ඕනෑ නැති ආනයන ඇණයක්ද? | සිළුමිණ

ඕනෑ නැති ආනයන ඇණයක්ද?

ධෛර්යවන්ත තරුණයෙක් උණ ගසක් තෝරාගෙන එයින් පතුරු වෙන් කර ගනී. ඒවා එකතු කර සරුංගල් නිපදවයි. ලස්සන පාට කඩදාසි අලවා ඒවායෙන් සියයක් දෙසීයක් රැඟෙන සුපිරි වෙළඳ සලකට ගොඩවුවහොත් ඔහුට දොර විවෘත වෙන්නේ නැත. සරුංගල් මිල දී ගෙන ඒවා විකුණා තමන්ගේ වෘත්තීය ගෙන යෑමට උපකාර වන සේ කාරුණිකව ඉල්ලා සිටියහොත් ඒවායේ ඇදකුද පෙන්වා එතැනින්ම පැත්තකට කරයි. මේවා විකිණෙන්නේ නැති බව කියා අපේක්ෂා භංගත්වයට පත් කරන බව නිසැකය.

ඒ සුපිරි වෙළඳ සලක්ම නම ගම නොදන්නා චීන ජාතිකයන් පිරිසක් චීනයේ දුර බැහැර තැනෙක හදා මෙරටට අපනයනය කළ සරුංගල් පාරිභෝගිකයන්ට අලෙවි කරන්නේ දේශීය නිෂ්පාදකයන්ට යම් සරදමක් ද කරමින්ය. මෙතැන ඇත්තේ ආකල්ප ප්‍රශ්නයකි. ලාභය මුල් කරගත් පටු ප්‍රතිපත්තියකි. එය පිටු දැකිය යුතුය. සරුංගලය එක උදාහරණයක් පමණකි. මෙරට වෙළඳ පොළ ප්‍රවණතා නිරීක්ෂණය කළහොත් අප පරිභෝජනය කරන දහසකුත් එකක් දේ අනවශ්‍ය සේ රටට ගෙන්වා ඇති බව පැහැදිලි වනු නිසැකය.

සරුංගලයක කතාන්දරය කියන්නට සිදුවූයේ මෙරට විදේශ වෙළඳාම සම්බන්ධ අර්බුදයට ප්‍රවේශයක් වශයෙන් බව සඳහන් කළ යුතුය. විවෘත ආර්ථිකය ආරම්භ කරන්නේ ආගමන විගමන හා ආනයන හා අපනයන අංශ වල විශාල පරිවර්තනයක් කරමින්ය. එය ඉතා ආස්වාද ජනක අවස්ථාවකි.

මෙරට ජනතාවට පරිහරණය කරන්නට නොලැබුණ අති විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන්නට අවස්ථාව ලැබිණි. දශක හතරක කාලයක් තුළ ආනයන සම්බන්ධ නොයෙක් ගැටලු ඇති විය. විවිධ ආණ්ඩු ආනයන කරන දේ සම්බන්ධ පාලන විධි විධාන අරමුණු කරගෙන නොයෙක් සීමා පැනවීය. රටට අවශ්‍ය දේ පමණක් නොව අනවශ්‍ය දේ ද ආනයනය කිරීමේ උවමනාව පාලනය කරන්නට යම් ප්‍රයත්නයක් දැරීය. එවැනි පාලනයක් අවශ්‍ය වූයේ ඇයි?

ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය හිඟකමයි. ලෝකයේ ඕනෑම රටකින් මිල දී ගන්නට විදේශ විනිමය අවශ්‍යය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුදල් ඒකකය වශයෙන් ඇමරිකානු ඩොලරය තෝරා ගෙන තිබේ. වෙනත් රටකින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ගෙවන්නේ ඩොලර් වලින්ය. ශ්‍රී ලංකාව අපනයනය කරන කෘෂිකාර්මික හා කාර්මික දේ වෙනුවෙන් රටට ආදායම ලැබෙන්නේ ද ඇමරිකානු ඩොලර් වලින්ය. නමුත් ගැටලුවක් තිබේ. පිටරටවල නිපදවන දේ සඳහා ජනතාව හුරු කරන මානසිකත්වය හෙයින් ආනයනට කරන ද්‍රව්‍ය වලට ගෙවන්නට රටට මුදල් නැත. අභ්‍යන්තරය එයයි.

