නාඬන් රුපියලේ නුඹ රකිනවා හෙට! | සිළුමිණ

නාඬන් රුපියලේ නුඹ රකිනවා හෙට!

මේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විවේචකයන් විසින් ආණ්ඩුවට විරුද්ධව නොයෙක් චෝදනා ඉදිරිපත් කරමින් සිටින මොහොතකි. ආර්ථිකය කඩාවැටීම හා රුපියල බාල්දුවීම, ජාතික ආරක්ෂාව අනතුරට ලක්වීම, මැතිවරණ කල්දැමීම, පොලිස්පතිවරයාගේ නෙමනා හැසිරීම් හා අපරාධ වැඩිවීම, ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ඒ චෝදනා අතර විවිධ ප්‍රවෘත්ති මවන ඒවාය. එසේම තුන් වේල පිරිමහගැනීමට නොහැකිව ඈත ගම්බද සමහර පවුල් මුරුංගා කොළ තම්බා කන බව සඳහන් ප්‍රවෘත්තිද ප්‍රචාරය වෙමින් තිබේ. මේවාට අමතරව සමාජ ජාලා ඔස්සේ එල්ල කරනු ලබන චෝදනාවලද නිමක් නැත. මේ කුමන චෝදනාවක් ඉදිරිපත් වුවත් ඒවා සමාජගත කරන කිසිවකුට අබමල් රේණුවක හිරිහැරයක් ආණ්ඩුවෙන් සිදු නොවීමද සුවිශේෂ කරුණකි.

මසුරන් කතාවක්

මේ සියලු චෝදනාවලට අමතරව කලාතුරකින් කෙනකු ආණ්ඩුවේ හොඳක් දකින අවස්ථාද තිබේ. පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට හිමි වූයේ එබඳු ප්‍රශංසාවකි. ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බවත්, අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගැනීමට අපට ශක්තියක් තිබෙන බවත්, එනිසා මෙරටේ ස්වාධීනත්වයට, නිදහසට කිසිදු බලපෑමක් නොකර අපේ ප්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන ලෙසත් ජනාධිපතිවරයා කළ අභීත ප්‍රකාශයට බහුතරයක් ප්‍රසාදය පළ කළහ. එතැනදීත් යම්යම් ඇදකුද මතු කරමින් දේශපාලන කුහකකම් ප්‍රදර්ශනය කළ අයද වූහ.

මහත්මා ගාන්ධිතුමන් විසින් අවධාරණයෙන් සඳහන් කරන ලද පරිදිම දේශපාලනය යනු බලයම අරමුණු කරගත් ක්‍රියාදාමයක් මෙන්ම බලයේ සිටින අයගෙන් බලය ඩැහැගැනීමට කෙරෙන ක්‍රියාන්විතයක් බවත් අපි දනිමු.

මේ පසුබිමෙහි ආණ්ඩුවට එල්ල කර තිබෙන චෝදනා පත්‍රවල ඉදිරියෙන්ම වන්නේ ආර්ථිකය කඩාවැටීම හා රුපියල බාල්දුවීමයි. මේ රටට ආදරය ඇති කිසිවකුට ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීම හා රුපියල බාල්දුවීම ගැන සතුටු විය හැකි නොවුණත් එබඳු විනාශයක් වුවද අනේ සාදුයැයි අනුමත කරන වර්ගයේ දේශපාලන අපතයෝද අප අතර සිටිති. එසේම මේ අර්බුදයේ රටම ගිල්වා හෝ බලය ඩැහැගැනීමේ දුෂ්ට චේතනාවෙන් ආතුර වූවෝද නොවෙත්ද? මේ අතර, රුපියල බාල්දු වන වේගයටත් වැඩි වේගයකින්, ආර්ථිකය පිළිබඳ ප්‍රාමාණිකයන් හා විද්වතුන්ද පස්සට දමා ඉංජිනේරු, වෛද්‍ය වැනි කේෂ්ත්‍රවල සමහරු ආර්ථික න්‍යායාචාර්යවරු ලෙස ඉදිරියට පැමිණෙති. මොවුන්ගේ පෙරමුණෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද සිටිනු පෙනේ. ඔවුන්ගෙන් සමහරු ආණ්ඩුවේ ඇදකුද පමණක් නොව ආණ්ඩුව විසින් එම අර්බුදයට යෝජනා කරන ලද ඇතැම් දේවල්ද දැඩිව විවේචන කරනු ඇසෙයි. විවේචනය නරක දෙයක් නොවේ. එය කළ යුත්තේ දොස් නිදොස් කරගැනීමටත්, ජනතාවට සෙතක් සලසාදීමටත් බව අපගේ අදහසය. එහෙත් මේ විවේචකයන්ගේ එබඳු සාධාරණ අරමුණක් තිබේද?

කොළ කෑ විත්තිය

අප විසින් ඉහත සඳහන් කරන ලද මුරුංගා කොළ තම්බා කා වේල පිරිමහගැනීමේ කතාව අපට තහවුරු කරන්නේ කිසිදු ඉවක් බවක් නැති, වගකීමක් නැති විවේචනවල ස්වරූපයයි. මේ මුරුංගා කොළ කෑම ගැන මෛත්‍රී ජනාධිපතිවරයා තුළ ඇති වූ දයානුකම්පාව නිසාම ඒ පවුල සොයා යැවූ නිලධාරීන්ට තහවුරු කරගත හැකි වූයේ එය අමූලික බොරුවක් බවයි. ගෙදර ගෘහමූලිකයා කියා තිබුණේ තමාට එබඳු අහේනියක් නැති බවයි. නිර්මාංසික ආහාර අනුභවය තම පවුලේ සිරිතක් නිසා එබඳු කොළ මැල්ලුමක් තම ආහාර වේලට අනිවාර්ය බවද ඔහු පවසා තිබිණි. එහෙත් මේ විමර්ශනය නොකළේ නම් මුරුංගා කොළ කතාව දේශපාලන වේදිකාවල ගිගුම් දෙන හැටි අමුතුවෙන් කිව යුතු නොවේ.

දැන් අපි ආණ්ඩුව පමණක් නොව, රටම මුහුණ දී සිටින ආර්ථිකය කඩාවැටීමේ අර්බුදය ‍වෙත යොමු වෙමු. මේ අර්බුදය මේ ආණ්ඩුවේ වරද නිසාම උපත ලද්දකැයි කීමට අපට කරුණු නැත. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන අපට විවේචන තිබෙන බව ඇත්තය. වෙළෙඳපොළ ආර්ථිකයට වැඩි බරක් දමා නිෂ්පාදන ආර්ථිකය පස්සට වැටීම ගැන අපට විවේචනයක් තිබේ. එහෙත් අප දන්නා පරිදි මේ අර්බුදයේ මුල නිදහසින් පසු මේ රට පාලනය කළ හැම පාලන යුගයක් කරාම ඇදී ගොස් තිබේ. දේශීය ආර්ථිකයක් ගොඩනඟා අරපිරිමැස්මෙන් යුතු ආර්ථික කළමනාකරණයකට රට යොමු නොවීම මේ ආර්ථික අර්බුදයේ ප්‍රමුඛ හේතුව බව අප තේරුම් ගත යුතුය.

ආර්ථික ව්‍යාධිය

මේ ආර්ථික ව්‍යාධිය සුව කරගැනීම සඳහා අවංක වුවමනාවක් තිබුණු නායකයෝද සිටියහ. අපට මතක් වන්නේ ඩී.ඇස්. සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි පාලන යුගවල මේ සඳහා ගත් යම්යම් පියවර පිළිබඳවය. ඩීඇස්ට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේදීත් අපට ආනයන වියදම පාලනය කරගත නොහැකි වී ඇත. කෘෂිකර්මය හා ස්වදේශීය චින්තනය ගරු කළ අගමැති ඩීඇස්, ඒ පිළිබඳ කළ අනාවරණ ඉතා අගය කළ යුතුය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුවද මේ ආර්ථික ව්‍යාධියට ඔසු සෙවූ බව සඳහන් කළ යුතුය. බෙහෙතක් දෙකක් වැරදුණත් රටේ සංවර්ධනයක්, කෘෂිකර්මයේ ප්‍රබෝධයක් එකල ඇතිවූ බව කිව යුතුය. එහෙත් මිරිස්පොලු, හාල්පොලු පමණක් නොව අඟහරුවාදාට බත්කෑමේ තහනම දේශපාලන වේදිකාවල ඔපදමා කියමින් සමගි පෙරමුණ ජනතා අප්‍රසාදයට ලක් කිරීමට ජේආර් නායකත්වය දුන් එජාපයට හැකිවිය.

එදා වාසිය

කෑමෙන් බීමෙන් අඩුවක් නැති සාක්කුවට සල්ලි වැටෙන ආර්ථිකයක් උදෙසා ජේආර්ට රට භාරදුන් ජනතාවට ජේආර් තෑගි කළේ විවෘත ආර්ථිකයයි. අපි එහි හොඳ-නරක කීමට සූදානම් නොවෙමු. එහෙත් ඒ ක්‍රමය අසාර්ථක වූ නිසා විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට ජනතාව තෝරාගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එතැන් සිට අද දක්වා ඒ මානුෂික මුහුණුවර කෙබඳුදැයි තමතම නැණපමණින් කාටකාටත් තේරුම්ගත හැකි වී තිබේ. චන්ද්‍රිකාගෙන් මහින්දට භාර වූ රටේ ආර්ථිකය ගැනද නොයෙක් විවේචන ඉදිරිපත් කළ හැකිය. ඒ යුගයේ රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකිවූයේ නම් අද මේ ප්‍රශ්නයෙන් බාගයකට වඩා නොඒමටද ඉඩ තිබිණි. හැබැයි මහින්ද පාලන යුගයේ ඇමෙරිකානු ආර්ථිකය බිඳවැටීම නිසා අද මෙන් ඩොලරය බලසම්පන්න වූයේ නැත. මහින්ද පාලනයට ඒ වාසිය තිබිණි. එහෙත් සමස්තයක් ලෙස ඒ යුගයේ වූ දූෂණය, හොරකම නිසා රට ආගාධයට යමින් තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව නීතිය, නිදහස ඇතුළු වටිනාකියන දෑ බරපතළ සෙ නායයමින් තිබිණි.

මෛත්‍රිට රට භාර වන්නේ ඒ සියල්ලට සාධනීය විසඳුම් ලැබීමටය. මෛත්‍රී-රනිල් පාලනය රටට බොහෝ ජයග්‍රහණ අත්කරදුන් බව අපගේ අදහසය. එහෙත් රට ගිලගෙන තිබෙන දූෂණය, හොරකම දුරලීමට මේ පාලනයද අසීරු වී ඇතිබව පැහැදිලිය. එපමණක් නොව ජනතා දේපළ කඩාවඩාගත් හොරුන් අල්ලා දඬුවම් දීමට මේ ආණ්ඩුවට අපොහොසත් වී නැත. මෛත්‍රී ජනාධිපතිවරයා දින කීපයකට පෙර සමථ දින ජාතික උලෙළේදී කියා සිටියේත් මේ රට දූෂණය, වංචාව හා නාස්තිය මුල්බැසගත්; ඒවා නිදන්ගතව තිබෙන රටක් බවයි. ඔහු ඒ සඳහා යෝජනා කළේ දූෂණය, වංචාව, නාස්තිය ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පිටුදැකිය යුතු බවයි. සමාජීය බැඳීම් ලිහිල් වන විටක සංයමය, ස්ථාවරත්වය, සමගිය නැති වන බවද මෛත්‍රී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සැබැවින්ම අද මේ ආණ්ඩුව තුළත් ඉන් පිටතත් ඒ වර්ගයේ පුපුරායෑම් දැකගත හැකිය. දේශපාලන යටිමඩිගැහිලි, ඥාතිසංග්‍රහ ගැන මෙන්ම ගිණුම්වලට වැටෙන මිලියන ගණන් සල්ලි ගැන ඇඟ හිරිවැටෙන කතාද ඇසෙයි. වෙන එකක් තබා ක්‍රිකට් දූෂණයේ කුසලානද ශ්‍රී ලංකාවට ලැබෙන ලකුණු දැන් පහළ වෙමින් තිබේ.

පුදුම පහනේ මිථ්‍යාව

අද තිබෙන දේශපාලනය ගැන, ආර්ථිකය ගැන තවත් බොහෝ දේ කිව හැකිය. එහෙත් මේවාට විසඳුම් ආපසු පරණ පාලනයට රට බාර කිරීමද? මේ ආර්ථිකය ගොඩනැගීමේ පුදුමපහන ඒකාබද්ධ විපක්ෂය හෝ එහි නායකයන් සතුව තිබේයැයි කල්පනා කළ හැකිද? එසේ නම් රට ගොඩදැමීමේ වගකීම තවමත් තිබෙන්නේ මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවටය. මේ ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූයේ එජාපය වුවද අද ආර්ථිකය කඩාවැටීමේ චෝදනාවේදී මෛත්‍රී ජනාධිපතිවරයාටද අහක බලා සිටිය නොහැකි වී තිබේ. ජනාධිපතිවරයා පසුගිය දා ආර්ථික සභාව හමුවට විවිධ විද්වතුන් හා ආර්ථික විශේෂඥයන් කැඳවා මේ අර්බුදය ගැන කරුණු විමසා තිබිණි. මේ ආර්ථික අර්බුදය අද තිබෙන ගෝලීය වෙළෙඳපළ ක්‍රමයේ විපාකයක් බව මෛත්‍රී ජනාධිපතිවරයාද දනී. දේශීයත්වයට හා කෘෂි ආර්ථිකයට වැඩි බරක් දමන මෛත්‍රී ජනාධිපතිවරයාට පවතින ආර්ථික ක්‍රමයේ කුණුවීම වටහාගත හැකි දේශපාලන බුද්ධියක් මෙන්ම අන්තර්ඥානයක්ද තිබේ. එහෙත් එය එක්රැයකින් කළ හැකි ප්‍රාතිහාර්යක් නොවන බවද හේ හොඳින් දනී.

මේ ආර්ථික අර්බුදය රටවල් ගණනාවකටම පැතිර ගොස්, ඒ හැම රටකම මුදල් අවප්‍රමාණ වී තිබේ. ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව වැනි රටවල් එයට නිදසුන්ය. අමෙරිකානු ඩොලරය ශක්තිමත් වී තිබීම මෙන්ම චීන, රුසියානු හා යුරෝපීය භාණ්ඩවල තීරුබදු ඉහළ දැමීමද, රුසියාවට හා ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමද මේ අර්බුදය උත්සන්න කරන්නක් වී තිබේ. ආණ්ඩුව දැනට මේ අර්බුදයට විසඳුම් ලෙස ක්ෂණික පියවර කීපයක්ම ගෙන තිබේ. මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු ආනයන සීමාවක් පැනවීම එහි ප්‍රධාන යෝජනාවකි.

අවම පහසුකම් - සුපිරි ප්‍රතිලාභ

වෙනත් තීරුබදු සහන ක්‍රියාත්මක කිරීම්ද කල්දමා තිබෙන අතර සුඛෝපභෝගී භාණ්ඩ පාලනය කිරීමටද පියවර ගෙන ඇත. අද කළ යුතු ප්‍රධාන කටයුත්ත අපේ රටින් විදේශවලට ගලායන මුදල් පාලනය කිරීමත්, පිටරටින් එන ඩොලර් ප්‍රමාණය වර්ධනය කිරීමත් බව නිසැකය. ආණ්ඩුවේ අනවශ්‍ය සෝබන වියදම් අඩුකිරීම හා මහජන මුදල් විනාශ කෙරෙන අලංකාර උත්සව නැවැත්වීමද මෙහිදී අත්‍යවශ්‍යය.

මන්ත්‍රී වාහන බලපත්‍ර අත්හිටුවුවද මේ වන විට සියලු දෙනාම ඒ වරප්‍රසාදය භාවිත කර වාහන ගෙන්වා ඇතැයි කියති. එපමණක් නොව, සමහරුන් ඒවා විකුණා මුදල් ගෙන ඇතැයිද කියති. මහජන මන්ත්‍රිවරුන්ට දෙන සියලු වරප්‍රසාද කපාදැමීමට අපට යෝජනා කළ නොහැකිය. එහෙත් පොදු ජනතාවට පමණක් පටි තද කරගැනීමට කියමින් මැතිඇමතිවරුන් හා වෙනත් පොහොසතුන් අසාමන්‍ය පරිභෝජනයද විනෝදාස්වාදනයද සඳහා යොමු වේ නම් එය වරදකි. ජනතාවට අවම පහසුකම්ද ඔවුන්ගේ නියෝජතයන්ට සුපිරිම ප්‍රතිලාභද හිමිවන්නේ නම් එය සාධාරණ නොවන්නා සේම එහි අනිටුපලයක් ලෙස ආණ්ඩුවට එල්ලවන ජනතා විරෝධයද උත්සන්න වනු ඇත. කන්ද කෙන්ද කෙරෙන විපක්ෂයේ වාචාල කතා මෙන්ම ජනතාව වෙනුවෙන් අලුතින් නිර්මාණය කරනු ලබන සිහිනවලින් ජනතාව මුළා කිරීමටද එහිදී ඉඩ ලැබෙනු ඇත.

