නිල්වලාගල කන්දේ කුරුලු කූජන පැතිරේ | සිළුමිණ

නිල්වලාගල කන්දේ කුරුලු කූජන පැතිරේ

දුෂ්කර, වෙහෙසකර අපූරු අත්දැකීමක් ජීවිතයට එක් කළ ගමනකින් පසු අපි කඳු මුදුනට ළඟා වීමු. මොනතරම් සුන්දර දර්ශනක්ද? හාත්පස පෙනෙන හරිත පරිසරයත් නිල්පැහැ අහසත් මවන සොඳුරු පාරාදීසය දකින විට දුෂ්කර වෙහෙස නිවීයයි. මේ සොඳුරු දසුන නෙත ගැටෙන විට මේ ලක් දෙරණේ ඉපදුණු අප මොනතරම් වාසනාවන්තද, පින්වන්තද කියා සිතේ. ගත රැඳි ඇඳුම් උදුරාගෙන යන්නට තරම් වේගයෙන් හමන සුළං පහරේ සිසිලස කන්ද නැගීමෙන් දැනුණු වෙහෙසද රැගෙන ගොසිනි. අපි දෑත් ඔසවා ඉහළට පනිමින් නිදහසේ සතුට වින්දෙමු.

ගත සිත නිවනා සොඳුරු සැරිසර චාරිකාවේ අප මේ පැමිණ සිටින්නේ අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් නම් පරිසර හිතකාමී සොඳුරු තැනකටයි. අප මේ කතාබහ කරමින් සිටින්නේ එහි හිමිකරු සමීර රංගන සමඟයි. සමීර අපට අද දවසේ මීළඟ අදියර පැහැදිලි කළේ මෙසේයි.

‘මීළඟට අපට යන්න තියෙන්නේ තරමක දුෂ්කර එහෙත් පරිසරය ඇසුරෙන් ජීවිතයට අලුත් අත්දැකීම් රාශියක් එක්කර ගන්න පුළුවන් හයික් එකක්. ඒ නිසා මෙතැනට එන අයට එන්න කලින්ම අපි මේ ගැන දැනුවත් කිරීම් කරනවා. පරිසරයත් රැකගෙන ඒ සුන්දරත්වය විඳලා මේ ගමේ අයටත් හිරිහැරයක් නොවී ආපහු එන්නේ කොහොමද කියලා. ගමන තරමක් දුෂ්කර නිසා තමන්ගේ ආරක්ෂාව සපයාගන්නේ කොහොමද කියන කාරණය මෙහිදී විශේෂයි. ඊට පස්සේ තමයි මේ ගමන අපි පටන් ගන්නෙ. ඇත්තටම මෙතැනට එන අයගෙන් ගොඩක් දෙනෙක් පරිසරයට ආදරය කරන අය.

තව මම දකිනවා මෙතැනට එන අය මේ අත්දැකීම විඳලා ගියාට පස්සේ අපිත් එක්ක දිගටම සම්බන්ධතාව තියාගන්නවා. ඒ නිසා ඔවුන් ඉස්සරහට කරන්නේ මොනවද කියලත් දැනගන්න පුළුවන්. ඒ ගොල්ලො දිගින් දිගටම මේ වගේ තැන්වලට යනවා. පරිසරයට හානියක් නොකර පිළිවෙළට ඉඳලා එනවා. තව තැන්වලදී පිරිසුදු කිරීම් වැනි ව්‍යාපෘති කරනවා. එවැනි දේ අසද්දී, දකිද්දී සතුටක් තියෙනවා අපි පණිවිඩයක් දීලා ඔවුන්ගේ ජීවිතවලට පරිසරය රැකගැනීමේ වටිනාකම ගැන සුබ අදහසක් ඇතිකරලා මෙතැනින් යවනවා නේද කියලා.

ලංකාවේ ගොඩක් දෙනෙක් මේ කඳු නැගීම සහ කැලේ ඇවිදීම (හයිකින් සහ ට්‍රැකින්) වගේම කඳවුරක රැයක් ගත කිරීම (කෑම්පින්) කියන අත්දැකීම අරගෙන නැහැ. මේ අත්දැකීම විඳලා නැහැ. පිටරටවල නම් කෑම්පින් කියන එක මාස තුන හතරකට සැරයක් විතර පවුලේ කට්ටිය එළියට ගිහින් කරන දෙයක්. ලංකාවේ මේක ටිකක් අලුත්. ඉස්කෝලේ යද්දී වුණත් බාලදක්ෂ කරපු කෙනෙක් කෑම්පින් කළාට වෙන කවුරුත් මේ දේට යොමුවෙලා නැහැ.

