ලබන රග්බි ලෝක කුසලානයේ ටැටූවලට වැට... | සිළුමිණ

ලබන රග්බි ලෝක කුසලානයේ ටැටූවලට වැට...

ඈත අති‍තයේ ජනතාව අතර පැතිර පැවැති විශ්වාස ඇදහිලි ක්‍රම රැසකි. ඒ අතර පච්ච හෙවත් ටැටූවලින් ගත සරසා ගනු ලැබුවේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට සහ දිර්ඝායු ලැබීමට එය ඉවහල් වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. වර්තමානයේදී ද බොහෝ දෙනා ටැටූවලින් සිය ගත හැඩ වැඩ කරගෙන තිබේ. ඒ හුදෙක්ම විලාසිතාවක් වශයෙනි. ටැටූ විලාසිතාවන්ට සමාජයේ විවිධ මට්ටම්වල අය යොමු වී ඇති අතර ඒ අතරට සුපිරි ක්‍රීඩකයන් ද අයත්ය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ටැටූවලට වැඩියෙන්ම යොමු වී සිටින පිරිස හමුවන්නේ පාපන්දු ක්‍රීඩාවේදීය. ඒ අතරින් වඩාත් ප්‍රකටම ක්‍රීඩකයා වන්නේ ඩෙවිඩ් බෙකම්ය. ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී ටැටූ විලාසිතාවන්ට යොමු වූයේ 2016 වසරේ සිටය. පාපන්දු ක්‍රීඩාව සමඟ සසඳන ක්‍රිකට් ක්‍රීඩකයන් ටැටූ විලාසිතාවන්ට යොමු වීම අඩු මට්ටමක පවතියි. පාපන්දු ක්‍රීඩකයන්ට අමතරව කණ්ඩායම් ක්‍රීඩා අතරින් වැඩිම පිරිසක් මේ විලාසිතාවන්ට යොමු වී සිටින්නේ රග්බි ක්‍රීඩාවේය.

එහෙත් මෙවැනි රග්බි ක්‍රීඩකයන්ට ද මේ ටැටූ විලාසිතාව අද ගැටලුවක් වී තිබේ. ඒ ලබන වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ලකලෑස්ති වන ක්‍රීඩකයන්ට සිය ටැටූ වසා ගැනීමට සිදු වී ඇති බැවිනි. ඒ‍ වෙනකක් නිසා නොව, ජපානයේ නීතිය අනුව ටැටූ භාවිතය සහ ප්‍රදර්ශනය කිරීම ඇතැම් ස්ථානවල වරදක් මෙන් ම තහනමට ලක්ව තිබීමය.

මේ නිසා ම ලබන වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත මීළඟ රග්බි ලෝක කුසලාන තරගාවලි‍යට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට එරට ක්‍රියාත්මක වන ටැටූ නීතිය පිළිබඳ දැනුවත් කිරීම් ආරම්භ කර තිබේ. එම කණ්ඩායම් ක්‍රීඩකයන්ට මෙන්ම සිය කාර්යය මණ්ඩලවලට දැනුම් දී ඇත්තේ හැකිතාක් දුර‍ට ටැටූ වැසෙන සේ ඇඳුම් පැලැඳුම් යොදා ගන්නා ලෙසයි.

මේ පිළිබඳ එංගලන්තයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී තරගාවලි අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ජපානයේ ටැටූ නීතිය පිළිබඳ (ක්‍රීඩකයන්) කණ්ඩායම් දැනුවත් කළ බවත්, ඔවුන් එය වටහාගත් බවය. අවුරුද්දක කාලයක් මේ තරගාවලියට තව තියෙනවා. නැත්නම් කණ්ඩායම්වලට- ක්‍රීඩකයන්ට ගැටලු මතු වෙන්න පුළුවන්. අපි කවුරුත් ජපානයේ නීතියට ගරු කළ යුතුයි. තරගාවලි අධ්‍යක්ෂ වරයා පවසයි.

ලෝක ශූර නවසිලන්ත හෙවත් ප්‍රකට ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ටැටූ විලාසිතාවන්ට යොමු වී සිටින අතර, ඒ අතරින් කොචී ටේලර්, සොනිබිල් විලියම්ස් සහ ආරොන් ස්මිත් වඩාත් ප්‍රකට ක්‍රීඩකයන්ය. මේ අතර නවසීලන්ත රග්බි සංගමයද ප්‍රකාශ කරන්නේ ජපාන නීතිය පිළිබඳ තම කණ්ඩායම දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

අපේ ක්‍රීඩකයන් ඕනෑම රටකට යන කොට ඒ රටේ සංස්කෘතියට ගරු කරන්න ඕනෑ. අපි ඒකට බැඳිලා ඉන්නවා. ජපානයට විතරක් ඒක වෙනස් වෙන්න බෑ. නවසීලන්ත රග්බි සම්මේලනය වැඩි දුරටත් පවසයි.

අදහස්