NLDB සභාපති අල්ලස් දැලේ | සිළුමිණ

NLDB සභාපති අල්ලස් දැලේ

රුපියල් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඉල්ලා, එයින් රුපියල් ලක්ෂ 6ක මුදලක් නාරාහේන්පිට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සිකුරාදා (05) අල්ලස් කොමිසම මඟින් ඔහුගේ නිල කාමරය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළක පිහිටි අවන්හලක් කුලී පදනම මත ලබාදීම සඳහා සභාපතිවරයා විසින් කටුගස්තොට පදිංචි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 12ක අල්ලසක් ඉල්ලා ඇති අතර,

මේ මුදල රුපියල් ලක්ෂ 6 දක්වා අඩු කරගෙන තිබේ.‍

ව්‍යාපාරිකයා විසින් මේ සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලද අතර, මේ සම්බන්ධ උපාය දූතයකු හා විමර්ශන කණ්ඩායමක් යොදවනු ලැබීය.

සභාපතිවරයාට අයත් පෞද්ගලික ආයතනයක සේවය කරන සහායකයකු හට මේ මුදල ලබාදෙන ලෙස ඒ මහතා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති අතර, ව්‍යාපාරිකයා සිකුරාදා පෙරවරු 11ට පමණ නාරාහේන්පිට පශු සම්පත් සංවර්ධන මණ්ඩල කාර්යාල භූමිය ඉදිරියේදී අදාළ මුදල සහායකයාට දී තිබේ.

මේ අවස්ථාවේ උපක්‍රමශීලීව එහි රැඳී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිස සභාපතිවරයා මේ මුදල ලබාගත් බව තහවුරු කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදහස්