අපි වැව් මාළු ටින් මාළු කළා | සිළුමිණ

අපි වැව් මාළු ටින් මාළු කළා

  • කැට්ලා මාළුවෙක් කිලෝ 35 දක්වා වැවක ලොකු වෙනවා. මේ මාළු අපට බෝ කර ගන්න පුළුවන්
  • වෙලාව හොඳද නරකද කියන එක නෙවෙයි, මාකට් කරගන්න තියෙන අවස්ථාව විතරයි මට වැදගත්.
  • මම මාළු හේදුවා. කටු ඇනි ඇනී ඉස්සො සුද්ධ කළා. දවසකට පැය 16ක් වැඩ කළා.

බේරුවල උපන් ඔහු, මූදු මාළුවල රහ ගුණ හොඳින් දනියි. කළුතර පළාතේ සරුවට වැවෙන කොස්, පොළොස් රහ ද ඊට දෙවැනි නැත. මේ සියල්ලට අගයක් දුන් ඔහු, මාළු සහ එළවළු ආහාර අපනයනයට අත ගැසුවේ අවුරුදු 29 කට ඉහතදීය. ශ්‍රී ලාංකේය ව්‍යවසායකයකුට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජනාධිපති රන් සම්මානය ඔහුට පිදෙන්නේ, එදා මෙදා තුර විදෙස් විනිමය ගෙනෙමින් රටට කළ මෙහෙය අගයා ය.එබැවින්, ලද බොහෝ අපනයන සම්මාන අතර එය ඔහුට රන් සලකුණකි. කෙනෙකුට රහ, තවත් කෙනෙකුට පිළී ගඳැති මාළුවලට ඔහු දුන් වටිනාකම ඔබ කියැවිය යුතු ඒ නිසාය.

මොනවද ‍ෆෝර්කොන්ස් සමාගමේ නිෂ්පාදන...

මාළු ඇඹුල්තියල්, කජු කරි, මැකරල් මාළු, කොස් දෙල් සහ මස් - මාළු මිශ්‍ර කළ ෆ්‍රයිඩ් රයිස්, ටින් හැටියටත්, බැඳපු කරවල වර්ග, උම්බලකඩ ආහාර, චට්නි, පොල්සම්බෝල බෝතල් හැටියටත්, වායු රික්තක (වැකියුම් පැක්) ඇසුරුම් හැටියටත් පිටරට යනවා. මීට අමතරව, ඔබ ගෙදර පිසින ඕනෑම ආහාරයක් අවුරුද්දක් කල් තබා ගන්නට හැකි පරිදි වැකියුම් ටින් හැටියට අසුරා දෙන්න අපට පුළුවන්. හුඟක් අය දැන් පිටරට ඉන්න තමන්ගේ ආදරණියයන් වෙනුවෙන් කෑම හදාගෙන ටින් කරගන්න එනවා. ඒ වගේම මාළු ආශ්‍රිත ආහාර ටින්කොට, යුරෝපා හවු‍ෙල් රටවලට යවන අවසරය ශ්‍රී ලංකාවේ තිබෙන්නේ අපිට පමණයි.

කොයිතරම් ‘නැහැ’ කිව්වත් ආහාර කල් තබා ගන්න රසායනික දේ, රසකාරක යොදනවා ඇති...

අපි ෆ්‍රයිඩ් රයිස් ටින් කරන්නේ අවුරුදු දෙකක් තියාගන්න පුළුවන් විදියට. මේ කිසිම ආහාරයකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොදාන්න අපි බැඳී ඉන්නවා. එහෙම දැම්මොත් යුරෝපා යුනියන් එකේ රටවලින් අපේ ආහාර ප්‍රතික්ෂේප කරනවා. මේ සෑම ආහාරයක්ම ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමෙන් පමණයි ජීවාණුහරණය කරන්නේ. ඔවුන්ගේ ඉහළම ප්‍රමිතීන්ට සහ නීතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනවා නම් පමණයි ඔවුන්ගේ රටවලට ආහාර යවන්න අවස්ථාව දෙන්නේ. ඒ කියන විදියට සමස්තය නඩත්තු කරන්න විශාල අමතර වියදමක් යනවා. ඒ නිසා අපේ රටේ ආහාර නිෂ්පාදකයො කවුරුවත් ඒ තරම් වද වෙන්න කැමැති නැහැ. නමුත් ඒ ‘ප්‍රෙස්ටීජ්’ එක මට වැදගත්. අපේ රටේ එතරම් නොසැලකුවාට ‘European Union approved’ ෆැක්ටරියක් කියන්නේ රටකට අභිමානයක්.

