පුරවැසියා, දේශපාලකයා හා රාජ්‍ය නොවන සංවිධාන | සිළුමිණ

පුරවැසියා, දේශපාලකයා හා රාජ්‍ය නොවන සංවිධාන

පළාත් සභා මැතිවරණ නිසි කලට නොපවත්වා කල් යන්නට ඉඩහැර තිබේ. පළාත් සභා මැතිවරණ මතු නොව; කිසිම මැතිවරණයක් කල් යැවීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැත. මැතිවරණ කල් යවන සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කරන මැතිවරණ නිරීක්ෂණ රාජකාරිය පවරාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධාන හඬ ‍නඟනු ඇසෙන්නේ එබැවිනි.

විශේෂයෙන් මෑත කාලය තුළ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා මැතිවරණ නිරීක්ෂණය සදහා වූ හා විෂය සම්බන්ධයෙන් උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන සිදු කළ මෙහෙය අතිමහත්ය. ඡන්දය භාවිත කිරීමේ හිමිකම පුරවැසියාගේ මූලික අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය වරක් තීන්දු කළේ එවැනි රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීම නිසා ය. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ මැතිවරණ කල් දැමිය නොහැකි බවයි.

රාජ්‍ය නොවන සංවිධානයන්ගේ මේ මැදිහත්වීම අගය කළ යුතු වුවත්, ඔවුන්ට ඇත්තේ සීමිත ඉලක්කයක් පමණක් බව කීමට එම අගය කිරීම බාධාවක් නොකර ගත යුතුය. උදාහරණයක් වශයෙන්: පළාත් පාලන මැතිවරණය කල් දමමින් පවතින විට බොහෝ වෙහෙස මහන්සි වී ඒ සම්බන්ධයෙන් උනන්දු වූ රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුවේ ඒ ක්‍රියාව බරපතළ ලෙස විවේචනය කළහ. එහෙත් පළාත් පාලන ආයතන ව්‍යූහය ගැන ඔවුන්ගේ ඒ හැටි සංවේදි බවක් දක්නට නැත. එමඟින් පැහැදිලි වන්නේ ඔවුන් යම්කිසි න්‍යාය පත්‍රයක් තුළ පමණක් ක්‍රියාකාරි වන බවයි.

සාමාන්‍යයෙන් රාජ්‍ය නොවන සංවිධානයන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන විට ඔවුන් පවසන්නේ තමන් පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවකි. ඔවුන් පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වනවා නම් තමන් නියෝජනය කරන පුරවැසියන්ගෙන් ජනවරමක් ලැබී තිබිය යුතුය. අප දන්නා පරිදි රාජ්‍ය නොවන සංවිධාන පුරවැසියන් මත රඳා පවතින්නේ හෝ පදනම් වන්නේ හෝ නැත. ඔවුන්ගේ සංයුක්තය, ආකෘතිය හා ව්‍යූහය තුළ පුරවැසියෝ නියෝජනය නොවෙති. එනම්: යම්කිසි පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට හෝ රාජ්‍ය නොවන සංවිධානයේ ආකෘතියට හෝ න්‍යාය පත්‍රයට හෝ කිසිම බලපෑමක් කළ නොහැකිය; ඒවායේ අරමුණු වෙනස් කළ නොහැකිය. කෙටියෙන් කිවහොත් පුරවැසියා හා රාජ්‍ය නොවන සංවිධාන අතර ඇත්තේ අනෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සබදතාවකි.

එවැනි සබඳතාවක් ඇති රාශීන් දෙකක ක්‍රියාකාරිත්වය එකක් අනෙක මත රඳා නොපවතිනසුලුය. එසේ නම් "අප පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා" යැයි රාජ්‍ය නොවන සංවිධාන උජාරුවෙන් පැවසීම අර්ථ විරහිතය. ඇත්තටම රාජ්‍ය නොවන සංවිධාන පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටී. ඔවුන් පෙනී සිටින්නේ තමන්ගේම වූ න්‍යාය පත්‍රයක් වෙනුවෙනි. ඒ න්‍යාය පත්‍රය තුළ සමහර විට පුරවැසි අයිතීන් පවතී. එසේ වූ පමණින් රාජ්‍ය නොවන සංවිධාන යනු පුරවැසි සංවිධාන යැයි කිව නොහැකිය.

පවතින දේශපාලන ආකෘතිය තුළ අධිපතිවාදී වන්නේ ගෝලීය ප්‍රාග්ධනයයි. එහි ආකෘතිය සකස් වී ඇත්තේ ලෝක ධනේශ්වරයක් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය ශක්තිමත් ආර්ථිකයක් හිමි රවටවලින් සිදු කරන පරිදිය. ඒ අනුව අවශ්‍ය සැලසුම් සකස් කර, ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ණය හා ආධාරද දී, ලෝක ධනේශ්වරයක් සදහා න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන විට ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නා වූ මුර බල්ලෙක්ද අවශ්‍ය ය. ශ්‍රී ලංකාව වැනි ආන්තිකකරණයට ලක් වූ රටවල ඒ මුර බල්ලාගේ රාජකාරිය කරන්නේ රාජ්‍ය නොවන සංවිධානයි.

උදාහරණයක් සලකා බැලුව හොත්: ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රැස්වීමට, මානව හිමිකම් කමිටුවේ රැස්වීමට ආදි ආණ්ඩුවේ වගවීම පිරික්සා කරන බලන රැස්වීම්වල ප්‍රධාන අසුන් මේ රාජ්‍ය නොවන සංවිධානවලටත් හිමි වේ. ඒ අනුව පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින්නට රාජ්‍ය නොවන සංවිධානවලට වරම ලැබෙන්නේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියෙනි. එබැවින් රාජ්‍ය නොවන සංවිධානවල වගවීම ඇත්තේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලිය කෙරෙහිය. රාජ්‍ය නොවන සංවිධානයේ න්‍යායපත්‍රය සකසන්නේත් අරමුදල් සපයන්නේත් ගෝලීය ප්‍රාග්ධනයයි. එවිට ඒ රාජ්‍ය නොවන සංවිධාන තම තමන්ට වෙන්ව ඇති විෂයයට අදාළව ශ්‍රී ලංකාව තුළ කටයුතු සිදු කර, ඒ සම්බන්ධයෙන් ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියට වගවීමක් සිදු කරයි.

දේශපාලන පක්ෂයකට වරම ලැබෙන්නේ මහජනතාවගෙනි. රාජ්‍ය නොවන සංවිධානයකට වරම ලැබෙන්නේ ගෝලීය ධනේශ්වරයෙනි. එනිසා දේශපාලන ක්‍රියාධරයකුත් රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාධරයකුත් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. පළමුවැන්නා සමාජ දේශපාලන ක්‍රියාධරයෙකි. දෙවැන්නා ගෝලීය ප්‍රාග්ධනයෙන් වැටුප් ලබන ක්‍රියාධරයෙකි.

අබරන්

අදහස්