ෆේස්බුක් රස්තියාදුකාරයන් අතර අන්තර්ජාල සල්ලි ගස හෙල්ලූ අපේ තරුණයා | සිළුමිණ

ෆේස්බුක් රස්තියාදුකාරයන් අතර අන්තර්ජාල සල්ලි ගස හෙල්ලූ අපේ තරුණයා

කෞතුකාගාර රස්සාව අතහැර අන්තර්ජාලයට බැස්සා

“මෙහෙමනේ අංකල්, මේකට කියන්නෙ දක්ෂයන්ගෙ දශකය කියල... උගතුන්ගෙ දශකෙ ඉවරයි. දැන් මාව ගන්නකෝ. මගෙ ඩිග්‍රිය මාස් කොම්. හැබැයි ඉතින් මං කරන්නෙ බිස්නස්. ප්‍රියන්තට නම් ඉතින් බිස්නස් ඇඟේම තියෙනවා” පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘කූඹියෝ’ ටෙලි කතා මාලාවේ එක් තැනක ජෙහාන් හෙවත් මොළකරු කියූ කතාවකි.

ජෙහාන්ගේ කතාවට හරියටම ගැළපෙන චරිතයක් අපට ද මුණගැසුණි. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් නොව දක්ෂතාවයෙන්, කැපවීමෙන් ජීවිතය ජයගත හැකි බවට කදිම නිදසුනක් ද සපයන ඔහු ලසන්ත වික්‍රමසිංහ ය. මෙරට බොහෝ තරුණ තරුණියන්ට මෙන් ඔහු ද තරුණ වියට එළඹුණේ සුවපහසු ජීවිතයක් උරුම කරගනිමින් නොවේ. ජීවිතය යනු ඔහුට මුල පටන් ම අරගලයක් විය.

“මම ඒලෙවෙල් කළේ ගණිත අංශයෙන්. දෙපාරක් ලිව්වා, දෙපාරම ෆේල්. මාව ප්‍රයිවෙට් කැම්පස් එකකට යවන්න අම්මා තාත්තට සල්ලි තිබුණෙත් නෑ. කොටින්ම ඒලෙවෙල් ෆේල් වුණාට පස්සෙ මට කරන්න දෙයක් තිබ්බෙ නෑ” ජයග්‍රහණයේ කතාබහ ඇරඹුණේ පරාජයකිනි.

කෙසේ වුවද රජයේ කළමනාකාර සහකාර විභාගයට පෙනී සිට, ඉන් සමත් වන ලසන්තට රැකියාවක් ලැබුණි. ඒ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ය. වැඩිහිටි පරම්පරාවට අනුව නම් ඔහු ලැබුණේ තරමක නම්බුකාර රස්සාවකි. මන්ද එය ආණ්ඩුවේ පඩි ලැබෙන රක්ෂාවකි. එහෙත් ලසන්තගේ දැක්ම තිබුණේ ආණ්ඩුවේ පඩියක් හෝ පැන්ෂන් එකකින් මෙහා සීමාවක නොවේ.

කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රස්සාව කරන මේ තරුණයාගේ සිත දිව්වේ පරිගණකය සහ අන්තර්ජාලය ඔස්සේ ය. “අපේ ගෙදර කම්පියුටරයක් තිබුණට ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ. කොහොම වුණත් 2005දි කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රස්සාව ලැබුණට පස්සෙත් මම ඉන්ටර්නෙට් එකේ තියෙන අවස්ථා ගැන කරන හෙවිල්ල නැවැත්තුවේ නෑ”

රස්සාවට පින්සිදු වන්නට ලැප්ටොප් පරිගණකයක් මිලට ගන්නා ලසන්ත, එතැන් පටන් තම විවේක කාලය යෙදවූයේ අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට ඇති අවස්ථා ගැන සොයා බැලීමට ය. අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම තබා ලාංකිකයන්ගෙන් වැඩි කොටසකට ඉන්ටර්නෙට් පවා නොතිබුණු කාලයක ඒ හරහා මුදල් සොයන අයුරු පිළිබඳ සෙවීම අතිශය දුෂ්කර ව්‍යායාමයක් විය. නොදන්නා දෙයක් අසාගන්නට පවා කෙනෙක් සිටියේ නැත.