මොනවටද වැඩිපුරම ඉල්ලුමක් ති‍ෙබන්නේ...

කරවල බැදුම්, ඇඹුල් තියල්, උම්බලකඩ සම්බෝල, අපි වැඩිපුරම යවන්නෙ එංගලන්තයට, ෆ්‍රයිඩ් රයිස් ටින් වැඩිපුරම යන්නෙ කොරියාවට, යුරෝපා යුනියන් රටවල් තිස් ගණනින් සිංහල- දෙමළ - බර්ගර් ශ්‍රී ලාංකිකයන් ඉන්න ප්‍රධාන රටවලට තමයි මේ නිෂ්පාදන වැඩිපුරම යන්නේ. ශ්‍රී ලාංකිකයො ඉන්න එංගලන්තය, ඇමෙරිකාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව කියන මේ හැම රටකම වගේ කොස්, දෙල්, පොළොස්, පොල් සම්බෝල, අච්චාරුවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

අපනයනකරුවන්ට අවශ්‍ය උදව් රජයෙන් ලැබෙනවද...

මට නම් EDB එකෙන් උපරිම උදව් ලැබී තිබෙනවා. අපේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජන ඔවුන් ලබාදී තිබෙනවා. ලෝකෙ ලොකුම ආහාර ප්‍රදර්ශන සඳහා මං ජර්මන්, ප්‍රංශය, ඩුබායි, එංගලන්තය, ඇමෙරිකාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දියාවට ගිහින් තිබෙනවා. මේ අතරින් පහකට වඩා, සියයට සියයක් ස්පොන්සර් කළේ EDB එක. මං ඒ දැවැන්ත ප්‍රදර්ශනවලට ගියාම මගේ ස්ටෝල් එක පැත්තක තියලා දවසම ඇවිදිනවා. දියුණු රටවලින් එන අලුත් දේ දැන ඉගෙන ගන්නවා. බයර්ස්ලා අල්ලා ගන්නවාට වඩා මට වැදගත් වෙන්නෙ ඒ ඉගෙනීම.

ඩොලරයේ ඉහළ යෑම නම් ඔබට වාසියක්...

අපනයනකරුවන් ගැන හුඟ දෙනෙක් එහෙම හිතනවා. නමුත් අමුද්‍රව්‍ය හැරුණුකොට අපේ පැකින් මැටීරියල්ස් සියල්ල ගෙන්වන්නේ පිටරටින්. ටින් ෂීට්ස්, ගම් වර්ග, පෙට්ටි වර්ග... ආදී සියලුම දේ. මේවායේ මිලත් නිතර ඉහළ යනවා. ඒ නිසා ඔය කියන තරම් වාසියක් අපිට නැහැ.

ඇයි ඔබ සැමන් නිෂ්පාදනය නොකරන්නේ...

කාලයක් අපි සැමන් මෙහෙ හැදුවා. නමුත් දැන් හැම මාසෙම සැමන් ටින් කන්ටේනර් 200ක් ලංකාවට ගේනකොට දේශීය කර්මාන්තයක් කරලා අඩුම මිලකට දෙන්න අමාරුයි. දැන් යම් පාලනයක් තිබෙන නිසා ඒ ගැන යළි හිතනවා. කවුරුවත් හොයලා බලන්නෑ, චීනෙන් ඉතාම අඩුවට ගේන මේ සැමන්වල තියෙන්නේ, සතුන්ට දෙන තත්ත්වයේ, කොලිටියක් නැති අඩුම ප්‍රමිතියේ මාළු. හැබැයි කෑවට කවුරුවත් මැරෙන්නෑ. මොකද, අධි උෂ්ණත්වයේ ජීවානුහරණය කර තිබෙන නිසා පරපෝෂිතයෝ මැරිලා.

ඔබ මොනතරම් අගය එකතු කළ මාළු නිෂ්පාදන හැදුවත්, දේශීය සැමන් නිෂ්පාදකයො සැමන් හැදුවත් රටේ මිනිස්සු හොයන්නෙ ලාබ සැමන්. විකල්පයක් නැද්ද අපිට...

