ශ්‍රී ලංකා ක්‍රිකට් නූල් ‍බෝලය තවත් පැටලෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් නූල් ‍බෝලය තවත් පැටලෙයි

පසුගිය සතියේ මෙම තීරු ලිපියට ප්‍රතිචාරයක් මේ සතිය වන විට ජගත් ක්‍රිකට් සමුළුවෙන්ම (අයි.සී.සී) ලැබිණි.

තරග පාවාදීම් පිළිබඳ වාර්තාවක් අයි.සී.සී. ය මඟින් පසුගිය දා ජනාධිපති අගමැති හා ක්‍රීඩා ඇමැතිවරයාටද ඉදිරිපත් කිරීමෙන් එම ලිපි‍යේ සඳහන් කරුණු තහවුරු කරන ලදි.

අයි.සී.සි. දුෂණ මර්ධන ඒකක ප්‍රධානි ඇලෙක්ස් මාෂල් ප්‍රධාන කිහිප දෙනකු මේ සතිය මුල හදිසියේ ශ්‍රී ලංකාවට කඩා වැදුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද නොදන්වාය. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ වසර ගණනක් සේවය කළ රහස් පරීක්ෂකවරයකු වන ඇලෙක්ස් මාෂල් පසුගිය කාලය මුළුල්ලේම ශ්‍රී ලංකාව ගැන සෙවිල්ලෙන් සිටි බව ඔහුගේ වාර්තාවෙන් හෙළිදරව් වෙයි.

තරග පාවාදීම් හා දුෂණය අතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන අයි.සී.සී. ය මෙසේ ගියහොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් වරමද අහිමි වී යාමේ අවදානමක් ගැන පවසයි. මෙය අති භයානක තත්ත්වයකි. ඔවුන් මේ පිළිබඳ ජනාධිපති හා අගමැතිවරයාද දැනුවත් කරන්නේ එහි ඇති භයානක තත්ත්වය නිසාමය.

මෙම ක්‍රියාදාමය තුළ හාල්මැස්සන් නොව තෝරුන් හා මෝරුන් ද තරග පාවාදීම් දැලේ පැටලීමට තිබෙන ඉඩකඩ ද බොහෝය. මේ වන විටත් අයි.සී.සී.ය නිල වශයෙන් ප්‍රකාශ නොකළ ද ක්‍රීඩකයන් , පරිපාලකයන් හා හිටපු ක්‍රීඩකයන් රැසකගේ නම් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. චෝදනා ලැබූ පමණින්ම මේ සියල්ල ඇතැම් විට වරදකරුවන් නොවන්නට පුළුවන. එහෙත් ගින්නක් නොමැතිව දුමක් නොනගී යන්නද අමතක කළ නොහැක. අප රටේ සෑම චුදිතයකුට වරදකරුවකු වන්නේ බොහෝ කල් ගත වීමෙනි. ඒ නිසා මෙම චෝදනාද එසේ වන්නට බැරි නැත.

එහෙත් මෙම චුදිතයන් අතර ඉතා ළාබාල ක්‍රීඩකයන්ද සිටීම අති භයානකය. වහාම පියවර නොගතහොත් ඉදිරි පරපුරට ද මේ රෝගය වසංගතයක් බවට පත්වීම වැළැක්විය නොහැක. අද යන්තම් ඇටෙන් පොත්තෙන් මෝරා එන විටම 19 න් පහළ මට්ටමේ ක්‍රීඩකයන් ඩැහැ ගන්නා. ඒජන්තවරුන් ඔවුන් කුමන දිශාවන්ට රැගෙන යන්නේදැයි කිව නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැන් ලංකාවේ පමණක් නොව එංගලන්තයේ ද ඒජන්තවරු සිටිති. ඔවුන්ගේ සහායක ඒජන්තවරු මෙහි සිට තිරයට මුවා වී කණ්ඩායම් තේරීම්වලට බලපෑම් කරන බව කියැවේ.