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ගැන බ්ලොග් සටහන් කියැවූ ඔහු ද බ්ලොග් එකක් පටන්ගත්තේ ය. ගූගල් ලබාදෙන ඇඩ්සෙන්ස් (Ad Sense) පහසුකම ලබාගැනීමේ අටියෙන් ඔහු, බ්ලොග් එකට වටිනා ලිපි ඇතුළත් කළේය. ඇඩ්සෙන්ස් යනු යම් වෙබ් අඩවියකට පිවිසෙන පිරිස මත ගූගල් විසින් එ් වෙබ් අඩවියේ වෙළෙඳ දැන්වීම් පළකිරීමට අවසර දෙන ක්‍රමයකි. ඒ හරහා මුදල් ඉපැයීම ලසන්තගේ අරමුණ විය.

මේ අතරතුරදීම ෆයිවර් (Fiver) නම් වූ විවිධ දක්ෂතා මත අන්තර්ජාලයෙන් නිර්මාණාත්මක අවස්ථා ලබාගෙන ඒවා අලෙවියෙන් මුදල් සෙවීමේ ක්‍රමයක් ගැන ද දැනගන්නට ලැබී ලසන්ත ඒ කරා ද යොමු වුණේය. ග්‍රැෆික් පාඨමාලාවක් හදාරා යම් දැනුමක් ලබා සිටි ලසන්ත විවිධ ග්‍රැෆික් නිර්මාණ අන්තර්ජාලයේදී හමුවන පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටුකර දී යම් මුදලක් ඉපැයීමට පටන් ගත්තේය. 2012 වසර වන විට මාසයකට ලක්ෂ කිහිපයක ආදායමක් අන්තර්ජාලයෙන් සෙවීමට ඔහු සමත්විය.

ලසන්ත ආණ්ඩුවේ රස්සාවට ආයුබෝවන් කීවේය. උදෑසන අටේ සිට පහ දක්වා කාලය රුපියල් පහළොස්දහසක වැටුපක් වෙනුවෙන් යෙදවීම නාස්තියක් බව ඔහුට වැටහී බොහෝ කල් ගතවී තිබුණි.

ලෝක ප්‍රකට ඇපල් දුරකථන සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් තම ව්‍යාපාර විජිතය ඇරඹුවේ නිවසේ ගරාජයෙනි. එහෙත් රස්සාවෙන් අස්ව අවදානම් පිරුණු ව්‍යාපාර ලෝකයට පිවිසි ලසන්ත තම ව්‍යාපාරය පටන්ගත්තේ තම නිවසේ උඩු මහලේ කාමරයකිනි. පරිගණක හතරක් අටවාගනිමින් අහල පහල සිටින මිතුරන් කිහිප දෙනකු ද එකතු කරගනිමින් ඔහු ඇරඹූ ව්‍යාපාරයේ නම ‘BuiltApps’ විය. ඒ ව්‍යාපාරයෙන් ඔහු කළේ තමන්ගේම කියා වෙබ් අඩවි නිර්මාණය කරමින්,

ඒවාට වැදගත් ලිපි එකතු කරමින් ගූගල් ඇඩ්සෙන්ස් හරහා මුදල් ඉපැයීම ය. ඊට අමතරව අන්තර්ජාල සෙවුම් ප්‍රශස්තකරණය (Search Engine Optimization) ද හොඳ ආදායම් මාර්ගයක් විය.

මාස හතරක් පහක් ගත වන විට ව්‍යාපාරය හිතුවාටත් වඩා සාර්ථක විය. ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට පරිගණක හතරක් සහ හතරදෙනෙකුගේ බළඇණිය මදි වූ විට නිවසෙන් එළියට බට ඔහු හරිහමන් කාර්යාල ගොඩනැගිල්ලකට මාරු වුණේය. “බිස්නස් එක හොඳට වර්ධනය වෙමින් තිබුණා. ඉතින් වැඩි දවසක් යන්න කලින් බාහිර අයගේ වෙබ් අඩවිවලට ලිපි සම්පාදනය කරන්නත් අපි පටන් ගත්තා”.

මේ, අමෙරිකානු ඩොලරය දිගින් දිගට ම ශක්තිමත් වීම නිසා ලංකාවේ රුපියල දරුණු පීඩාවකට ලක්වෙමින් පවතින මොහොතකි. රුපියල උඩට ගැනීමට අපනයන ආර්ථිකයක් ගැන කතා නොකරන කෙනෙක් නොමැති තරම් ය. එහෙත් ඒ අතරතුරදී ලසන්තලා වැන්නවුන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරමින් රට තුළට ඩොලර් ගෙන එන්නේ නිහඬ සේවයක් රටේ ආර්ථිකයට ලබාදෙමිනි.