ඇයි නැත්තෙ, සැමන්වලට වඩා රහට කටු හැපෙන්න වැව් මාළු ටින් කරන්න පුළුවන්. ‘කැට්ලා’ මාළුවාගෙන් මං එහෙම කරලා තිබෙනවා.ඈත ගම්මානවල වැව් ටික පිළිසකර කරලා, මාළු ටික බෝ කරලා, වැව ආරක්ෂා කරගන්න පුළුවන් නම් මුහුදු මාළු තරමටම වැව් මාළු අස්වැන්නත් ගන්න පුළුවන්. ගම්වල තරුණයන්ට මේක හොඳ අවස්ථාවක්. කැට්ලා මාළුවෙක් වැවක කිලෝ 35 ක් දක්වා ලොකු වෙනවා. මේ මාළු ටික අපේ ගම්වල වැව්වල බෝ කරගන්න බැරි ඇයි. නාරා ආයතනයට පුළුවන් නිද්‍රාශීලි බවින් මිදිලා මේ දේවල් හොයන්න. දියුණු කරන්න. ගුණයෙන් පිරුණු වැව් මාළු සැමන්වලට වඩා රහට කන්න පුළුවන් නම්, රටක් හැටියට ඇයි අපි ඒක නොකරන්නෙ. අඛණ්ඩව ලැබෙනවා නම්, මං ගන්නවා අස්වැන්නම. මේ වගේ ගුණවත් විකල්ප තියාගෙන චීනයෙන් එන පණු සැමන් කන ජාතියක් අපි.

මොකක්ද Foreconns අර්ථය...

ග්‍රීක් භාෂාවෙන් ‘Good Food’ කියන එක. අවුරුදු 29 කට කලින් ව්‍යාපාරය අරඹනකොට ජ්‍යොතිෂවේදියකු හදා දුන් නමක්. ආරම්භයේ පටන් අපනයනයේ නියැළුණු නිසා ඒ නම කොහොමටත් ජාත්‍යන්තරයට ගැළපුණා.

Foreconns පවුලේ ව්‍යාපාරයක් ද...

ඔව් තාත්තගෙන් දූට යන. මට ඉන්නෙ දූලම තුන් දෙනෙක්. තුන්දෙනාම ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ලොකු දූලා දෙන්නා එයා‍ලගෙ දරු පවුල් එක්ක එහෙම පදිංචි වෙලා. දෙන්නම පරිගණක ඉංජිනේරුවරියන්. පොඩි දූ තිළිණි කළේ, බිස්නස් මැනේජ්මන්ට්. එයා තමයි ව්‍යාපාරයේ ඊළඟ බාරකරු. මමත් බිරියත් ගොඩ නඟපු දේ එයා ඉතා හොඳින් කරගෙන යන්න පටන් අරන්.

ඒත් උරුමයෙන් ලැබෙන බොහෝ ව්‍යාපාර දෙවැනි පරම්පරාව විනාශ කරගන්නේ, හදන්න වෙච්චි මහන්සිය නොදන්නා හින්දා...

මගේ ව්‍යාපාරයට නම් එහෙම වෙන්නෑ. මොකද මගේ දූ මේ ෆැක්ටරිය පුරා කරක් ගහන්නේ අවුරුදු දහයේ දොළහේ ඉඳන්. මාළු ලේ, පිළි ගඳ, නිතර වතුර... සාමාන්‍යයෙන් තරුණ ගැහැනු ළමයින් අකැමැති ‍දේ. නමුත් මේ සියල්ලටම ඇය හොඳින් මුහුණ දෙනවා. ලෙල්ලම, සැපයුම්කරුවන් හා ගනුදෙනුව, සේවක ප්‍රශ්න... ඇයට දැන් හුරුයි. අවසානයේ රස ගුණ පිරි ආහාරයක් දේශිය වෙළෙඳපොළටත් ජාත්‍යන්තරයටත් යන ගමන, ඇය ඉතා හොඳින් කළමනාකරණය කරනවා. තමන්ගෙ ව්‍යාපාරයක් පිළිබඳ හැඟීමක් එන්නෙ මේ සියල්ලට මුහුණ දී ලබන පන්නරයෙන්. පුංචි දුවෙකුගේ අම්මෙක් වෙලත් ඇය ඉතා හොඳින් ඒ පන්නරය ලබනවා.

