නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

කෙළි පිටිය

මැද රට ‍සුපිරි කෙළි පිටියකි.

කල්වේලා ඇති ව ම අපේ අලෙවි රිය එහි ළඟා විය. අප ගියේ කෙළි නරඹනු පිණිස නොවේ. කැවිලි විකිණීමට ය.

රිය තුළ වූ සීත පෙට්ටි වල මහා විශාල බනිස් තොගයක් තිබිණ. ඒවා උදුනේ ලා තම්බා ජෑම් සමඟ හෝ සොසේජස් සමඟ විකිණීම අපේ වෙළෙඳාම විය.

අපේ හිමිකරු සමඟ සති අන්තවල ව විටින් විට මෙබඳු කෙළි පිටිවලට හෝ කානිවල්වලට යෑමට අපි පුරුදු වී සිටිමු. ඒ විනෝදයට නොව මාසේ වියදමට අමතර යමක් උපයා ගනු පිණිස ය.

අප එන විට හාත්පස ළා මීදුමෙන් බොඳව තිබිණ. ටිකකින් එය හිරු රැසේ දියව ගියේ ය. හරිත පෑ සුපිරි කෙළි පිටිය බලා සිටිය දී ම වාගේ පැහැදුල් ව දිස් විය.

එතෙක් වේලා මා නොදුටු පිරිසක් කෙළි පිටියෙන් මතු වූයේ මේවෙලාවේ ය. මේ පිරිසට ගැහැනු ද, පිරිමි ද ළමා ළපටි ද අයත් වූහ.

මේ සා සුපිරි කෙළි පිටියකට දිළිඳු ජනතාවක් කුමකටද?

‘කවුද ඒ? මොකද කරන්නෙ?’ මම අසල සිටි වැඩිහිටියකුගෙන් ඇසීමි.

‘ඔය අවට ගම්වල ඉන්න මිනිස්සු’ ඔහු කීවේ ය.

‘ඒගොල්ලො ඔය මොනවද කරන්නෙ?’

‘සල්ලි ඇහිඳිනව’

‘සල්ලි ඇහිඳිනව! ඒ කොහොමද?’

‘මේකෙ සෙල්ලං කරන‍්නෙ සල්ලි කාරයොනෙ. ඉතිං සෙල්ලං කරද්දි ඒ අයගෙ පර්ස් වැටෙනව. ඔරලෝසු ගැලවිලා විසි වෙනව. බ්රේස්ලට් කැඩිල වැටෙනව. රත්තරං මාල තියනව නං ඒවත් කැඩිල වැටෙන්ඩ පුළුවන්නේ. ඔය කට්ටිය ඒව තමයි හොයන්නෙ.’

මට අමුතු හිනාවක් ගියේ ය. ඒ දැක ඔහුට ද හිනා ගියේ ය.

ටිකකින් ඒ පිරිස ඉවත් කැරිණ.

අනතුරුව, සුපිරි ක්‍රීඩක‍යෝ ද නරඹන්නෝ ද එන්නට පටන් ගත් හ. හාත්පස උත්සව සිරි ගත‍්තේ ය.

සුපිරි කෙළිය ඇරැඹිණ.

නරඹන්නෝ විනීත ව සිත් සේ විනෝද වූහ.

අපි අපේ වෙළෙඳාම පටන් ගතිමු.

පිටියේ තැන තැන කූඩාරම් දිස් විය. ඒවා ඒ ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් අටවන ලද තාවකාලික නිවහන් ය.

හිටිඅඩියේ ම ළමා ළපටින් පිරිසක් පොරකමින් කූඩාරම් වෙත දිව යන හැටිත්, මොනවාදෝ අහුලා ගෙන ආපසු දිව යන හැටිත් මට පෙනිණ.

හිතේ කුහුලක් වැඩුණු බැවින් ඇසිල්ලක් ලද මොහොතක මම කූඩාරමක් ඇති පෙදෙසකට කිට්ටු කළෙමි.

විවේක ගනිමින් සිටි ක්‍රීඩකයෙක් යමක් කා එහි ඉතිරි අඩ කූඩාරමින් පිටතට විසි කරයි. තවෙකෙක් අඩක් හිස් වුණු බීම බෝතලයක් එළියට දායි. ළමා ළපටින් පොරකමින් දුවැවිත් ඩැහැගෙන දුවන්නේ ඒවා ය. ඩැහැ ගත් දේ කා බී යළි සැඟව ගන්නා ළමයි ඊ ළඟ ගොදුර ඩැහැ ගන්නට ඒ ඒ කූඩාරම් දෙස සිය පුංචි උකුසු ඇස් හරව හරවා බලති.

මගේ දරුවා පසුවන්නේ ද මේ වයසේ ය. මට අපේ දරුවන් ගැන මහා වේදනාවක් ඇති විය.

දෙ දිනකට පසු සුපිරි කෙළිය අවසන් විය. කූඩාරම් ඇකිළිණ. ක්‍රීඩක‍යෝ ද, නරඹන්නෝ ද ගිය හ.

හරිත පෑ තණ පිටිය කිසිත් නොවූ ගාණට යළි අලුත් විය.

අපේ වැඩ ද නිමා වූයෙන් ඉක්මනින් පිටත් ව යනු පිණිස අපි වහ වහා අස්පස් කරන්නට වීමු.