අප රට ගැන විදේශයන්හිදී ආඩම්බරයෙන් කතා කිරීමට ඉතිරිව ඇති සොච්චමින් ක්‍රිකට් ඉහළ තැනක තිබිණි. එක දිගට සිදුවන තරග පරාජයන්, ක්‍රිකට් තරග පාවාදීම් චෝදනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල්‍ය අක්‍රමිකතා, දුෂණ දැන් අපේ ක්‍රීඩක දක්ෂතා ජයග්‍රහණ යටපත් කරමින් ලොව පුරා කතා බහට ලක්වන්නට පටන් ගෙන තිබේ. මෙහි අවමානය මුළු රටටමය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට මේ අවස්ථාවේ ඉටු කිරීමට වගකීම් රැසක් පැවරී තිබේ. සාම්ප්‍රදායානුකූල ක්‍රීඩා ඇමතිවරුන් පරිදි ඒ ඒ ක්‍රීඩා පරිපාලකයන්ගේ සුරතලකු නොවී මධ්‍යස්ථව හා නීතියට අනුව කටයුතු කිරීමට මුස්තාපා මහතාට හැකි වුණහොත් ඔහුට ජනතාව අතර වීරයකු බවට පත්වීය හැක. නොඑසේ නම් ඔහුට ද සුපුරුදු ලේබලයම අලවා ගෙන ඉතිහාසයට එක්වීමට සිදු වනු ඇත.

මේ අතර සතිය මුලදී ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවරක් පැසසිය යුතුය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත‍නයේ මුල්‍ය කටයුතු 2013 වසරේ සිට මේ දක්වා පිරිස්සීමට විගණන සමාගමකට බලය පැවරීමයි. තරග පාවාදීම්වලට අමතරව ක්‍රිකට් ආයතනය තුළ මේ වන විට ඔඩු දුවා ඇති වනය වන්නේ නිල වශයෙන් ලැබිය යුතු මුදල් කෝටි ගණනින් වෙනත් බැංකු ගිණුම් වෙත හරවා යැවීම පිළිබඳ කතන්දරයයි. එංගලන්ත සංචාරයට සෝනි සමාගමෙන් ලැබීමට තිබූ මුදල් මෙන්ම දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් ලැබීමට තිබුණු ඉතිරි මුදල වෙනත් බැංකු ගිණුම් වෙත යැවීමට තැත් කිරීමක් පිළිබඳ තොරතුරු ක්‍රිකට් ආයතනය මඟින්ම හෙළිදරව් කරගෙන තිබේ.

මෙම චෝදනාව දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. මේ පිළිබඳ පැමිණිල්ල ගොනු කළ ද මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාරු වූ පරීක්ෂණ කටයුතු සති දෙකක පමාවකින් පසුව පසුගිය දා ආරම්භ කෙරිණ.

මේ සියලු චෝදනා ඒක් එක් අය වෙත දිගු කෙරුණු ඇඟිලිය. ඒ නිසා ක්‍රිකට් ආයතනය තුළ ඇඟිලි දිගු කෙරෙන්නන් නොමැති බව කිසිවකුට කිව නොහැක. අවශ්‍ය වන්නේ වරදකරුවන් නම් වහා දඬුවම් ලබා දීමයි.

ගව් ගණන් දුර ගෙවා, ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන මුහුණ පුරා සායම් තවරා ජාතික ධජ කරපින්නාගෙන ගිරිය යටින් කෑගසමින් ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩාංගණ පුරවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පතාගෙනය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විදුලි බිල වැඩි කර ගනිමින් නිදිවර්ජිතව රූපවාහිනියෙන් තරග බලන්නේද එම අදිටමිනි. එසේ නොමැතිව මෙවැනි ජවනිකා දකින්නට හෝ අසන්නට නොවන බව කිව යුතුය.

- රං‍ජන් පරණවිතාන

අදහස්