මොන තරම් පිරිසකට ඔබ රැකියා අවස්ථා හදා තිබෙනවද...

ධීවරයන්, සැපයුම්කරුවන්, ෆැක්ටරියේ සහ කාර්යාලයේ සියලුම දෙනා ගත්විට දෙසීයකට වැඩි ප්‍රමාණයක්. අපේ ෆැක්ටරිවල වැඩ කරන බහුතරය කාන්තාවෝ. තමන්ගේ දරු පවුලට ආර්ථික ශක්තියක් වෙන්න ඔවුන් හුඟක් මහන්සි වෙනවා. අවුරුදු හැට පිරිලත් ආර්ථික ප්‍රශ්න නිසා සේවය අත් හැර නොයන පිරිසකුත් අපි එක්ක ඉන්නවා. ඔවුන්ට පුළුවන් තාක් වැඩ කරපුවාවේ. අපි හිතන්නේ එහෙමයි. එවැනි පවුල්වලට හයියක් වෙන්න ලැබුණු එක මටත් ලොකු දෙයක්

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අයියයි අක්කලා දෙන්නටයි පස්සෙ මං. අයියා මට වඩා අවුරුදු 19 ක් වැඩිමල්. කළුතර දිස්ත්‍රික්කයේ වසංගතයක් විදියට පැතිරුණු උණ සන්නිපාතයකින් වයස 11 සහ 8 හිටපු අයියලා දෙන්නෙක් ම මිය ගිහින්. ඊට පස්සේ බාලයා විදියට ඉපදුණු පිරිමි ළමයා නිසා හැමෝම මට හුඟක් ආදරය කළා. මට තිබෙන්නේ බොහොම නිදහසේ විඳපු ළමා කාලයක්.

අරපිරිමැස්ම, දරාගැනීම ඒ ළමා වියේ අත්විඳ තිබෙනවාද...

තාත්තා බේරුවල ගම්පති. අම්මත් බොහොම අරපිරිමැස්ම තිබුණු කෙනෙක්. අඩුපාඩුවක් තිබුණේ නැති වුණත් අම්මගෙත් අයියගෙත් ආදර්ශය නිසා පරිස්සමින් ජීවත්වෙන විදිය මට අලුත් දෙයක් වුණේ නැහැ. එක සතියක් ඇතුළත ළමයි දෙන්නෙක් නැති වුණු දුක දරා ගත්තු හැටි අම්මා මට නිතර කිව්වා. අටේ පන්තියේදී තාත්තා මිය ගියාම මං ඒ දුක දරාගත්තා. ඊළඟට මං ඒ - ලෙවල් කරද්දී අම්මත් මිය ගියා. විභාගෙ අත ළඟ තියාගෙන අම්මගෙ මළගම දකිනවා කියන්නෙ, දරුවෙකුට මොන තරම් දුකක්ද. මං ඒ දුකත් දරාගත්තා. එහෙම ශක්තියක් මට ලැබුණේ අයියා හිටපු නිසා. අයියා මට තාත්තෙක්.

එතකොට, කො‍හේද ඔබ ඉගෙන ගත්තේ...

මුලින්ම, බේරුවල ප්‍රාථමික විදුහලේ. ඕ- ලේවල් වෙනකල් කළුතර මහා විද්‍යාලයේ. උසස් පෙළ කළේ කොළඹ ආනන්දයේ.

මොනවටද ඔබ දක්ෂ වුණේ...

ක්‍රිකට් සහ ෆුට් බෝල්වලට. විෂයන් හැටියට නම් ජීව විද්‍යා විෂයන්වලට. සතුන්ට මං කැමැතියි. ඒ නිසාම උන් ගැන ඉගෙන ගන්න ආසා වුණා. සූලොජි පන්තියෙදී මම තමයි හැමදාම ගෙම්බන්ව ක්ලෝරෆෝම් දාලා සිහි නැති කළේ. මුලින්ම ගෙම්බා කපලා අනෙක් අයට පෙන්වන්න සර් බාර කළෙත් මට.

ඔබේ අධිෂ්ඨානය තිබුණේ වෛද්‍ය විද්‍යාලයට යන්න..

ඔව්. ඒ වෙනකොට මගේ අයියා මට පුර්වාදර්ශ‍යක් වෙලා තිබුණේ. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් . මටත් ඕනෙ කළා ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒත් මගේ පන්තියේ ළමයි 18 දෙනෙක්ම මෙඩිකල් කොලේජ් ගියා. මට ලකුණු තුනක් මදි වුණා.

ඉතින් ඔබට තිබුණා යළි උත්සාහ කරන්න...

මගේ අයියත් එහෙම කිව්වා. ඒ වෙනකොට රටේ ලොකු විද්‍යා ගුරු හිඟයක් තිබුණා. 1975 විද්‍යා විෂයන් තුනක් සමත් වුණත් ගුරුවරු හැටියට බඳවා ගත්තා. ලොකු කැමැත්තක් නැතිව වුණත් මං ඒ ලැබුණු අවස්ථාව බාර ගත්තා.

ඒ කියන්නෙ ඔබේ පළමු රස්සාව ගුරුකම...

ඔව්, 1975 එ‍ඬේර‍ගොඩ විද්‍යාලයේ විද්‍යා ගුරු. පඩිය රුපියල් 380 යි. මාස ගණනකින් මං බේරුවල සෙන්ට්‍රල් එකට ගියා. ඕ - ලෙවල් විද්‍යාව උගන්වන ගමන් ක්‍රීඩා ගුරුවරයා විදියටත් වැඩ කළා. ඉස්කෝලෙට ක්‍රිකට් ටීම් එක හැදුවෙත් මං. කලාපෙම ඕ -ලෙවල් ළමයින්ට නොමිලයේ උපකාරක පන්ති පැවැත්වුවා. මුදල්ම හඹා යන පාසල් ගුරුවරුන්ට මගේ අවුරුදු පහකට සීමා වුණු කෙටි ගුරු ජීවිතය හොඳ ආදර්ශයක්.

ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්නෙ බිස්නස් කරන්නද..

නැහැ. අයියගෙ යාළුවෙක් නිසා මට ජර්මන්, ස්වීඩන් සහ එංගලන්ත ටුවර් එකක් ලැබුණා. ලෝකෙ මොනතරම් දියුණු ද කියලා මං ඇස් දෙකෙන් දකින්නේ ඒ ටුවර් එකේදී. මට වෙන ක්ෂේත්‍රයකට යන්න ඕනෙ වුණා. ආපහු ඇවිත් මං ටුවරිස්ට් බෝඩ් හොටෙල් ස්කූල් එකේ මැනේජ්මන්ට් ඩිප්ලෝමාව කරන්න ගත්තා. ඒ අතරම, එයිට්කන් ස්පෙන්ස් හෝටලයක වැඩ කළා. ඒ හෝටලයේදී තමයි මට සැෆ්කෝල් කියන දැවැන්ත සමාගමේ ස්ටාෆ් එක හඳුනාගත්තේ. ඔවුන් තමයි, ඒ වෙනකොට ලංකාවෙ ෆිෂ් කෑනින් කළ එකම කොම්පැනිය. ඔවුන් බෙල්ලො, මට්ටි, ඉස්සො, කකුළුවො ටින් කරලා පිට රට යැව්වා. එතැන එක ලාංකිකයෙක් හිටියා. ඔහු ෆුඩ් ටෙක්නොලොජිස්ට්. ආදි ආනන්දියයෙක්. අපි මිතුරො වුණා. එයා මට ඒ සමාගමේ අවස්ථාවක් දෙන්න කැමැති වුණා. සැෆ්කෝල් සමාගමේ ලංකාවේ සභාපති මිස්ටර් ඩැමිරෝන් ට හඳුන්වා දුන්නා. ඒ තමයි මගේ ජීවිතයේ ලොකුම Turning point එක.

කොහොමද එහෙම වුණේ...

