‍යූහය ඉතා සාධනීය එකක් බව නම් පෙනිණි. ඒ සභාව නියෝජනය වූයේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති, මහබැංකුවේ අධිපති, භාණ්ඩාගාර ලේකම් වැනි ඉහළම නිලයන්ද අයත් වන පරිදිය. රටේ දේශපාලන බලය හිමි අයගේ ආශීර්වාදය නැතිව කිසිදු ආයතනයකින් සාර්ථක ප්‍රතිඵල ලද නොහැකිය. එහෙත් මේ ආර්ථික සභාව ගැන බොහෝ දෙනෙකු සුබවාදීව බැලූ බව පෙනිණි. නිල බලයෙන් පත් වූ පිරිසට අමතරව මෙරටේ ආර්ථික ක්ෂේත්‍රවලට අයත් ස්වාධීන විද්වතුන් මෙන්ම බුද්ධිමත්හු පිරිසක්ද එයට එක්ව සිටිති. අපගේ අදහස වන්නේ රටක ආර්ථික කළමනාකරණය දේශපාලනයට වඩා බැරෑරුම් බවය. ඒ සඳහා ප්‍රවීණ හා විශේෂඥ දැනුම සහිත ආර්ථිකවේදීහු අවශ්‍ය වෙති. එහෙත් මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව පිළිබඳ තිබුණු විවේචන ඉතා දැඩිය. පසුගිය යුගවල මෙරටේ ආර්ථිකය හැසිරවූ, අසාර්ථක ලෙස විවේචනයට ලක් වූ අයද ඒ කමිටුව තුළ වූහයි කියනු ඇසිණි. ජනපතිගේ ආර්ථික සභාව ක්‍රියාත්මක වූයේ එම අනුකමිටුවට උඩින් වීම නිසා ඒ කණ්ඩායම තුළ කිසියම් නොසතුටක් වී නම් එයද ස්වාභාවිකය.

එහෙත් ආණ්ඩුවට කළුපැල්ලමක් එක් කළ මහබැංකු සිද්ධිය වැනි ක්‍රියාකාරකම් සිදු වූයේද ඒ අනුකමිටුව බලාත්මකව තිබියදීය. මේ ආර්ථික අනුකමිටුවට වඩා ස්වාධීන බවක් ජනාධිපති ආර්ථික සභාව සතු වූ බව පෙනිණි. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එක්ව ආර්ථික න්‍යායපත්‍රය මෙහෙයවූයේ නම් බොහෝ අඩුලුහුඬුකම් වළක්වාගත හැකිව තිබුණු බව අපගේ අදහසය. එසේ නොවීම ආණ්ඩුව කරගත් මෝඩ වැඩක් බව මේ සියල්ල සමාලෝචනය කිරීමේදී අපට හැඟෙන දෙයයි. මේ ආණ්ඩුව තුළ තිබෙන කඹ ඇදිල්ල රහසක් නොවේ. නායකයන් දෙපළට එක ගමනක් යා හැකි වුවද පසු පෙළ නිතරම ප්‍රහාරවලට සූදානමින් සිටි අයුරු අපි දුටුමු.

ජාතික න්‍යායපත්‍රයක්

අද වන විට ඔඩු දුවමින් තිබෙන එජාප විරෝධි දේශපාලන පෙළගැසීමට මුහුණ දිය හැක්කේ පසුපෙළ කයිවාරුකාරයන් නිහඬ කර, ජාතික පොදු න්‍යාය පත්‍රයකට වැඩ කිරීමෙන් පමණි. එජාපයේ පසුපෙළේ මනස නොවැඩුණු, දේශපාලන වහසිබස් දොඩන අය හිතන්නේ මේ ජනවරම එජාපයට ලැබුණු බවත් මෛත්‍රී යනු එයින් සුපෝෂණය වූ නායකයකු බවත්ය. එහෙත් එය ඉතා පටු, වැරදි විනිශ්චයකි. එජාපයට තනිව ආණ්ඩුව කිරීමට බලය නොලැබුණු අතර, එදා මහින්දට ආසන 95ක් දිනාගත හැකි වූ බවද අමතක නොකළ යුතුය. මොන ක්‍රමයකින් හෝ අද මහින්ද ජනප්‍රිය නායකයා බවට පත්ව සිටියි. ඔහුට වුවද තනිව ජනබලයක් ලබාගත හැකිද යන්න ප්‍රශ්නයක් වුවත්, මහින්ද පිලට ලකුණු වැටෙන ආකාරයට බොහෝ දේ සිදු වන බවද පෙනේ. පොලීසිය පොලිස් කෝලමක් වූ බවට තිබෙන විවේචනය මෙන්ම පළාත් පාලන මැතිවරණ කල් දැමීමද ජනතාවගේ අප්‍රසාදයට හේතු වී තිබේ. තවමත් මේ වැරදි අඩු කරගෙන යෑමට බාධාවක් නැත.

