ෆැන්ටසිය ඉවරයි! | Page 2 | සිළුමිණ

ෆැන්ටසිය ඉවරයි!

ලෝකයේ දූෂිතම ක්‍රිකට් රාජ්‍යයයේ ඛේදවාචකය...

අයි.සී.සී. ය ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණය කළ පුද්ගලයන් හඳුනාගෙන

නායකයෙක් සහ ක්‍රීඩකයෝ කීපදෙනෙක් ඒ අතර

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් සොයිසාගේ ජංගම දුරකථනය අයි.සී.සී.අත්අඩංගුවේ

සී.අයි.සී දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් ලංකාවේ

උදයංග සිල්වා

අප ක්‍රිකට් වලට වශී වුණු අසූව දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ වැටුප දවසට රුපියල් 500 කි. එදා දින පහක් තිස්සේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට ලැබුණේ රුපියල් 2500 කි. අද එක් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අමතරව ටෙස්ට් තරගයකට ලැබෙන මුදල දල වශයෙන් රුපියල් මිලියනයකි. මිල මුදල් ගොඩගැසෙන්නේ පිණුම් ගැසිය හැකි මට්ටමිනි. එහෙත් ඒ සමඟම ක්‍රිකට් දෙවෙනි කොට මතු වුණු ජාගර කුණපයන් ක්‍රිකට් බුකියක් කරගෙන ඇත්තේය.

එහි අවසන් නින්දා සහගත ප්‍රතිඵලය දැන් නිකුත් වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දැන් ‘රෙඩ් කාඩ්’ පත නිකුත් කර ඇත. මෙය අප ලියන්නට කිසිසේත් අපේක්ෂා නොකළ කාලකණ්ණි කතාවකි. ලොව දූෂිතම ක්‍රිකට් කෙරුවා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව ඔවුන් ලෝකයටම දැනගන්නට නිවේදනයක් නිකුත් කර හමාරය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට සිදු වන මහා විපත ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීහු බැරිම තැන ජනාධිපති සහ අගමැතිවරයාටද දැන්වූහ. රටේ වගකිව යුතුම නායකයන් දෙපළට ද දැන්වීමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණය වුයේ කෙසේද?. අප තේරුම් ගත යුත්තේ ඒ දුෂණය අද ඊයේ සිට ඉස්මතු වුවක් නොවන බවය.

ශ්‍රී ලංකාවේ පළමු වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයා ඩි.එස්.ද සිල්වාය. එසේ කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුරය. වර්ණපුර කියන පරිදි එදා ඩී.එස්.ද සිල්වා එංගලන්තයේ සිට පැමිණ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විට ඔහුට මාසික දීමනාවක් ලබාදී තිබිණි. ඩී.එස්.ට එක හැන්දකින් බෙදද්දී වර්ණපුරලාට තව හැන්දකින් බෙදන්නට එදා සිටි ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය. මෙයට විරුද්ධව ගිය වර්ණපුරලා සටන් කරමින් ක්‍රිකට් වෘත්තියක් වශයෙන් වැටුප් ලබා ගැනීමේ සටන ජය ගත්තේය. නමුත් එදා ක්‍රිකට් කෙරුවාවෙන් ලැබෙන සොච්චමෙන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් මිලට ගැනීමද අපහසු විය. ඒ අතරවාරයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට හොරෙන් තහනම් දකුණු අප්‍රිකානු සංචාරයක යෙදුණු වර්ණපුරලා කාලයේ හැටියට හොඳ මුදලක් උපයා ගත්තේය. පසුව ඔවුන්ට ජීවිතාන්ත ක්‍රිකට් තහනමක් පැනවිණි. එදා වර්ණපුරලා මුදල් හොයාගෙන ගියේ එළිපිටය.

ඩී.එස්.ද සිල්වා පසු කලෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපති විය. ඔහුට එංගලන්තයේ ‘කැසිනෝ’ ඇති බවට ද ඇතම් අය චෝදනා කළහ. කැසිනෝ සූදුවකි. කැසිනෝකාරයෙකු ක්‍රිකට් සභාපති වූයේ කෙසේද යන්න එදා ලොකුවට ප්‍රශ්න වුණේ නැත. දැන් ඩී.එස්.ගේ කාලය අවසන්ය. ඒ කාලයේදී හිතේ හැටියට ක්‍රිකට් සල්ලි යටි මඩි ගැසූ ඔහුගේ හිතවතුන් කිසිදු හානියක් නැතිව ගෙදර ගියේය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි බොහෝ සභාපතිවරු සහ ලේකම්වරුන්ගේ හිතවත්තු මේ ක්‍රිකට් බිලි පූජාවට අත තැබූහ.

එහි කොටස්කරුවන් වූ බොහෝ පිරිසක්ද තවමත් තිරය පිටුපස හැංගී සිටිති. මීට මාස කිහිපයකට පෙර විසිරුවා හැරි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සභාපති තිලංග සුමතිපාල ද බුකි කාරයෙකු බව රටම දනී. අයි.සී.සී.ය ද ඒ ගැන නොදන්නවා නොවේ. සිදුවෙමින් ඇති දෑ පිළිබඳව සී.අයි.සී ය සිටියේ විමසිල්ලෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරදුවට තබා බුකීකරුවන්ගෙන් මුදල් ගත් බොහෝ පිරිසක් ඔවුන්ගේ උකුසු ඇසට ග්‍රහණය වන්නේ මේ අතරය. ශ්‍රී ලංකා ක්‍රිකට් “ක්‍රිකට් දූෂණයේ ලාංඡනය” බවට හංවඩු ගැසෙන්නේ ඒ සමගය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණය වන හැටි වසර දෙකක් පුරා දැඩි අධීක්‍ෂණයකට ලක්විය. ඒ අතරවාරයේදී ඔවුන් කිහිප වරක්ම ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු සටහන් කර ගනිමින් ඒ ඔස්සේ පරීක්‍ෂණ පවත්වා දැන් නිගමනයකට පැමිණ තිබේ. මේ වන විට කාගෙ කාගේත් බොක්ක රත් වී ඇති බවට නම් සැකයක් නැත. දැන් අයි.සී.සී. දුෂණ විමර්ශන ඒකකයට අවශ්‍ය තීන්දුව ලබාදීම පමණි. එම නිගමනවල බරපතළ කම සංකේතවත්ව ප්‍රකාශ වී තිබේ. ඒ ශ්‍රී ලංකාව ලෝකයේ ක්‍රිකට් දූෂණය වන රටවල් අතර ප්‍රමුඛයා ලෙස අයි.සී.සී.ය විසින්ම හඳුන්වා දීමෙනි.

අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන 96 ලෝක ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයන් සමඟද අයි.සී.සී. දූෂණ විමර්ශන නිලධාරීන් සාකච්ඡා පවත්වා තිබේ. ඊට අමතරව වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සමඟද ඔවුන් සාකච්ඡා කර ඇත. එතැනින් නොනැවතුණු අයි.සී.සී. දුෂණ විමර්ශන බළකාය පසුගියදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නුවන් සොයිසාව කොටු කරගනු ලැබුවේ ඔහු සම්බන්ධයෙන් ඇති සැකයකට පිළිතුරු සපයා ගැනීම උදෙසාය. එහිදී සොයිසාගේ ජංගම දුරකථනයද අයි.සී.සී. භාරයට ගැනිණි. එම දුරකථනය ඔස්සේ තවදුරටත් අයි.සී.සී.ය පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

අයි.සී.සී.ය. ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ ගැන ලියු සටහන් ගණනාවක් මේ වන විට තිබේ. පසුගියදා ඩුබායි හී පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානයේදී එහි ප්‍රධානියකු පවසා සිටියේ, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සනාථ කරගෙන ඇති බවය. ඒ අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ නායකයකුද සිටින බව ඔවුහු අනතුරු ඇඟවීමක් කළහ. නායකයකු යැයි කියූ විට ශ්‍රී ලංකාවේ ටෙස්ට් වරම් ලැබූ යුගයේ සිටි පළමු නායකයා වූ බන්දුල වර්ණපුරගේ සිට වත්මන් නායක දිනේෂ් චන්දිමාල් අතර මෙරට ක්‍රිකට් මෙහෙයවු නායකයකුගේ නම ඇතුළත්ව තිබේ. පාඨකයා විසින් ඒ නායකයා තීරණය කළ යුතුය. නැති නම් අයි.සී.සී.ය විසින් නිල නිවේදනයක් ලැබෙන තුරු ඉවසා සිටිය යුතුය.