නොනවත්වා අත්‍යවශ්‍ය හා අනවශ්‍ය දේ ගෙන්වන ශ්‍රී ලංකාවේ ලිහිල් ආනයන ප්‍රතිපත්තිය අනුව පවතින විදේශ මුදල් සංචිතය මෙන් දෙගුණයක් ආනයන වලට වෙන් කරන්නට සිදු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කම් වලින් පෙන්වුවහොත් ශ්‍රී ලංකාවේ අපනයන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 11.4 ක් උපයන විට ආනයන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් 2017 වසරේ දී වියදම් කර තිබේ. මෙම ආනයන ප්‍රමාණයට චීනයෙන් ගෙන්වන සරුංගලයේ වියදම ද ඇතුළත්ය.

ඉන්දියාවෙන් ගෙන්වන කොත්තමල්ලි, කටුවැල්බටු පමණක් නොව ඇමරිකාවෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ඇපල් ද ඇතුළත්ය.

සුපිරි වෙළඳ සල් වල අලෙවියට ප්‍රංශයෙන් ගෙන්වන ලද වතුර බෝතල් තිබේ. ඒවා සුපිරි සමාජයට බව සැකයක් නැත. නමුත් ලෝකයේ ඉතාම පිරිසුදු උල්පත් ජලය ඇති ශ්‍රී ලංකාවට යුරෝපයෙන් වතුර ආනයනය කරන්නේ ඇයි? රටට කරන ආනයන වලින් සියයට දහයක් ආහාර පාන බව දැක්වෙයි. ඒවා සීමා කළහොත් මෙර ගොවියන්ට ලැබෙන අවස්ථාවකි.

අනවශ්‍ය ආනයන ගැන මෑතක් වන තුරු ප්‍රශ්නයක් තිබුණේ නැත. එයට ද හේතුවක් තිබේ. මෙවැනි ආනයන වලට විශාල බදු ප්‍රතිශත අය කරයි. එම බදු රාජ්‍ය ආදායමට එකතු වෙයි. එහෙත් බදු වලින් ලැබෙන ආදායම ඉක්මවා ආණ්ඩුවේ විනිමය අනවශ්‍ය අන්දමට වැය වීමේ ප්‍රවණතාවක් මතු වී තිබේ. විනිමය හිඟය හමුවේ විකල්පයක් නැති ආණ්ඩුව සංවර්ධන බැඳුම්කර වලින් ණය ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් ඇයැදුම් කළේය. සංවර්ධන බැඳූම්කර හා විදේශ ණය වලින් ආපසු ගෙවිය යුතු පදනමකින් විදේශ මුදල් උපයා ගත් නමුත් ඒවා පරෙස්සමෙන් පරිහරණය කිරීමේ ආකල්පයක් සමාජයට නැත.

වෙළඳ පොළ ආනයනික ද්‍රව්‍ය වලින් පිරී ඇති අවස්ථාවක ධනය ඇති සමාජය ඒවා මිල දී ගන්නවා හැරෙන්නට ප්‍රතික්ෂේප කරන්නේ නැත. දිගින් දිගටම ප්‍රසාරණය වන වෙළඳ පොල ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාව අනතුරුදායක තැනක් සඳහා කැඳවීය.

මෙරට වැසියන්ගේ ආදායම් මට්ටම ඉහළ යෑම එයට වක්‍රව බලපාන ලද බව ද සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව තවදුරටත් දියුණුවෙමින් පවතින රටක් නොවේ. මැදි ආදායම් මට්ටමට පත්ව ඇත.

ජනතාව ජීවන වියදම ගැන කොපමණ මැසිවිලි නඟන නමුත් මිල දී ගැනීමේ හැකියාව ගැන ප්‍රශ්නයක් නැත.