මහින්ද-මෛත්‍රී හමුවක් පිළිබඳ පැතිරෙන කතා-බහ කුමක් වුවද එබඳු තැනකට රට තල්ලු වුව හොත් එයට වගකිව යුත්තේ කවුරුද? මේ නිසා අද උද්ගතව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය නිරාකරණය කිරීම ආණ්ඩුවට වාසිදායක වනු ඇත. මේ ආණ්ඩුව පෙරළා දමන්න බැරි යැයි බොරු සද්ද දැමීම ඒ ඒ අයගේ පපුවට සනීපයක් විය හැකිය. එහෙත් යථාර්ථය එය නොවන බව පමණක් කිව යුතුය. මුලින් සඳහන් කළ පරිදි කුඩා කණ්ඩායමක අභිමතය අනුව ක්‍රියාත්මක වන ආර්ථික සැලසුම්, ජාතික ආර්ථික සභාව මුල් වී සිදු කිරීම තවදුරටත් පමා කළ නොහැකිය. ජාතික ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ආර්ථිකය පමණක් නොව අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර, ක්‍රීඩා, ආරක්ෂක මෙන්ම ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳවද විධිමත් විශ්ලේෂණ වුවමනා වේ. එකක් අනෙක හා නොගැටෙන පරිදි ජනතාවගේ යහපත සඳහා සැලසුම් සකසාගැනීම මෙහිදී ඉතා වැදගත්ය.

විසඳූ ගැටලු

එහෙත් මෙතෙක් ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිවල දුබලතාව හොඳටම පැහැදිලිය. දැන් සමහරුන්ට අවශ්‍යව ඇත්තේ තම දොස් වසාගැනීම සඳහා ආවරණ සෙවීමය. මෙහිදී ආර්ථික සභාව මැදිහත්ව ජනතාවගේ අභිලාෂ තේරුම්ගෙන ප්‍රතිචාර දැක්වූ අවස්ථාද අපට සිහි වේ. මෙයට හොඳම නිදසුන පොහොර සහනාධාරය වෙනුවට ගොවියන්ට මුදල් ලබා දීමට ගත් තීරණය වෙනස් කිරීම දැක්විය යුතුය. පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීම ගැන ගොවියෝ හා ගොවිසංගම් දැඩි සේ විරුද්ධ වූහ. විරෝධතා, පෙළපාළි නිමක් නොවීය. අපට තිබෙන තොරතුරු අනුව ආර්ථික සභාවේ මහලේකම් හා එවක සිටි කෘෂිකර්ම ඇමැතිවරයා ඒ ගැන දීර්ඝ හැදෑරීමක් කොට යළිත් පැරණි ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. ගොවීන් හා ගොවිසංගම් සමඟ සාකච්ඡා කර ඒ ගැටලුව විසඳීමට ඔවුන්ට හැකි විය.

පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයක් ඇති වූ තවත් යෝජනාවක් අපට මතකය. ඒ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මහබැංකුවෙන් ඉවත් කිරීමට ගත් තීරණයකි. මෙයද වළක්වාගත හැකි වූයේ ජාතික ආර්ථික සභාව මැදිහත් වීම නිසාය. මහබැංකුව සතු මූල්‍ය බලය දේශපාලන අත්වලට පවරා දිය යුතු නැති බව පිළිගත යුතු තර්කයකි. එහෙත් ඒ ප්‍රයත්නය පසුපස සිටි අඳුරු සෙවණැලි කාගේදැයි අපි නොදනුමු. එහිදීත් මෛත්‍රී ජනාධිපතිවරයාට තම ආර්ථික සභාව ශක්තියක් වූ බව නිසැකය.

උපන්ගෙයි දෝෂය

ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස මේ වන විට 70 වසරක් ගෙවී ගියත් අප අත්පත් කරගත් ජයග්‍රහණ හෝ ආර්ථික ස්ථාවරත්වය කුමක්ද යන ප්‍රශ්නය බොහෝ විද්වත්හු නඟති. දේශපාලන අභිමතයටම යට වූ රටක් සියලු පිරිහීම්, පසුබැසීම් සමඟ අපට ඉතිරි විය. 2015 ජනවාරි 08 සිදු කළ අලුත් ඇරඹුම ඥාති සංග්‍රහය හා මිතුරන් පිනවීම දුරලීමට දුන් ජනවරමක්ද විය. එහෙත් ඒ නරක දේවල්ද මේ පාලනය තුළත් සිදු විය. රටක ආයතන, භාරදිය යුත්තේ නිසි රිසි අයටය; පළපුරුද්ද හා පළපුරුද්ද ඇති අයටය. එහෙත් ඒ ප්‍රතිපත්තිය බිඳදැමූ රටක් ලෙස ඉදිරියෙන්ම සිටීමට අපට හැකි විය. අද ජනතාවට අවශ්‍ය නිදහසේ, ජීවත්වීමටය. ආර්ථික පීඩනයක් නැති, ණයක් නැති, බියක් නැති රටක් ඒ ජනතාවගේ අපේක්ෂාව බව අපි දනිමු. ආණ්ඩුව කියන විදිහට ආර්ථික අර්බුදයක් නැති නම් ජීවන වියදම වැඩිවන්නේ කෙසේද යනු ඔවුන්ගේ ප්‍රශ්නයයි. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඉහළ යන විට එයට හරස් වීමට අපට බැරි බව ඇත්තය. එහෙත් මිල සූත්‍රය පාරිභෝගිකයා ගසාකන සූත්‍රයක් නම් එය අවුලකි. මුදල් ඇමැතිවරයා සඳහන් කළේ ඒ සූත්‍රය තමාවත් නොදන්නා බවකි. එහෙත් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මිල සූත්‍රය පතුරු ගැසූ අයුරු රහසක් නොවේ. ඔහු එහි අඩංගු බදු, අඩුපාඩු පෙන්වා දෙමින් පැය කීපයකට පසු යළිත් මිල සූත්‍රය අනුව ඉන්ධන වර්ග කීපයක මිල ඉහළ ගොස් ඇත. කෙසේ වුවද මේ මිල සූත්‍රය ඉදිරිපත් වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවක් අනුවය. අපට අනුග්‍රහ දක්වන්නේ වෙස්සන්තරලා නොව ධනවාදී බලවතුන් බවද අපි දනිමු. එහෙත් මේ මිලසූත්‍රය මේ තරමින් හෝ ගොඩදමාගත හැකි වූයේ ආර්ථික සභාව මගින් මෛත්‍රී ජනාධිපතිවරයා කළ මැදිහත් වීම් නිසාය. මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක් කර කරුණු නොදැක්වූයේ නම් මේ මිලසූත්‍රය දිනපතා ක්‍රියාත්මක වීමට වුව ඉඩ තිබී ඇත. තෙල් මිල වැඩි වුවත් මිල ඉහළ දැමීමේ ප්‍රතිශතය 3% නොඉක්මවිය යුතු බව ආර්ථික සභාවේ යෝජනාව විය. මිල සූත්‍රයේ පීඩනය අඩු වූයේද ඒ නිසාය.

මේ ජාතික ආර්ථික සභාව පිළිබඳ යෝජනාව චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන යුගයේදීත් ඉදිරිපත් වූ බවට අපට මතකයක් තිබේ. එහෙත් එය ක්‍රියාත්මක නොවිය. මේ ආණ්ඩුව පත් වූ විටද ආර්ථිකය මෙහෙයවූයේ විශේෂයෙන් එජාපයේ අධීක්ෂණය යටතේය. මුදල් අමාත්‍ය ධුරය හිමි වූයේ එජාපයටය. මේ ආණ්ඩුව තුළ එජාප හා ශ්‍රීලනිප යන භේදය අඩු කර, සිය අතීත දේශපාලන විරුද්ධවාදිකම් අත්හැර ඉදිරියට යා හැකි බව බොහෝ දෙනකුගේ විශ්වාසය විය. එහෙත් නායකයන්ට පවා පාලනය කරගත නොහැකි ආකාරයට ඒ භේදය නිතර ප්‍රදර්ශනය විය.

ජනපති හා අගමැති එක්ව යන ගමනකදී පසුපස සිට ඒ ගමනට එකාවන්ව සහාය දිය යුතු විය. බොහෝ විට දේශපාලනයේ හිසට වඩා වල්ගය ක්‍රියාත්මක වන බවද අප දන්නා දෙයකි. එසේම ඒ වල්ගය කැඩී යෑමේ අනතුරක්ද තිබේ. එවිට වන්නේ තවත් අවුල් නිර්මාණය වීම පමණි. ආණ්ඩුවක් යනු රටට වැඩ කළ හැකි, ස්ථාවරත්වයක් සහිත එකක් විය යුතුය. ආණ්ඩුව වශයෙන් ගත් විට එහි බෙදීම් පිටට ප්‍රදර්ශනය විය යුතුද නැත. එහෙත් මේ ලක්ෂණය මේ ආණ්ඩුවේ උපන්ගෙයි දෝෂයක් වැන්න. එහි නියත විපාකය ජනතා අපේක්ෂා බොඳ වීම පමණි. ආර්ථික හා දේශපාලන අර්බුද වර්ධනය වීම යනු කිසිසේත් ආණ්ඩුවේ ඉදිරිගමන පිළිබඳ යහපත් සංඥාවක් නොවේ. බලය හා ආධිපත්‍යය කපටි ක්‍රමවේද මගින් ලබාගැනීමට කල්පනා කරන කිසිවකුට සාර්ථක විය නොහැකි බව ඉතිහාසය ඕනෑවටත් වඩා පෙන්වාදී තිබේ.

 

 

Comments