විශ්වවිද්‍යාලයක හිටියත් අපි හයික් එකක් විදිහට යන්නේ හන්තාන වගේ තැනකට පමණයි. අවුරුදු හතරටම ඒ ගමන විතරයි. නමුත් ස්වාභාවික පරිසරයක කඳවුරක රැයක් ගත කරනවා කියන දේ දැන් අපේ තරුණ පරපුර අතර ජනප්‍රිය නව ප්‍රවණතාවක්. එයින් ගත හැකිදේ තමයි පරිසරයත් එක්ක ජීවත් වෙමින් ලබන ජීවිතයට අවශ්‍ය සැහැල්ලු බව මානසික විවේකය.‘‘

කතාබහ අතරේ තරමක වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේ හාත්පස අඳුරු කරමිනි. විනාඩි දහයක පමණ කාලයක් පුරා ඇදහැලුණු තරමක වැස්ස දැන් නැවතී ඇත.

සමීර සමඟ කතාබහ කරන අතරේ සංඛ අප වෙත ආවේ කැලය මැදින් ඇවිද ගොස් නිල්වලාගල කන්ද තරණය කිරීමේ ගමනට අවශ්‍ය අඩුවැඩිය රැගෙනය. වතුර බෝතල් දෙකක්, හදිසියේ යළි වර්ෂාවක් ඇතිවුවහොත් ආරක්ෂාවීම සඳහා ටෙන්ට් රෙද්දක් ඒ අතර තිබිණි. මම පැළඳ සිටි සපත්තු දෙක කන්ද තරණය කිරීමට නුසුදුසු නිසා සමීර දුන් පටි සෙරෙප්පු දෙක දමා ගන්නට සිදුවිය.

ගමන ආරම්භ කරන්නේ ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් හි ප්‍රධාන පිවිසුමෙන් එළියට විත් අල්ගම ප්‍රාථමික විදුහල අසල සිට එන මාර්ගය දිගේ ගම්මානය තුළට ඇවිද යාමෙනි. කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයේ වුවත් තරමක කන්දක් තරණය කළ යුතුය. හාත්පස ලස්සන කඳු කිහිපයක් පෙනේ. මම සංඛගෙන් තොරතුරු විමසුවෙමි.

‘‘මගේ නම එරංග සම්පත්. ඒත් පාසල් කාලයේ සිටම යාළුවෝ හැම කෙනාම කිව්වේ සංඛ කියලා. අර අපිට පිටුපසින් පේන්නේ බඹරගල කන්ද. ඒ නම හැදෙන්න හේතුව එහි බඹර වද ගොඩක් තිබෙන නිසා. අපිට ඉදිරියෙන් පෙනෙන්නේ කුඩුම්බි කන්ද.

අපි දැන්මේ නගින්න යන්නේ නිල්වලාගල කන්දයි. ‘මිටර් පන්සියයක පමණ දුරක් පැමිණි අප දකුණු පසට ඇති කුඩා අතු පාරකට හැරුණෙමු. එහි තරමක දුරක් ඇවිද ආවිට නිවෙසක් දැකිය හැකිය.

මේ සමීර අයියලගේ මහගෙදර. දැන් කවුරුවත් පදිංචි නැහැ. නිවෙස පසුපස ගල් තලාවකි. එහා ඉහළට නැග්ග විට ඈතින් ඝන වනාන්තරය මැදින් ඉහළට ඇති කන්දක් පෙනේ.

‘අපි දැන් නගින්න යන නිල්වලාගල කන්ද තමයි ඈතින් පෙනෙන්නේ. කන්ද මුදුනේ ඇති ගලේ එක අන්තයක ටිකක් පහළින් ගල්ගුහාවක් තියෙනවා. අර කළු කුහරයක් වගේ පේන්නේ ඒක තමයි. වළගම්බා රජතුමා සේනා සංවිධානය කරන්න ආවාම හැංගිලා හිටියා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. එතැනට යන්න දුෂ්කරයි. 70 ක විතර පිරිසකට ඉන්න පුළුවන් තරමේ ඉඩක් තියෙනවා.‘‘ සංඛ අත දිගුකර පෙන්වයි.

‘‘ ඒ දුර යන්න කොච්චර වෙලාවක් යයිද?‘‘ කන්දේ ඡායාරූපයක් ගන්නා අතර තුර ශාන් ඇසුවේය.

