කැම්සෝ ලෝඩ් ස්ටාර් සහායෙන් ආදර්ශවත් ගොවි‍පළක් | සිළුමිණ

කැම්සෝ ලෝඩ් ස්ටාර් සහායෙන් ආදර්ශවත් ගොවි‍පළක්

වසර තිහක් තිස්සේ පුරන්ව තිබූ අක්කර තිහක කුඹුරු යායක් සාරවත් ගොවිපළක් බවට පත් කිරීමේ කටයුත්ත, මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ තවත් සමාජ සත්කාරයක් ලෙසින් පසුගියදා ක්‍රියාවට නැංවිණි. මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පිහිටා තිබෙන කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයට යාබද මෙම කුඹුරු යාය වී සහ එළවළු වගාව සඳහා වන ආදර්ශවත් ගොවි‍පළක් ලෙසින් සංවර්ධනය කිරීමට නියමිත අතර ප්‍රථම අදියර යටතේ එහි අක්කර 6ක් වගා කෙරේ. රසායනික පොහොරින් තොර වස විස නැති ආහාර දේශයේ ජනතාවට සහන මිලට ලබාදීම අරමුණු කොට ගෙන මෙම ගොවිපළ ආරම්භ කරන ලදී. පුරන් කුඹුරක් සරුසාර ගොවි‍පළක් කරන්නට දහදිය, ශ්‍රමය වැගිරූ සේවක සේවිකාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් වෙත සම්මාන සහ තිළිණ ප්‍රදානය කරන්නට ද කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනය කටයුතු යොදා තිබුණේය. කුඹුක් පැළ සහ මී පැළ දෙසියයක් ද ගොවිපළ වටා සිටුවීමේ කටයුත්ත ද මෙදින සිදුකෙරිණි. අඛණ්ඩව සිවු වසරක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් සමාගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන ආකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් මෙහෙයවන ආයතනයකි.

අදහස්