මේ නිසා ආණ්ඩුව ක්ෂණික ආර්ථික ප්‍රතිකිර්ම යොදන අතර විදේශ ආයෝජන වර්ධනය, නිෂ්පාදන කේෂත්‍රය නැංවීම, කෘෂි සංවර්ධනයට දිරිදීම වැනි පියවර වෙතද යොමු විය යුතුය. වෙළෙන්දාට පාරිභෝගිකයා සූරා කෑමට අද තිබෙන අවකාශයද පුළුල්ය. එහෙත් ගොවියාට, නිෂ්පාදකයාට ලැබෙන ප්‍රතිලාභ අවම බව රහසක් නොවේ. කෘෂි නිෂ්පාදන ක්ෂෙත්‍රයෙහි සිදුවන බරපතළ නාස්තියටද වහා විසඳුම් වුවමනාය. වනසතුන්ගෙන් අපේ අස්වැන්නට සිදුවන හානිය පිළිබඳ මෑතකදී චීන විශේෂඥයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ අපේ රටට වසරකට කෝටි 1800ක් පමණ හානියක් වන සතුන් නිසා සිදු වන බවය. ගොවියන් වගා කරන භෝගවලින් ප්‍රයෝජනයට ගන්නේ සියයට 40%ක් නම් රටේ ගොවියාගේ ඉරණම කුමක්ද? මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඳුගසා තිබෙන එළවුළු අස්වැන්නෙන් පිළිබිඹු වන්නේ ගොවියාගේ දහදියට කඳුළට වටිනාකමක් දීමට අප අසමත් වී සිටින බව නොවේද?

කෙසේ හෝ ආර්ථිකයේ කඩාවැටීම හා රුපියල බාල්දුවීම පිළිබඳ කෙරෙන විවේචනවලට උඩින් පැන හෝ මඟහැර හෝ ආණ්ඩුවට යා නොහැකිය. පැරකුම්බා දවස ගැන පැවසීමෙන් හෝ දේශාභිමානය, ජාතිවාත්සල්‍ය ගැන කීමෙන් හෝ මේ දේශය කේතුමතී රාජ්‍යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අද සියලු වටිනාකම් තීරණය වන්නේ නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳපළ මතය. විදේශ ආයෝජනය ගලා එන්නේද නිෂ්පාදන පිරිවැය අඩු තැනටය. එය ගෝලීය ආර්ථිකයේ න්‍යායයි. ඉන්දියාව හා චීනය යන රටවල දැවැන්ත වෙළෙඳපොළ දෙස බොහෝ ආයෝජකයෝ බලා සිටිති. ඉන්දියාවේ කෝටි 130ක හා චීනයේ කෝටි 137ක දැවන්ත වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ කෝටි 2ක ජනතාවකින් ආර්ථිකය ගොඩදැමීම කෙබඳු අභියෝගයක්ද යන්නත් අපගේ දැඩි අවධානයට යොමු විය යුතුය. එනිසා ජනතාවට ආර්ථික ෆැන්ටසි නිර්මාණය කර දීමට වඩා ප්‍රායෝගික හා යථාර්ථාදී ආර්ථික සැලසුමක් අවශ්‍යව තිබේ. එය බොහෝ විවේචකයන්ගේ ආර්ථික විහිළුවලින් ඔබ්බෙහි තිබෙන යථාර්ථය බවද කිව යුතුය. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් නන්දා මාලිනිය ලවා ගායනා කරනු ලබන

රට කරවන්න නම් මසුරන් ඇතිව කටේ

වටිනා කියන දේ විකිණිය යුතුය රටේ

අමන දනන් කෑගැහුවත් හතර වටේ

ඒවා නොවික්කොත් ඔක්කොම මකර කටේ

යන්න සිය ආර්ථික පිළිවෙත බවට පත් කරගත් ආර්ථික උපදේශකයන්ගෙන් ආණ්ඩුව පරිස්සම් විය යුතුය. එසේ නොවුණොත් මෙසේ වීමටද බැරි නැත.

නාඬන් රුපියලේ නුඹ රැක ගනිමි හෙට

කාටත් ඇහෙන්නට මොරගා කියන විට

කොහොමත් වේවි පටි තද කරගැනීමට

හීනෙන් හිනා වෙයි ට්‍රම්ප් උතුමාගෙ කට

 

 

අදහස්