වෙලාවට ගිහින් ශ්‍රී ලංකන් ලෝකෙන්ම මුල් තැනට | Page 2 | සිළුමිණ

වෙලාවට ගිහින් ශ්‍රී ලංකන් ලෝකෙන්ම මුල් තැනට

ශ්‍රී ලංකන් ගුවන් සේවාව පසුගිය සැපත්තැම්බර් මාසයේ ලොක්යේ නියම වෙලාවට ගුවන් ගමන් මෙහෙයවූ ගුවන් සේවා අතුරින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ Flightstats.com ආයතනය විසින් ‘ගෝලීය ගුවන් සේවා’ සහ ‘ප්‍රධාන ගුවන් සේවා’ කාණ්ඩ යටතේ සිදු කළ විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකන් සමාගම පසුගිය මාසයේ තම ගුවන් ගමන්වලින් 91%ක්ම නියමිත වෙලාවට සිදු කොට ඇත.

Flightstats.com ආයතනය මඟින් ‘ගෝලීය ගුවන් සේවා’ කාණ්ඩය යටතේ යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාවේ ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කරන ලදී. මේ ගුවන් සේවා කලාපීය ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා, ගෝලීය ගුවන් සේවා සහ ප්‍රධාන ගුවන් සේවා යන කාණ්ඩ යටතේ වර්ග කර ඇති අතර; ඇතැම් ගුවන් සේවා මෙවැනි කාණ්ඩ කිහිපයකටම අයත් වී ඇත.

‘ගෝලීය ගුවන් සේවා’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකන් හට ප්‍රථම ස්ථානය හිමි වෙද්දී ඇමරිකානු ගුවන් සේවාවක් වන ඩෙල්ටා ගුවන් සේවය නිසි වේලාවට ගුවන් ගමන් සිදු කිරීම වෙනුවෙන් 86.74%ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයටද ජපන් ගුවන් සේවයක් වන ANA 86.61%ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත් විය. ‘ප්‍රධාන ගුවන් සේවා’ කාණ්ඩය යටතේ සිදු කළ විශලේෂණයේදී ශ්‍රී ලංකන් ඉදිරියෙන් සිටිමින් දෙවන ස්ථානය ඉන්දීය ගුවන් සේවාවක් වන IndiGo නිසි වේලාවට ගුවන් ගමන් සිදු කිරීම වෙනුවෙන් 86.92%ක් ලබා දෙවැනි ස්ථානයටද ANA තුන්වැනි ස්ථානයටද පත්ව ඇත.

මේ පිළිබඳ ‘සිළුමිණ’ කළ විමසීමකදී ශ්‍රී ලංකන් අධ්‍යක්ෂවරයකු වන විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසූයේ මෙය ශ්‍ර‍ී ලංකන් සමාගම ඉතා සංවිධානාත්මකව කණ්ඩායම් හැඟීමෙන් සෑම කෙනකුම කැප වීමෙන් ලත් ජයග්‍රහණයක් බවයි.

Comments