එච්චර කල් ටයි දාගෙන හෝටල් රස්සාව කරපු මම මාළු හෝදන්න පටන් ගත්තා. කටු ඇනි ඇනී ඉස්සො සුද්ධ කරන්න වුණා. ලොකු මැෂින්වල මාළු තම්බන්න වුණා. දවසකට පැය 16ක් වැඩ කළා. මං ගෙදර ගියේ මහ රෑ. එක්කෝ පාන්දර. ගෙදර ගිහින් මං අඬපු දවස් අනන්තයි. වයිෆ් මට දිරි දුන්නා. මං දරා ගත්තා . වැඩ ඉගෙන ගත්තා. අවුරුදු තුන අවසන් වෙද්දී තවත් අවුරුදු දෙකක් මට දුන්නා. සභාපති නැති වෙලාවට චෙක් අත්සන් කළේ මං. ඒ තරමට මං විශ්වාසය දිනාගත්තා. අවුරුදු පහ ඉවර වෙනකොට මං ඔවුන්ට නැතිව බැරි ‍කෙනෙක් බවට පත්වුණා. මං මට වටිනාකමක් හදාගත්තා.

තායිලන්ත සමාගමකට වැඩ කරපු ඔබ කොහොමද, ෆැක්ටරියක් ඇරියේ...

මේ 1987 අවුරුද්ද. රටේ කලබල. එක දවසක් උදේ මනුස්සයෙක් මරලා සැෆ්කෝල් සමාගමේ ගේට්ටුවේ එල්ලලා. වැඩ කරපු විදේශිකයෝ හත්දෙනාම බයට රට ඇරලා යන්න ගියා. ඒ වෙනකොට සේවකයො දෙසීය ගණනක් වැඩ. මාළු ටොන් 350ක ස්ටොක් එකක් තිබුණා. ලංකාවේ ෆැක්ටරිය වහලා සී ෂෙල්ස්වල අලුත් ෆැක්ටරියක් දාන්න ඔවුන් තීරණය කළා. මං සීෂේල්ස් යන්න කැමැති වුණේ නැහැ. ඩැම්රෝන්ට සම්බන්ධය තිබුණෙ මා එක්ක විතරයි. ඔහු කියු පරිදි අඩු ගාණට මාළු ටික විකුණා දැමුවා. ෆැක්ටරියත් විකුණන්න ලෑස්ති කළා. මං ෆැක්ටරියෙ එක කොටසක් ඉල්ලුවා. ඇත්තටම මැෂින් උපකරණ ඇතුළු සියලුම අංගෝපංග එක්ක වටිනාකමෙන් දහයෙන් පංගුවකට වගේ ඔහු මට එක ලයින් එකක් දුන්නා. මම මහගෙදර ලොකු වත්ත ෆැක්ටරියක් කළා. 1989 වැඩ පටන් ගත්තා.

ඔබ මොන තරම් ප්‍රාග්ධනයක් යට කළාද...

මිලියන 15ක්. මං ළඟ ලොකු සල්ලියක් තිබුණේ නැහැ. අයියා මට උදව් කළා. එයා පුදුම මනුස්සයෙක්. අපේ පවුල්වල කාට මොන උදව්ව ඕන වුණත් ඉස්සරවෙලාම ඉදිරිපත් වුණේ එයා.

මිලියන 15ක් කියන්නෙ ලොකු මුදලක්. ඔබ ගත්තෙ අවදානමක් නෙවෙයිද...

වහන දවස වෙනකල් ඒ සමාගම ඉතා හොඳින් ආදායම් ඉපැයුවා. අංක එක කොලිටියේ මාළු ගියේ පිටරටට. දෙවැනි කොලිටියේ මාළුවලින් ඇඹුල්තියල් ටින් කළා. පිසූ දැල්ලො ටින් කළා. පොළොස් සහ කජු කරියත් ටින් කළා. එතෙක් මේ වර්ග හතරම පිටරට යවන සමාගමකට අපි කළේ, අඛණ්ඩ ඇණවුමක් විදියට.ඔවුන් මට අවස්ථාවක් දුන්නා. මගේ ෆැක්ටරිය ඇරියට පස්සේ ඒ කොම්පැනියට ඒ විදියට මේ නිෂ්පාදන හතරම දෙන්න මට පුළුවන් වුණා. තව තවත් ගැනුම්කරුවෝ හැදුණා. අද රටේ නම ගිය සුපර්මාකට්වලට ටින් කළ මීට් බෝල්ස් කරි හදන්නෙත් අපි. ලෝකෙ පුරා පැතිරුණු ‘ටෙස්කෝ’ නම් ඉහළ තලයේ සුපර්මාකට් ජාලයේත් අපේ කරවල බැදුම්, උම්බලකඩ සම්බෝල ඇතුළු නිෂ්පාදන කිහිපයක්ම අලෙවි වනවා. මේවා ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙකුට ලැබෙන විරල අවස්ථා. මේ සියල්ල ලැබුණේ එදා ගත්තු ඒ අවදානම නිසා තමයි.