දශක දෙකකට තුනකට කලින් මෙරට ආනයනය කරන හාල්, සීනි, පරිප්පු වැනි දේ රුපියලකින් දෙකකින් මිල ඉහළ ගියහොත් එය ආණ්ඩු පෙරළන ගැටලුවකි.

ජනතාවට බඩගින්න ගැන ප්‍රශ්නයක් තිබේ. මෑතක දී ආනයනික බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සීනි තොග මිල කිලෝවක් රුපියල් දහ තුනකින් ඉහළ ගියේය. මිල සූත්‍රය පදනම් කරගෙන පෙට්‍රල් ලීටරයක් රුපියල් හතරකින් ඉහළ යෑම සමාජයට ප්‍රශ්නයක් වූ අතර සීනි කිලෝවක මිලට ඉහළ යෑම එපමණට සාකච්ඡාවට ලක් වූයේ නැත. සීනි වලට වඩා බලශක්තිය අවශ්‍ය සමාජ ව්‍යුහයක් නිර්මාණය වීම සංවර්ධනයේ ප්‍රතිඵලයකි. සෑම නිවසකම විදුලි පංකාවක්, ශීතකරණයක්, වතුර මෝටරයක් ඇත.

මැදි ආදායම් පවුලක රෙදි සෝදන යන්ත්‍රයක් ද ඇති අතර නොමැති නම් කලාතුරකින්ය. වාහනයක් මිල දී ගැනීම අනතුරුව ඇති අපේක්ෂාවයි. එම අරමුණ සමාජය තුළ තහවුරු වී තිබේ. ඉකුත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී ප්‍රධාන සාධකයක් බවට පත්වීම ද එහි ප්‍රතිඵලයකි. මහජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම ආණ්ඩුවක වගකීමකි. නමුත් ආනයන ආදායම හා අපනයන වියදම අතර දෙගුණයක පරතරයක් ඇති කරමින් තාවකාලිකව ඇති කරන ලද විදේශ වෙළඳාමේ පීඩනයට පළමුවෙන් මුහුණ දිය යුතුව තිබේ.

රුපියලේ අගය මෙම වසරේ ගත වූ මාස දහය තුළ සියයට දොලහක පමණ පිරිහීමක් වාර්තා කර තිබේ. එයට හේතුව අභ්‍යන්තර හා බාහිර වශයෙන් අංශ දෙකකට වෙන් කර දැක්විය හැකිය. අභ්‍යන්තර පසුබිම ආනයන ආදායමේ ප්‍රශ්නයයි. බාහිර සාධකය ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්තියයි. එරට අවශ්‍යතා කේන්ද්‍ර කරගෙන ඇමරිකානු ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කර ඇති අතර එය ශ්‍රී ලංකාව වැනි රටවල් වලට තාවකාලික බරපතළ ප්‍රශ්න ඇති කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන අන්දමට මෙරට ආයෝජනය කර තිබුණ ඩොලර් මිලියන 80,000 ක් පමණ පසුගිය කෙටි කාලය තුළ ඉවත් කරගෙන තිබේ. එයට උත්තරයක් වශයෙන් මහ බැංකුවේ මැදිහත්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 184 ක් වෙළඳ පොළට නිදහස් කර ඇත. එය ප්‍රමාණවත් තත්ත්වයක් නොවේ.

විදේශ ගනුදෙනු සඳහා රට තුළ ඇමරිකානු ඩොලර් හිඟ අවස්ථාවක ඉල්ලුම පාලනය නොවුණහොත් මිල ඉහළයෑම වැළැක්විය නොහැකිය. ඇමරිකානු ඩොලර්වලට ඇති ඉල්ලුම හා එයට සරිලන සේ සැපයුම ප්‍රමාණවත් නොවීම පදනම් කරගෙන ඇමරිකානු ඩොලරයක මිල රු. 170.00 තෙක් පැමිණ තිබේ. එය සති පහකට පමණ කලින් තිබුණ මට්ටමට වඩා රුපියල් හතක පමණ මිල ඉහළ යෑමක් බව පෙනේ.