“මට හැමදාම ඕන වුණේ ඩොලර් හොයන්නයි. අපි පොඩි රටක්. මේ පොඩි රට ඇතුළට කොටු වුණොත් අපිත් පොඩි මිනිස්සු වෙනවා. ඒක හරියට මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වතුර බොනවා වගේ වැඩක්. ඌ වතුර බිව්වත්, නැතත් වතුර ටික ටැංකියේම තියේවි. ඉතින් රටක් විදිහට ඉස්සරහට යන්න නම් ඩොලර් හොයන එක ගැන අපි සෑහෙන හිතන්න ඕනෙ. කොහොම වුණත් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වීම ගැන මම නම් ඉන්නෙ සතුටින්”.

ලසන්තගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු කිසිවිටෙක තනිව ගමනක් යෑමට සැලසුම් කළ අයෙකු නොවීම ය. අන්තර්ජාල මුදල් ඉපැයීම ගැන තමා උගත් දේවල් අන් අය සමඟ බෙදාගැනීමට ඔහුට වුවමනා විය. ඔහු ඒ සඳහා ද මාධ්‍යය කරගත්තේ අන්තර්ජාලයයි. “මම ෆයිවර් එකේ වැඩ භාරගත්තේ මීට අවුරුදු ගාණකට උඩදියි. හැබැයි පස්සෙ පස්සෙ අපේ රටේ අයගෙත් ෆයිවර් ගැන තියෙන උනන්දුව වැඩිවුණා. ඉතින් මම ෆේස්බුක් එකේ Online Entrepreneurs Club කියලා ගෘප් එකක් පටන්ගත්තා”.

එම ෆේස්බුක් මිතුරු සමාජය හරහා එකිනෙකා සමඟ තොරතුරු හා උපදෙස් හුවමාරු කරගැනීමටත්, ලැබෙන විවිධ වැඩ බෙදාගැනීමටත් ඔවුන්ට හැකි විය. තව ද විවිධ සමාජ සත්කාර වැඩසටහන් කිරීමට ද මේ අන්තර්ජාල ව්‍යවසායකයෝ කටයුතු කර තිබේ.

පුංචියට පටන්ගත් ලසන්ත අද වන විට ලංකාවත් නවසීලන්තයත් දෙකම මව්බිම කරගත් දැවැන්ත පරිගණක මෘදුකාංග සමාගමක හිමිකරුවෙකි. “අවංකවම මට මෘදුකාංග ගැන කිසිම දැනුමක් තිබුණෙ නෑ, හැබැයි මට මෘදුකාංග ඉංජිනේරුවෝ කිහිපදෙනෙක් බඳවගෙන වැඩක් කරන්න පුළුවන්කම තිබුණා. අඩුපාඩුවකට තිබ්බෙ අයෝජකයෙක් විතරයි. හරියන ආයෝජකයෙක් හොයන්න මට අවුරුදු දෙකක් විතර මහන්සි වෙන්න සිද්ධ වුණා. අනික අනිත් ව්‍යාපාරවලින් උපයාගත් මුදල් මෙතැනට ආයෝජනය කරන්න මම කැමැති වුණේ නැහැ. ඒක ඕනවට වඩා වැඩි අවදානමක්. අන්තිමට අපේ ෆේස්බුක් ගෘප් එකේ යාලුවෙක් හරහා මට නවසීලන්ත ආයෝජකයෙක් හම්බවුණා”.

මෘදුකාංග ව්‍යාපාරය ද හරි අතට ගමන් කළේය. අද ඔහු Outsmart Hub Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. ලසන්ත ජීවිතය දිනුවේ අන්තර්ජාලයටත් පරිගණකයටත් තිබෙන ඇල්ම තම ජීවිකාව කරගනිමිනි. එසේ ඇල්ම ජීවිකාව කරගනිමින් සාර්ථක වන්නට ඔහු අන් අයට පිරිනමන්නේ ද වටිනා අත්දැකීමකි.

රොබට් කියොසාකිගේ ‘Rich dad; Poor dad’ (පෝසත් පියා යි; දුප්පත් පියා යි) යනු ලොව අලෙවි වාර්තා තැබූ වටිනා පොතකි. ජීවිතයේ මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් කරුණු රැසක් කියාදෙන මේ පොතේ එක් තැනක තරුණ පරපුරට දෙන සුවිශේෂ පණිවුඩයක් තිබේ. “ඔබ සුවිශේෂී වන්නේ කුමකටදැයි ඔබ හඳුනාගන්නේ නම්, ඔබ පොහොසතෙකු වීම කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකිය”.

අදහස්