කවුද ඔබේ Role Model…

අයියා. අම්මයි තාත්තයි දෙන්නම නැති වෙද්දිත් මං කොළඹ තනියම බෝඩිම් වෙලා. මට ඕනෙ තරම් නිදහස තිබුණා: යාළු මිත්‍රයොත් හිටියා. එහෙමයි කියලා මං කවදාවත් අරක්කු සිගරට් පුරුදු වුණේ නැහැ. නාස්ති වුණෙත් නැහැ. මොන දේ කළත් පිළිමයක් වගේ අයියා මගේ මනසේ වැඩ හිටියා. මට ඕ‍ෙන වුණේ අයියා විදියට හැදෙන්න. එයාගේ ගුණ යහපත්කම් ඉදිරියේ මං නිකම්ම හීලෑ වුණා. මහා පෞරුෂයක් තියෙන සාධු ගුණ තිබෙන සහෝදරයෙක් එයා. අවුරුදු 81 ක් වෙලා ඕස්ට්‍රේලියාවේදී එයා නැති වුණේ ළඟදී. අදටත් මගේ ජීවිතයේ Role Model අයියා.

ඔබ ව්‍යාපාරිකයෙක් වුණේ වාසනාව ඵල දීලා. අයියා දීපු විශාල ප්‍රග්ධනය නිසා... කවුරු හරි එහෙම කිව්වොත්...

සල්ලි මහ හුඟක් තිබුණත් ශිල්පය දන්නෙ නැත්නම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ. කරන බිස්නස් එකේ හැමදේම දැනගන්න නම් පතුලේ ඉඳලා උඩට එන්න ඕනෙ. හැම තැනකම වැඩ දැනගන්න ඕනෙ. වැඩේ තුළ ඉන්නත් ඕනෙ. මම බිස්නස් එකට අත ගැහුවේ මොකුත් නොදැන නම්, අයියා දීපු සල්ලිවලට අද මේ තරම් වටිනාකමක් හැදෙන්නේ නැහැ.

බිස්නස් කරන්නෙ වෙලාව බලල ද...

මං ව්‍යාපාරයකට අත ගැහුවේ රටේ මහ භීෂණයක් තිබෙද්දී. ඒ වෙලාව හොඳද නරකද කියන එක නෙමෙයි මම බැලුවේ. මාකට් කරගන්න තියෙන අවස්ථාව විතරයි මට වැදගත් වුණේ. ඒ වගේම, රටේ යුද්දෙ උග්‍රව තියෙන අවස්ථාවකයි අපි ටින් කළ ෆ්‍රයිඩ් රයිස් එක හඳුන්වා දුන්නේ. අපේ ප්‍රධාන ගැනුම් කරුවා වුණේ යුද හමුදාව. බත්, කුකුළු මස් කෑල්ලක්, ගෝවා සහ වට්ටක්කා එකට උයලා සැමන් වගේ ටින් එකකුයි අපි ආමි එකට දුන්නේ. කැලේ ඉන්න සොල්දාදුවන්ට ඒ කෑම ටින් හෙලිකොප්ටර්වලින් දැම්මා. ගත්තු ගමන් කඩලා කන්න පුළුවන් විදියටයි ඒක හැදුවේ. හැම නරක වෙලාවක්ම මං හොඳකට හරවා ගත්තෙ එහෙමයි. හොඳින් අධ්‍යයනය කළොත් අපි අවට ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. හඳුනාගැනීමයි වැදගත්.

ඔබේ ජීවිතයෙන් කවුරුහරි ගන්න ඕනෙ හොඳම දේ කුමක්ද ...

මට අනුව නම්, බාධක එන්නෙ අපේ ශක්තිය මනින්න. ඒ නිසා බාධක ආවට මං පහු බහින්නෑ. මොන තරම් වියදම් ගියත් මොන තරම් දුෂ්කර වුණත් මං කරන්නෙ හොඳම දේ විතරයි. බොරුකාරයො දඟලද්දි තමන්ට පුළුවන් වෙන්න ඕනෑ වෙනත් මඟකින් ඉස්සරහට යන්න. මං එහෙමයි.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්