ඒ වන විට අපේ අහර තොගය ම වාගේ විකිණී අවසන් ව තිබිණ. ඉතිරි වී තිබුණේ බනිස් ගෙඩි දහයක් පහළොවක් පමණි. හොඳ වෙ‌ෙළඳාමක් සිදුවී ඇති බැවින් බො‍හෝවිට අවසන් මොහොතේ කැරෙන්නේ ඉතුරු බිතුරු ටික ළඟ පාත සිටින්නන්ට බෙදා දී පිට ව යෑම ය.

මෙය දැන සිටි බැවින් දෝ ළමා ළපටි කැලක් පිම්මේ අප වෙත දිව ආහ. ඔවුන් එකෙකා පරයමින් දිව ආවේ ‘මාමේ මටත්! මාමේ මටත්’ යැයි කෑ ගාමිනි.

‘පොරකන්ඩෙපා! පොලිමේ ඉන්නවල!’ අපේ හිමිකරු රළු හඬින් නියෝග කළේ ය.

ළමයි වහ වහා පෝලිම් ගැසුණ හ.

බනිස් ඇසිරූ පෙට්ටියේ පියන් විවර වී දිගු වෙමින් තිබූ ඒ හැම අතකට ම බනිස් ගෙඩිය බැගින් බෙදෙන හැටි බලන්නට මම සැදී පැහැදී සිටියෙමි.

වහා පෙට්ටිය රිය තුළට දමා දොර වසා අගුල ලූ හිමිකරු අපට ‘යං’ කියාගෙන රියට නැගුණේ ය.

පෝලිම් ගැසී සිටි ළමා ළපටි කැළ මුව අයාගත් වන ම සිටිය හ.

මගේ ළය දා ගියේ ය.

වාහනය පණ ගැන්නුණේ ය.

‘මොකද යන්නැද්ද?’ හිමිකරු ගේ හඬ ඇසිණ. මම රිය දෙස බැලීමි. සෙස්සෝ ද ඊට නැග සිටියහ.

මම ගොළුවකු සේ එහි නැග ඉදිරි අසුනට හිස ඔබා ගතිමි.

 

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 


ඉංජිනේරු පුතා

පුතා පහේ පන්තියේ ඉගෙන ගන්නා දරුවෙකි.

පියා විධායක නිලධාරියෙකි.

පුතා පියා ගේ ඔඩොක්කුවේ හුරතල් වෙමින් සිටියේ ය.

‘පුතා, පන්තියෙ හොඳට ඉගෙන ගන්නව නේද?’

‘ඔව්, මං හොඳට ඉගෙන ගන්නව.’

‘ඔක්කොම විභාග හොඳින් පාස් වෙනව නේද?’

‘ඔව්. මං ඔක්කොම විභාග හොඳින් පාස් වෙනව.’

‘ඔයා හරි හොඳ දරුවෙක්.’

පියා පුතු ගේ හිස සිම්බේ ය.

පුතා පියාට තව තවත් තුරුලු වූයේ ය.

‘පුතේ, මට ඔයාට කාරණාවක් කියන්ඩ තියනව. ඔයා ඒක හොඳට හිතට ගන්නව නේද?’

‘ඔව් තාත්තෙ කියන්ඩකො. මං ඒක හොඳට හිතට ගන්නං.’

‘දැන් බලන්ඩ පුතේ, අපේ පරම්පරාවෙ හැමෝම කරන්නෙ හොඳ හොඳ රස්සාවල්. අපේ තාත්ත ඒ කියන්නෙ ඔයාගෙ සීය හොඳ වෙද මහත්තයෙක්. එයා අද නැතත් මිනිස්සු එයාට අදත් ගරු කරනව. අපේ අම්ම, ඒ කියන්නෙ ඔයාගෙ ආච්චි හොඳ දේශීය වෛද්‍යවරියක්. ඔයාගෙ අම්ම හොඳ රැකියාවක් කරනව. මාත් එහෙමයි. ඔයා ගෙ මාමල තාත්තල බාප්පල පුංචි අම්මල හැමෝමත් එහෙමයි. ඒත් පුතේ, අපේ පරම්පරාවෙ එක අ‍ඩුපාඩුවක් තියනව.’

‘ඒ මොකක්ද තාත්තෙ?’

‘අපේ පරම්පරාවෙ ම දොස්තර මහත්තේක් නෑ. ඉතින් පුතේ ඔයාට පුළුවං නේද හොඳ දොස්තර මහත්තේක් වෙන්ඩ?’

‘නෑ තාත්තෙ, මං දොස්තර මහත්තේක් වෙන්නෙ නෑ. මමයි මගෙ හොඳම යාළුවයි කතා කර ගත්ත අපි දෙන්න ම හොඳ ඉංජිනේරුවො වෙමු කියල.’

පියා ගොළු වූයේ ය.

දරුවා කතා කළේ ය.

‘ඒ වුණාට මගෙ අනිත් හොඳ ම යාළුව දොස්තර මහත්තේක් වෙනව කිව්ව. ඉතිං ඒ ඇතනෙ තාත්තෙ. අපි අසනීප වුණා ම එයා අපිට බෙහෙත් දෙයි. අපි යාළුවො හින්ද හොඳ ම බේත් දෙයි. ඒ හින්ද තාත්තෙ එයා දොස්තර මහත්තේක් ‍වුණාවෙ. මමයි මගෙ හොඳ ම යාළුවයි ‍ඉංජිනේරුවො වෙන්නම්.’

 

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.

නෙළුම්විල සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

 

අදහස්