ඩොලර් මිල වැඩිවන විට වාණිජ බැංකු තමන් සතු මුදල් අලෙවිය අරඹයි. එය බැංකු වල ආදායමේ කොටසකි. විදේශ රටවල රැකියා කරන පිරිස එම රටවල නතර කරගෙන සිටින මුදල් එවන්නට පටන් ගනී.

කලින් රුපියල් 163 ට වඩා අද රුපියල් 170 ක් ලැබෙන විට එය පවුලට හොඳ ආදායමකි. අනෙක අපනයන සමාගම් පවා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට ඉඩ තිබේ. පිටරටවලට විකුණන ලද භාණ්ඩ වලට ලැබිය යුතු මුදල් වහා ගෙන්වා ගත හොත් මෙරට තුළ දී ලැබෙන ආදායම වර්ධනය වෙයි. එහෙයින් ඉන්වොයිස් එකතු කර ගන්නට නැඹුරු වෙයි. මෙයින් ලැබෙන අලුත් විදේශ විනිමය රුපියලේ අගය යම් ස්ථාවර මට්ටමක් ඇති කරනු ඇත. මෙම පසුබිම අතරවාරයේ භාණ්ඩ හා සේවා වල මිල පහත වැටේ. එය පදනම් කරගෙන යම් ප්‍රතිශතයකින් ආනයන දියුණු විය හැකිය.

ශ්‍රී ලංකාවේ සංචාරය වාසි දායක තැනකට පත්වන විට සංචාරක ඉපැයීම් වර්ධනය වන්නට ඉඩ තිබේ. එවැනි හැරවුමක් සඳහා මාස කිහිපයක් ගත විය හැකිය. එම කාලසීමාව තෙක් විදේශ විනිමය පරෙස්සමෙන් වියදම් කිරීම සුදුසුය.

අරපරෙස්සම ගැන අනතුරු ඇඟවීම පදනම් කරගෙන ආනයන අධෛර්යවත් කරන තීරණයකට අවතීර්ණ වීම එහි ප්‍රතිඵලයකි. වාහන ආනයනයේ දී ණයවර නිකුත් කිරීමේ දී පැවැති ලිහිල් බව අවුරයි.

විදුලිය මෙවලම්, පාවහන් ඇතුළු දේ ආනයනකරුවන්ට ණයවර නිකුත් කිරීම අත ඇති මුදල් වලට පමණක් සීමා කරයි.

එයින් ඇමරිකානු ඩොලර් බිලියනයක ආනයන අඩු කර ගත හැකි වෙතැයි සැලකේ. විශාල බදු පනවන අතර නොයෙක් ආනයන තහනම් කිරීමට වඩා ලිබරල් අදහසකි. ආනයනකරුවන් හා වෙළඳුන්ට මෙහි දී විශාල වගකීමක් තිබේ. රටේම නිෂ්පාදනය කර පාරිභෝගියන්ට සැපයිය හැකි දේ ආනයනය සීමා කළ යුතුය. දේශීය එලවලු, පලතුරු සෙල්ලම් බඩු හා පාසල් උපකරණ වැනි දේ ආනයනය තාවකාලිකව අඩු කළ යුතුය. එයින් මෙරට විදේශ වෙළඳාමේ තාවකාලික අර්බුදය පාලනය කරගැනීමට මෙහෙවරක් කරනු ඇත.

ආකල්ප වෙනස මෙහි දී ඉතාම වැදගත්ය. රටෙන් අලුත් නිෂ්පාදක පරපුරක් හඳූනාගත යුතුය. ව්‍යවසායකත්ව වැඩ සටහන අනුව මෙරට නිපදවන දේ වෙනුවෙන් වෙළඳ පොළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට යා යුතුව තිබේ. සාමූහික ප්‍රයත්නයකින් විනා ආනයන හා අපනයන අංශ සමබර කරගැනීමට හැකියාවක් නැත.

 

අදහස්