පාණදුර සහ කළුතර කවය ක්‍රීඩා සමාජය අතර 2016 වසරේ සිදුවූ තරග පාවාදීම් සිද්ධිය සම්බන්ධයෙන් පාණදුර ක්‍රීඩා සමාජයේ ප්‍රබලතම සාමාජිකයකු සහ විසිරුවා හැරි ක්‍රිකට් කමිටුවේ උප ලේකම්වරයකු වූ රවීන් වික්‍රමරත්න නිදහස් කර තිබේ. ඒ නිදහස් කිරීම අයි.සී.සී.යේ සමච්චලයට ලක්ව ඇත්තේ ක්‍රීඩකයන් දෙපිරිසක් තරග පාවාදීමක් එහිදී සිදු නොවන බව දැන දැනත් නිලධාරීන් නිදහස් වන බැවිනි.

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා පවසන්නේ ක්‍රිකට් පාවාදෙන්නට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ නීති නැති බවයි. ඒ නිසා අතේ පත්තු වූ සිද්ධිවලට පරීක්‍ෂණ පැවැත්වීමෙන් පමණක් ක්‍රිකට් පාවාදී බේරුණු දුසිම් ගණනක් සිටිති. ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් රාජකාරි කළ ප්‍රධාන තණතිලි සකසන සියලුම දෙනා බුකී කරුවන් සමග ගනුදෙනු කර ඇති බවට සාක්කි තිබේ. අල් ජසීරා නාලිකාව මගින් පසුගියදා එහි දර්ශන විකාශය කරද්දී අයි.සී.සී.යට එම දර්ශන අල් ජසීරා නාලිකාව ලබා දී නැත. අයි.සී.සී.යට ඒ සාක්කි නැතිවත් ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණය වී ඇති ආකාරය පැහැදිලිව ග්‍රහණය කරගෙන තිබෙන්නේ මෙරට හිටපු ක්‍රීඩකයන්ම ලබාදුන් ඔත්තු නිසාය.

දුවද්දි දැවී යෑම් සම්බන්ධයෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට චන්දික හතුරුසිංහ චෝදනා කරයි. ලෝකයේ වැඩිම දුවද්දී දැවී යෑම් ඇත්තේ මැතිව්ස්ගේ නම ඉදිරියේ බව හතුරුසිංහ පවසන්නේ එහිදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් 49 දෙනකු දැවී ගොස් ඇති බවද මතක් කරමිනි. යම් හෙයකින් මේ දුවද්දී දැවී යෑම්ද තරග පාවාදීම් සිද්ධියකට පරීක්‍ෂණයක් විය හැකිය. ක්‍රිකට් වල ගසන පහරත් දැන් බුකීයේ ඔට්ටුවකට සිදු විය හැකි තරමට බුකීකරුවා ක්‍රිකට්වලට සමීප වී සිටියි. එබැවින් ක්‍රීඩකයන් දැඩි පරීක්‍ෂාවකට ලක්විය යුතුය. අයි.සී.සී.ය පරීක්‍ෂණ සිදු කරන්නේ මෙවැනි කරුණු කාරණා ඔස්සේය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලයට කඹ අදින පිරිස් කොටවා අයි.සී.සී. අපූරුවට වැඩේ පත්තු කරගෙන තිබෙන්නේ අනාගතයට හෝ මෙරට ක්‍රිකට් සුද්ද පවිත්‍ර කිරීමේ චේතනාවෙනි.

ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සම්බන්ධයෙන්ද අයි.සී.සී.ය උකුසු ඇස යොමා තිබේ. එහිදී ඇතැම් ක්‍රීඩකයන්ගේ කළමනා කරුවන් සහ බුකීකරුවන් අතර ඇති සම්බන්ධයද දුරකථන තාක්‍ෂණය ඔස්සේ ඔවුහු විපරම් කරති. සංගා, මහේල මෙන්ම මැතිවුස් ඇතුළු ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු වටා සිටින්නේ චාලි ඔස්ටින් නැමැති කළමනාකරුවෙකි. ඔස්ටින් ඔහුගේ ඊළඟ පරම්පරාව විවිධ උපක්‍රම හාරහා හදා ගනිමින් සිටී. මේ ආකාරයෙන් ඇතිවන කළමනාකරු මාෆියාවද පාවාදීමේ එක් පැතිකඩක් වශයෙන් හැඳින්විය හැකිය. බුකීකරුවාට ක්‍රීඩකයන් ළංකර ගත හැකි හොඳම ප්‍රවේශය කළමනාකරුවා බව තර්කයක් නැත.

ක්‍රීඩා සමාජ පාවාදීම්, තණතිලි සකසන්නන්ගේ පාවාදීම්, ක්‍රීඩකයන් සහ බුකීකරුවන්ගේ සංවාද සමග ඇතිවූ සැකය, හිටපු ක්‍රීඩකයන් සහ අනෙකුත් පාර්ශ්වවලින් ගත් තොරතුරු අනූව අයි.සී.සී. කර ඇති පූර්ණ නිගමනය ශ්‍රී ලංකා ක්‍රිකට් මුළුමනින්ම දුෂිත බවය. ශ්‍රී ලංකා රුපියල් කෝටි අනූවක් ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහය ව්‍යාර්ථ වුවද ඒ පිටුපස ඇති ප්‍රබල හස්තය කුමක්ද යන්නත් අයි.සී.සී.ය පරීක්‍ෂණ සිදුකරයි. කෝටි අනූවක් බැංකු ගිණුමකට තිබු විට මාසික පොලියද කෝටි ගණනකි. අයි.සී.සී.ය දැන් ශ්‍රී ලංකාවේදී අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයක් පිහිටුවීමට කටයුතු යොදමින් සිටියි. ඒ තරමටම මෙරට ක්‍රිකට් නන්නත්තාරය.

තව ටික දවසකින් අයි.සී.සී.ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදුන් නායකයන්, ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව එළියට දමයි. හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසන්නේ පසුගිය අවුරුදු දහය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්වල කිසිම දුෂණයක් සිදු වී නැති බවය. එසේ නම් අයි.සී.සී.යට පිස්සු ද නැතිනම් සුමතිපාලට පිස්සුද යන්න බුද්ධිමත් පාඨකයා මැනවින් තේරුම් ගනු ඇත.

දැන් සියලු හොරුන් එළියට දැමීමට ක්‍රීඩා ඇමැති වේවැල අතට ගත යුතුය. නැති නම් අයි.සී.යී.ය නිසි දඩුවම් ශ්‍රී ලංකාවලට නුදුරේදීම ලබාදුනහොත් ලෝක කුසලාන වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උග්‍ර මූල්‍ය හිඟයකට ලක්වීමේ අවදානමක් තිබේ. අයි.සී.සී.ය මුලින්ම කපන්නේ ලබාදෙන වාර්ෂික මුදල්ය. එතැනින් එහාට ක්‍රිකට් දුවන්නට බැරිය. ගොඩනැඟී ඇති මේ සන්ධර්භය තුළ සල්ලි නැති තැන ක්‍රිකට් නැත. දූෂිත දේශපාලන කුණපයක් වූ රටක ජීවත්වන අපට තිබුණ එකම අභිමානය හා බලාපොරොත්තුව ක්‍රිකට්ය. දැන් අප හිත හදාගත යුතුය. හැම සමාජ සංස්ථාවකම කුණු පණුවන් ලගිද්දී ක්‍රිකට් පමණක් පාරිශුද්ධ වනු ඇතැයි සිතිය නොහැකි බව සැබෑය. එහෙත් හිතට දුකය. බිඳවැටී ඇත්තේ මේ රටේ මිනිස්සුන්ගේ අවසාන ෆැන්ටසිය ය.

Comments