‘කන්ද මුදුනට කිලෝමීටර් හතරහමාරක් වගේ දුරක් කියෙනවා. ගමන ටිකක් දුෂ්කර නිසා පැය දෙකක් විතර යාවි‘ සංඛ ගල් පොත්තෙන් පහළට බසිමින් පිළිතුරු දෙයි.

අපි කැලෑවට ඇතුළු වීමු. කැප්පෙටියා, මීවන පඳුරු මෙන්ම ඇට්ටෝනියා, නුග, නැදුන් වැනි ශාක තුරු වියනක් තනමින් වැඩී ඇති අතර කුරුල්ලන්ගේ මිහිරි හඬ අතු පතර දෝංකාර දෙමින් ඇසේ. ඒ කන්කලු මිහිරි විහඟ ගීත අසමින් ඕනැතරම් වේලාවක් සිටිය හැකිය. මම තුරු හිස් දෙස බැලුවේ කුරුල්ලකු දැක ගැනීමටය.

‘මේ වනාන්තරය කුරුලු පාරාදීසයක්. අර ගහ මුදුනේ ඉන්නේ කෑඳැත්තෙක්. මේ තැඹිලි පාටට ඉන්නේ පිළිහුඩු වර්ගයක්. මේ අය ජෝඩුවක් විදියට ඉන්නේ. දෙන්නා තරහා වුණොත් වර්ගයා බෝකරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි සමනල්ලු දැකගන්නත් පුළුවන්. මෙයා තමයි ලංකාවේ දැනට සිටින විශාලත්වයෙන් දෙවැනියා‘‘ සංඛ අප අසලින් පියඹාගිය විශාල සමනලයකු පෙන්වමින් කියයි.

අප සෙමින් සෙමින් කතා බහ කරමින් පිවිස සිටියේ තරමක ගන වනාන්තරයකටය. මීට ටික වේලාවකට පෙර වට වැස්ස පායා ඇතත් ගස්වල රැඳුණු දිය බින්දු තවමත් එකින් එක පහළට වැටෙයි. අපි නැවතී ටික වේලාවක් ඒ හඬට කන්දී සිටියෙමු.

කලබලකාරී නාගරික පරිසරයේ ඇති ඝෝෂාකාරී බවින් මිදී බාහිර කිසිදු ශබ්ධයකින් තොරව කුරුලු කූජනයත් ජල බිඳු වැටෙන හඬත් අපව අපූර්ව ලොවකට කැඳවා ගෙන යන්නට සමත් වෙයි. සිතට පුදුම සැහැල්ලුවක් දැනේ. අපි සෙමෙන් සෙමෙන් සෑහෙන දුරක් පැමිණියෙමු. දැන් අප ඉදිරියේ ඇත්තේ ගල් අතරින් පෙරී ගලා යන දිය පහරකි. මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා එතරම් විශාල ජල දහරාවක් නැතත් ගල්වලින් කුඩා පොකුණක් නිර්මාණය කර තිබේ. මම වතුර දෝතක් ගෙන මුහුණ දොවාගතිමි. ජලය සීතලය. පිරිසුදුය. කුඩා මාළු රංචු පිහිනා යති.

‘අපි දැන් සෑහෙන දුරක් ආව නිසා මෙතැන ටිකක් විවේක ගන්න හොඳයි. පායන නිසා මේ දවස්වල වතුර අඩුයි. දණ්ඩි, වැලි ගොව්වා වගේම අපේ රටට ආවේණික මත්ස්‍යයෙක් වන බුලත් හපයා බහුලව දැකගන්න පුළුවන්. මේ කැලේ වල් ඌරා, ඉත්තෑවා, හාවා, දඬුලේනා, වළි කුකුළා, වඳුරා, රිළවා වගේ සත්තු බහුලව ජීවත් වෙනවා. මේ ජල පහරවල් තමයි ටික ටික විශාල වෙලා ගංගා නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ පරිසරයට ආදරය කරමින් එය රැක ගන්න එක අපේ යුතුකමක්. මේ ගමනේ අරමුණ විය යුත්තේ එයයි.‘

‘නැවතී සිටි මොහොතේ සංඛ විස්තර කරයි. අපි යළි ගමන් ආරම්භ කළෙමු. මෙතෙක් තැනිතලා බිමේ ඇවිද ආවත් දැන් ක්‍රමයෙන් ඉහළට ගමන් කළ යුතුය. සංඛ හොඳ ගමන් සගයෙකි. මේ දුෂ්කර මාර්ගයේ නිරතුරවම ගමන් කිරීම නිසා යායුතු ඉසව්ව හොඳින් දනී. අපහසු තැන්වලදී අපට උදව් කරමින්, අල්ලා ගත යුතු අතු, වැල් ආදිය පෙන්වමින් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙයි. කටුවලින් පිරුණු වේවැල් පඳුරු, කටුපිල, නාඹිරිත්ත වැනි ස්පර්ශවූ සැණින් තුවාල වියහැකි වැල් වර්ග මෙහි බොහෝ තිබේ.

