සිවුවැනි සංචාරකත්ව නායක සමුළුව එන මස 4-5 දිනවල කොළඹ දී | සිළුමිණ

සිවුවැනි සංචාරකත්ව නායක සමුළුව එන මස 4-5 දිනවල කොළඹ දී

ලෝක සංචාරකත්ව දින නිල උත්සවයට සමගාමීව 2018 ඔක්තෝබර් 4 හා 5 යන දිනවල සංචාරකත්ව නායක සමුළුව හා අන්තර්ජාතික සංචාරකත්ව සමීක්ෂණ සම්මන්ත්‍රණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සංචාරකත්ව, ආර්ථික හා සත්කාරක කළමනාකරණ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාපීඨ සංචාරකත්ව අධ්‍යයන වැඩසටහනේ ශිෂ්‍යයනුත් එක්ව සංවිධානය සංවිධානය කරන මේ උත්සවයේ සංචාරකත්ව නායක සමුළුව පැවැත්වෙන්නේ අඛණ්ඩව 4 වැනි වතාවටය. සංචාරකත්ව නායක සමුළුව 2015 පටන් ලෝක සංචාරකත්ව දින උත්සවයේ කොටසක් වන අතර පසුගිය වසරේ එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

එහිදී විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කරනු ලැබිණි.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘තිරසර සංචාරකත්ව සංවර්ධනයක් උදෙසා ගෝලීය අගය දාමයන් ගොනුකිරීම්’ය. එහිදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් සංචාරකත්ව උපක්‍රම ව්‍යවහාරය පිළිබඳ අවබෝධාත්මක හා සංසන්දනාත්මක විශ්ලේෂණයක්ද සිදු කෙරේ. විශේෂයෙන් 2017-2020 සංචාරකත්ව උපක්‍රමික සැලැසුම - නෙළා නොගත් විභවයේ කතාව, දෙස් විදෙස් විද්වතුන්ගේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා නීති සම්පාදකයන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ලෝක සංචාරකත්ව සංවිධානයේ ඉහළ නිලධාරීන්, සංචාරක ප්‍රභව රටවල තානාපතිවරුන්, විද්වතුන් හා සමාගම් ක්ෂේත්‍ර නායකයන් දේශන පැවැත්වීමට නියමිත අතර සමීක්ෂණ වාර්තා එළිදැක්වීම් හා වැදගත් සාකච්ඡා මණ්ඩප ද වැඩසටහනට ඇතුළත්ය.

ඉකුත් වසර තුනේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරකත්ව දින සැමරුම් උත්සවය සංවිධානය කිරීමේදී රජයේ ප්‍රමුඛ විද්වත් සංගමයක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨ සංචාරකත්ව, ආර්ථික හා සත්කාරක කළමනාකරණ ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සංචාරකත්ව සංවර්ධන අමාත්‍යංශය සමග පෙරමුණ ගෙන කටයුතු කළේය.

Comments