තවත් පැය භාගයක පමණ ගමනකින් පසු කන්ද ඉහළට ඇති ගල් සහිත පරිසරයට පැමිණියෙමු. ගලකින් ඉහළට ගොඩවෙන සංඛ අතදෙමින් අපට ඉහළට එන්නට උදව් කරයි. ගල් අතර ඇති පොළොවේ වැඩී ඇති ශාඛ වර්ග බොහොමයකි. සුළඟත් ගල්වල ගැඹුරට මුල් ඇදී නොයන නිසාත් ඒවා එතරම් විශාලව නොවැඩේ.

කැට කෑල, වල් බෝඹු, වල් ඉඳි, චීන, දං, පුර හඳ ඇති කාලයට පමණක් දලු ලන තෙලටියා, කැබෙල්ල, කිරි ගෑවුණු සැණින් වණ විය හැකි බදුල්ල වැනි ගස් මෙහි බහුලය. මෙම ගමනේ ඇති ත්‍රාසජනකම කොටස වන ගල ඉහළට නගින්නට ඇති කොටසට අපි දැන් පැමිණ සිටිමු. විනාඩි දහයක පමණ දුෂ්කර, වෙහෙසකර අපූරු අත්දැකීමක් ජීවිතයට එක් කළ ගමනකින් පසු අපි කඳු මුදුනට ළඟාවීමු.

මොනතරම් සුන්දර දසුනක්ද? හාත්පස පෙනෙන හරිත පරිසරයත් නිල්පැහැ අහසත් මවන සොඳුරු පාරාදීසය දකින විට දුෂ්කර වෙහෙස නිවීයයි. මේ සොඳුරු පාරාදීසය දකින විට මේ ලක් දෙරණෙ ඉපදුණු අප මොනතරම් වාසනාවන්තද, පින්වන්තද කියා සිතේ. ගත රැඳි ඇඳුම් උදුරාගෙන යන්නට තරම් වේගයෙන් හමන සුළං පහරේ සිසිලස කන්ද නැගීමෙන් දැනුණු වෙහෙසද රැගෙන ගොසිනි. අපි දෑත් ඔසවා ඉහළට පනිමින් නිදහසේ සතුට වින්දෙමු.

නිල්ගල කන්ද මුදුනට පෙනෙන දර්ශනය අතිශයින් සුන්දරය. ඈතින් පෙනෙන කඳු වළල්ල අතරින් කොළඹ නගරයේ ඇති නෙළුම් කුලුන, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුනු සහ අනෙකුත් ගොඩනැගිලි ඡායා ලෙස පෙනේ. මධ්‍යාහනය නිසා හිරු රැස් හොඳින් පතිත වුවත් වලාකුළු නිසා ඇති කරන සෙවණැලි වැටෙන ප්‍රදේශ වල තද හරිත පැහැය මවන රටා බලා ඉන්නට හරිම අපූරුය. චමත්කාරය.

‘කන්ද මුදුනට දැන් පෙනෙන දර්ශනය නෙමෙයි හවස ඉර බහින වෙලාවට පෙනෙන්නේ. ඊටත් හාත්පසින්ම වෙනස් දර්ශනයක් තමයි ඉර නගින හිමිදිරි පාන්දරට තියෙන්නේ. ඒ අත්දැකීම විඳින්නට කැමැති අයට අපි මේ කන්ද මුදුනේ කඳවුරක රැය පහන් කරන්න අවස්ථාව ලබා දෙනවා. වළගම්බා රජතුමා සේනා සංවිධානය කරන්න සැඟවී සිටි ගල් ලෙනට බසින්නට තියෙන්නේ කඹවල ආධාරයෙන්. එය දුෂ්කර වගේම තරමක අවදානම් ගමනක්. ඒ වගේම ඒක වෙනම අත්දැකීමක්.‘

එම අත්දැකීම විඳිමින් මෙම නිල්වලාගල කඳු මුදුනේ කඳවුරක රැයක් පහන් කරන්නට යළිත් දිනයක එන්නට සිතා ගනිමින් අපි පහළට බැසීම ආරම්භ කළෙමු.

ලබන සතියේ කළුපාට වතුර පිරි අල්ගම ඇල්ලේ කළුදිය වළේ දිය නාමු. 

අදහස්